චීන රොකට්ටුවකින් උඩුගුවනට යවන ශ්‍රී ලාංකික චන්ද්‍රිකාව, චීනය විසින් ඉන්දියාවට එරෙහිව ඔත්තු බලන්නට යෙදවිය හැකි චන්ද්‍රිකාවක්ද?


ශ්‍රී ලංකාවට අයත්වන ප්‍රථම චන්ද්‍රිකාව හෙට, එනම් නොවැම්බර්  22වැනිදා චීනයේ ශියෑන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කිරීමට සියලු කටයුතු සූදානම් බව, එම චන්ද්‍රිකාවේ ශ්‍රී ලාංකික පාර්ශවකාර සමාගම වන සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. චීනයේ නිශ්පාදිත ලෝන්ග් මාර්ච් (Long March 3B) වර්ගයේ රොකට්ටුවකින් අභ්‍යවකාශගත කිරීමට නියමිත මෙම චන්ද්‍රිකාව චීනය විසින් චයිනාසැට් 12 ලෙසත්, ශ්‍රී ලංකාව විසින් සුප්‍රීම්සැට් ලෙසත් නම් කොට තිබෙනවා.

ශ්‍රී ලංකාවට චන්ද්‍රිකාවක් සපයන බව පවසමින් චීනය මේ සැරසෙන්නේ ඉන්දියාවට එරෙහිව ඔත්තු බලන චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාව දඩමීමා කරගෙන උඩුගුවනට යැවීමට බවට මතයක් ඉන්දියාවේ පවතින බවත් ඉන්දීය ආරක්ශක හා බුද්ධි අංශ මෙම චන්ද්‍රිකාව පිලිබඳව දැඩි සෝදිසියෙන් පසුවෙන බවත් පැවසෙනවා.


චයිනාසැට් 12 / සුප්‍රීම්සැට් 1 සැබැවින්ම ඔත්තු බලන චන්ද්‍රිකාවක්ද?

දැනට ලැබී ඇති තාක්ශණික දත්ත අනුව, මෙම චන්ද්‍රිකාව කිසිසේත්ම ඔත්තුබැලීමට යොදාගත නොහැකි චන්ද්‍රිකාවක් බව පැවසිය හැකියි. මෙම චන්ද්‍රිකාවේ තාක්ශණික දත්ත අනුව මෙම ප්‍රකාශය කල හැකියි.

සුප්‍රීම්සැට් 1 / චයිනාසැට් 12 චන්ද්‍රිකාව රඳවන කක්ශය - පොලවට කිලෝමීටර් 35,786 ඉහලින් ස්ථානගත කෙරෙන Geo-stationary ලෙස හැඳින්වෙන කක්ශයකය. ජියෝ-ස්ටේෂනරි කක්ශය රඳවන චන්ද්‍රිකාවක් පෘථිවිය වටා ගමන්කරන්නේ පෘථිවිය තමන්වටා ගමන්කරන වේගයෙනි. එමනිසා පෘථිවියේ යම් ස්ථානයකට සාපේක්ශව එම චන්ද්‍රිකාව අහසේ එකම ස්ථානයක රැඳී පවතී.

ජියෝ-ස්ටේෂනරි කක්ශවල රඳවන්නේ පණිවුඩ හුවමාරු චන්ද්‍රිකාවේ. එයට හේතුව අහසේ එක තැනක රැඳී සිටින නිසා චන්ද්‍රිකාවට නොකඩවා පැය 24පුරාවටම එකම භූමිප්‍රමාණයක් ආවරණය කරමින් පෘථිවියේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන සමග නොකඩවා සම්බන්ධවී සිටිය හැකි බැවිනි. චන්ද්‍රිකා රූපවාහිනී සේවා සම්ප්‍රේශණය කරන චන්ද්‍රිකාද ජියෝ-ස්ටේෂනරි කක්ශවල රඳවන්නේ මේ හේතුව නිසාමය.

