ඇමරිකානු GPS සේවාවට තරඟයක් දෙන්නට සූදානම් වන රුසියානු GLONASS හා චීන BeiDou

GPS චන්ද්‍රිකාවක්
GPS හෙවත් Global Positioning System 1973 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් ව්‍යාපෘතියක් ලෙස ඇරඹිනි. මෙහි අරමුණ වූයේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවට සිය හමුදාවන්, යුධ නෞකා හා ගුවන්යානා ස්ථානගතවී තිබෙන තැන් ඉතා නිවැරදිව, ඕනෑම කාළගුණ තත්වයක් යටතේ දැනගත හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමයි. මුලින් චන්ද්‍රිකා 10ක පද්ධතියක් ලෙස 1985 වසරේදී නිළවශයෙන් ක්‍රියාත්මකවීම ආරම්භවිය.

1994 වනවිට චන්ද්‍රිකා 24ක් දක්වා වැඩි දියුණු වුනු ජී.පී.එස් පද්ධතිය තවදුරටත් අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙතත්, එහි සේවාව ඕනෑම රටක සිවිල් ජනතාවට හෝ රාජ්‍ය ආයතනයකට ලබාගත හැකිවෙන ලෙස නිදහස් කොට ඇත. දැනට සිවිල් ජී.පී.එස් යන්ත්‍රයක් හෝ ජී.පී.ස් චිපයක් අඩංගු ස්මාර්ට්-ෆෝනයක් මගින් මීටර් 2ක නිරවද්‍යතාවයකින් යුතුව එය පිහිටන ස්ථානය දැක්විය හැකිය. වාර්තාවන අන්දමට අමෙරිකානු යුධ හමුදාවල ජී.පී.ස් යන්ත්‍ර සෙන්ටිමීටර් කිහිපයක නිරවද්‍යතාවයකින් ක්‍රියාතමක වේ.

අමෙරිකානු GPS සේවාවේ ක්‍රියාකාරිත්වය

GPS පද්ධතිය කොටස් තුනකට බෙදා ඇත.

1. අභ්‍යවකාශ පද්ධතිය (Space Segment) 

කිලෝමීටර් 20,200ක් ඉහල අහසේ කක්ශගත කොට ඇති චන්ද්‍රිකා 31ක් මගින් ජී.පී.එස් සේවාව ක්‍රියාත්මක වන අතර මින් සිවිල් සේවාව සඳහා චන්ද්‍රිකා 24ක් දායකවේ. ඉතිරිය හදිසි අවශ්‍යතාවලදී ස්ථානගත කල හැකි ලෙස කක්ශගත කොට ඇත. මෙම චන්ද්‍රිකා 31හි අභ්‍යවකාශ පද්ධතිය අමෙරිකානු ගුවන්හමුදාව මගින් පාලනය වෙයි. මෙම චන්ද්‍රිකා නිර්මාණය හා අභ්‍යවකාශගත කිරීමද සිදුකරන්නේ අමෙරිකානු ගුවන්හමුදාවේ අධීක්ශණය යටතේය.

GPS කක්ශවල රඳවා ඇති ආකාරය.
මෙලෙස චන්ද්‍රිකා ස්ථානගත කිරීමෙන්, ලොව ඕනෑම ස්ථානයකට, ඕනෑම මොහොතක, අවම වශයෙන් චන්ද්‍රිකා 4කින් සංඥා ලබාගත හැකිය.
මෙලෙස චන්ද්‍රිකා 24ක් ලොව වටා විවිධ කක්ශවල ස්ථානගත කිරීමෙන්, ලොව ඕනෑම ස්ථානයක, ඇන්ටාක්ටිකාවට පවා, ඕනෑම මොහොතක චන්ද්‍රිකා අවම වශයෙන් 4ක සංඥා ලබාගත හැකිය. GPS පද්ධතිය නිර්මාණය කොට ඇති ආකාරය අනුව GPS යන්ත්‍රයකට නිවැරදි ස්ථානගත කිරීමක් සඳහා අවම වශයෙන් චන්ද්‍රිකා 4කින් සංඥා ලැබිය යුතුය.

2. පාලන පද්ධතිය (Control Segment) 


එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රීවර් ගුවන්හමුදා කඳවුරේ (Schriever Air-force Base) GPS පද්ධතියේ ප්‍රධාන පාලන මැදිරිය පිහිටා ඇති අතර, කැලිෆෝනියාවේ වැන්ඩෙන්බර්ග් ගුවන්හමුදා කඳවුරේ අමතර පාලන මධ්‍යස්ථනයක් පිහිටුවා ඇත. ශ්‍රීවර් කඳවුර මූලස්ථානය කොටගෙන ඇති, ගුවන් හමුදාවේ 2වන අභ්‍යවකාශ මෙහෙයුම් බළගණය (USAF 2nd Space Operations Squadron) GPS චන්ද්‍රිකා පද්ධතියේ මෙහෙයුම් හා පාලන කටයුතු භාරව සිටියි.

