Curiosity Software Update : සැතපුම් මිලියන 160ක් ඈත ග්‍රහලෝක දෙකක් අතර සිදුකල මෘදුකාංග යාවත්කාලීන කිරීම

පසුගිය 14වැනි අඟහරුවාදා, නාසා ආයතනයේ අඟහරු විද්‍යාගාර කණ්ඩායම, එම මෙහෙයුමේ අඟහරු රෝවරය වන කිව්රියෝසිටි රොබෝ රෝවරයේ ස්ථාපනය කොට තිබූ මෘදුකාංග මුළුමණින්ම ඉවත්කොට අලුත්ම මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කලා. දින හතරක් ගතවුනු මේ මෘදුකාංග මෙහෙයුම ග්‍රහලෝක දෙකක් අතර සිදුවුනු මුල්ම මෘදුකාංග යාවත්කාලීන කිරීම බව පැවසෙනවා.

රෝවරයේ පරිගණක ප්‍රොසෙසරය PowerPC වර්ගයට අයත්වන අතර එයට මෙගාබයිට් 250ක රැම් මතකයකුත් ගිගාබයිට් දෙකක ෆ්ලෑශ් මතකයකුත් තිබෙනවා.  රෝවරයේ ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය VxWorks නම් මෙහෙයුම් පද්ධතිය වන අතර එම මෙහෙයුම් පද්ධතිය යුධ ගුවන්යානා හා ප්‍රාහරක හෙලිකොප්ටර් යානාවලද භාවිතා කරන බව පැවසෙනවා.

කිව්රියෝසිටි රෝවරයට මෘදුකාංග යාවත්කාලීන කිරීමක් සිදුකලේ ඇයි?

අඟහරු විද්‍යාගාර කණ්ඩායමේ ප්‍රධාන මෘදුකාංග ඉන්ජිනේරු බෙන් සිචී පවසන ආකාරයට කිව්රියෝසිටි රෝවරයේ පරිගණකයේ ස්ථාපනය කොට තිබූ මෘදුකාංග ඉවත්කොට අලුත් මෘදුකාංග ස්ථාපනය කරන්නට සිදුවූයේ යානය ගොඩබසින විට අවශ්‍යවන මෘදුකාංග (Entry Decent & Landing mission software) වලට වඩා හාත්පසින්ම වෙනස් මෘදුකාංග පද්ධතියක් එය අඟහරුවා මත ධාවනය කරවමින් පර්යේශණ කටයුතුවල නිරතකර වීම (surface mission software) සඳහා අවශ්‍ය බැවිනි.

මෙම මෘදුකාංග වර්ග දෙකම ස්ථාපනය කොට ගෙනයාමට නොහැකිවූයේ කිව්රියෝසිටි රෝවරයේ පරිගණක මතකයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවුනු නිසායි. එබැවින් රෝවරය අඟහරුමතට ගොඩ බැස මූලික පරීක්ශණවලින් පසුව රෝවරයේ සියලු පද්ධතීන් නිසිපරිදි ක්‍රියාත්මක වන බව තහවුරුකරගත් වහාම, රෝවරය පර්යේශණ කටයුතු වල නිරතකරවීමට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීමට පියවර ගන්නා ලදී.

දින හතරක් ගතවුනු මෘදුකාංග මෙහෙයුම

මොළය ඉවත් කොට අලුත් මොළයක් බද්ධකිරීමේ මෙහෙයුමකට සමාන කල මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම සඳහා දින 4ක්ම ගතවූයේ එය ඉතා ප්‍රවේශමෙන් කල යුතු කාර්යයක් බැවින් හා අඟහරු හා පෘථිවිය අතර පණිවුඩ හුවමාරුවට ගතවන කාළ පරාසය දීර්ඝවන බැවිනි. රෝවරයට රේඩියෝ පණිවුඩයක් යැවූ විට එය රෝවරයට ලැබීම සඳහා විනාඩි 14ක කාළයක් ගතවන අතර රෝවරයෙන් එන පිලිතුර ලැබීමට තවත් විනාඩි 14ක් කාළයක් ගතවනවා. එබැවින් පණිවුඩයක් යවා, එයට පිලිතුරක් ලබාගැනීමට පැය භාගයක කාළයක් බලාසිටීමට විද්‍යාඥයින් හට සිදුවනවා.

වෙනත් ග්‍රහලොවක ඇති යන්ත්‍රයක් බැවින් කුඩාහෝ වැරදීමක්, අතපසුවීමක් සිදු නොවන පරිද්දෙන් ඉතා සීරුවෙන් මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකලා. පොඩි වැරදීමක් හරි සිදුවුනොත් ඩොලර් බිලියන ගණනාවක් වටින රෝවරය සදාකාලයටම නිසොල්මන් වෙන්නට ඉඩ තිබුණා. ඒ නිසා අප අතිශයින්ම ප්‍රවේශමෙන් මේ කටයුත්ත කලේ. අඟහරු විද්‍යාගාර මෙහෙයුමේ ප්‍රධාන පියාසර ඉන්ජිනේරු ස්ටීව් ස්කැන්ඩෝර් පවසා සිටියා.

පළමු දිනය

පළමු දිනයේදී රෝවරයේ ප්‍රධාන පරිගණකයේ රැම් මතකය වෙත අලුත් මෘදුකාංගය යැවූ අතර එය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කලා. එහෙත් එය ස්ථිර මතකය වෙත ඇතුලු නොකිරීමට නාසා ඉන්ජිනේරුවන් වගබලාගත්තේ මෘදුකාංගයේ දෝශ ඇත්නම් යලිත් පැරණි මෘදුකාංගය ක්‍රියාත්මක කල හැකිවීම සඳහායි.


දෙවැනි දිනය

ප්‍රධාන පරිගණකයේ ස්ථිර මතකයට අලුත් මෘදුකාංගය ස්ථාපනය කල අතර යලිත් එහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කලා.


තෙවැනි දිනය

යානයේ ඇති සහායක පරිගණකයේ (back-up computer) රැම් මතකයට අලුත් මෘදුකාංගය ඇතුලුකොට එහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කලා.

සතරවැනි දින

සහායක පරිගණකයේ ස්ථිර මතකයට අලුත් මෘදුකාංගය ඇතුලුකොට නැවතත් ක්‍රියාකාරිත්වය අධ්යයනය කලා.

අඟහරු විද්‍යාගාර මෙහෙයුමේ පරිගණක විශේෂඥයින් පවසන ආකාරයට සැතපුම් මිලියන 160ක් ඈතින් සිදුකල මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම අතිශයින් සාර්ථකවී තිබෙනවා.



Comments

  1. විශ්මිතයි....!!! මේ ගැන තොරතුරු සොයා පලකළ ඔබට නොවක් තුති.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි ටෙරන්ස් අයියේ... ඉදිරියටත් අළුත් තොරතුරු බලාපොරොත්තු වෙනවා... ජය !!!

    ReplyDelete
  3. නියමයි....දිගටම ලියන්නට ජය

    ReplyDelete

Post a Comment