MARS UPDATE : රෝවරය ස්ථානගත වී ඇති ප්‍රදේශය කැලිෆෝනියාවේ මොහාවී කාන්තාරය මෙන් පෙනෙනවා! - නාසා ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ජෝන් ග්‍රොට්සින්ගර්


කිව්රියෝසිටි රෝවරය ගොඩබැසින ලද ගේල් ආවාටයේ කළු-සුදු ඡායාරූප අධ්‍යයනය කල නාසා භූවිද්‍යාඥයින් එය පෙනුමින් කැලිෆෝනියාවේ මොහාවී කාන්තාරය මෙන් පෙනෙන බව පවසා සිටිනවා.ප්‍රධාන කැමරා තවමත් ක්‍රියාත්මක කොට නොමැති නිසා කුඩා නැව්කැම් (NavCam) කැමරාවලින් ගන්නා ලද අඩු විබේධන ඡායාරූප අධ්‍යයනය මගින් මෙම නිරීක්ශණය සිදුකොට තිබෙනවා.


කිව්රියෝසිටි විද්‍යාගාර මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥයා ලෙස ක්‍රියාකරන ජෝන් ග්‍රොට්සින්ගර් පවසන ආකාරයට මෙය පූර්ව නිරීක්ශණයක් පමණයි.

" දැන් කාටහරි කියන්න පුලුවන් නාසා එක අඟහරු වෙත යානයක් යවනවා කියලා බොරු කරලා මේ ලඟම තියෙන මොහාවි කාන්තාරයේ ඡායාරූප පෙන්වනවා කියලා....අපි හඳට ගියේ නෑ කියලත් කියනවනේ ......."    
ග්‍රොට්සින්ගර් සිනාමුසු මුහුණින් මාධ්‍යවේදීන් හට පවසා සිටියේ ඊයේ (අගෝ:8) කිව්රියෝසිටි රෝවරයේ මෙහෙයුම් මධ්‍යස්ථානය තිබෙන කැලිෆෝනියාවේ නාසා ජෙට් ප්‍රොපල්ෂන් ලැබ් (JPL) ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී
රෝවරය ගොඩබෑ ස්ථානය අසල ජලය ගලා යෑමෙන් ඇතිවන දියළු අවානක් (alluvial fan) මෙන් පෙනෙන ස්ථානයක්! 

නැව්කැම් කැමරාවෙන් ගේල් ආවාටය හාත්පස ගන්නා ලද ඡායාරූප පරීක්ශාකිරීමේදී ගලා යන ජලයෙන් පස සෝදායාමෙන් ඇතිවන දියළු අවානක් මෙන් පෙනෙන ස්ථානයක් නිරීක්ශණය කිරීමට නාසා විද්‍යාඥයින් හට හැකිවී තිබෙනවා. රෝවර් යානය ගවේශණ කටයුතු ඇරඹූවිට එහි ප්‍රථම ගවේශණ ලෙස මෙම දියළු අවාන තෝරාගැනීමේ අදහසක් තිබෙන බව විද්‍යාඥයින් පවසනවා.

විකිපීඩියා සිංහල සංස්කරණයේ ඇති ලිපියක දියළු අවාන විස්තර කෙරෙන්නේ මෙසේයි 
"    ජලය සමඟ ගලා එන විවිධ ද්‍රව්‍ය (ඩෙල්ටාමය තැන්පත්වීම්) ජල පහරේ වේගය අඩුවීමත් සමඟ එම ස්ථානයේ තැන්පත් වෙයි. කාලයත් සමඟ එම රොන්මඩ හේතුවෙන් ප්‍රධාන ජල මාර්ගයේ තරමක් විශාල ගොඩබිම් ඇති වී එමඟින් ජල මාර්ග විභේදන නමින් හඳුන්වන කුඩා ජල පහරවල් ගණනාවකට බෙදේ. මෙම බෙදිම් වලින් ඇති වු කුඩා ජල පහරවල් නැවත එකතු වී සක්‍රිය හා අක්‍රිය කුඩා ඇල මාර්ග රාශියක් ඇතිවේ. භූ විද්‍යාත්මකව මෙම ඇලමාර්ග දියළු අවාන නමින් හැඳින්වේ. "
ප්‍රධාන කැමරා ක්‍රියාත්මකයි!

