රොබෝ සෙබළුන්, රොබෝ සහන සේවකයින් හා රොබෝ සහයකයින් ශිල්ප දක්වන DARPA Robotics Challenge

අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ හෙවත් පෙන්ටගනයේ පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය වන DARPA  ආයතනය අනාගතයේ යුධ බිම්වල, ස්වභාවික හෝ ස්වභාවික නොවන ආපදා අවස්ථාවලදී (උදා: සුනාමියක්, න්‍යශ්ඨික බලාගාරයකට එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාරයක්) මිනිස් සෙබලුන් හා සහන සේවකයින් සමග හරි-හරියට වැඩකල හැකි රොබෝවරුන් නිර්මාණයේ යෙදී සිටින්නේ සෑහෙන කාලයක සිට. මුලින් මෙම තාක්ශණයන් බිහිකිරීම පැවරී තිබුනේ පෙන්ටගනය සමග සමීපව කටයුතු කරන විශ්වවිද්‍යාල පර්යේෂණාගාර හා එහි කොන්ත්‍රාත් ලබාගන්නා අධිතාක්ශණික සමාගම් වලයටයි.

එහෙත් මෑතක  සිට අමෙරිකානු හමුදාවන් හට තාක්ශණය නිර්මාණය කිරීමේදී මිලිටරිමය නොවන සිවිල් පර්යේෂණායතන, විද්‍යාගාර හා විශිෂ්ඨ නවෝත්පාදන හැකියාවන් ඇති සිවිල් පර්යේෂකයින් හා ඉන්ජිනේරුවන්ගේ හැකියාව යොදාගැනීමේ බලවත් උත්සහයක් පවතිනවා. එසේ කිරීමට හේතුව දැවැන්ත අධිතාක්ශණික සමාගම් මගින් සිදුකරන මිල අධික, සංකීර්ණ තාක්ෂණයන්වලට (උදා: අධික බරපැනක් සහිත, තවමත් 100% සාර්ථක ලෙස මෙහෙයුම්වල යෙදිය නොහැකි F-35 ස්ටෙල්ත් යානාව) වඩා  ප්‍රායෝගික, අඩුමිල තාක්ෂණික නිර්මාණ සිවිල් පුරවැසියන් හා ආයතන මගින් නිර්මාණය වීමේ ඉහල ප්‍රවනතාවයයි. පෙන්ටගනයට හෝ අමෙරිකානු හමුදාවන්හට සම්බන්ධයක් නොමැති සිවිල් පුරවැසියන් හා ආයතන සතු මෙම හැකියාවන් ප්‍රයෝජනයට ගෙන ඔවුන් ලවා අනාගතයට වැදගත් වන ප්‍රායෝගික තාක්ශණයන් නිර්මාණය කරගැනීමේ එක් අවස්ථාවකි මේ "රොබොටික්ස් චැලෙන්ජ්" නම් තරඟය.

නාසා අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉදිරිපත් කෙරුනු "වොල්කරී" ලෙස නම් තැබුණු රොබෝ තරඟකරුවා 
මෙම තරඟය සඳහා ඉදිරිපත් වන රොබෝවන් Humanoid හෙවත් මිනිස් රුව ඇති, මිනිසුන් මෙන් ක්‍රියාත්මකවන රොබෝවන් විය යුතුය. මෙම තරඟයේදී රොබෝ තරඟකරුවන් විසින් සම්පූර්ණ කළයුතු ක්‍රියාකාරකම් 8ක් ඩාර්පා ආයතනය විසින් විස්තරකර තිබෙන්නේ මෙලෙසයි.

1. Drive a utility vehicle at the site. (වාහනයක් පැදවීමේ හැකියාව තිබිය යුතුයි )
2. Travel dismounted across rubble. (වාහනයෙන් බැස, සුන්බුන් හා කඩාවැටුනු ගස්, ගොඩනැගිලි කොටස් විසිරී ගිය ප්‍රදේශයක් හරහා අණතුරකට පත්නොවී ගමන්කිරීම )
3. Remove debris blocking an entryway. (සුන්බුන් ඉවත්කොට දොරටුවක් පාදාගැනීම )
4. Open a door and enter a building. (දොරක් විවරකොට ගොඩනැගිල්ලක් තුලට ඇතුලුවීම )
5. Climb an industrial ladder and traverse an industrial walkway. (ඉණිමගක් නැගීම හා කර්මාණ්තශාලා/බළාගාර වැනි ස්ථානවල සේවකයින්ට ගමන්කිරීමට ඇති පටු කොරිඩෝ වැනි මංපෙතක ගමන්කිරීම )
6. Use a tool to break through a concrete panel. (ආයුධයක් භාවිතා කොට කොන්ක්‍රීට් තට්ටුවක් කඩා ඉවත් කිරීම )
7. Locate and close a valve near a leaking pipe. (පිපිරී ජලය ගලායන බටයක කරාමය ඇති ස්ථානය හඳුනාගෙන එය වැසීම )
8. Connect a fire hose to a standpipe and turn on a valve. (ගිනි නිවන භටයන් හට ජලය ලබාගත හැකි විශාල පයිප්පයකට ජලබටයක් සවිකොට කරාමය කරකවා ජලය ලබාගැනීම )

