MARS UPDATE : කිව්රියෝසිටි වෙතින් පළමු වර්ණ ඡායාරූපය ලැබේ!

කිව්රියෝසිටි රොබෝ රෝවරයේ ප්‍රධාන කැමරාව වන MastCam කැමරාව මගින් ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය පහත දැක්වේ.
 

මෙම ඡායාරූපය දකින ඔබට ගැටළු දෙකක් පැනනගින බව නිසැකය.

1. ඡායාරූපය එතරම් පැහැදිලි නැති බොඳවූ ස්වභාවයක් ඇත්තේ ඇයි?

2. ඡායාරූපයේ හැඩය අස්වාභාවික ඇයි?

ඡායාරූපය බොඳවූ ස්වභාවයක් හා අස්වාභාවික හැඩයක් ගන්නේ කැමරාවේ දෝශයක් හෝ වෙනත් කරුණක් නිසා නොවේ.

MastCam ඡායාරූපය බොඳවීමට හේතුව - මෙම ඡායාරූපය රැගෙන ඇත්තේ කැමරාවේ dust cap හෙවත් දූවිලි ආවරණය ඉවත් කිරීමට පෙරයි! (LOL! Nasa engineers are crazy or what?) පාරදෘෂ්‍ය ප්ලාස්ටික විශේෂයකින් තනා ඇති එය dust cap මත කිව්රියෝසිටි යානය ගොඩ බාන අවස්ථාවේ ඇවිස්සුනු දූවිලි පටලයක් මෙන බැදීම නිසා ඡායාරූපය බොඳවී ඇති ලෙසකින් ලැබී ඇති බව නාසා රෝවරයේ කැමරා විශේෂඥයින් පවසනවා. මෙම කැමරාවේ හා අනෙකුත් කැමරාවල dust cap ඉදිරි දිනවලදී ඉවත් කෙරෙන බවත්, ඉන්පසු ඉතා සුපැහැදිලි අධිවිබේධන ඡායාරූප ලැබෙනු ඇති බවත් ඔවුන් පවසනවා.

ඡායාරූපයේ අමුතු හැඩය - මෙම කැමරාව රෝවරයේ සිට මීටරයක් පමණ ඉහලට ඉස්සෙන කුඹගහක (mast) සවිකොට ඇත. දැනට මෙම කුඹගස ඉහලට ඔසවා නැති අතර එය යානය ගොඩ බසිනවිට ගබඩාකොට තිබූ ආකාරයට පහත්කොට ඇත. එවිට කැමරාව පිහිටා ඇති ආකාරයට අනුව ගත් ඡායාරූපය නිවැරදි කිරීම (එනම් අඟහරු අහස ඉහලට හා පොලව පහලට තිබෙනසේ සකස් කිරීමට) සඳහා මෙලෙස හැඩය වෙනස් කොට ඇත.

අද දිනයතුල (අගෝ 8 - කැලිෆෝනියාවේ වේලාවෙන්) කැමරා කුඹය ඉහලට ඔසවා කැමරාවල dust cap ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව කිව්රියෝසිටි කැමරා කණ්ඩායම පවසයි.මෙම කැමරා කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ශක ජේම්ස් කැමරන් ( Avatar - 2009) දත්ත විශ්ලේශකයෙකු ලෙස සිය කටයුතු කරන බව නාසා ආයතනය පවසයි.