ලැබෙන වාර්තාවලට අනුව මාස්ට්කැම් කැමරා දෙක අඩංගු කැමරා හා උපාංග කුඹය සාර්ථකව විහිදවීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. එයින් ගන්නා ලද ප්‍රථම ඡායාරූප (කළු-සුදු) දැන් ලැබී ඇති අතර, RAW නම් අධිවිබේධන වර්ණ ඡායාරූප ආකෘතියෙන් ගන්නාලද ඡායාරූප ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බව පැවසෙනවා. RAW ආකෘතියෙන් ගන්නා එක් ඡායාරූපයක් මෙගාබයිට් 20ක් පමණ විශාලවන අතර අඟහරු පෘශ්ඨයේ සිට කිලෝමීටර් මිලියන 300ක් පමණ ඈතින් ඇති පෘථිවිය වෙත මෙම ඡායාරූප සම්ප්‍රේශණය කල හැක්කේ ඉතා අඩු වේගයකිනි (low data transmission speed).






එමෙන්ම රෝවර් කැමරාව තුල ගබඩා කොට ඇති මෙම ඡායාරූප සම්ප්‍රේශණය සඳහා ලැබෙන්නේ දිනකට විනාඩි කිහිපයක් දිගු අවස්ථා කිහිපයකි. මෙයට හේතුව රෝවරයේ ඇති ඇන්ටෙනා මගින් කෙලින්ම පෘථිවියට මෙම දත්ත සම්ප්‍රේශණය කල නොහැකි වීමයි. දත්ත සම්ප්‍රේශණය සඳහා මාර්ස් රෙකොනිසන් ඕබිටර් යානය හෝ මාර්ස් ඔඩෙසි යානය, කිව් රියෝසිටි රෝවරය ඇති ප්‍රදේශය ඉහලින් ගමන් කල යුතුය. විනාඩි කිහිපයකින් අවසන් වන මෙම අවස්ථාවලදී රෝවරය හැකිතාක් දත්ත සම්ප්‍රේශණය කරයි. ඒවා ගබඩාකරගන්නා රෙකොනිසන්ස් යානය හා ඔඩෙසි යානය තම කක්ශයට පෘථිවිය දිස්වන අවස්ථාවලදී ඒවා නාසා ආයතනයේ ඈත අභ්‍යවකාශ ජාලය (NASA Deep Space Network) වෙත සම්ප්‍රේශණය කරයි. මෙබැවින් දත්ත ලැබෙනුයේ ඉතා මන්දගාමීවය.

රෝවරය ගේල් ආවටයට ගොඩබැස්සවීමේ අරමුණ වන්නේ ආවාටය මැද ඇති කන්දෙහි පාමුල ගවේශණය කිරීමයි. මවුන්ට් ශාර්ප් (Mt. Sharp) ලෙස නම්කොට ඇති මේ කන්ද අවට ගලාගිය ජලයෙන් සෑදුනු භූවිශමතා ඇති බව එම ප්‍රදේශය මාර්ස් රෙකොනිසන්ස් ඕබිටර් (MRO) යානයෙන් එවන ලද අධිවිබේධන ඡායාරූප වලින් පෙන්නුම් කල බැවිනි.

