Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 21 August 2013

හඳුනාගන්න : Jet Fighters [Past, Present & Future]



ප්‍රහාරක හා සටන්වදින යානා යනු මොනවාද? (What are fighter planes?)

ප්‍රහාරක අවියක් ලෙස ගුවන් යානා භාවිතය ඇරඹුනේ 1914 සිට 1918 දක්වා පැවතුන ප්‍රථම ලෝක මහා සංග්‍රාමය සමයේදීයි. මුලින්ම සතුරු කඳවුරු වල ඡායාරූප ගැනීම සඳහා ගුවන් යානා යොදාගැනුනු අතර යුධය දරුණු වත්ම සතුරු පෙරමුණු වලට බෝම්බ හෙලීම සඳහා ගුවන් යානා අනුවර්තනය කරගන්නා ලදී. ඊලඟ පියවර වුනේ බෝම්බ හෙලන යානා පලවා හැරීමට හා විනාශ කරදැමීමට මැශින් තුවක්කු සවිකරගත් ගුවන් යානා පිටත් කර හැරීමයි. මෙලෙස මැශින් තුවක්කු සවිකරගත් යානා මුල්ම සටන් වදින යානා (fighter aircraft) බවට පිලිගැනුනා.

මැශින් තුවක්කුවක් සවිකරන ලද ජර්මන් යුධ ගුවන් යානයක් - ප්‍රථම ලෝක මහා සංග්‍රාමය

එහෙත් මේ කාලයේ යුධ කටයුතු සඳ භාවිතා කෙරුණේ සාමානය ගමන් බිමන් වල යොදාගන්නා ගුවන් යානාමයි. ඒවා ඉතා පහසුවෙන් බිම හෙලිය හැකි, අඩු වේගයෙන් පියාසර කරන යානා වුනා. යුධ අවියක් ලෙස ගුවන් යානා දියුණු කිරීම ඇරඹුනේ ජර්මනියේ ආඥාදායකයා ලෙස හිට්ලර් බලයට පත්වීමෙන් පසුවයි. මෙසර්ශ්මිට්, හයින්කෙල්, ඩෝනියර්, ජුන්කර්ස් වැනි අති දක්ශ ගුවන්යානා නිර්මාණකරුවන් හිට්ලර්ගේ ගුවන් හමුදාවට අති විශිෂ්ඨ ප්‍රහාරක යානා, සටන්වදින යානා, හා බෝම්බ හෙලන යානා නිර්මාණය කර දුන්නා. මේ අනුව ප්‍රහාරක හා සටන්වදින යානාවල නිළ ආරම්භය ලෙස ගැනෙන්නේ දෙවන ලෝක යුධ සමය හා ආසන්න පස්චාත් යුධ සමයයි.

Messerschmitt Bf 109 - ජර්මන් මෙසර්ශ්මිට් ප්‍රහාරක යානාවක් - දෙවන ලෝක මහා සංග්‍රාමය
RAF Spitfire - බ්‍රිතාන්‍ය රාජකීය ගුවන්හමුදාවේ ස්පිට්ෆයර් ප්‍රහාරක යානය - දෙවන ලෝක සංග්‍රාමය

පරම්පරාව (generation) අනුව ප්‍රහාරක යානා වර්ගීකරණය

Generation 1: Jet propulsion - (mid-1940s to mid-1950s)

පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා බිහිවුනේ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන්වෙමින් පවතින අවදියේයි. මෙම යානාවල ඇති විශේශත්වය ඒවා අවරපෙති වලින් නොව ජෙට් එන්ජින් වලින් බලගැන්වීමයි (Jet Propulsion). මේ නිසා මෙම යානාවල වේගය අවරපෙති යානා වලට වඩා බෙහෙවින් අධික වුනා. ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක යානාවන් වන්නේ හිට්ලර්ගේ මෙසර්ශ්මිට් 262 ප්‍රහාරක යානාවයි. ජෙට් බලයෙන් පියාසර කිරීමට අමතරව රේඩාර් වැනි නවීන උපකරන මේ යානාවල අඩංගුවුනේ නෑ. තාක්ශණය එතරම් දියුණු නොවීම මෙයට හේතුවයි. මැශින් තුවක්කු හා ප්‍රාථමක  වර්ගයේ රොකට්ටු මේ යානාවල ප්‍රධාන ආයුධ වුනා.

පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා ලයිස්තුව (විකිපීඩියා විශ්වකෝශයෙනි )

දෙවන පරම්පරාවේ යානා නිර්මාණයත් සමග ජෙට් ප්‍රහාරක යානා වල ස්වර්ණමය යුගය ඇරඹෙයි


Generation 2: (mid-1950s to early 1960s)
1950 දශකයේ මැද භාගයේ සිට 1960 දශකයේ අවසානය දක්වා නිර්මාණය වුනු ප්‍රහාරක හා සටන්වදින යානා දෙවන පරම්පරාවේ යානා ලෙස සලකනවා. පලමුවන පරම්පරාවේ යානා නිර්මාණයට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ගුවන් සටන් වලදී  උගත් පාඩම් මහත් සේ උපකාරී වූවාසේම දෙවන පරම්පරාවේ යානා කොරියානු යුද්ධයේදී සිදුවුනු ගුවන් සටන් වලදී ලබාගත් අත්දැකීම් වලින් වැඩිදියුණු වුනා.

වේගයෙන් වැඩි දියුණු වෙන ජෙට් එන්ජින් තාක්ශණය නිසා මේ ප්‍රහාරක යානා තව තවත් වේගත්වූ අතර යානයේ වේගය ක්ශණිකව වැඩි කරන ආෆ්ටර්බර්නර් (after-burner) තාක්ශණය හඳුන්වාදුන්නේ දෙවැනි පරම්පරාවල යානායි. එමෙන්ම වායුගතිවිද්‍යාවේ (aerodynamics) නවතම සොයාගැනීම් නිසා මෙම යානා පසුපසට විහිදෙන අත්තටු (swept wing) හා ඩෙල්ටා හැඩැති අත්තටු (delta wing) සහිතව නිර්මාණය වුනා. අධික වේගයෙන් පියාසර කරන මේ යානාවල පෘශ්ඨයන් වායු ඝර්ශණය (air-friction) නිසා දැඩි ලෙස රත්වී ඇදවීයාම වැලැක්වීමට නව මිශ්‍රලෝහ නිර්මාණය කෙරුණා.

මේ අතරම 1954දී සිලිකන් ට්‍රාන්සිස්ටරය නිපැදවීමත් සමගම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහත් විප්ලවයක් වූ අතර සිලිකන් ඉලෙක්ට්‍රොනික තාක්ශණය ප්‍රහාරක යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති විශාල ලෙස වැඩිදියුණු වුනා. මෙහි එක් ප්‍රථිපලයක් වුනේ ඉතා බලසම්පන්න එහෙත් ප්‍රමාණයෙන් කුඩා රේඩාර් යන්ත්‍ර ප්‍රහාරක යානා වලට සවිකිරීමට හැකිවීමයි. මේ අනුව දෙවැනි පරම්පරාවේ යානා වලට දෘශ්‍ය මායිමෙන් එහා (beyond visual range tracking) ගමන් ගන්නා සතුරුයානා පිලිබඳව නියමුවා දැනුවත් කිරීමට හැකිවුනා.  ඒ අතරම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ දියුණුව සමගම දෙවන පරම්පරාවේ යානාවලට අධෝරක්ත ආලෝකය මගින් සතුරු යානා සොයාගත හැකි හීට් සීකින් (heat seeking) වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල හා රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා රේඩාර් හෝමිං (radar homing) වර්ගයේ බලසම්පන්න මිසයිල වලින් සන්නද්ධ වූවා.

