කූඩුවක සිටින සතෙකු, කූඩුවේ දැල මගහැර ඡායාරූපයට නගන්නේ කෙසේද? [Photographing Caged Animals - Everyday Photography Tutorial #1 ]

මේ පාසැල් නිවාඩු සමයයි. පාසැල් නිවාඩු සමයේ බොහෝ දෙනෙකු සිය දුවා දරුවන් සමග සත්තුවත්ත නැරඹීමට යන්නට බලාපොරොත්තු වෙනවා ඇති, නැතිනම් මේ වනවිටත් ඔබ සත්තුවත්ත නරඹා අවසන් ඇති. සත්වෝද්‍යානය වැනි විනෝදය හා දැනුම ලබාදෙන තැනකට දුවාදරුවන් සමග යන බොහෝ දෙමව්පියන් සිය ඩිජිටල් කැමරාවද රැගෙන යන්නට අමතක නොකරන්නේ ඒ විනෝදජනක පැය කිහිපයේ මතකසටහන් කිහිපයක් රැගෙනයාමේ අදහසින්.

දෙහිවල සත්වෝද්‍යානයේ නිතර සංචාරය කරන මා බොහෝ අවස්ථාවලදී අත්දැක ඇති දෙයක් නම් දැල් ගැසූ කූඩුවල සිටින අලංකාර පක්ශීන් හා වෙනත් සතුන් ඡායාරූපගත කරගැනීමේ අපහසුවයි. මෙවැනි දැල් ගැසූ කූඩුවක සිටින සතෙකුගේ ඡායාරූපයක් ගන්නා බොහෝ අවස්ථාවලදී කූඩුවේ සිටින සත්වයාට වඩා තීව්‍රලෙස කූඩුවේ දැල සටහන්වීම නිසා කූඩුවේ සිටින සත්වයා අපහැදිලි ලෙස ඡායාරූපයේ දැක්වෙනවා. ඡායාරූපය ගැනීමේදී ෆ්ලෑශරය දැල්වුනහොත් ඡායාරූපය තවත් අපහැදිලිවන්නේ ෆ්ලෑශරයේ ආලෝකයෙන් දැලවඩාත් දීප්තිමත්ව සටහන්වීම නිසයි.

කූඩුවේ සිටින සත්වයා අප දෑසට පැහැදිලිව පෙනුනත්, ඡායාරූපයට නගනවිට සත්වයා අපහැදිලිව කූඩුවේ දැල ඉස්මතුවී සටහන් වන්නේ ඇයි?

අප දෑස, අප නොදැනුවත්වම අපට දැකබලාගත යුතු දෙය වෙත නාභිගත කොට, අන් දසුන් වලින් අවධානය ඉවත්කිරීමට අපගේ මොලයේ දෘශ්‍යය පාලනය කරන කොටසට හැකිවෙනවා. එබැවින් අපට කූඩුව වටා ඇති දැල නොසලකා කූඩුව තුල සිටින සත්වයා දැකබලා ගැනීමේ හැකියාව තිබෙනවා.

එහෙත් ඔබගේ ඩිජිටල් කැමරාවට මෙම හපන්කම කිරීම අපහසුයි. විශේෂයෙන්ම බොහෝදෙනා භාවිතා කරන පොකට් කැමරාවල භාවිතාකරන්නාට නාභිගත කිරීම වෙනස්කිරීමේ හැකියාවක් නෑ. ඔටෝ-ෆෝකස් (auto-focus) හෙවත් ස්වයංක්‍රීය නාභිගත කිරීමේ උපක්‍රමය අනුව ස්වයංක්‍රීයවම නාභිගත කලයුතු වස්තුව හඳුනාගෙන නාභිගත වෙනවා.

නාභිගත කල යුතු වස්තුව හඳුනාගැනීම සඳහා බොහෝ ඩිජිටල් කැමරා භාවිතා කරන උපක්‍රමය වන්නේ කැමරාවේ සෙන්සරයට වැඩිපුරම ආලෝක ප්‍රමාණයක් පරාවර්තනය කරන වස්තුව වෙත නාභිගත වීමයි.


කැමරාව ඉදිරිපිට සිටගෙන සිටින පුද්ගලයෙකු හෝ වෙනත් දෙයක ඡායාරූපයක් ගැනීමේදී මෙම උපක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සෙන්සරයට වැඩිපුරම ආලෝකය පරාවර්තනය කරන වස්තුව, ඔබට ඡායාරූපගත කරගැනීමට අවශ්‍ය දෙය බවට වන සම්භාවිතාවය 99%ක් තරම් වන බැවින්.

