"ඇපල් සමාගමේ නිර්මාණශීලිත්වය හා නවෝත්පාදන හැකියාවන් අඩුවෙමින් යනවා!!.." ඇපල් සමාගමේ සම-ප්‍රාරම්භක ස්ටීව් වොස්නියැක්

සිටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් ඇපල් සමාගම ආරම්භ කල මුල් කාළයේ සිය මුල්ම නිශ්පාදනය වූ Apple I පුද්ගලික පරිගණකයේ මව් පුවරුව සමග. මෙම මව් පුවරුව නිර්මාණය කලේ ස්ටීව් වොස්නියැක් විසිනුයි.
ඔබ සමහරවිට ස්ටීව් වොස්නියැක් ගැන අසා නැතුව ඇති. ස්ටීව් ජෝබ්ස් තරමට ප්‍රසිද්ධ නැතත්, ස්ටීව් වොස්නියැක් පරිගණක පිලිබඳ උනන්දුවක් දක්වන, පරිගණක ඉතිහාසය, විශේෂයෙන්ම පුද්ගලික පරිගණක (Personal Computer) ඉතිහාසය පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට අමුත්තෙකු නොවේ. 

ස්ටීව් වොස්නියැක් යනු ස්ටීව් ජෝබ්ස් සමග 1976 අප්‍රේල් 1වැනිදා ඇපල් සමාගම ආරම්භ කල සම-ප්‍රාරම්භකයායි. එසේත් නැතිනම් ඇපල් සමාගම මෙලොවට ගෙන ආ පියවරුන් දෙදෙනාගෙන් දැන් ජීවතුන් අතර සිටින්නායි. එමෙන්ම ඇපල් සමාගම මුලින්ම ලොව කරලියට ගෙනා "Apple I" පුද්ගලික පරිගණකය නිර්මාණය කල, ඇපල් සමාගමේ රැඩිකල් නවෝත්පාදන රැළ්ලේ පළමු තාක්ශණික මායාකාරයාද ස්ටීව් වොස්නියැක් මිස වෙන කිසිවෙකුත් නොවේ.  ජෝබ්ස් සමාගමේ ප්‍රවර්ධන කටයුතු පිලිබඳව අවධානය යොමුකරමින් ඇපල් සමාගමේ සමාජ මුහුණත (public face of Apple Inc.) වෙද්දී ස්ටීව් වොස්නියැක් හා ඔහුගේ මිතුරන් මෙන්ම සම සේවකයින් වූ තරුණ ඉන්ජිනේරුවන් කණ්ඩායම ඇපල් සමාගමේ (එවකට) කුඩා නිර්මාණ විද්‍යාගාරයේ රෑ නිදි නොලබා පහන් කරමින් අලුත් නිර්මාණ සඳහා පර්යේෂණ වලට කැපවුනා.

පසු කලක ස්ටීව් ජෝබ්ස්ගේ උද්ධච්ච කළමණාකරණ විලාශය පිලිබඳව කළකිරී ඔහු හා විරසකව සමාගමේ සියලු වගකීම් වලින් ඉවත් වූවත්, එදා සිට අද දක්වාම ඇපල් සමාගම සියලු ක්‍රියාකාරකම් පිලිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරන්නේ ඔහු සැබැවින්ම තමන් බිහිකරන්නට දායකවූ සමාගමට ඇති දැඩි ඇල්ම නිසායි.

ස්ටීව් වොස්නියැක් අද.....
ඇපල් සමාගම කෙරෙහි ස්ටීව් වොස්නියක්ගේ ඇල්ම කෙතෙක්ද යත් ඇපල් සමාගම ලොවට හඳුන්වාදෙන සෑම අලුත් නිශ්පාදනයක්ම එය වෙළද පොලේ විකුණන්නට ඉදිරිපත් කරනලද පලමු දිනයේදීම අනෙකුත් ඇපල් සමාගමේ ලෝලීන් සමග පැයගණනාවක් පෝලිමේ රැඳී සිට ඒවා මිලදී ගැනීමට එදාසිටම පුරුදුව සිටිනවා.

Woz යන ආදර නාමයෙන් හඳුන්වන වොස්නියැක් මෑතකදී ලබාදුන් මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම ඇපල් සමාගමේ අනාගතය පිලිබඳව තමන් එතරම් සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ කලා. ඔහු "Apple Insider" සඟරාවට හා "C|net" තාක්ශණ පුවත්සේවාවට පලකල අදහස් කිහිපයක්.....

"මම හිතනවා අපි සැම්සුන්ග් සමාගමට තරමක් පිටුපසින් ඉන්නේ කියලා. සැම්සුන්ග් කියන්නේ ඉතාම හොඳ තරඟකරුවෙක්.....ඇපල් නිශ්පාදනවල features වලට වඩා අපේ තරඟකරුවන් ඉදිරිපත්කරන නිශ්පාදනවල features ඉදිරියෙන් තියෙනවා කියලා කියන්න පුලුවන්....."

"ඇපල් මැප්ස් වැඩසටහනත් හරිම කණගාටුදායක විධියට භාවිතාකරන්නන් නොමග යවනවා...ඇපල් සමාගමෙන් එලිදකින නිශ්පාදනයක් මෙසේ නොවිය යුතුයි..."

