ෆොන්ටෙරා - DCD අර්බුදයෙන් බැටකන ලොව දැවැන්තම කිරි නිෂ්පාදකයා හඳුනාගන්න...

Image Source: http://www.adaderana.lk/news_images/744119924fonterra_logo.jpg
නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන කිරිපිටිවල DCD නම් රසායණිකය අඩංගු බවත් ඒ අනුව එම කිරිපිටි තහනම් කලයුතු බවට මතයක් මෙරට තුල පැතිරී යනවා. දැනටමත් රජය ෆොන්ටෙරා සමාගම සිය කිරිපිටි ආරක්ශිත බවට අඟවන එක්තරා දැන්වීමක් ප්‍රචාරණය තහනම් කොට තිබෙනවා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා තවත් මහජන සංවිධාන ගණනාවක් ආනයනික විශ සහිත කිරිපිටිවලින් මහජනයා ආරක්ශාකරගැනීමේ සටනේ යෙදී සිටිනවා.

මෙම ලිපියේ අරමුණ සුප්‍රකට ඇන්කර් කිරිපිටි සන්නාමයේ අයිතිකරු වන ෆොන්ටෙරා සමාගම පිලිබඳව මහජනතාවගේ අවබෝධය පුළුල් කිරීමයි. 

මෙම ලිපියේ අඩංගු කරුණු සියල්ලම පොදුස්වාමිත්වය (public domain) තුල පවතින මූලාශ්‍රවලින් උපුටාගන්නා ලද අතර එම මූලාශ්‍ර සියල්ලම මේ ලිපියේ අගින් සඳහන් කොට ඇත.

What is Fonterra?

ෆොන්ටෙරා යනු නවසීලන්තයේ මහා පරිමාණ කිරිගොවීන්ගේ සමූපාකාර ව්‍යාපාර හඳුන්වන නාමයයි. Fonterra Co-operative Group Limited  ලෙස හැඳින්වෙන මෙය බහුජාතික කිරි නිශපාදන සමාගමක් ලෙස හඳුනාගැනෙනවා.

Anchor මෙම සමාගම සතු ප්‍රධානතම කිරි නිශ්පාදන සන්නාමයයි.

නවසීලන්තයේ මහාපරිමාණ කිරිගොවීන් 10,600 දෙනෙකු හා නවසීලන්ත රජය මෙහි කොටස්කරුවන් බව විකිපීඩියා විශ්වකෝශය සඳහන් කරනවා. මෙම දැවැන්ත සමූපාකාර ව්‍යාපාරය ෆොන්ටෙරා ලෙස බෞතීස්ම වුනේ 2001 වසරේදීයි. මීට පෙර මෙය විශාල කිරිගොවි සමූකාර දෙකක්, එනම් "නවසීලන්ත කිරි ව්‍යාපාර සමූහය" හා "කිවි කිරිනිශ්පාදන සමූපාකාරය" ලෙස වෙනවෙනම ක්‍රියාත්මක වූ අතර නවසීලන්ත කිරි මණ්ඩලය නවසීලන්තයේ කිරි අපනයනයේ ඒකාධිකාරය දැරුවා.

2001 වසරේදී නවසීලන්ත කිරි මණ්ඩලය (New Zealand Dairy Board) හා මෙම සමූපාකර දෙක එකාබද්ධ කොට ෆොන්ටෙරා සමූපාකාර ව්‍යාපාරය පිහිටවනු ලැබුවා.

ලොව කිරි නිශ්පාදනයෙන් 30% ප්‍රමාණයකට හිමිකම් කියන ෆොන්ටෙරා සමාගම ලොව විශාලතම කිරි නිශ්පාදන අපනයන සමාගම වනවා. 2010-2011 මූල්‍ය වර්ෂය තුල ෆොන්ටෙරා සමාගම නවසීලන්ත ඩොලර් බිලියන 19.8ක ආදායමක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2079ක්) ඉපයූ බව වාර්තා වනවා.