Soviet Air Force : MiG 15

RAF - English Electric Lightening (Swept Wing Fighter)

මහා බ්‍රිතාන්‍යයේ ඉන්ග්ලිශ් ඉලෙක්ට්‍රික් ලයිට්නින්, සෝවියට් දේශයේ මිග් 15 හා මිග් 17 මෙන්ම අමෙරිකානු F-86 දෙවන පරම්පාරාවේ ප්‍රහාරක යානා අතරින් වඩාත් භාවිතයට ගැනුනු යානා වනවා.

Generation 3: Supersonic speed; pulse radar; able to shoot at targets beyond visual range (mid 1960s to the 1970s )

තුන්වැනි පරම්පරාවේ යානාවල ප්‍රධානම ලක්ශණය වන්නේ ශබ්දයේ වේගය ඉක්මවා (supersonic) පියාසර කිරීමේ හැකියාවයි. මීට අමතරව බලසම්පන්න රේඩාර් හා ඉතා නිවැරදිව ඉලක්කය සොයාගත හැකි මිසයිල නිසා දෘශ්‍යමානයෙන් එපිට ඇති සතුරු යානා බිම හෙලීමේ හැකියාව (beyond visual range combat) මෙම යානාවලට ලැබී තිබුණා. එමෙන්ම එම යානාවල නියමුවන්ට නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ උපකාර ලැබීම නිසා ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරමින් සටන් වැදිමේ හැකියාව ලැබුනා. ඉලෙක්ට්‍රොනික පරිගණක ප්‍රහාරක යානාවල නියමු සහයකයන් ලෙස හදුන්වාදුන්නේ තුන්වන පරම්පරාවේ ප්‍රහාරක යානා මගිනුයි.

මීට අමතරව මෙම යානා වලට ඉලෙක්ට්‍රොනික් කවුන්ටර්-මෙශර්ස් (electronic counter-measures) නම් නවතම තාක්ශණයක් හඳුන්වා දී තිබුණා. කවුන්ටර්-මෙශර් යනු යම් ප්‍රහාරයක් වලක්වාගැනීම සඳහා සතුරු යානා හා මිසයිලවල රේඩාර් හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නොමග යැවිය හැකි ප්‍රති-ප්‍රයෝග වලටයි. මේ තාක්ශණය මගින් සතුරු යානාවලට හා ඒවායේ මිසයිල වලට යානය හඳුනාගැනීමට අපහසු වන ලෙස විවිධ ඉලෙක්ට්‍රොනික ප්‍රයෝග උපයෝගීකරගත්තා. මෙම ප්‍රයෝග මගින් සතුරු රේඩාර් කිරණ නිශේධනය කිරීම, මිසයිලවල රේඩාර් යන්ත්‍ර නොමග යැවිය හැකි බලසම්පන්න රේඩාර් තරංග මිසයිල වෙත යොමු කිරීම වැනි ප්‍රයෝග ඇතුලත් වුනා.

USAF F- 4 Phantom

Mikoyan MiG 21

තුන්වන පරම්පරාවේ යානා වලින් වඩාත්ම ප්‍රචලිත යානා වන්නේ අමෙරිකානු F-4 ෆැන්ටම් යානාව හා සෝවියට් දේශයේ මිකොයාන් නිර්මාණ බියුරෝව නිර්මාණය කල මිග් 21 යානයයි.

Generation 4:  (1970 to mid-1990s)

හතරවන පරම්පරාවේ යානාවලට දියුණු ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහිමයෙන් හා දියුණු ජෙට් එන්ජින් තාක්ශණයෙන් විප්ලවකාරී හැකියාවන් ලබාදී තිබුණා. හතරවන පරම්පරාවේ යානාවලින් ඉමහත් ප්‍රචලිත යානා හඳුනාගමු.

අමෙරිකා එක්සත් ජනපදය;
  • F-16 ෆයිටින් ෆෝල්කන් (ගුවන් හමුදාව)
  • F-15 ඊගල් (ගුවන් හමුදාව )
  • F-14 ටොම් කැට් (නාවික හමුදාව - ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
  • F-18/A හෝනට් (නාවික හමුදාව හා මැරීන් බලකාය- ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
General Dynamics F-16 Fighting Falcon : United States Air Force

McDonnell Douglas F-15 Eagle : United States Air Force

Northrop Grumman F-14 Tomcat : United States Navy

  යුරෝපය;
  • ප්‍රංශයේ ඩැසෝල්ට් මිරාජ් 2000
  • ප්‍රංශයේ ඩැසෝල්ට් රෆාලේ
  • ස්වීඩනයේ සාබ් 37 විගන්
  • මහා බ්‍රිතාන්‍යයේ පැනවියා ටෝනේඩෝ F2 හා F3
  • යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්
Dassault Mirage 2000 : French Air Force

Saab 37 Viggen : Swedish Air Force
Eurofighter Typhoon : Royal Air Force, Luftwaffe, Italian Air Force, Spanish Air Force

සෝවියට් දේශය (1997 වනතෙක්)

  • මිකොයාන් මිග් 29 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • මිකොයාන් මිග් 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • සුක්හොයි එස්.යූ 27 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • සුක්හොයි එස්.යූ 33 (නාවික හමුදා සේවාව සඳහා)
  • සුක්හොයි එස්.යූ 34 (සටන් වදින හා බෝම්බ හෙලන මෙහෙයුම් සඳහා)
  • සුක්හොයි එස්.යූ 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
ඉහත දැක්වෙන යානා සියල්ලටම නව තාක්ශණයේ මහිමයෙන් විවිධවූ සටන් හැකියාවන් ලැබී ඇති අතර මෙම හැකියාවන් විවිධ තාක්ශණික යෙදුම්වලින් හැඳින්වේ. හතරවන පරම්පරාවේ යානා සතු මෙම තාක්ශණයන්ගෙන් හා හැකියාවන් (capabilities) සමහරක් හඳුනාගමු.

