Plan X : පෙන්ටගනයේ සයිබර් යුධ සැළස්ම


අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පසුගිය සතියේදී සිය සයිබර් යුධ සැළසුමේ පිඹුරුපත ඉදිරිපත් කලා. ප්ලෑන් X ලෙස නම් තබා ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ පෙන්ටගනයට අනුබද්ධ පර්යේෂණ හා යුධ තාක්ශණය දියුණුකිරීමේ ආයතනය වන ඩාර්පා ආයතනයයි. අන්තර්ජාලයේ පුරෝගාමී පරිගණක ජාලය වන "ආර්පානෙට්" ජාලය නිර්මාණය වූවේත් ඩාර්පා ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රථිපලයක් වශයෙනුයි.

සයිබර්ස්පේස් හෙවත් සයිබර්-අවකාශය දැනටමත් යුධ කළාපයක් වී ඇතැයි සඳහන් කරන පෙන්ටගනය ප්ලෑන් X හි අරමුණ මෙම සයිබර්-අවකාශ යුධ කළාපයේ අමෙරිකානු ආධිපත්‍යය රඳවා ගැනීමයි. පසුගියදා ඉරාණයේ න්‍යශ්ඨික ව්‍යාපෘතියේ පරිගණකවලට ඇතුළුකරවන ලද - අමෙරිකානු/ඊශ්‍රායක් හවුල් ව්‍යාපෘතියක් ලෙස සැලකෙන් ස්ටක්ස්නෙට් වෛරසය වැනි වෛරස් ප්‍රහාර සතුරු රාජ්‍යයක පරිගණක පද්ධති වෙත ඕනෑම මොහොතක මුදාහැරීම මෙම සැළස්මේ එක් අරමුණක් බව විචාරකයින් පවසනවා.

ස්ටක්ස්නෙට් වෛරසය ක්‍රියාත්මක වන ආකාරය, Source : Trend Micro Antivirus

From Cyber Defense to Cyber Strike

පසුගිය වසර ගණනාව මුළුල්ලේම ඩාර්පා ආයතනයේ සයිබර් ප්‍රහාර පර්යේෂණ අමෙරිකානු යුධමය හා සිවිල් පරිගණක පද්ධති සයිබර්-ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ශාකරගැනීමේ ආරක්ශක උපක්‍රම නිර්මාණය කිරීමේ ව්‍යාපෘති ලෙස පැවතුනා. කුප්‍රකට ස්ටක්ස්නෙට් වෛරසය ප්‍රහාරාත්මක ව්‍යාපෘතියක් වුව එය නිර්මාණයට ඩාර්පා ආයතනය දායක වූ බව හෙලිවී නෑ. 

එහෙත් ප්ලෑන් X, ඩාර්පා ආයතනයේ ආරක්ශා-මූලික (defensive) සැළසුම්වලින් ඔබ්බට ගොස් ප්‍රහාරාත්මක  (offensive) තාක්ශණ යා යුධ සැළසුම් නිර්මාණය කිරීමේ පිඹුරුපතක් වනවා.

Launch a counter-strike at net speed

මේ අනුව ඕනෑම මොහොතක සතුරු රාජ්‍යයක ජාතික අන්තර්ජාල යටිතල ජාලය (national internet backbone), බැංකු පරිගණක පද්ධති, ආරක්ශක අංශවල පරිගණක ජාල, ජාතික දුරකථන ජාලය වැනි මර්මස්ථානවලට විනාශකාරී සයිබර්ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රියාන්විත සැලසුම් (cyberspace strike plans) නිමාණය කොට සූදානමින් තැබීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ප්ලැන් X නිර්දේශවලට අනුව අමෙරිකානු යුධ සෙනෙවියන් හට සයිබර් අවකාශයේ සිදුවන ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර තථ්‍ය-කාලීනව (real-time) අධ්‍යයනය කල හැකි, නිරන්තරව යාවත් කාලීනවන, සයිබර් අවකාශයේ ඩිජිටර් යුධ සිතියම් (digital battle maps of cyberspace) නිර්මාණය කිරීමටද සැළසුම් කොට තිබෙනවා.

පස් අවුරුදු ව්‍යාපෘතියක් වන මෙය සඳහා ඩොලර් මිලියන 100ක බරපැන වශයෙන් ලබාදී තිබෙනවා.

මෑතක් වන තුරුම අමෙරිකානු යුධ සැළසුම්කරුවන් සයිබර් ප්‍රහාර සඳහා මැළිකමක් දක්වන්නට වූයේ එම ප්‍රහාර ඉලක්ක රාජ්‍යයේ පරිගණක ජාලවලට සීමා කරගත හැකි තාක්ශණයන් එතරම් දියුණු නොවූ බැවිනි. ලොව පුරා ව්‍යාප්ත අන්තර්ජාල සබඳතා නිසා යුධමය වෛරසයක් ඉලක්ක ජාලයෙන් වෙනත් අපක්ශපාතී රටවල් වල පර්ගණක ජාලවලට පැතිරීමේ විශාල අවදානමක් තිබෙනවා.

උදාහරණයක් ලෙස, දෙවන ගල්ෆ් යුද්ධය ආරම්භයේදී ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර බැංකු හා මූල්‍ය පද්ධතිය හා සන්නිවේදන පද්ධතිය වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලකොට එය මුළුමණින්ම අඩපණකොට දැමීමට පෙන්ටගනය සැළසුම් කලත්, එම ප්‍රහාර ඉරාකයට සීමා කරගැනීමට නොහැකිවේ යන බිය නිසා එම සැළැස්ම අතහැර දැමුණු බව පැවසෙනවා.

ප්ලෑන් X නිර්දේශ

1. සයිබර් යුධ සටන් සඳහා මූලික රීති මාලාවක් නිර්මාණය කිරිම (rules of engagement for cyber warfare)

2. ප්‍රහාර එල්ල කිරීමට හෝ සතුරු ප්‍රහාර මැඩපැවැත්වීමට හැකි යුධ සැළසුම් නිර්මාණය කිරීම හා එම සැළසුම් වලින් සිදුකල හැකි හානිය පිලිබඳව ඇස්තමේන්තු සකස්කිරීම (preparing battle plans and assessing potential battle damage)

3. සයිබර් ප්‍රහාරවලට ඔරොත්තු දියහැකි මෙහෙයුම් පද්ධති, මෘදුකාංග හා දෘඩකාංග නිර්මාණය කිරීම හා සයිබර් සටන් ක්‍රියාන්විත මෙහෙයවිය හැකි මෘදුකාංග හා දෘඩකාංග නිපදවීම. (operating systems AND software that can withstand the rigors of a full-blown online conflict)

4. සතුරු සයිබර් ප්‍රහාරයක් එල්ලවන විට එයට ස්වයංක්‍රීයව ප්‍රතිප්‍රහාර එල්ලකල හැකි සයිබර් යුධ යන්ත්‍ර නිර්මාණය කිරීම. (hardened ‘battle units’ that can perform cyberwarfare functions such as battle damage monitoring, communication relay, weapon deployment, and adaptive defense)










Comments

Post a Comment