ඔත්තු බලන චන්ද්‍රිකා ජියෝස්ටේෂනරි කක්ශවල නොරඳවන්නේ ඇයි?


පොලොවට කිලෝමීටර් 35,000ක් ඉහලින් රැඳවීමට සිදුවන නිසා ඡායාරූප ගැනීම හා සතුරු රටවල පණිවුඩ හුවමාරුවලට සවන්දීම අපහසුවේ.

පොලොවේ එක් ස්ථානයක් පමණක් නොකඩවා ආවරණය කිරීම ඔත්තුබලන චන්ද්‍රිකාවක හැකියාවන් ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බාධාවකි.

ඔත්තුබලන චන්ද්‍රිකා බොහෝවිට පොලෙවේ සිට කිලෝමීටර් 160 සිට කිලෝමීටර් 2000 අතර පරාසයේ කක්ශවල රඳවයි. පහල පෘථිවි කක්ශ (low earth orbit) ලෙස හඳුන්වන මෙම කක්ශවල රඳවන චන්ද්‍රිකා ඉතාවේගයෙන් පෘථිවිය වටා භමණය වේ (පැයට කිලෝමීටර් 28,000ක පමණ වේගයකින්) මේ නිසා මෙම චන්ද්‍රිකා දිනකට එක් වරකට වැඩි ප්‍රමාණයක් පෘථිවිය වටා ගමන් කරයි. මෙලෙස ගමන් කරන ඔත්තු බලන චන්ද්‍රිකා එහි කක්ශය යටින් තිබෙන සතුරු රටවල් වල භූමි ප්‍රදේශවල ඡායාරූප ගත කරන අතර එම රටවල ගුවන්විදුලි පණිවුඩ වලට සවන්දෙමින් පටිගත කරගනී. චන්ද්‍රිකාව සිය මවු රට ඉහලින් යනවිට ගබඩා කරගත ඡායාරූප හා පටිගත කරගත් රේඩියෝ පණිවුඩ මව් රටේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන වෙතට ලබාදෙයි.

ඒ අනුව චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන චන්ද්‍රිකාව ඉන්දියාවේ ඔත්තුබැලීමට නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ලෙස හැඳින්වීම නිවැරදි නොවන අතර, එවැනි වගකීම් රහිත ප්‍රකාශ අසල්වැසි රටක් හා ඇති සාමකාමී සහජීවන අවුල් කරන ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිය.


චයිනාසැට් 12 / සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයත් චන්ද්‍රිකාවක්ද?

නැත!

මෙය 100% ශ්‍රී ලංකාවට අයත් චන්ද්‍රිකාවක් නොවන බව ජාත්‍යන්තර සන්නිවේදන චන්ද්‍රිකා දත්ත සපයන ආයතන පවසයි. මෙහිදී සිදුවී ඇත්තේ චීනයේ චන්ද්‍රිකා සමාගම, ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් ආයතනයට කල්බදු (leasing) ක්‍රමය යටතේ මෙම චන්ද්‍රිකාවේ ට්‍රන්ස්පොන්ඩර් යම් ප්‍රමාණයක් ලබාදීමයි. ට්‍රාන්ස්පොන්ඩර් 56න් කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වෙන් කොට ඇතිදැයි පැහැදිලි නැත. මෙම චන්ද්‍රිකාව සුප්‍රීම්සැට් 1 ලෙසද නම් කිරීමට අවසර ලැබී ඇත්තේ මෙම කල්බදු ගිවිසුම අනුවය.

චයිනාසැට් 12 / සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාවේ තවත් තොරතුරු



නිශ්පාදකයා චයිනාසැට් 12 / සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව චීනයේ නිපදවන ලද්දක් නොව, තේල්ස් ඇලෙනියා (Thales Alenia) නම් ප්‍රංශ/ඉතාලි/ස්පාඥ්ඥ රටවල්වල ඒකාබද්ධ සමාගමක් විසින් චීනයේ අභ්‍යවකාශ ආයතනය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.