මිනිස් ගවේශකයෙකුට පෙනෙනා ආකාරයට අඟහරු දෙස බලන්නට නිමැවූ MastCam
 


මෙම MastCam කැමරාව මේ ආකාරයට ඉහලට ඔසවා ඇත්තේ සාමාන්‍යයෙන් මනුශ්‍යයෙකුගේ ඇස් පිහිටන උසින් පවතින ආකාරයට බව නාසා ආයතනය පවසනවා (අඩි 6.5කි- වැඩිහිටි අමෙරිකානුවෙකු සාමාන්‍යයෙන් අඩි 6ක් පමණ උසය ). එහි අරමුණ අඟහරු පොලව මත මිනිස් ගවේශකයෙකු සිටගෙන සිටිනා විට ඔහුට අඟහරු භූමිය පෙනෙනා ආකාරයටම ඡායාරූප ගතයුතු නිසායි. එපමණක් නොව MastCam කැමරාව සැබැවින්ම කැමරා එකක් නොව දෙකක පද්ධතියකි. කැමරා දෙකෙන් එකවර ගන්නා ඡායාරූප පරිගණක වැඩසටහනක් මගින් එකට බද්ධ කොට (merged) මිනිසෙකුට පෙනෙන ආකාරයට ත්‍රිමාන ඡායාරූප සැකසීමටත් නාසා විද්‍යාඥයින් බලාපොරොත්තු වෙනවා.

එපමණක් නොව මෙයින් එක් කැමරාවකට (34mm කැමරාව) HD විබේධනයේ (1280x720p) වීඩියෝ පටිගත කිරීම් කල හැකි අතර අනෙක් කැමරාවට (100mm කැමරාව) ටෙලිෆොටෝ වර්ගයේ කාච පද්ධතියක් ඇති බැවින් ඈතින් ඇති දෑ ඡායාරුපගත කල හැකිය.

කිව්රියෝසිටි යානයේ ගොඩබැසීමේ ක්‍රියාදාමය අඟහරු කක්ශයේ සිට ඡායාරූපගත කරලා!

කිව් රියෝසිටි යානය අඟහරු මතට ගොඩ බසිද්දී එම ක්‍රියාවලිය ඡායාරූපගත කිරීම සඳහා අඟහරු ග්‍රහයා වටා කක්ශගතවී තිබෙන මාර්ස් රෙකොනිසන්ස් ඕබිටර් (Mars Reconnaissance Orbiter - MRO) යානය මගින් එම ක්‍රියාවලිය ඡායාරූප ගත කොට තිබෙනවා. කිව්රියෝසිටි කක්ශයෙන් ඉවත්ව අඟහරු වායුගෝලයට ඇතුලුවන මොහොතේ එම ස්ථානයට ඉහලින් කක්ශගත කොට තිබූ MRO යානය සිය HiRISE නම් අධිවිබේධන කැමරාව මගින් කිව් රියෝසිටි යානයේ ගොඩබැසීමේ ක්‍රියාදාමයේ ඡායාරූප 120ක් පමණ රැගෙන නාසා ආයතනයට එවා තිබෙනවා.

පහත පෙනෙන්නේ කිව්රියෝසිටි අඟහරු වායුගෝලයට ඇතුලුවී මිනිත්තු 6කට පසුව ගන්නා ලද ඡායාරූපයකි. කිව්රියෝසිටි යානයේ පැරිශූටය දිගහැරී ඇති ආකාරය මෙහි පෙන්වනවා (දකුණුපසින් එය විශාලකොට දක්වා ඇත) . MRO යානය මෙම ඡායාරූපය ගන්නාවිට අඟහරුට කිලෝමීටර් 320ක් ඉහල ගමන් කරමින් සිටියා.


මීට අමතරව MRO මගින් ගන්නා ලද තවත් ඡායාරූපයක කිව්රියෝසිටි රෝවරය ගොඩබැස්වූ ස්ථානය හා එය අඟරුමතට ගොඩ බැස්වූ යානයේ කොටස් ද නිරීක්ශණය කිරීමට හැකිවී තිබෙනවා. යානයේ පැරිශූටය, ස්කයි ක්‍රේන් උපාංගය, තාප බාධයක් වැනි කොටස් පතිතවී තිබෙන ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඇති අතර මෙම ස්ථාන හඳුනාගැනීම ඉදිරි කාලයේදී රොබෝ රෝවරයේ ගමන් මග සැළසුම් කිරීමේදී වැදගත් බව නාසා ආයතනය පවසනවා.


Comments

  1. මෙහි පළවන ලිපි EMAIL මගින් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන්න.

    ReplyDelete
  2. ස්තුතියි. පැහැදිලිකලාට .

    ReplyDelete
  3. මේ ගැන අලුත් වෙන තොරතුරුත් ලබා දෙනවා නම් ඉතා අගේයි. ස්තුතියි!

    ReplyDelete

Post a Comment