High maneuverability

මැනුවරබිලිටි යනු සටන් උපක්‍රම සඳහා යානාව ඉතා පහසුවෙන් හැසිරවීමේ හැකියාවයි. ශබ්දයේ වේගයෙන් පියාසර කරමින් සටන්වදින මේ යානාවල අධික වේගය පවත්වාගනිමින්ම ඔබ මොබ හරවමින් පියාසරකිරීම ඇති හැකියාව මෙලෙස හඳුන්වනවා. මෙම යානාවල ඇති පරිගණක මගින් නියමුවාට යානය පාලනය කිරීම පහසුකරවන අතර යානය නියමු පාලනයෙන් මිදීමට ඇති අවස්ථා අවම කරනවා.
Look-down/shoot-down capability

ලුක් ඩවුන්/ශූට් ඩවුන් හැකියාව යනු ප්‍රහාරක යානයකට ඈත ක්ශිතිජයට එපිටින් යානයට නොපෙනී, පෘථිවි ගෝලයේ නැම්මට මුවාවී පියාසර කරන සතුරු යානා හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ හැකියාවයි. හතරවැනි පරම්පරාවේ ප්‍රහාරක යානා වලට සවිකර ඇති ඩොප්ලර් වර්ගයේ ත්‍රිමාණ රේඩාර් උපකරණය එහි පරිගණකයට ක්ශිතිජයට එපිටින් පියාසර කරන යානා හඳුනාගැනීමට උපකාරී වෙයි. මෙම යානා හඳුනාගැනීමෙන් පසු, යානයේ පරිගණකය මගින් යානයේ ඇති Fire & Forget වර්ගයේ මිසයිලයකට එම සතුරු යානාවේ තොරතුරු ලබාදෙන අතර නියමු අණින් මුදා හැරෙන මිසයිලය, යානයේ පරිගනකයේ ආධාරයක් නොමැතිව තනිවම සතුරු යානය සොයාගෙන ගොස් එය බිම හෙලයි. නවීන පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ශණය මගින් මෙම විස්මිත හපන්කම් සතරවන පරම්පරාවේ යානාවලට ලබාදී තිබේ.
Reduced radar and heat signature technologies

ගුවන් යානා තාක්ශණ පාරිභාශික පදමාලාවේ "සිග්නේචර්" ලෙස හඳුන්වන්නේ ගුවන් යානයක් රේඩාර් හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාවයි. ඉහල සිග්නේචර් එකක් නැතිනම් ඡායාවක් ලබාදෙන යානා සතුරු රේඩාර් යන්ත්‍ර මගින් හෝ සතෘ මිසයිලවල අධෝරක්ත සංවේදක මගින් පහසුවෙන් හඳුනාගනී. රිඩියුස්ඩ් සිග්නේචර් තාක්ශණය යනු ගුවන් යානයක් රේඩාර් යන්ත්‍රයකට හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාව හැකිතාක් අඩු කිරීමයි. මෙය රේඩාර් වලට නොපෙනී යාඅ හැකි ස්ටෙල්ත් හැකියාවට වඩා අඩු හැකියාවක් වුවත් සතුරු ප්‍රහාරවලින් ගැලවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා නියමුවාට යම් ඉස්පාසුවක් ලබාදෙයි.
Supercruise, 

සුපර්කෲස් යනු අතිශය දියුණු ජෙට් එන්ජින් තාක්ශණයකි. මේ තාක්ශණය මගින් ප්‍රහාරක යානාවකට මුලු පියාසර කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ලබාදෙයි. සාමාන්‍ය ජෙට් ප්‍රහාරක යානාවක් සුපර්සොනික් වේගයෙන් ගමන් කරන්නේ එය ඉලක්කයට ලඟාවූ විට ඉක්මණින් ප්‍රහාරය එල්ලකොට පලායාමට හෝ සතුරු ප්‍රහාරයක් එල්ලවූ විට ඉන් ගැලවීම සඳහායි. සාමාන්‍ය ජෙට් එන්ජින් සුපර්සොනික් වේගයෙන් ගමන් කරනවිට අධික ලෙස ඉන්ධන දහනය කරන අතර මේ නිසා එහි මෙහෙයුම් පරාසය සීමාසහිත වෙයි. 
සුපර්කෲස් හැකියාව ඇති හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානා වලට මුලු මෙහෙයුම් කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් ගමන්කල හැකි අතර ඉන් යානයේ මෙහෙයුම් පරාසය අඩුවීමක් නොවේ. සුපර්කෲස් හැකියාව නවීනතම තාක්ශණයක් වන අතර මෙම තාක්ශණය 4 වැනි පරම්පරාවේ යානා නිර්මාණය කරනවිට ඒවාට ලබාදී තිබූ තාක්ශණයක් නොව ඉතා මෑතකදී නවීකරණය කරමින් සුපර්කෲස් එන්ජින් සවිකොට 4වැනි පරම්පරාවේ යානා වලට අලුත ලබාදී ඇති හැකියාවකි. සාමාන්‍යයෙන් සුපර්කෲස් 5වැනි පරම්පරාවේ යානා වල හැකියාවකි.
Head-up displays (HUD), 

හඩ් යන කෙටි නමින් හැඳින්වෙන හෙඩ්-අප් ඩිස්ප්ලේ යනු නියමූවාට ඉතාම වැදගත් වෙන තොරතුරු නියමුවාගේ මුහුණට තිරස්ව ඉදිරියෙන් ඇති පාරදෘශ්‍ය තිරයක් මත දැක්වීමේ තාක්ශණයයි. මේ අනුව නියමුවාට යානයේ ඩෑශ් බෝඩ් එක හෙවත් ප්‍රධාන පැනලය දෙස නොබලා හිස කෙලින් තබාගෙන යානයේ වේගය, සතුරු යානා හා අවි ආයුධ, ඉන්ධන තත්වය, වේගය, ගමන් කරන උස වැනි තොරතුරු ලබාගතහැකිය. අධික වේගයෙ පියාසරකරමින් සටන්වදිද්දී උපකරණ පුවරුව දෙස බැලීමෙන් නියමුවාගේ අවධානය මොහොතකට හෝ බිඳ වැටීම HUD තිරය මගින් වලක්වාලයි.
ප්‍රහාරක යානයක HUD තිරය. මෙය පාරදෘශ්‍යවන අතරම පැහැදිලිව යානයේ වැදගත් තොරතුරු පෙන්වයි.
Hands On Throttle-And-Stick (HOTAS) controls

හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය යනු ප්‍රහාරක යානය සියලුම ප්‍රධාන පාලන ස්විච්, යානය හැසිරවීම, වේගය අඩුවැඩි කිරීම මිසයිල මුදාහැරීම වැනි සියලුම ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ස්වීච හා බොත්තම් අඩංගු පාලන යශ්ඨියකටයි (control stick). මේ අනුව නියමුවාට සිය දෑත යානයේ විවිධ තැන්වල ඇති බොත්තම් හා ස්විච වෙතට ගෙනයමින් සිය අවධානය බිඳ ගැනීමට සිදුවන්නේ නැත. වැදගත් සියලුම ක්‍රියාකාරකම් සිය දෑත් රඳාවගෙන පාලන යශ්ඨිය මත ඇත.

හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ උපක්‍රමය නිර්මාණ නිර්මාණය කොට ඇත්තේ නියමුවාට අවධානය බිඳ නොදමාගෙන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීම සඳහාය.
රුසියානු සුක්හොයි Su-35 යානයේ හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය

Generation 5 : (2005 to the present)

ප්‍රහාරක ජෙට් යානා පරිනාමයේ පස්වැනි පිම්ම ආරම්භ වුනේ 2005 වසර අගභාගයේදී ලොක්හීඩ්-මාටින් හා බෝයිං සමාගම් ඒකාබද්ධව ඉතා රහසිගතව නිර්මාණය කල F-22 Raptor ස්ටෙල්ත් ප්‍රහාරක යානය ලොවට හඳුන්වාදීමෙන් පසුවයි. සැම අතින්ම විප්ලවීය ලෙස වැඩිදියුණු කොට තිබුණු F-22 යානය පූර්ණ වශයෙන්ම රේඩාර් වලට නොපෙනෙන, අධෝරක්ත සංවේදක වලට පවා හඳුනාගැනීමට අපහසුවන තරමට ජෙට් එන්ජින් වලින් නිකුත් වන අධික ලෙස ගිණියම්වූ සම්පීඩිත වාතය සිසිල් කොට පිටතට යවන, මුලුමනින්ම පරිගණක මගින් පාලනය වන විශ්මිත යානයක් වනවා. මේ යානය පැදවීම සැබැවින්ම නවීන පරිගණක ක්‍රීඩාවක නිරතවීමට සමානයයි නියමුවන් පවසන තරමටම යානය අති නවීන පරිගණක තාකශණයෙන් පුරවා තිබෙනවා.