2005 වසරේදී ෆොන්ටෙරා සමාගම ඔස්ට්‍රේලියාවේ කිරි නිශ්පාදනයටද සම්බන්ධ වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි කලින් නෙස්ලේ සමාගම සතුවූ විශාල කිරි කර්මාන්තශාලාවක් අත්පත්කර ගැනීමෙන්. දැන් ෆොන්ටෙරා සමාගම ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවීන්ගේ නිශ්පාදන විශාල වශයෙන් මිලදී ගන්නා අතර එය සමස්ත ෆොන්ටෙරා කිරි නිශ්පාදනයෙන් 14% පමණ වන බව වාර්තා වනවා.

ෆොන්ටෙරා සමාගම හා බැඳුනු කිරි නිශ්පාදන අර්බුද...

2013 ජනවාරි මස සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් වාණිජ පුවත්පතට ලිපියක් සපයන ලේඛිකා ලුසී ක්‍රේමර් ෆොන්ටෙරා සමාගම හා සබැඳුනු පාරිභෝජනයට නොසුදුසු කිරි නිශ්පාදන අර්බුද කිහිපයක විස්තර සපයනවා.

* 2012 නොවැම්බරයේදී ෆොන්ටෙරා සමාගම නවසීලන්ත ඩොලර් මිලියන 525ක ආයෝජන අරමුදලක් හරහා ආයෝජකයින්ගෙන් මුදල් ලබාගත් අතර මෙම ආයෝජන අරමුදල ආයෝජකයින් හට ඉදිරිපත් කරන අවස්තාව වන විටත් ෆොන්ටෙරා සමාගම සිය කිරි නිශ්පාදනවල අහිතකර DCD රසායණිකය අඩංගු බව දැනසිටිය මුත්, එම වැදගත් කරුණ ආයෝජකයින්ට හෙලි නොකොට සඟවාගෙන සිටි බවට චෝදනා නගනවා.

ෆොන්ටෙරා සමාගමට අනුව ඔවුන් එම තොරතුරු හෙලි නොකොට සිටියේ DCD රසායණිකය සුලු ප්‍රමාණ වලින් අඩංගු වීම එම කිරි පාරිභෝජනයට බාධාවක් නොවන බවට නවසීලන්ත රජයෙන් තමන්ට උපදෙස් ලැබුනු බැවින් බවට සඳහන් කරනවා. නවසීලන්තයේ විශාලතම විදේශ විනිමය උපයන්නා වන කිරි කර්මාණ්තය ආරක්ශා කරගැනීමට නවසීලන්ත රජය විශේෂ උනන්දුවක් ගන්නා බව රහසක් නොවේ. 2010 විකිලීක්ස් කේබල් හරහා හෙලිවුනු තොරතුරු අනුව නවසීලන්ත රජය ඉරාකයට 2003 වසරේදී හමුදා බළඇණි යැවුවේ ඉරාකය වෙත කිරි අපනයන වෙළඳාම ආරක්ශා කර ගැනීම සඳහා අමෙරිකාව සතුටු කිරීමේ අරමුණින් බවට සැකයක් තිබෙනවා. මෙහි ප්‍රධාන වාසිය නවසීලන්ත කිරි දැවැන්තයා වන ෆොන්ටෙරා සමාගමට ලැබුනු බව පිලිගැනීමට සිදුවෙනවා.

* 2008 චීනයේ මෙලමයින් විශ අඩංගු කිරි අර්බුදය - මෙයට මැදිවී ඇත්තේද ෆොන්ටෙරා සමාගම 43%ක කොටස් අයිතිය තිබූ සන්ලූ ගෲප් නම් චීන කිරි නිශ්පාදන සමාගමයි. ජලය යොදා තනුක කරන ලද කිරිවල ප්‍රෝටීන අගය ඉහල දැමීම සඳහා ප්ලාස්ටික් රසායණිකයක් වන මෙලමයින් එකතු කිරීමට මෙම සමාගමේ නිළධාරීන් කෲර ලෙස කටයුතු කල අතර එමගින් කුඩා බිළිඳුන් 6 දෙනෙකුට මරු කැඳවා තවත් 300,000ක් බිළිඳුන් රෝගීකල මෙම මහා අපරාධයට චීන හවුල්කාර සමාගම කෙලින්ම වගකිව යුතුවුවත්, එම කුමණ්ත්‍රණයට ෆොන්ටෙරා සමාගමේ කළමණාකාරිත්වය කෙලින්ම සම්බන්ධ නොවූවත් 43%ක කොටස් හිමිකරුවෙකු වන ෆොන්ටෙරා සමාගමට එම වගකීමෙන් ගැලවිමේ හැකියාවක් නොමැති බව විචාරකයින් පවසනවා. 