අලුත් චන්ද්‍රිකා ගුවන් ගතකල විට ඒවා බලගන්වා GPS සේවාවට එක් කරගැනීම, අභ්‍යවකාශ ගතකරන ලද ජී.පී.එස් චන්ද්‍රිකා නිවැරදි කක්ශවෙත යොමුකිරීම, චන්ද්‍රිකාවල කක්ශයන් පිලිබඳව අවධානයෙන් සිටිමින්, අවශ්‍ය අවස්ථාවලදී සීරුමාරු කිරීම් හා නිවැරදි කිරීම් සිදුකිරීම, චන්ද්‍රිකාවල ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමින් තබාගැනීම, වැනි සංකීර්ණ ක්‍රියාදාම ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මගින් සිදුවෙයි.

3. සේවා-ලාභී පද්ධතිය (User Segment)

ජී.පී.එස් සේවා ලාභීන් අතර අමෙරිකානු යුධ හා සිවිල් සේවාවන්, පොදු ජනතාව මෙන්ම ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සිවිල් පුරවැසියන්ද වේ. ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, ගුවන්යානා මෙහෙයුම්, මිනින්දෝරු කටයුතු, සන්නිවේදන කටයුතු, සෞඛ්‍ය හා සහන සේවා මෙන්ම, වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති සතුන් රැකබලාගැනීම හා විද්‍යාත්මක පර්යේශණ කටයුතු සඳහාද ජී.පී.එස් පද්ධතිය සේවා සපයයි.

ජී.පී.එස් සේවාව නොමිලේ ලැබෙන අතර ඒ සඳහා සිදුකල යුතු එකම ගෙවීම වන්නේ ජී.පී.එස් යන්ත්‍රය හෝ ජී.පී.එස් පහසුකම අඩංගු උපාංගය මිලදී ගැනීම පමණකි. ජී.පී.එස් සේවාව ලබාගත හැකි සෑම යන්ත්‍රයකම ජී.පී.එස් පරිපථයක් (GPS Chip) අඩංගුවන අතර මෙහි තාක්ශණය සඳහා යම් ගෙවීමක් මෙම පරිපථ නිර්මාණය කරන සමාගම් අමෙරිකානු රජයට සිදුකල යුතුය.

GPS යන්ත්‍රයක් චන්ද්‍රිකා සංඥා මගින් සිය පිහිටුම (location) සොයා ගන්නේ කෙසේද?

සෑම ජී.පී.එස් චන්ද්‍රිකාවක්ම සිය කක්ශය, ගමන්වේගය හා පොලවට ඉහලින් ගමන් කරන ස්ථානය පිලිබඳ තොරතුරු නිරන්තරව සන්නිවේදනය කරයි. ඊට අමතරව ඉතා නිවැරදිව වේලාව සන්නිවේදනය කලහැකි පරමාණු කාල යන්ත්‍ර (atomic clock) සියලුම නවීන ජී.පී.එස් චන්ද්‍රිකාවල අඩංගු කොට ඇත. චන්ද්‍රිකා 4කින් ලැබෙන මෙම තොරතුරු ජී.පී.එස් චිපයේ අඩංගුකොට ඇති සංකීර්ණ ඇල්ගොරිතමයක් (algorithm) මගින් යන්ත්‍රය පොලොවේ පිහිටන නිවැරදි ස්ථානය ගණනය කරනු ලබයි.

GPS සේවාව අඩු වියදමකින් ලබාගත හැකිව තිබියදීත් රුසියාව හා චීනය අධික වියදමක් දරා GLONASS හා BeiDou පද්ධති නිර්මාණය කරන්නේ ඇයි?

රුසියාව සිය පද්ධතිය නිර්මාණය කිරීම ඇරඹුවේ අමෙරිකාව සිය ජී.පී.එස් පද්ධතිය ගොඩනැගීම අරඹා වසර 2කට පසු, එනම් 1975 වසරේදීයි. එකල සෝවියට් දේශය ලෙස අමෙරිකාව හා සීතල යුද්ධයක පැටලී සිටි රුසියාවට තමන්ගේ යුධමය කටයුතු සඳහා ජී.පී.එස් වැනි පද්ධතියක අවශ්‍යතාවය මත ග්ලෝනාස් පද්ධතිය නිර්මාණය කෙරිනි. එකල අමෙරිකානු ජී.පී.එස් පද්ධතිය සිවිල් ප්‍රජාවට විවෘත නොවූ අතර එය යුධමය කටයුතු සඳහා සීමා කෙරුනු ජී.පී.එස් තාක්ශණය සතුරාට නොලැබියයුතු රහසිගත තාක්ශණයක් (Classified Technology) ලෙස අමෙරිකානු රජය මගින් ආරක්ශා කෙරිනි.

