Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 26 November 2013

සිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් (සල්ගසක්?) වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී!


නේපාලයේ ලුම්බිණියේ පිහිටා ඇති මෙම සිද්ධස්ථානය දැන් මායාදේවී විහාරස්ථානය ලෙස හැඳින්වේ. සිද්ධාර්ථ ගෞතමයාණන් මෙලොව එලියදුටු ලුම්බිණී සල් උයන මෙම ස්ථානයේ පිහිටා ඇති බව විශ්වාස කරන අතර බෞද්ධ පුරාවෘත වල මෙම සල් උයනේ සල්ගසක් යට සල් අත්තක් අල්වාගනෙ සිටියදී මහාමායා කුමරිය සිදුහත් කුමරුන් ලොවට බිහිකල බව පැවසේ.

මෙම ස්ථානයේ කැණීම් කටයුතුවල නිරතවන පුරාවිද්‍යාඥයින් ක්‍රි.පූ 6වැනි සියවසට අයත්යයි සැක කෙරෙන දැවමය විහාරගෙයක නටබුන් සොයාගෙන ඇති අතර  එය ගසක් වටකොට ගෙන නිර්මාණය කොට ඇති බවට සාක්ශි හමුව තිබේ. මෙම ගස කුමණ වර්ගයට අයත්දැයි තවමත් පැහැදිලි නැත. එය බෞද්ධ පුරාවෘත්තයේ සඳහන් ආකාරයටම සල් ගසක අවසේශ යයි හඳුනාගැනුන හොත් එය කොතරම් ආස්චර්යමත් වන්නේදැයි ඔබට සිතාගත හැකිද?

ඒ අනුව මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ අසල තිබූ බව සැලකෙන සල්ගස (?) ආවරණය කර තැනූ විහාරය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කලහ. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී සොයාගෙන ඇති මෙය මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස එම වාර්තා සඳහන් කරයි.

සිදුහත් කුමරුන්ගේ උපත පිළිබඳව මෙතෙක් පැවති මත භේදය මෙම නව සොයා ගැනීම මගින් නිරාකරණය වනු ඇති බව පුරා විද්‍යාඥයින් පවසති. කි‍්‍රස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරේ.

බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්විද්‍යාලයේ පුරාවිද්‍යාඥ ආචාර්ය රොබින් කොනින්හැම් මෙම පර්යේශන මෙහෙයවන අතර ඒ සඳහා අමෙරිකාවේ නැෂනල් ජියෝග්‍රැෆික් (National Geographic Society) ආයතනය දායක වී ඇත.

දැනට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස වන්දනාමාන කෙරෙන සියලුම පූජනීය ස්ථානවල ඇති ගොඩනැගීම් අසෝක අධිරාජ්‍යයාගේ කාලයේ එනම් ක්‍රි.පූ 3වැනි සියවසට අයත්වන අතර ඊට වඩා පැරණි බෞද්ධ විහාරාරාම ඉන්දියාවෙන් මෙතෙක් හමුවී නොමැත. එහෙත් මෙම අපූර්ව සොයාගැනීමත් සමග තත්වය වෙනස් වී ඇත. ආචාර්ය කොනින්හැම් ඇතුලු පිරිස සිදුහත් උපත සැමරීම සළකුණු කිරීමට පිහිටැවූ ස්මාරකයේ පාදම ආසන්නයේ කැනීම් සිදුකල අතර ඊට පහතින් මෙම දැවමය නටබුන් හමුවී ඇති අතර කාබන් කාළ නිර්ණයට අනුව ඒවා කි.පූ 6වැනි සියවසට, එනම් බුදුන් වහන්සේ මෙලොව පහලවූ වකවානුවට අයත් බව තහවුරු වී ඇත.
Related Posts Plugin for WordPress, Blogger...