මෙයට හේතුව මෙම අර්බුධයේදී ෆොන්ටෙරා සමාගම කෙලින්ම වගකීම ගන්නවා වෙනුවට චීන ව්‍යාපාරික ආයෝජන ආරක්ශාකර ගැනීමේ ව්‍යායාමයක යෙදී සිටි බවට චෝදනා එල්ල වන බැවිනුයි. එවක නවසීලන්ත අගමැතිනිය වූ හෙලන් ක්ලාර්ක් පවා ෆොන්ටෙරා සමාගම මෙම අර්බුදයේදී ඉතා මන්දගාමීව ක්‍රියාත්මක වූ බව පවසා තිබෙනවා. 2008 සැප්තැම්බර් මස 21 පලකල ලිපියක් මගින් නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත මෙම කරුණු හෙලිකල අතර එම පුවත්පත ෆොන්ටෙරා ප්‍රධාන විධායක ඇන්ඩෲ ෆෙරියර් ගේ නායකත්වය හා සදාචාරාත්මක ප්‍රතිපත්ති ප්‍රශ්ණ කිරීමකට බඳුන්කලා.

DCD රසායනිකය යනු කුමක්ද?

DCD යනුවෙන් හඳුන්වන්නේ 2-2-Cyanoguanidine නම් රසායණිකයයි. අවර්ණ ඝණ ද්‍රව්‍යයක් ලෙස පවතින මෙය පහසුවෙන් ජලයේ දියවනවා. නවසීලන්තයේ ගවයන් සඳහා සිදුකරන තෘණ වගා සඳහා භාවිතා කරන මෙය යොදන්නේ තෘණ වලට යොදන පොහොර වල ඇති නයිට්‍රේට  ජලයට එක්වී ගංගා ඇළදොල දූශණය වීම වැළැක්වීම සඳහායි.

මෙය ගවයන් ආහාරයට ගන්නා තෘණ සමග එක්ව ඔවුන් නිපදවන කිරිවලට එකතුවී තිබනවා. DCD ඉහල මාත්‍රාවලදී මිනිසාට හානිකර විය හැකියි.

මූලාශ්‍ර:

  1. http://en.wikipedia.org/wiki/Fonterra
  2. http://en.wikipedia.org/wiki/2013_Fonterra_recall
  3. http://en.wikipedia.org/wiki/Anchor_(brand)
  4. http://en.wikipedia.org/wiki/2-Cyanoguanidine
  5. http://online.wsj.com/article/SB10001424127887323539804578263033021413140.html
  6. http://www.3news.co.nz/Fonterra-contract-behind-NZ-involvement-in-Iraq/tabid/419/articleID/191612/Default.aspx
  7. http://johnminto.wordpress.com/2008/09/30/fonterra-has-failed-us-all/
  8. http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10533487&pnum=0
  9. http://www.3news.co.nz/Government-downplays-DCD-risk/tabid/418/articleID/284532/Default.aspx
  10. http://www.nzherald.co.nz/nz/news/article.cfm?c_id=1&objectid=10861424







Comments

  1. හොද සටහනක්.
    කෙසේ නමුත් අපේ රටේ කස්ටිය පිටරට කිරි බොන එකෙන් ගලවා ගන්නට තිබෙනවා නම් ලොකු දෙයක්.

    ReplyDelete
  2. මේ කාලය තමයි රට පුරා දියර කිරි ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාව. නුවරඑලියේ කිරි ගොවීන්ගේ ප්‍රශ්නවලට ස්ථිර විසදුමක් දිය හැකි අවස්තාව. අපගේ මෝඩ අමන පාලකයන් මේ අවස්ථාවෙන්වත් ප්‍රයෝජනයක් ගනිත්වා! ලිපිය ලියු ඔබටත් බොහෝ පින්

    ReplyDelete
  3. Please read this version too...

    http://nz.news.yahoo.com/a/-/mp/18448940/sri-lanka-using-wrong-dcd-test-fonterra/

    ReplyDelete

Post a Comment