රොබෝ තරඟකරුවන් හට ලබාදී ඇති මෙම කර්තව්‍යයන් හරහා මිනිසුන් සමග සාමූහිකව ක්‍රියාත්මක විය හැකි, අවශ්‍ය විටක තනිවම තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කල හැකි, ශක්තිමත් මෙන්ම සුනම්‍ය හැකියාවන් මැන බැලීම අරමුණු කෙරෙන බව පෙන්ටගනය පවසනවා. මෙම හැකියාවන් මූලිකව වශයෙන් කොටස් 6කට බෙදා ඇති අතර එක් එක් කර්තව්‍යයේදී තරඟකරුවා මෙම හැකියාවන් සාර්ථකව ප්‍රදර්ශණය කරන්නේදැයි මැනබලමින් ලකුණු ලබාදෙනවා. මෙම හැකියාවන් (capabilities) 6 නම්;

1. Perception - සංජානනය (තම පරිසරය නිරීක්ශණය කොට, එහි වස්තූන් හා සිදුවුවන ක්‍රියාකාරකම් හඳුනාගැනීමේ හා ඒවා එකිනෙක හා ගැලපෙන ආකාරය තේරුම්ගැනීමේ හැකියාව - මෙය රොබෝවෙකුට ලබාදීමට ඉතාම අපහසු හැකියාවයි )

2. Mounted Mobility - වාහනයකට නැග එය පදවාගෙන යාමේ හැකියාව - මේ සඳහා සංජානන හැකියාව හා සුනම්‍ය ක්‍රියාකාරකම් වල යෙදිය හැකි සිරුරකින් සමන්විතවීම අත්‍යාවශ්‍යවේ

3. Dexterity - සියුම් ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාව. මේ සඳහා සුනම්‍ය (flexible) ලෙස මෙහෙයවිය හැකි අංගෝපාංග රොබෝවරයා සතුවිය යුතුය

4. Decision making - තම පරිසරය තුල තිබෙන තත්වය සංජානනය කරගැනීම තුලින් ලැබෙන අවබෝධය, තමාට කිරීමට ඇති කාර්යය හා ගලපා කලයුත්තේ කුමක්දැයි සාර්ථකව තීන්දු කිරීම

5. Dismounted mobility - වාහනයෙන් බැස පාගමනින් වලගොඩැලි, සුන්බුන් විසිරුණු ප්‍රදේශයක් හරහා තම ඉලක්කය වෙත ගමන්කිරීමේ හැකියාව

6. Strength - සුන්බුන් ඉවත් කිරීම, කොන්ක්‍රීට් කැඩීම වැනි කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිය ඇති බව ප්‍රදර්ශණය කිරීම.


දෙසැම්බර් 21-23 දක්වා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මෙම අභියෝගතා තරඟයේ අවසන් පූර්ව තරඟයන් පැවැත් වෙන අතර මෙම තරඟ සඳහා දැනට කණ්ඩායම් 17 ඉදිරිපත් වී තිබෙනවා. මෙම කණ්ඩායම් අතරින් ඉහලම ලකුණු ලබාගන්නා රොබෝ තරඟකරුවන් 8දෙනෙකු තෝරාගන්නා අතර ඒවා ඉදිරිපත් කල කණ්ඩායම් වලට 2014 වසරේ අග භාගයේ පැවැත්වෙන අවසාන මහා තරඟයට සහභාගී වීමේ වරම් ලැබෙනවා. එපමණක් නොව, එම රොබෝවන්ගේ හැකියාවන් වඩාත් දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය (funding) මෙම කණ්ඩායම් 8ටම පෙන්ටගනයේ අනුග්‍රහයෙන් ලැබෙනු ඇති.

 DARPA Robotics Challenge Trials Live Broadcast!!

 

Comments