Lockheed-Martin/Boeing F-22 Raptor on a training mission


F-22 යානය හඳුන්වාදී වසරක් යන්නටත් මත්තෙන් අමෙරිකාව තවත් නවතම 5වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන් වදින යානයක් හඳුන්වාදුන්නා. ලොක්හීඩ්-මාටින් සමාගම මගින් නිර්මාණය කළ මේ යානය F-35  Lightening ලෙස හඳුන්වා තිබෙනවා. මේ  යානය ස්ටෙල්ත් යානයක් වන අතර එය මාදිලි තුනකින් නිපදවා තිබෙනවා. මෙම යානා මාදිලි තුනම එකට ගත්විට එය ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් (Joint Strike Fighter - JSF) ලෙස හඳුන්වනවා.

* F-35A, conventional take off and landing (CTOL) variant. [සාමාන්‍ය ගුවන් යානයක් මෙන් දිගු ධාවන පථයකින් ඉහල නැග්ගවීමේ හා පහලට බැස්ස්විය හැකි මාදිලිය]

* F-35B, short-take off and vertical-landing (STOVL) variant. [ඉතා කෙටි ධාවන පථයකින් ඉහල නැග්ගවිය හැකි හා ධාවන පථයක් නොමැතිව සිරස් අතට හෙලිකොප්ටරයක් මෙන් බිමට බැස්සවිය හැකි මාදිලිය]

* F-35C, aircraft carrier-based variant. (CV) [ගුවන්යානා ගෙනියන නෞකා මතින් ඉහල නැග්ගවීමට හා එම නෞකා මතට ගොඩ බැස්සවීමට නිර්මාණය කල මාදිලිය]




පස්වැනි පරම්පරාවේ යානාවලට 4වැනි පරම්පරාවේ යානාවල ඇති සියලුම හැකියාවන් ඉතා වැඩිදියුණු ආකාරයකින් ඇති අතර ඊට අමතරව පූර්ණ ස්ටෙල්ත් හැකියාව, සුපර්කෲස් පියාසැරියේ යෙදීමේ හැකියාව, පූර්ණලෙසම පරිගණක මගින් පාලනයවන-නියමු රාජකාරි ඉතා පහසුකරවන ලෙස නිර්මාණයකොට තිබීම, චන්ද්‍රිකා හා අවට පියාසර කරන වෙනත් හිතවත් යානාවල (friendly aircraft) පරිගණක සමග ස්වයංක්‍රීයව දත්ත හුවමාරු කරගැනීම මෙන්ම සතුරු යානා පිලිබඳව එකිනෙකාව ස්යංක්‍රීයව දැනුවත් කරගනිමින් ප්‍රහාර සම්බන්ධීකරණය කරගත හැකිය. මේ අනුව පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා පියාසරකරණ පරිගණක ජාල මෙන් ක්‍රියාකරයි. මෙම හැකියාව යුධ තාක්ශන පාරිභාශික යෙදුම් විශ්වකෝශ network-centric combat environment හෙවත් පරිගණක ජාල මූලික සටන් පෙරමුණු ලෙස හඳුන්වයි.

මෙම යානා සතුව ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිෂේශී එන්ජින් තාක්ශණයද අඩංගුකොට ඇත. ත්‍රස් වෙක්ටරින් යනු ජෙට් එන්ජිමක නැසින්නෙන් පිටවන අධි සම්පීඩිත වාතය කෙලින්ම පිටුපසට යොමු නොකට අවශ්‍ය අතටකට යොමු කිරීමේ හැකියාවයි.

ත්‍රස්ට් වෙක්ටරින් තාක්ශණය නිසා සුපර්සොනික් වේගයෙන් පියාසර කරන අතරම යානය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරවීම හා පෙරලීම සිදුකල හැකිය (මෙය දල වශයෙන් මෝටර් රථයක පවර් ස්ටියරිං මගින් වාහනයේ හැරවීම හා මෙහෙයවීම පහසු කරනවාට සමානය, පවර් ස්ටියරිං ඇති වාහනයක් ඉතා පහසුවෙන් හැරවිය හැකි අතර, පවර් ස්ටියරින් නොමැති වාහන හැරවීමේදී රියදුරාට සිය දෑතේ සවිය ඉතා වැදගත් වේ )

අමෙරිකාවේ F-22 හා F-35 යානාවලට රුසියාවෙන් හා චීනයෙන් ප්‍රතිමල්ලවයින්

2005වසරේදී F-22 හා 2006 වසරේදී F-35 යානා හඳුන්වාදීමෙන් පසු පූර්ණ ස්ටෙල්ත් හැකියාව ඇති, ත්‍රස්ට් වෙක්ටරිං හා පූර්ණකාලීන සුපර්කෲස් පියාසැරියේ යෙදිය හැකි පස්වෙනි පරම්පරාවේ  ප්‍රහාරක/සටන්වදින යානා සතුවුනේ අමෙරිකා එකසත් ජනපදයට පමණයි. මේ අනුව අමෙරිකානු ගුවන් හමුදාවට ඉතා විශාල උපක්‍රමීය වාසියක් (strategic advantage) ලැබී තිබුණ. බටහිර යුධ විශේෂඥයින්ගේ ගණන් ඇස්තමේතු වලට අනුව රුසියාවට හෝ චීනයට මෙවැනි යානා නිර්මාණය කිරීමට 2020 පමණවන තෙක් නොහැකි බවට ප්‍රකාශවී තිබුණා. එහෙත් මේ අනාවැකි පුස්සක් කරමින් 2010 ජනවාරි මස රුසියාවේ Sukhoi සමාගම ස්ටෙල්ත් තාක්ශණය සහිත ත්‍රස්ට් වෙක්ටරිං හැකියාවද ඇතැයි සැළකෙන ප්‍රහාරක යානාවක් අත්හදා බැලුවා. Sukhoi  T-50 යනුවෙන් හඳුන්වාදුන් මේ යානාව නියම ස්ටෙල්ත් හැකියාව ඇති F-22 යානාවට හොඳ අභියෝගයක් එල්ල කල හැකි යානාවක් බව පිලිගැනීම අමෙරිකානුවන් මුලින් ප්‍රතික්ශේප කලත් දැන් හෙලිවෙමින් පවතතින තොරතුරු අනුව මේ යානය F-22 යානය හොඳ සටනක් දිය හැකි බලසම්පන්න යානයක් බව පිලිගතයුතුව තිබෙනවා. T-50 යානය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය රුසියානුවන් හඳුන්වන්නේ Perspektivny   Aviatsionny Kompleks - Frontovoy Aviatsii හෙවත් PAK-FA යනුවෙනි. මෙහි දල තේරුම පෙරමුණු ගුවන් සටන් සඳහා නිර්මාණය කරන අනාගත ගුවන් සැළස්ම යන්නයි.