චයිනාසැට් චන්ද්‍රිකා කිසිදු ආකාරයක අමෙරිකානු තාක්ශණයක් අඩංගු නොකොට නිර්මාණය කොට ඇත. ඇමරිකාව විසින් සිය තාක්ශණය අඩංගු කොට නිර්මාණය කොට ඇති චන්ද්‍රිකා චීන රොකට්ටු මගින් අභ්‍යවකාශ ගත කිරීම තහනම් කොට ඇති නිසා (සිය දියුණු චන්ද්‍රිකා තාක්ශණය චීනය මගින් සොරාගනී යයි යන බියෙන්) චීනය වෙනුවෙන් තේල්ස් ඇලෙනියා සමාගම නිර්මාණය කරන චන්ද්‍රිකාවලට අමෙරිකානු තාක්ශණය අඩංගු උපාංග කිසිවක් ඇතුලත් නොකොට නිපදවයි.

පණිවුඩ හුවමාරු ධාරිතාව - පණිවුඩ හුවමාරු කලහැකි අධිබල ට්‍රාන්ස්පොන්ඩර් 56කින් සමන්විතය. ට්‍රාන්ස්පොන්ඩර් යනු රේඩියෝ තරංග ලබාගත හැකි (receiving) හා සම්ප්‍රේශණය (transmitting) කල හැකි ඇන්ටෙනා හා ට්‍රාන්ස්මීටර්/රිසීවර් අඩංගු උපකරණයකි. චයිනාසැට් 12/සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාවට මෙවැනි ට්‍රාන්ස්පොන්ඩර් 56ක් ඇත.

ක්‍රියාත්මකවීමට බලශක්ති උත්පාදනය - සූර්ය කෝශ පැනල දෙකක් හා බැටරිවලින් සමන්විතය

ශුද්ධ බර - කිලෝ ග්‍රෑම් 5054කි

අපේක්ශිත ආයුකාලය - අවුරුදු 15කි





Comments

  1. අනේ ඉතින් අපිම හදල යවන්නෙ නැත්නම් වැඩක් නෑනෙ...අඩුම තරමෙ චන්ද්‍රිකාවෙ පොඩි කොටසක්වත් ලංකාවෙ හදල නෑනෙ.මේක හරියට නිකන් චයිනීස් ෆෝන් එකක් අරන් පාවිච්චි කරනව වගේ....

    නමුත් ආරම්භයක් විදියට හොඳයි...මම සුභපතනව හෙට කක්ෂගතකිරීම සාර්ථක වෙන්න කියල...!!!! ඒ වගේම 2020 වෙනකොටවත් අපේම විද්වතුන් අතින් හදපු චන්ද්‍රිකාවක යවන්න පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව....

    ReplyDelete
  2. වැඩි ප්‍රසිද්ධියක් නැතිවම, යුරෝපීය නිශ්පාදනයක් , හදන්නේ චීනේ, යවන්නේ චීන රොකට් එකකින් , මොකක්ද මේ ? ලංකාවේ උපයෝගීතාවය පිළිබදවත් ගැටලුවක් නේද? අනේ මංදා ...

    ReplyDelete
  3. වැඩේ නම් හොඳයි තමා.. ලාංකිකයෙක් හැටියට ගොඩාක් සතු‍ටුයි,,,,

    ඒ වුනාට බයක් තියෙනවා.. ඕක ගිහින් රදවන්නෙ ලංකාවට ඉහලින්නේ... කොහොමද විස්වාස කරන්නෙ. චීන බඩුනේ,,, :p

    ReplyDelete
  4. යාළුවා "ලිපි ලයිස්තුව" කියන විජෙට්‍ටුව scroll වෙන්න දැම්මොත් මොකෝ....!!!

    ReplyDelete
  5. අයියෝ මේක මේ බද්දට ගත්ත එකක්ද හරියට ජෙට් ලයිනර් වගේ.

    ReplyDelete

Post a Comment