ඩිජිටල් කැමරා මෙගා-පික්සල් යුද්ධය අලුත් අතකට - හඳුනාගන්න UltraPixel තාක්ශණය



නිකොන්, කැනන්, සෝනි, සැම්සුන්ග් කැමරා නිශ්පාදකයින් සිය කැමරාවල ගුණාත්මක භාවය පිලිබඳව ලොවට කියාපාන්නට භාවිතාකරන ලද්දේ කැමරාවේ ආලෝක සංවේදකයේ මෙගාපික්සල් ප්‍රමාණයයි. මෙගාපික්සල් ප්‍රමාණය වැඩිවන විට කැමරාවේ ගුණාත්මක භාවය වැඩිවන බවට වැරදිමතයක් හිතාමතාම ජනිතකල කැමරා නිශ්පාදකයින් සෑම සයමසකටම වරක් එකිනෙකාට වඩා ඉහල මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති පොකට් කැමරා එලිදක්වන්නට වූ අතර ඡායාරූපකරණ තාක්ශණ විචාරකයින් මෙය කැමරා නිශ්පාදකයින්ගේ මහා මෙගාපික්සක්සල් යුද්ධය (The Great Megapixel War) ලෙස හඳුන්වන ලදී. වැඩිකල් නොගොස් ජංගම දුරකථන නිශ්පාදකයින්ද මෙම මෙගා පික්සල් යුද්ධයට අවතීර්ණවූ අතර මොවුන් අතරින් ඇපල් හා සැම්සුන්ග් අතර යුද්ධය දැන් දැන් අලෙවිකරණ යුද්ධයකට වඩා ඈතකට ගොස් ඇතිබව පෙනේ.

සැම්සුන්ග්-ඇපල් ස්මාර්ට්ෆෝන් සටන හා නිකොන්-කැනන්-සෝනි කැමරා සටන අතරට කලකට පෙර අතිශය ජනප්‍රිය Wildfire වැනි ජංගම දුරකථන නිපදවා ජනාදරයට පත්ව මෑතකදී සැම්සුන්ග් ගැලැක්සි මාදිලියේ දුරකථන කාණ්ඩය නිසා නොනගතයට තල්ලුවී සිටි HTC සමාගම, අල්ට්‍රා-පික්සල් නම් අලුත් තාක්ශණයකින් සන්නද්ධව සටනට බැස සිටී.

HTC One with UltraPixel digital camera


හෙට-අනිද්දාම එලිදක්වන්නට නියමිත HTC One ස්මාර්ට්ෆෝනයට ඇතුලත්ව අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිමැවුනු පලමු ඩිජිටල් කැමරාව එලිදැක්වෙනවා. මෙය සැම්සුන්ග් ගැලැක්සි S4 ෆෝනයට ඉතා හොඳ තරඟයක් දෙනු ඇතැයි විචාරකයින් පවසනවා.

අල්ට්‍රා-පික්සල් තාක්ශණය යනු කැමරාවක ආලෝක සෙන්සරය මත අලෝක සංවේදී පික්සල් ඇතිරීමේ අලුත් ක්‍රමවේදයකි. සාමාන්‍ය මෙගාපික්සල් තාක්ශණයේ කැමරාවල ආලෝක සෙන්සරය මත වැඩිපුර මෙගා-පික්සල් ප්‍රමාණයක් අතුරවන්නේ එම පික්සල් වල ප්‍රමාණය කුඩා කීරීමෙනි. එවිට සෙන්සරයේ ප්‍රමාණය විශාල නොකොට වැඩි පික්සල් ප්‍රමාණයක් සෙන්සරයේ පෘශ්ඨය මත ඇතිරීමට හැකිවනවා.

අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සෙන්සර් ප්‍රමාණයෙන් විශාල වන අතර එය මත අතුරා ඇති පික්සල වල විශාලත්වයද වැඩි බැවින් වැඩි ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කොටගෙන වඩා පැහැදිලි ඡායාරූප ලබාදිය හැකිවනවා.
අල්ට්‍රා-පික්සල් තාක්ශණය ක්‍රියාත්මක වන්නේ මීට සපුරා විරුද්ධ ආකාරයටයි. මෙහිදී සෙන්සරයේ ප්‍රමාණය විශාල වන අතර ඒ මත ප්‍රමාණයෙන් විශාල පික්සල් අඩු ප්‍රමාණයක් ඇතුරනවා. උදාහරණයක් ලෙස HTC One ස්මාර්ට්ෆෝනයේ කැමරාවේ විබේධනය මෙගාපික්සල් වලින් ප්‍රකාශකල හොත් එය මෙගාපික්සල් 4ක පමණ කැමරාවක්. එහෙත් මෙම කැමරාවේ පික්සල් අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිර්මාණය කල ප්‍රමාණයෙන් විශාල පික්සල් වන බැවින් එම පික්සලයකට වැඩි ආලෝක ප්‍රමාණයක් (එනම් ෆෝටෝන ප්‍රමාණයක්) ග්‍රහණය කරගැනීමේ හැකියාව තිබෙන නිසා, කැමරාවෙන් ලැබෙන සාඵල්‍ය විබේධනය (true resolution) මෙගාපික්සල් අටක කැමරාවකට සමාන වන බව පැවසෙනවා.

සාමාන්‍ය සෙන්සරයක පික්සලයක ප්‍රමාණය මයික්‍රෝමීටර් 1.4ක් වන අතර අල්ට්‍රා-පික්සල් තාක්ශණයෙන් නිමැවුනු පික්සලයක ප්‍රමාණය මයික්‍රෝමීටර් 2ක් වනවා. ඒ අනුව අල්ට්‍රා-පික්ස්ලයක ආලෝකය ග්‍රහණය කරගත හැකි ප්‍රදේශය සාමාන්‍ය පික්සලයක මෙන් දෙගුණයක ප්‍රමාණයක් වනවා.
UltraPixel තාක්ශණය මෙගාපික්සල් තරඟය මෙන්ම පාරිභෝගිකයින් රවටන තවත් අලෙවිකරණ මායාවක්?


න්‍යායාත්මකව, අල්ට්‍රාපික්සල් තාක්ශණයේ වාස ඉහත ආකාරයට විස්තර කල හැකිවුනත්, සමහර තාක්ශණ විචාරකයින්ට අනුව මෙයත් පාරිභෝගිකයින්ව රවටන්නට නිර්මාණය කෙරුනු අලෙවිකරණ විජ්ජාවක්. අලුත් නමක් පටබැන්දත් මෙය නව තාක්ශණයක් නොව, තාක්ශණය ආපස්සට ගෙන ගොස් පරණ තාක්ශණයක් අලුත් ලේබලයක් යටතේ ඉදිරිපත් කිරීමක් බවත් ඔවුන් පවසනව. මෙම චෝදනාවේ යම් සත්‍යතාවයක් තිබෙන බව පමණක් දැනට පැවසිය හැකි අතර, අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සැබෑ හැකියාවන් HTC One ෆෝනයේ අල්ට්‍රාපික්ස්ල් කැමරාවෙන් ගන්නා ඡායාරූප අන්තර්ජාලයට එකතුවූ පසු දැන ගත හැකියි.





Comments

  1. මුං ඔක්කොම අපිව අන්දනවා..
    අපිත් ඇන්දෙනවා දැන දැනම...

    ReplyDelete
  2. ඔබගේ තොරතුරැවලට ස්තුතියි

    ReplyDelete

Post a Comment