රුසියානු T-50 ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා T-50 පිලිබඳව පලවුනු Sukhoi T-50 : Russian Stealth Fighter ලිපිය කියවන්න


පස්වැනි පරම්පරාවේ චීන සටන්කාමියා Chengdu J-XX

2011 ජනවාරි මස රුසියානුවන් සිය 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානය ඉදිරිපත් කිරීමෙන් පසු කිසිවෙක් නොසිතූපරිද්දෙන් චීනයද 2010 වසරේම දෙසැම්බර් මස මෙතෙක් කල් අතිශය රහසිගතව දියුණු කරමින් තිබූ ස්ටෙල්ත් යානයක් ලොවට හෙලිකලා. ශෙන්ග්ඩූ J-XX ලෙස හඳුන්වනු ලබන මේ යානය ඉතාමත් ඉදිරියෙන් තිබෙන ස්ටෙල්ත් යානයක් බව එම යානයේ පරීක්ශණ පියාසැරි දැක්වෙන වීඩියෝ පරික්ශාකල බටහිර ගුවන් විශේෂඥයින් පවසනවා. ඇතැමුන් පවසන්නේ එය රුසියානුවන්ගේ T-50 යානයටත් වඩා ඉදිරියෙන් තිබෙන බවයි. කෙසේ වෙතත් J-XX යානයේ හැකියාවන් පිලිබඳව තොරතුරු කිසිවක් මේ ලියන මොහොත වෙනතෙක් හෙලිවී නෑ.

Chengdu J-XX ස්ටෙල්ත් යානයේ ග්‍රැෆික් චිත්‍රයක්

පරීක්ශණ පියාසැරියකට සූදානම් වෙන J-XX

මිකොයාන් මිග් ගුවන්යානා සමාගම


~ End ~


6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා ගැන කියවන්න

6th Generation Strike Fighter
දැනට පිලිගෙන ඇති අන්දමට 6වැනි පරම්පරාවේ යානා වසර 2020-2025 අතර   කාළය තුල එළි දැක්වෙන බවට අනාවැකි පලකොට තිබෙනවා. දැනටමත් බෝයිං සමාගම F/A XX යනුවෙන් කේතගත කරනලද 6වැනි පරම්පරාවේ යානාවක සංකල්පිතයක් හඳුන්වාදී තිබෙනවා. එහෙත් 6වැනි පරම්පරාවේ යානා නිපැදවීම පිලිබඳව දැනට කෙරෙන පර්යේශණවලට හා අත්හදා බැලීමේ යානා ගැන සාඛච්ඡා කිරීමට පෙර 6වැනි පරම්පරාවේ යානාවක තිබිය හැකි හැකියාවන් (capabilities) පිලිබඳව  යම් අදහසක් ලබාගෙන සිටිමු.

Capabilities of a 6th Generation Fighter Aircraft

1. No human pilot - An advanced computer with Artificial Intelligence (AI) will pilot the aircraft :ගගනවිද්‍යා විශේෂඥයින් අනාවැකි පලකරන අන්දමට 6වැනි පරම්පරාවේ යානා ස්වාධීනව පියාසරකරමින් මෙහෙයුමක් දියත්කොට ආපසු පැමිණිය හැකි කෘත්‍රිම බුද්ධියකින් යුතු යානා වනු ඇති. බොහෝවිට මෙම යානාවල නියමුවන් සටන් බිමින් ඉතා ඈත බන්කරයක සිටිමින් යානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරනු ඇති අතර ප්‍රහාර එල්ලකිරීමේදී පමණක් යානයට මිසයිල විදීමට හෝ බෝම්බ හෙලීමට අවසරදීම ඔවුන්ගේ රාජකාරිය වනු ඇත. දැනටමත් MQ9 රීපර් නියමු රහිත යානය මෙවැනි යානයකි. එහෙත් 6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල වෙනස මේවාට තනිවම සතුරු යානා සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ හැකියාව තිබීමයි. රීපර් වැනි යානා සටන් වදින යානා නොව සැඟවී ඔත්තු බලමින් ඉලක්කය දුටුවුට ප්‍රහාර එල්ලකොට පලායන යානාවේ. 6වැනි පරම්පරාවේ යානාවල කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක  මිනිස් නියමුවෙකුට වඩා දක්ශලෙසත් ඉතා නිවැරදි ලෙසත් සටන් වදිනු ඇතයි අනාවැකි පැවසේ.

මිනිස් නියමුවන් රහිතවීමේ තවත් වාසියක් නම් මිනිස් සිරුරට ඔරොත්තු නොදෙන තරමේ අධික ත්වරණ වලට හා ගුරුත්ව බලවලට (G Forces) ලක්වන අන්දමෙන් යානය මෙහෙයවීමේ හැකියාවයි. ඉතා අධික අත්වරණ ( acceleration) වලදී හා අධික ගුරුත්ව බලවලදී නියමුවාගේ මොලයට රුධිර ගමනඅඩාල වී ඔහු සිහි නැතිවීමට හෝ මොලයේ සියුම් ලේ නහර පුපුරා ඔහු මිය යාමට හෝ  ඉඩ තිබේ.

2. Two model concept - A 6th generation fighter will come as a dual model concept, one model is AI piloted model and other with human pilots : 6වැනි පරම්පරාවේ යානා නිර්මාණය පිලිබඳව තිබෙන තවත් සංකල්පයකට අනුව මේ යානා මාදිලි දෙකකින් නිර්මාණය වනු ඇත. එක් මාදිලියක් කෘත්‍රිම බුද්ධිය සහිත, ස්වාධීනව පියාසර කරමින් සටන් වැදිය හැකි යානාවේ. දෙවන මාදිලිය නියමුවන් සහිත මාදිලියයි. නියමුවන් සහිත යානා පරමාණු බෝම්බ වැනි රෝබෝවෙකුට වගකීම දිය නොහැකි මහත් විනාශකාරී අවිආයුධ රැගෙන යන යානා වනු ඇති අතර රොබෝ යානා මිනිස් නියමුවන් සහිත යානාවලට ආරක්ශාව සපයමින් ඒවා ඉලක්කය වෙත ගෙනවාමට උපකාරී වනු ඇත අතර සතුරු යානා සමග සටන් වැදීම, මිසයිල ප්‍රහාරවලින් මිනිස් යානා ආරක්ශාකිරීම, සතුරු රේඩාර් හා ආරක්ශක ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම වැනි රාජකාරි සිදුකරනු ඇත.