එහෙත්, කූඩුවක් තුල සිටින සතෙකු ඡායාරූපයට නැගීමේදී නම් මෙම ඔටෝෆෝකස් උපක්‍රමය අසාර්ථක වනවා. එසේ වන්නේ සෙන්සරයට වැඩිපුරම ආලෝකය පරාවර්තනය වන්නේ කූඩුව තුල සිටින සත්වයාගෙන් නොව කූඩුව වටා තිබෙන දැලෙන් බැවිනුයි. එමනිසා කැමරාවේ ඔටෝෆෝකස් පද්ධතිය කූඩුවේ දැල නාභිගත කරගන්නා අතර කූඩුව තුල සිටින සත්වයා අපහැදිලි ලෙස සටහන් වනවා...

දෙහිවල සත්තුවත්තේ දැල්ගැසූ මොණර කූඩුවේ නිවැසියෙකු ...


දැල් ගැසූ කූඩුවක සිටින මෙවැනි සුන්දර පක්ශියෙකුගේ පැහැදිලි ඡායාරූපයක් ඔටෝෆෝකස් පොකට් කැමරාවකින් ගත නොහැකිද?

පිලිතුර - පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීම පහසුවෙන් කල හැකියි! පහතින් දක්වා ඇති ඡායාරූපය, ඉහතින් පෙන්වූ දැල්ගැසූ මොණර කූඩුවේ සිටිනා මොණරෙකුගේම පැහැදිලි ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප ඔබටත් ගත හැකියි.


ඒ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
1. කැමරාවේ ෆ්ලෑශරය ක්‍රියා විරහිත කරන්න. ෆ්ලෑශරය දැල්වීමෙන් දැල අනවශ්‍ය ලෙස ආලෝකමත් වීම සත්වයා හසුකර ගැනීමට බාධාවක්.

2. කූඩුව තුල ආලෝකය අඩුනම්, එම අඩු ආලෝක තත්වය මග හරවා ගැනීමට ඔබට පහත උපක්‍රම භාවිතාකල හැකියි. මෙම පහසුකම් බොහෝ පොකට් කැමරාවල තිබෙනවා.
i. කැමරාවේ ISO අගය වැඩිකරගන්න -  පොකට් කැමරාවල ISO අගය ස්වය්ංක්‍රීයව කැමරාව මගින් නිර්ණය කෙරෙතත්, භාවිතා කරන්නාට එම අගයන් වෙනස් කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා. ISO අගය වෙනස් කිරීමේ ක්‍රමය කැමරාවෙන් කැමරාවට වෙනස් වන බැවින් ඒ සඳහා ඔබ කැමරාවේ user manual එක කියවිය යුතුයි.
ISO අගයෙන් සිදුවන්නේ කැමරාවේ සෙන්සරයේ ආලෝක සංවේදීත්වය නිර්ණය කිරීමයි.  ISO අගය 800කට පමණ තබන්න. සමහර කැමරාවල ISO අගය 3200/6400 වැනි ඉහල අගයන් වලට වැඩිකල හැකි නමුත් ISO අගය එලෙස වැඩිකිරීමේදී ඡායාරූපයේ විබේධනය අඩුවී එය අපහැදිලි වෙනවා. 
ii.  Exposure Compensation ලෙස හඳුන්වන සීරුමාරුව, මදක් වැඩි කරන්න (+1 හෝ +2). සාමාන්‍ය තත්වයන් යටතේ Exposure Compensation අගය 0 වන අතර එය -1,-2,-3 ලෙස අඩුකිරීමටත්, +1,+2,+3 ලෙස වැඩි කිරීමටත් පහසුකම බොහෝ පොකට් කැමරාවල තිබෙනවා. බොහෝ කැමරාවල Exposure Compensation සීරුමාරුව සිදුකල හැකි බොත්තම පහත රූපයේ පෙනන ආකාරයට +/- සළකුණකින් සටහන් වෙනවා. එහය කැමරාවේ පිටුපස පාලන බොත්තම් පැනලයේ සටහන්කොට තිබෙනු ඇත.
Exposure Compensation සීරුමාරුව මගින් ඔබ ගන්නට සැරසෙන ඡායාරූපයේ අඳුරුකරගැනීම හෝ ආලෝකමත් කරගැනීමට හැකියාව තිබෙනවා. දැඩි සූර්යාලෝකයේ ඡායාරූප ගන්නාවිට මෙම සීරුමාරුව -1 හෝ -2 දක්වා අඩු කිරීමෙන් ඡායාරූප සුදුවී යාමේ ප්‍රවනතාවය අඩුකරගත හැකිවන අතර, මේ අවස්ථාවේදී කූඩුව තුල අඳුරු ස්වභාවයක් ගන්නේ නම් +1 හෝ +2 දක්වා වැඩිකර කර ගැනීමෙන් ඡායාරූපය තවත් පැහැදිලි කරගත හැකිවනවා.

