හිතපු තරම් වැඩ කිඩ නැති iPhone 5 (හෙවත් කන්දක් විළිලා මී පැටියෙකු වැදීම? )



අයිෆෝන් 5 ගැන කියූ කතා බොහොමයකි. 

"දන්නවද අලුත් අයිෆෝන් එකේ අරවා තියෙනවා, මෙව්වා තියෙනවා....." පසුගිය වසර පුරාවටම ඇපල් සමාගමේ අයිෆෝනයේ තිබෙනවා යැයි කියන, අලුත් අලුත් ඇස් උලූප්පන තාක්ශණයන් ගැන අන්තර්ජාල තාක්ශණ ගොසිප් අඩවි (අපේ ගොසිප් ඒවා නොවේ) පලකල පුවත් බොහෝය....

NFC හෙවත් Near Field Communication තාක්ශණය, Wireless charging හෙවත් වයර රහිත බැටරි ආරෝපණ උපක්‍රමය, "Assistant" voice control system, laser projection keyboard, projection screen, changeable camera lens, Nano SIM technology, Bio-metric security system....

අයිෆෝන් 5 අඩංගු වනවා යයි කියූ මෙවැනි තාක්ශණයන් ගැන අපූරු වාර්තා විදුලිවේගයෙන් අන්තර්ජාලය පුරා පැතිරී ගියේය. අයිෆෝන් 5 මාදිලියේ යයි සැක කෙරුණු චායාරූපද අන්තර් ජාලයේ හුවමාරු වුනු අතර අයිෆෝන් 5 ගැන කතාකිරීම බටහිර ගොසිප් වෙබ් අඩවි වලට "හිට්" මවන මැජික් එකක් විය.

දැන් ගොසිප් වලට තිත වැටී තිබේ. පසුගිය සැප්තැම්බර් 12වැනිදා ඇපල් සමාගම නිළවශයෙන් අයිෆෝන් 5 මාදිලිය ලොවට හඳුන්වාදුන්නේය. ඇපල් ලෝකයේ ජේසුස් ක්‍රිස්තූන් වූ ස්ටීව් ජෝබ්ස් නොමැතිව මෑත ඉතිහාසයේ ඇපල් සමාගම එලිදැක්වූ පලමුවන වැදගත් වෙළඳ භාණ්ඩය වන මෙය ඇපල් සමාගමයේ අලුත් සාන්තුවරයා වන ටිම් කුක්ගේ ඉරණම හා තදින් බැඳී ඇත්තේ අයිෆෝන් 5 අසාර්ථකවුව හොත් ටිම් කුක්ගේ නායකත්වය පිලිබඳව සැක මතුවීමට එය ප්‍රභල හේතුවක් වන නිසාමය.

** (iPhone 4S ජෝබ්ස්ගේ වියෝවෙන් පසුව එලි දැක්වුනත්, එහි සියලු ගෞරවය ජෝබ්ස් වෙත පිරිනැමුනේ ඔහු නික්ම යනවිට 4S ෆෝනයේ සියලු නිර්මාණ කටයුතු අවසන්ව තිබුණු නිසයි)

අලුත් පාටකින් ආ පරණ ඇපල්?

බැලූ බැල්මට අයිෆෝන් 5 පෙනෙන වෙනස නම් එය කලු පැහැයෙන් නිමවා තිබීමයි. වෙනදා අයිෆෝන් වල රිදී හා සුදු පැහැයන්ට වඩා මෙය යම්ලෙසකින් ආකාර්ශණීය බව මට හැඟේ. ඊට අමතරව ඇති ලොකුම වෙනස නම් මෙහි තිරය 4S තිරයට වඩා අඟල් භාගයකින් (3.5 සිට අඟල් 4දක්වා) දිගින් වැඩි වීමයි. (පලල එසේමය). iP5 ඝණ කමින්ද අඩුය. (iP5 -0.30 inch ,  4S 0.37 inch).

4S හා සසඳන විට තිරයේ විබේධනයේ වෙනසක් නැතත් තිරය දිගින් වැඩිවීම නිසා දැන් එය LED රූපවාහිණී තිර ක්‍රියාත්මකවන 16:9 අනුපාතයට ක්‍රියාත්මකවේ. ෆෝනයේ බර අනුවද 4Sට වඩා 20% කින් අඩු බව පැවසේ. 