3. Engines will be powered by alternative fuels such as methane or hydrogen : 

ෆොසිල ඉන්ධන හිඟවෙමින් පවතින නිසාත් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳව කෙරෙන පර්යේෂණ වේගයෙන් ඉදිරියට යන බැවිනුත් 2020-2025 කාළය තුලදී එලිදැක්වෙන 6වැනි පරම්පරාවේ සමහර ප්‍රහාරක යානා හෝ අඩුම ගණනේ විශාල බෝම්බ හෙලන යානා හයිඩ්‍රජන් හෝ මීතේන් වැනි විකල්ප බලශක්තිවලින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

4. Blended wing design :

 බ්ලෙන්ඩඩ් වින්ග් ඩිසයින් යනු මුලු යානාවම අත් තටු පුරා පැතිරුණු ආකාරයෙන් නිර්මාණය කිරීමයි. මෙවැනි යානාවලට පිටුපස වලිග කොටස (rudder) හෝ ඉදිරිපසින් තිබෙන කුඩා අත්තටු (canards) හෝ නොමැත.. මෙවැනි යානාවකට දැනට දිය හැකි හොඳම උදාහරණය B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවයි. අනාගතයේ සියලුම ප්‍රහාරක යානා මේ අන්දමට නිර්මාණය වනු ඇතැයි සැලකෙන්නේ මෙම යානාවලට රේඩාර්වලින් සැඟවී ගමන් කිරීමට ඇති හැකියාව නිසයි.


5. 3D thrust vectoring engines : 

3D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණයට අනුව එන්ජිමෙන් නිකුත්වෙන සම්පීඩිත වාතය  එන්ජිම පිහිටුවා ඇති අක්ශයට සාපේක්ශව ඕනෑම අතකට යොමුකල හැක. ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය නිසා ප්‍රහාරක යානා යානය හැරවීමට යොදාගන්නා රඩර් හෙවත් වලිග කොටස නොමැතිව නිමාණය කල හැකි අතර ඉතාවේගයෙන් හැරවීම සිදුකල හැකිය. දැනට 5වැනි පරම්පරාවේ යානාවලට 2D ත්‍රස්ට් වෙක්ටරිං එනම් එන්ජිමේ පීඩනය ද්විමානව එනම් උඩට හෝ පහතට යොමුකරවමින් පියාසර කිරිමේ හැකියාව ඇත. F-22, F-35, සුක්හොයි Su-37 මෙවැනි 2D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය අඩංගුකල යානාවේ. 

දැනට ත්‍රිමාණ ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ මට්ටමේ ඇති අතර බෝයිං/මෙසර්ශ්මිට් X-31 ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හා නාසා ආයතනයේ F-15 ACTIVE (Advanced Control Technology for Integrated VEhicle) ව්‍යාපෘතිය මේ පිලිබන්දව පර්යේශණ පවත්වයි.

Boeing/Messerschmidt X-31 3D Thrust Vectoring Experimental Aircraft


6. Rear-facing radar 

6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල අනිවාර්‍යයෙන්ම අඩංගුවෙතැයි බලාපොරොත්තුවෙන තවත් අංගයක් නම් පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකි. සාමාන්‍යයෙන් ගුවන්යානයක රේඩාර් යන්ත්‍රය නියමුකුටියට ඉදිරියෙන් යානයේ නාසය කොටසේ (nosecone) පිහිටා ඇත.  පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකින් යානය පසුපසින් හඹා එන සතුරු යානා හා මිසයිල හඳුනාගෙන ආරක්ශක පියවර ගැනීමට නියමුවාට හා යානයේ පරිගණකවලට පහසුවෙනවා.

Main Radar of Sukhoi Su-35

7. Helmet Mounted Display Systems & Sensory Fusion

6වැනි පරම්පරාවේ යානාවලට 4/5වැනි පරම්පරාවේ යානාවල ඇති HUDතිරය වෙනුවට හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ සිස්ටම් (Helmet Mounted Display System) හෙවත් නියමු හෙල්මටයට ඇතුලත් කරනලද දර්ශණ පද්ධතියකින් සමන්විත වනු ඇත. මෙවැනි දර්ශණ පද්ධති නියමු රාජකාරි පහසුකරන අතර යානයේ ඇති සියලුම කැමරා, රේඩාර් හා අනෙකුත් සංවේදක වලින් ලැබෙන තොරතුරු සංකලිත කොට හෙල්මටයේ වයිසර් (helmet visor) මත ප්‍රක්ශේපණය කොට පෙන්වනු ඇත. මෙලෙස සියලු සංවේදක වලින් ලැබන තොරතුරු එකට සංකලිත කොට දැක්වීම sensory fusion ලෙස හඳුන්වයි. Sensory Fusion 6වැනි පරම්පරාවේ යානාවල විශේෂිත හැකියාවකි.

මේ අනුව නියමුවාට රාත්‍රීකාලයේ නයිට් විශන් පහසුකම ලැබෙන අතර, දිවා, රාත්‍රී හෝ ඕනෑම කාළගුණ තත්වයක් යටතේ හෙල්මටයේ ඇති සංවේදක මගින් නියමුවාගේ දෑස් යොමුවන ස්ථාන පිලිබඳව අවධානයෙන් සිට (eye tracking) එම ස්ථානයට අදාල වැදගත් තොරතුරු ක්ශණිකව තිරය මත දිස් කරනු ඇත. උදාහරණයක් ලෙස නියමුවා තිරයේ දිස්වෙන සතුරු යානාවක් පෙන්වන අයිකනය (icon) දෙස දෑස් යොමුකල විට එම යානය පිලිබඳ පූර්ණ තොරතුරු එනම් පියාසර වේගය, පියාසර උස, තිබෙන දුර පිලිබඳව තොරතුරු HMDS පද්ධතිය මගින් තිරයේ දිස් කරන අතර යානයේ මිසයිල පවා එම සතුරු යානය වෙත එල්ලකොට නියමු අණ ලැබෙනතුරු කල්බලයි.

8. Flight Management Systems with artificial intelligence (AI) 

6වැනි පරම්පරාවේ යානාවලට කෘත්‍රිම බුද්ධියෙන් යුතු පියාසැරි හා ප්‍රහාර පාලන පද්ධති (flight & fire control systems) අඩංගුවනු ඇතැයි අනුමාන කෙරේ. මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට මිනිස් නියමුවෙකු තරම්ම ස්වාධීනව කටයුතු කල නොහැකි වුනත්, යානයේ පාලන කටයුතු, සතුරු යානා, මිසයිල ගැන අවධානයෙන් සිටීම, යානයෙන් නිකුත්කරන මිසයිලවලට මගපෙන්වීම, සතුරු රේඩාර් හා ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම, අවට පියාසරකරන මිතුරු යානා, නියමු රහිත යානා හා චන්ද්‍රිකා සමග සම්බන්ධවී යුධ බිමේ තොරතුරු හුවමාරු කරගැනීම වැනි කටයුතු නියමුවාගේ මැදිහත්වීමකින් තොරව සිදුකල හැකිය.

9. Whole skin 360 degree radar 

දැනට අනුමාන කරන අන්දමට සමහර 6වැනි පරම්පරවේ යානාවල මුලු පිටත පෘශ්ඨයම රේඩාර් ඇන්ටෙනාවක් මෙන් ක්‍රියාකරනු ඇත. මෙහි ඇති වාසිය යානයට අංශක 360ක වපරිසයක සිදුවන දෑ පිලිබඳව තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකිවීමයි. මෙය ගුවන් සටන් වලදී විශාල උපක්‍රමීය වාසියක් ලබාදෙයි.