""ඇපල් සිරී කටහඬ හඳුනාගෙන පිලිතුරු දීමේ මෘදුකාංගය අසාර්ථකයි කියලා මට හිතෙනවා....ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කටහඬ හඳුනාගෙන පිලිතුරු දීමේ හැකියාව ඇපල් සිරී මෘදුකාංගයට වඩා බොහෝ ඉහලයි...."...උදාහරණයක් විදියට මම වාහනය පදවන ගමන් මගේ අයිෆෝනයේ සිරී වැඩසටහනට මගේ ප්‍රියතම අවන්හලේ නම කියලා එයට ඇමතුමක් ගන්න කිව්වොත් බොහෝ වෙලාවට දෙතුන් පාරක් කිව්වත් සිරීට මගේ විධානය තේරුම්ගන්න බෑ...ඒත් මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට එකපාරක් කිව්වම හරියට තේරුම් අරගෙන ඇමතුම සම්බන්ධ කරනවා......මේ දුර්වලතාවය නිසා ඇපල් සිරී මෘදුකාංගයේ ප්‍රායෝගික ප්‍රයෝජන අඩුයි..."

"මම තවමත් මගේ අයිෆෝන් එකට කැමතියි, ඒත් මට කණගාටුයි මගේ අයිෆෝන් එකට ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම සංස්කරණය අඩංගු ස්මාර්ට්ෆෝනයකට කරන්න පුලුවන් දේවලුත් පුලුවන්නම්..."

"මම ඒ කාලේ ඉඳන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෘදුකාංගයට කැමති නෑ...ඒත් මේ ලඟදී නිකුත්කරපු Microsoft Surface Pro ටැබ්ලට් පරිගණකය හා එහි වින්ඩෝස් 8 මෘදුකාංගය දැක්කම හිතෙනවා මිය ගිය ස්ටීව් ජෝබ්ස් මයික්‍රොසොෆ්ට් සමාගම තුල නැවත ඉපදිලාද කියලා....Surface Pro ටැබ්ලට් පරිගණකය ඒ තරම්ම ආකර්ශණීය නිර්මාණයක්...මයික්‍රොසොෆ්ට් සමාගමට ලස්සන යමක් නිර්මාණය කිරීමේ හැකියාව මේ වනතෙක් තිබිලා නෑ...ආකර්ශණීය පරිගණක මෙවලම් නිර්මාණය කිරීමේ ඒකාධිකාරිය තිබුනේ ඇපල් සමාගමට....මේක අයිපෑඩ් එකට අභියෝගයක් වෙන්න පුලුවන්...."

"කණගාටුයි කියන්න...ඒත් ඇපල් සමාගම ඔවුන්ගේ සාර්ථකත්වය නිසාම උඩඟු වෙලා...අහංකාර වෙලා...ඔවුන් හිතන්න පටන් අරගෙන තියෙනවා හැම දෙයක්ම හරියට කරන්න පුලුවන් ඔවුන්ට විතරයි කියලා....ඒක ලොකු වැරද්දක්....අති දක්ශයෝ ඉන්නේ ඇපල් සමාගමේ විතරක් නෙමෙයි...ගූගල්...මයික්‍රොසොෆ්ට්...ඔය හැම සමාගමකම හැබෑ දක්ශයෝ ඉන්නවා...."

"ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාණ හා සංවර්ධන කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරු ඇන්ඩි රූබින්ව මම හොඳට දන්නවා....ඔහු ඉතා දක්ශ ඉන්ජිනේරුවෙක්...ඔහු හා ඔහුගේ කණ්ඩායම ඇපල් iOS එකත් ගූගල් ඇන්ඩ්‍රොයිඩ් එකත් අතර පරතරය බොහොම අඩුකරලා...දැන් ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් iOS බොහෝ සමානයි..."

"ඇපල් සමාගම සැම්සුන්ග් සමාගමට නඩුදාපු එකට මම තදින් විරුද්ධයි....ඇපල් සමාගම නඩුදාලා තියෙන්නේ තාක්ශණය කොපිකෙරුවා කියල නෙමෙයි, නිර්මිතය (design) කොපි කෙරුවා කියලා...පිස්සු වැඩක්...."

Sources:

http://appleinsider.com/articles/13/02/07/wozniak-apple-now-somewhat-behind-in-smartphone-features
http://news.cnet.com/8301-17852_3-57550839-71/woz-microsoft-might-be-more-creative-than-apple/
http://news.cnet.com/8301-17852_3-57568219-71/woz-apple-now-somewhat-behind/
http://news.cnet.com/8301-17852_3-57530563-71/woz-apple-got-arrogant/
http://www.techweekeurope.co.uk/news/apple-co-founder-steve-wozniak-praises-android-criticises-siri-54661
http://news.cnet.com/8301-17852_3-57512463-71/woz-i-hate-the-apple-samsung-patent-fight/
http://appleinsider.com/articles/12/07/09/steve_wozniak_on_microsoft_surface_steve_jobs_came_back_reincarnated_at_microsoft


Comments

  1. මමත් එදා ඉඳන්ම ඇපල් වලට ආදරේ කරන කෙනෙක් හැබැයි දැන් කනගාටුවෙන් උනත් කියන්න ඕනේ ඇපල් බැහැලා

    ReplyDelete
  2. “මේ මනුස්සයා“ ළමයින් වෙනුවෙනුත් සමාජ සේවා වැඩ ගොඩක් කරනවා කියලා ජොබ්ස් මිය ගිය දිනවල පලවුනු ලිපිවල කියැවුනා. මමත් වොස්නියැක් මහත්මයා දැනගත්තේ ඒ ලිපි වලින්.... එතකල් හිතාගෙන හිටියේ ඇපලලට ඉන්නේ එක තාත්තා කෙනෙක් කියලා.....!

    ReplyDelete

Post a Comment