මීට අමතරව වැදගත්ම තාක්ශණික වැඩි දියුණුව නම් අධිවේගී දත්ත සේවා ප්‍රමිතියක් වන 4G LTE තාක්ශණය මෙහි අඩංගු කොට තිබීමයි. 4G LTE තාක්ශණයේ දත්ත සම්ප්‍රේශණ වේගය 3G ට වඩා 10ගුණයකින් පමණ වේගවත් බව පැවසේ. එමෙන්ම iP5 නවතම අධිවේගී ක්වඩ් කෝර් A6 ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන අතර මෙය 4S හි A5 ප්‍රොසෙසරයට වඩා දෙගුණයකින් වේගවත්ය. iP5 ප්‍රධාන කැමරාවද 4S කැමරාව ක්‍රියාත්මක වූ මෙගාපික්සල් 8ක විබේධනයකින් ක්‍රියාත්මක වන අතර මද ආලෝක තත්වයන් යටතේ හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා විවිධ තාක්ශණික උපක්‍රම අඩංගු කොට ඇත.

එහෙත් මේ කිසිවක් ඇපල් සමාගමට සුපුරුදු මහා තාක්ශණික විප්ලව නොව, ක්‍රමික වැඩිදියුණු කිරීම් වන අතර මේ තාක්ශණයන් සියල්ලම දැනට වෙලඳපොලේ ඇති සැම්සුන්ග් හා HTC මාදිලිවල දකින්නට ලැබේ. 4G තාක්ශණය පවා දැනටමත් යුරෝපයේ, ඔස්ට්‍රේලියාවේ හා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන අතර 4G තාක්ශණය අඩංගු ජංගම දුරකථන මාදිලි කිහිපයක් සැම්සුන්ග්, HTC සමාගම් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ඇපල් අයිෆෝන්5 බොහෝ දෙනා බලාපොරොත්තුවුනු ආකාරයේ දැවැන්ත තාක්ශණික පිම්මක් නොවන බව ඔබටම වැටහෙනවා ඇත.

මෙයින් කියන්නට අදහස් කරන්නේ අයිෆෝන් 5 නරක බව නොවේ, හිතුවාට වඩා බොහෝ පහලින් තිබෙන, සැම්සුන්ග්, HTC පමණක් නොව නොකියා සමාගම පවා දැනටමත් ලඟාවී ඇති/ලෙහෙසියන්  පසුකල හැකි ඉලක්ක සපයන සාමාන්‍ය දුරකථනයක් බවය. ඔරිජිනල් අයිෆෝනයේ තිබූ රැඩිකල් බව iPhone 5වැනි සංස්කරණය තුල නැත.

එපමණක් නොව කලක් ජංගම දුරකථන ලෝකයේ පතාක යෝධයෙකු වුනු නොකියා සමාගම පවා අයිෆෝනයට වඩා රැඩිකල් තාක්ශණයන් ගෙන යුතු දුරකථන නිර්මාණය ක්‍රමින් සිය නැතිවීගිය බලපරාක්‍රමය රැක ගැනීමට උත්සහ කරමින් සිටී. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඇසුරින් ක්‍රියාත්මක වන Nokia Lumia 920 දුරකථනය මෙයට උදාහරණයකි. ඇපල් අයිෆෝන් 5 තිබේ යයි බලාපොරොත්තු වුනු wireless charging තාක්ශණය නොකියා සමාගම දැනටමත් මෙම දුරකථනයට ලබාදී ඇත. එපමණක් නොව මෑතක් වනතුරු ආයෝජකයින් හා තාක්ශණ විශ්ලේෂකයින් කඩාවැටීමට ආසන්න ආයතනයක් ලෙස පැත්තකට දමා තිබූ Blackberry සමාගම පවා දැන නැවතත් සිය ආයුධ මුවහත් කරමින් සටනට එන්නට අර අඳින බවක් පෙනේ...

අනේ ඇපල්, මොකද මේ වෙන්නේ??  

කන්දක් විළිලා මී පැටියෙකු වැදුවා වත්ද?




Comments

  1. අයියෝ...අයියා . කියනකොට එහෙමයි... දෙනකොට මෙහෙමයි.... එතකොට... ආ

    ReplyDelete
  2. Samsung වෙළද දැන්වීමට ඇපල් ලොලීන්ගේ පිලිතුර
    http://mediacdn.disqus.com/uploads/mediaembed/images/344/6714/original.jpg

    ReplyDelete

Post a Comment