එහෙත් මෙවැනි සැකැස්මක අවාසි කිහිපයකුත් ඇත. පලමුවැන්න නම් සතුරු වෙඩිප්‍රහාරයක් යානයට එල්ලවුවහොත් රේඩාර් ඇන්ටෙනාව අබලන්වී යානාව ලෙහෙසියෙන් සතුරු ඉලක්කයක් බවට පත්වීමයි. දෙවැන්නනම් රේඩාර් ඇන්ටෙනාවේ අලුත්වැඩියාවන් කිරීමට යානයේ පිටත පෘශ්ඨය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කිරීමට සිදුවීමයි. මෙය කාලය හා ශ්‍රමය අධික ලෙස වැයවෙන කටයුත්තකි.

10. Mach 5-10 super-cruise speeds with combined turbo-jet/scramjet engines

දැනට F-22 හා F-35 යානාවලට මක් 2.5-3.0 අතර උපරිම වේගයක් එනම් ශබ්දයේ වේගය මෙන් 2.5-3.0 අතර උපරිම වේගයක් ඇත. 6වැනි පරම්පරාවේ යානාවලට මක් 5 සිට ඉහලට උපරිම වේග තිබිය හැකි බවට අනාවැකි පලවෙයි. මෙවැනි වේගයන් සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජින් වලින් ලබාගත නොහැකිය. මේ සඳහා ස්ක්‍රැම් ජෙට් (supersonic combustion ramjet) වැනි නවීන ජෙට් එන්ජින් අවශ්‍යවේ.

ස්ක්‍රැම් ජෙට් එන්ජිමක ඇති විශේෂත්වය නම් එය ක්‍රියාත්මක වීම සඳහා එන්ජිමට ඇතුලුවන වාතය සුපර්සොනික් වේගයෙන් ඇතුලුවිය යුතුවීමයි. මේ සඳහා එන්ජිම සවිකල යානය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන්කරමින් පැවතිය යුතුය. ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට ධාවනපථයේ නිසලව තිබෙන යානයක් ගුවන්ගත කිරීමේ හැකියාව නොමැත. එහෙත් ශබ්දයේ වේගයෙන් යන යානාවකට ශබ්දයේ වේගයමෙන් 5ගුණයේ සිට 25ගුණය දක්වා වේගයක් ලබාදීම ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට කල හැකිය.

දැනට ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලබාගෙන ඇති උපරිම වේගය මක් 9.2 හෙවත් ශබ්දයේ වේගයමෙන් 9.2ගුණයකි. නාසා ආයතනයේ X-43 නියමු රහිත පර්යේශණ ස්ක්‍රැම් ජෙට් යානය මෙම වාර්තාව තබා ඇත. X-43 යානයට ආරම්භක වේගය ලබාදී ඇත්තේ රොකට් බූස්ටරයක් ආධාරයෙනි. මීට අමතරව බෝයිං සමාගමේ X-51 ස්ක්‍රැම් ජෙට් යානය මක් 6ක වේගයක් වාර්තාකොට ඇත.

ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ප්‍රායෝගිකව ප්‍රහාරක යානයකට ඇතුලත් කිරීම සඳහා ඇති භාදකය නම් යානයට මූලික සුපර්සොනික් වේගය ලබාගන්නේ කෙසේද යන ගැටලුවයි. මෙයට විසඳුමක් ලෙස සංයුක්ත ටර්බෝජෙට්/ස්ක්‍රැම් ජෙට් වර්ගයේ ජෙට් එන්ජින් පිලිබඳව පර්යේශණ පැවැත්වෙන බව දැනගන්නට ලැබේ. මෙහිදී එන්ජිම මුලින් ටර්බෝ-ජෙට් එන්ජිමක් ලෙස ක්‍රියාකරමින් නිසලව තිබෙන යානය ගුවන්ගත කොට සුපර්සොනික් වේගය ලබාදෙයි. ඉන් අනතුරුව එය ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් මෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගනී.

12. Active Optical Camouflage

ඇක්ටිව් ඔප්ටිකල් කැමොෆ්ලෑජ් යනු යානය සතුරු ඇස් වලින් වසන් කිරීමේ සක්‍රීය උපක්‍රම අඩංගු වීමයි. සක්‍රීය කැමෝෆ්ලෑජ් උපක්‍රම සඳහා හොඳම උදාහරනය කටුස්සා සිය පරිසරයේ හැඩයට පැහැය වෙනස් කරගැනීමයි.

ස්වභාව ධර්මය කටුස්සාට පරිසරයේ හැඩයට අනුව පාට වෙනස්කරගෙන සැඟවී සිටිමේ අවස්ථාව ලබා දී ඇති අතර මිනිසා ඊටත් වඩා ඉදිරියට ගිය, එනම් සැබැවින්ම ඇසට යම් වස්තුවක් ඇසට නොපෙනන ආකාරයට ආලෝකය එය තුලින් විනිවිද යන්නාසේ පෙනෙන ආකාරයේ නිපැවුම් දැනටමත් කරතිබෙනවා.

මින් වඩාත්ම ප්‍රචලිත වන්නේ ටෝකියෝ විද්‍යාලයේ පර්යේශකයින් නිර්මාණ්ය කොට ඇති ""invisible cloak හෙවත් අඳින්නාට විනිවිදභාවය ලබාදෙන කබායයි.


ඡායාරූපයේ පෙනෙන්නේ තවමත් පර්යේශණ මට්ටමේ තිබෙන මේ කබාය ඇඳගත් පුද්ගලයේකුගේ සිරුර හරහා ඔහුගේ පිටුපසින් එන පුද්ගලයින්ගේ හැඩරූ පෙනෙන ආකාරයයි. මෙය තවත් වැඩිදියුණු කලවිට අනාගත විශේශ බලකා සෙබලුන් හට හා 6වැනි පරම්පරාවේ යානාවලට 80%-90% අතර ප්‍රමාණයේ විනිවිදභාවයක් ලබාදිය හැකිබව පැවසෙනවා.


6th Generation Aircraft Projects

6වැනි පරම්පරාවේ ගුවන්යානා නිපැදවීමේ ව්‍යාපෘති ගණනාවක් අමෙරිකා එක්සත් ජනපදය තුල සිදුවෙනවා. මෙම ව්‍යාපෘති සියල්ලම පාහේ ප්‍රධාන ආයතන තුනක් හරහා ක්‍රියාතමක වෙනවා. 1] අමෙරිකානු ගුවන් හමුදාව 2] නාසා ආයතනය 3] ඩාර්පා (Defense Advanced Research Projects Agency - DARPA) ආයතනය. මෙම ආයතන තුනයි. මෙම ආයතන හරහා ක්‍රියාත්මකවෙන ව්‍යාපෘති කිහිපයක් ගැන දැනගනිමු.

* DARPA Falcon Project

ඩාර්පා ෆෝල්කන් ව්‍යාපෘතිය හයිපර් සොනික් වේගයෙන් ගමන්කල හැකි යානාවක් නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතියකි. මෙය අමෙරිකානු ගුවන් හමුදාව හා සිදුකෙරෙන හවුල් ව්‍යාපෘතියක් වන අතර මේ ව්‍යාපෘතිය මගින් නිර්මාණය කල නවතම පර්යේශණ යානය Falcon HTV-2 හෙවත් Hypersonic Test Vehicle - 2 යන්නයි.