3. කැමරාව හැකිතාක් දැල අසලටම - ගෑවෙන නොගෑවෙන තෙක්- ගෙන එන්න. මෙසේ කිරීමේදී ඔබ දැඩිලෙස සැළකිරීමත්ව එය කල යුතු වන්නේ කැමරාවේ කාචය කිසිලෙසකින් වත් දැලෙහි ගෑවීමට ඉඩ නොතැබිය යුතු බැවින්. ඔබ අපරීක්ශාකාරීව මෙය කලහොත් කාචය දැලෙහි ඇතිල්ලී සීරී යන්නට පුලුවන්.

හැකිතාක් ලං කරමින් කැමරාවේ කාචයට දැලෙහි එක් සිදුරක් තුලින් කූඩුව තුල සිටින සත්වයා හසුවන ආකාරයට සීරුමාරුවෙන් සකසන්න.

මෙසේ කරන අතරම කැමරාවේ shutter release බොත්තම (එනම් ඡායාරූපය ගැනීමට එබිය යුතු බොත්තම ) අඩක් තදකරගෙන (half-press) සිටින්න. Shutter release බොත්තම අඩක් තදකරගෙන සිටිනා විට කැමරාවේ ඔටෝ-ෆෝකස් පද්ධතිය ඔබ ගන්නට උත්සහ කරන වස්තුව වෙත නාභිගත වීමේ ක්‍රියාවලිය අරබයි එවිට ඔබට කැමරාවේ තිරයෙන් නරඹමින් හොඳම අවස්ථාවේදී බොත්තම තවදුරටත් තදකොට (full-press) ඡායාරූපය ගත හැකියි.

වැදගත්ම දැනමුතුකම - මෙවැනි ඡායාරූප හදිසියේ, දුවන ගමන් ගන්නට උත්සහ නොකරන්න. මෙවැනි ඡායාරූප ගන්නාවිට කල් ගතකොට, හොඳම අවස්තාව උදාවන තෙක් මදක් ඉවසිලිවන්තව සිටිය යුතුය. විශේෂයෙන් සත්තු වත්ත වැනි ජනාකීර්ණ ස්ථානයක නරඹන්නන් විශාල ප්‍රමාණයක් කූඩු වටා රැස්වෙන බැවින් ඔබට අවශ්‍ය පරිදී කැමරාව මෙහෙයවීමට සෙනග මදක් ඉවත්ව යන තෙක් ඉන්නට සිදුවිය හැකියි. එම කාළය කැමරාවේ ISO හා Exposure Compensation අගයන් නිවැරදිව සකසා ගැනීමට වැය කරන්න.
එමෙන්ම එක් හොඳ ඡයාරූපයක් ගැනීමට ඡයාරූප ගණනාවක් ගැනීමට සිදුවන්නට පුලුවන්. ඒ සඳහා කල් ගතකිරීමට සූදානම් වන්න. උදාහරණයක් ලෙස ඉහත මොනරාගේ ඡායාරූපය නිවැරදි ලෙස හසු කරගැනීමට මොණර කූඩුව අසල පැය භාගයක් පමණ රැඳෙන්නට මට සිදුවුනු අතර ඡායාරූප විශාල ප්‍රමාණයක් ගන්නා ලදී. එම අසතුටුදායක ඡායාරුප විශාල ප්‍රමාණයෙන් කොටසක් පහත thumbnail රූපයේ දක්වා ඇත. මෙය වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පීන්ට පවා පොදු දෙයකි. එනිසා ඔබගේ මුල් ඡායාරූප කිහිපය අසතුටුදායක නම් අධෛර්‍යමත් නොවන්න...



Comments

  1. ගොඩක් වටිනා පෝස්ටුවක්. විනෝදාංශයක් විදිහට ෆොටෝ ගන්න අපිටත් මේ කතාපහ නම් ගොඩක්ම වටිනාකමක් වේවි.. මින් ඉදිරියට මේ සියල්ල අත්හදා බලනවා මෙවැනි අවස්ථාවන්වලදි..ස්තුතියි...ගොඩක් වටිනා උත්සාහයක් අරන් ලියලා තියෙනවා. ආයෙමත් ස්තුතියි.

    ReplyDelete
  2. කරුණු ගොඩක් දැනගත්තා ස්තුතියි. දිගටම ලියන්න

    ReplyDelete
  3. වැඩේ හොදයි . අපිට ඉගෙන ගන්න දිගටම ලියන්න.

    ReplyDelete

Post a Comment