රෝවරය ගොඩබැස්විය යුතු ස්ථානය නිර්ණය කිරීම සඳහා 2006 වසරේ අඟහරු වටා කක්ශගතවූ මාර්ස් රෙකොනිසන්ස් ඕබිටර් යානයෙන් එවනලද දස දහස් ගණනක් අධිවිබේධන ඡායාරූප තියුණු නිරීක්ශණයට ලක් කෙරුනු අතර ඒ අතරින් ජලයෙන් සිදුවූවායයි සැකකෙරන භූමිලක්ශණ වැඩිම ප්‍රමාණයක් ඇති බවට විශ්වාස කෙරෙන ගේල් ආවාටය තෝරාගත් බව අඟහරු විද්‍යාගාර රෝවරයේ මෙහෙයුම් භාර විද්‍යාඥ මඩුල්ල පවසනවා.

ටන්ස්ටන් තුලබරු (ballast) පතිතවූ ස්ථාන සොයා ගනී


රෝවර් යානය අඟහරු වායුගෝලයට ඇතුළුවන විට එහි සමබරතාවය රැකගැනීමට රඳවා තිබූ ටන්ස්ටන් ලෝහයෙන් නිමවා ඇති තුලබරු 6ක් නිදහස් කොට තිබෙනවා. පැරිශූටය දිගහැරෙන්නට මොහොතකට පෙර නිදහස් කල මෙම ටන්ස්ටන් කැබලි එකක් කිලෝග්‍රෑම් 25ක බරකින් යුතු වෙනවා. මෙලෙස නිදහස් කල ටන්ස්ටන් කැබැලි අධික වේගයකින් අඟහරු පෘශ්ඨය මතට කඩා වැටී ඇති අතර ඒවා වැටුනු ස්ථාන හයම මාර්ස් රෙකොනිසන් ඕබිටරයෙන් ගත් ඡායාරූපවල සටහන් වී තිබෙනවා.

නාසා ආයතනය පවසන ආකාරයට මෙම ටන්ස්ටන් කැබැලි වැටුනු ස්ථානවල ඉතා ගැඹුරට ආවාට සෑදී ඇති අතර රෝවර් විද්‍යාඥ මඩුල්ල  ඉදිරි කාළයේදී රෝවරය මෙම ස්ථානයකට යවා පරීක්ශා කිරීමට බලාපොරොත්තු වෙනවා.

"  ටන්ස්ටන් කුට්ටි වලින් හාරුනු මේ ආවාට අපට අලුත් පර්යේශණ අවස්ථාවක් උදාකරදී තිබෙනවා. අධික වේගයෙන් අඟහරු පෘශ්ඨය මත මේවා වැදී ඇති නිසා එම ස්ථානවල යටි පාශණ (bedrock) නිරාවරණය වෙලා තිබෙනවා. මේක  අඟහරුගේ යටි පාශාණ පර්යේශණයට ලක්කරන්නට අපට ලැබුණු කදිම අවස්ථාවක්......"


Comments

  1. මෙම වාර්තාව දිගටම ලියාගෙනයන්න.මේගැන සොයන බොහෝදෙනෙක් ඔබගේමෙම ලිපි අනිවාර්ය්‍යයෙන්ම කියවනවාඇති.

    ReplyDelete
  2. මේ ලිපි පෙළ නම් හරිම වැදගත්.....අගහරු ගැන මේ අලුත් පර්යේෂණ විස්තර අපිට සිංහලෙන් හොයා ගන්න නැති තරම්.ඒ නිසා දිගටම අපිව දැනුවත් කරන්න. ස්තුතියි.

    ReplyDelete
  3. අගහරු ගැන මේ අලුත්ම පර්යේෂණ ප්‍රතිපල සිංහලෙන් කියවන්න අවස්තාවක් නැති තරම්, ලිපි පෙල දිගටම ලියන්න. සිංහල මාධ්‍යයෙන් වැඩ කරන අපි වගේ අයට මේ වාර්තා ඉතාම වැදගත්, ස්තුතියි.

    ReplyDelete
  4. godak wedagath article ekak....thx...

    ReplyDelete
  5. This blog is very worth for us..........

    ReplyDelete

Post a Comment