අද තත්වය මීට වෙනස් වුවත්, අදටත් රුසියාව මෙන්ම චීනයද සිය යුදමය හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා අමෙරිකානු ජී.පී.එස් සේවාව භාවිතා කිරීමට අකමැත්තක් දක්වන්නේ, සිවිල් ප්‍රජාවට සේවා සැපයූවත් ජී.පී.එස් පද්ධතිය අමෙරිකානු ගුවන් හමුදාව මගින් පාලනය වන, අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට යටත් සේවාවක් බැවිනි.

එබැවින් , යුධමය අවස්ථාවලදී අමෙරිකානු රජයට ජී.පී.එස් සේවාව සතුරු රටවල් වෙත ලබා ගැනීම සීමා කිරීමේ හැකියාවක් ඇතැයි විශ්වාසයක් මෙම රටවල් තුල පවතී.

අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය වුනු අන්තර්ජාලය පවා යුධමය අවස්ථාවලදී අමෙරිකාවට අවශ්‍ය ලෙස පාලනය කල හැකිවන්නේ අන්තර්ජාලයේ පාලනය හා ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය මර්මස්ථාන බොහොමයක් අමෙරිකාව තුල ක්‍රියාත්මක වන නිසා මෙන්ම අන්තර්ජාලය මුලුමනින්ම අමෙරිකානු තාක්ශණය මත ක්‍රියාත්මක වන ජාලයක් බැවිනි. නාමිකව ICANN හෙවත් Internet Corporation for Assigned Names and Numbers නම් ලාභ නොලබන, රාජ්‍ය නොවන ආයතනයක් මගින් අන්තර්ජාලයේ පාලන කටයුතු සිදුවුනත් ප්‍රායෝගිකව තවමත් අන්තර්ජාලය අමෙරිකානු ආනුභාවය පවතින සේවාවකි.

GPS දැනට ලැබී ඇති තොරතුරු අනුව, යුධමය වශයෙන් අතිශය වැදගත් ජී.පී.එස් සේවාවේ නිරවද්‍යතාවය අවශ්‍ය ආකාරයට පාලනය කිරීමේ තාක්ශණය අමෙරිකානු ගුවන්හමුදාව සතුව පවති. ඒ අනුව අමෙරිකානු හමුදාවන් භාවිතාකරන යුධමය ජී.පී.එස් චිපයන් අඩංගු යන්ත්‍ර වලට බලපෑමක් නොමැතිව සිවිල් ජී.පී.එස් යන්ත්‍රවලින් සාවද්‍ය ස්ථාන තොරතුරු පෙන්වීමේ හැකියාවක් ඇතිබව පැවසේ. චන්ද්‍රිකා මගින් නිකුත් කරන සංඥා වෙනස් කිරීමෙන් මෙය සිදුකල හැකි බව යුධ තාක්ශණය පිලිබඳ විශේෂඥයන් අනුමාන කරයි.

මේ අනුව යුධමය අවස්ථාවකදී අමෙරිකානු ජී.පී.එස් තාක්ශණය මත යැපීම තමන්ට දැවැන්ත අවාසියක් බව චීනය හා රුසියාව නිගමණය කොට ඇත.

එහෙත් රුසියාව මෙන්ම චීනයද, අමෙරිකාව මෙන්ම සිය ග්ලෝනාස් හා බෙයිඩු පද්ධතියන් සිවිල් ප්‍රජාව සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන්නේ එම පද්ධති ක්‍රියාතමක් කරීමට යන අති විශාල බරපැනෙන් කොටසක් හෝ යලි ලබා ගැනීමේ අරමුණෙනි.

රුසියානු ග්ලෝනාස් හා චීන බෙයිඩු සේවාවන්ට අමතරව බටහිර යුරෝපීය රටවල්ද Galileo  ලෙසින් තමන්ගේම ජී.පී.එස් චන්ද්‍රිකා සේවාවක් සැළසුම් කරමින් පවතින්නේ බටහිර යුරෝපය පවා අමෙරිකාව මත අනවශ්‍ය ලෙස යැපීමේ අණතුර හඳුනාගෙන ඇති බැවිනි.



Comments

  1. නියම ලිපියක්.
    දිගටම ලියන්න.

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක්.

    ReplyDelete

Post a Comment