HTV-2 යානය 2010 අප්‍රේල් 22 මුල්වරට ගුවන්ගත කරන ලද අතර එම පර්යේශණ පියාසැරිය අසාර්ථක විය. තවත් HTV -2 පියාසැරි කිහිපයක් 2011 වසර සඳහා සැලසුම්කොට ඇත.

මීට අමතරව HTV-3X යනුවෙන් තවත් ෆෝල්කන් පර්යේශණ ගුවන්යානයක් නිර්මාණය කෙරෙමින් පවතින බව දැනගන්නට ලැබේ. ඉතා අධික වේගයක් ඇති HTV යානා ව්‍යාපෘතියේ අවසාන අරමුණ අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන්පථයකින් ගුවන්ගතවී පැය දෙකක් ඇතුලත ලෝකයේ ඕනෑම රටක්වෙත ලඟාවී ප්‍රහාරයක් එල්ලකොට නැවත අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් කඳවුරකට ගොඩබැස්සවිය හැකි යානයක් නිපදවීමයි.


* Boeing X-51 Waverider

එකසත් ජනපද ගුවන් හමුදාව, ඩාර්පා ආයතනය, නාසා ආයතනය හා බෝයිං ගුවන්යානා සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරන X-51 වේව් රයිඩර් ව්‍යාපෘතිය තවත් හයිපර්සොනික් ගුවන්යානා පර්යේෂණ ව්‍යාපෘතියකි. 2010 මැයි 26 වැනිදා X-51 යානයක් රොබෝ නියමුවෙකුගේ පාලනය යටතේ ශබ්දයේ වේගයමෙන් 6ගුණයක වේගයකින් පියාසරකොට වාර්තාවක් පිහිටවූයේය.

මෙම යානා වේව්-රයිඩර් නම් විශේෂ වායුගතිවිද්‍යාත්මක (aerodynamic) සිද්ධාන්තය මගින් සිය පියාසර හැකියාව (lift) උපරිම කරගනී. ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් ගුවන්යානයක් සුපර්සොනික් හෝ ඊට වඩා වේගවත් හයිපර්සොනික් වේගයෙන් පියාසරකරන විට අධිකවේගයෙන් යන යානය හා වාතය හා ගැටීමේදී බාධකයක් හටගනී. ශබ්දයේ වේගය ඉක්මවන්නට තැත්කරන ගුවන්යානාවක් ඉදිරියෙන් හටගන්නා සවුන්ඩ් බැරියර් ලෙස හඳුන්වන මෙම බාධකය බිඳගෙන ශබ්දයේ වේගය ලබාගත යුතු අතර යානය මෙම වායු භාධකය බිඳගෙන ඉදිරියට ඇදෙන විට පිපුරුම් ශබ්දයක් ඇසේ. මෙම පිපුරුම් ශබ්දය සොනික්-බූම් ලෙස හඳුන්වයි. සොනික් බූම් යනු සැබැවින්ම පිපුරුමක් නොව ගුවන් යානය වායු-භාදකය බිඳින විට ඇතිවන ප්‍රභල කම්පන තරංගයකි.

වේව් රයිඩර් යානා මෙම කම්පණ තරංග ආධාරයෙන් ගුවනේ රැඳී සිටිය හැකිවෙන ලෙස නිමවා ඇති යානා වර්ගයකි. කම්පණ තරංග ආධාරයෙන් ගමන් කරන බැවින් ඒවාට වේව්-රයිඩර් යන නාමය ලබාදී ඇත.

* Aurora (අව්රෝරා)

අව්රෝරා යානය සිත්තරෙකුගේ ඇසින්


අව්රෝරා යනුවෙන් ගගනවිද්‍යාලෝලීන් හා පර්යේශකයින් නම්කොට ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සතුව ඇතැයි සැකකෙරෙන, එහෙත් අමෙරිකානු රජය හා ගුවන් හමුදාව තමන් සතුව නැතැයි දැඩිලෙස ප්‍රකාශකරන ගුවන් යානයකි. ශබ්දයේ වේගය මෙන් 3 ගුණයක වේගයෙන් පියාසරකල හැකි, SR-71 බ්ලැක් බර්ඩ් ඔත්තු බලන යානය විශ්‍රාම ගැන්වීමෙ පසුව එයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇතැයි සැලකෙන මේ යානය මක් 6-8 දක්වා වේගයකින්  පියාසර කල හැකි හයිපර් සොනික් වර්ගයේ යානයක් බව පැවසේ.

 එහෙත් මෙවැනි යානයක් අමෙරිකාව සතුව ඇතැයි තවමත් නිශ්චිත ලෙසම සනාථවී නැතත් මෙවැනි යානයක අත්හදා බැලීමේ පියාසර බවට සැලැකිය හැකි අත්භූත යානා දර්ශණයවීම් ගණනාවක් ගැන තොරතුරු අමෙරිකාවෙන් වාර්තාවෙනවා.


* Ayaks (Soviet Union / Russia)

අයැක්ස් යනු සෝවියට් දේශය සමයේදී ආරම්භ කර තවමත් දියුණුකරමින් පවතිනා විප්ලවීය ප්‍රවාලන පද්ධතියක් ඇති ගුවන් යානයකි. ලැබෙන තොරතුරු වලට අනුව පොලවට කිලෝමීටර් 50ක් පමණ ඉහලින් හයිපර්සොනික් වේගයෙන් පියාසරක කල හැකි මෙම යානාවට අධිකවේගයෙන් යාමට අවශ්‍ය අමතර ජවය මැග්නීටෝ හයිඩ්‍රෝඩයිනැමික් ජෙනරේටර් නම් උපකරණයක් හරහා එන්ජිමට ඇතුලුවන අයනීකරනයවුනු වාතය (පොලවට කිලෝමීටර් 50ක් පමණ ඉහලින් ඇති වායුගෝලයේ වාතය බොහෝ සෙයින් අයනීකරණයවී ඇත) සම්පීඩනය කොට ඉන්ධන සමග දහනය කොට ලබාගනී.

අයක්ස් ව්‍යාපෘතියේ එන්ජින් තවමත් නිර්මාණය කෙරෙමින් පවතින නිසා පියාසරකල හැකි පර්යේශන යානාවක් තවමත් නිමවා නොමැත.





බෝයිං F/A XX 6වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන්වදින යානාව යනු තවමත් නිර්මාණ මට්ටමේ පවතින වසර 2020-2025 කාලපරාසය තුල අමෙරිකානු ගුවන් හා නාවික බලකා සඳහා අනුයුක්ත කරගැනීමට සැළසුම් කර ඇති අති නවීන යුධ ගුවන්යානාවකි. මේ යානයේ නාමය තුල XX යනුවෙන් සඳහන් කොට ඇත්තේ එය තවමත් පර්යේශණ මට්ටමේ හෙවත් experimental තත්වයේ පවතින බැවිනි. F/A යනුවෙන් සඳහන් කොට ඇත්තේ Fighter/Attack හෙවත් ප්‍රහාරක/සටන්වදින යන යානයේ කාර්‍යභාරය ඇඟවීමටයි.
Related Posts Plugin for WordPress, Blogger...