Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 18 February 2014

මුතුරාජවෙල රක්ෂිතය විකිණීමේ සැලැස්මක්!!


මුතුරාජවෙල තෙත් බිම යනු කුමක්ද?

මුතුරාජවෙල තෙත් බිම ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි.එබැවින් මෙහි වෙසෙන සියොතුන් අතර දේශීය මෙන් ම විදේශීය පක්ෂීන් ද වේ.මෙය කිවුල්දියට ම ආවේණික වූ කඩොලාන පරිසරයකින් ද, විවිධාකාර සියොතුන් හා උභය ජීවීන්ගෙන් ද, විවිධ කෘමිවිශේෂ හා ජලජ පැළෑටිවලින් ද ස්වයංපෝෂිත වූ තෙත් බිමකි.

මෙම තෙත් බිම බොහෝ සත්ත්ව හා ශාක වර්ග ගණනාවකට නිජබිමක්ව පවතී.කලපුව හා ඍජුව සම්බන්ධ වී නිර්මිතව ඇති බැවින් ධීවර පවුල් 3200කට පමණ ජීවනෝපාය සැලසී ඇත.ශ්‍රී ලංකාවේ නැංගුරම්ලන ධීවර යාත්‍රාවලින් 15% ක් පමණ මුතුරාජවෙල කලපු තීරය නැංගුරම්පළක් ලෙස භාවිතා කරයි.

මෙම ප්‍රදේශය මත්ස්‍යයන් හා ඉස්සන්ගේ අභිජණන මධ්‍යස්ථානයක් වන අතර එළවළු, පළතුරු , ඖෂධ හා දැව සපයන ප්‍රභවයක් ද වේ. ඉතා ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙල තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයට ද ඍජු දායකත්වයක් ලබා දෙයි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයට රුකුලක්ව පවතින මුතුරාජවෙල තෙත් බිම සංචාරක ව්‍යාපාරයට ද දායකත්වයක් ලබා දෙයි. ඊට ප්‍රධාන හේතුව ප්‍රදේශය පුරා පැතිරී ඇති සොබාසෞන්දර්යයි. මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එම සොබාසෞන්දර්යයේ මුලිකාංගයකි.


මෙම ඇල මාර්ග දෙක දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබලන කඩොලාන තීරය ද දුටුවන් මන බදනා පාරිසරික චමත්කාරය විදහා පායි.තව ද මෙම කඩොලාන තීරය ඔබ්බෙහි පවතින "කුරුලු උයන" ප්‍රදේශයට අපූර්වත්වයක් එක් කරයි. මෙරට පක්ෂීන් මෙන්ම විදේශ රටවලින් පැමි‍ණෙන සංචාරක පක්ෂීන්ගෙන් ද මෙම උයන අසිරිමත් ව පවතී.

දිවයිනේ අගනුවරට ඉතාමත් ආසන්නව පිහිටි මුතුරාජවෙල බස්නාහිර පළාතේ පිහිටි විශාලත ම තෙත් බිම ලෙස ද හඳුනා ගත හැකි ය.

කැලණි ගඟේ සිට මීගමු කලපුව දක්වා විහි දී ඇති මෙම රමණීය තෙත් බිම බටහිරින් සමුද්‍ර තීරයෙන් ද නැෙඟනහිරින් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ද සීමා වේ. වැඩි ප්‍රමාණයක් විහඟුන් දැක ගැනීමේ අදහසින් අප හිමිදිරියේ ම ජාඇළ - බෝපිටිය ප්‍රදේශයෙන් හැමිල්ටන් ඇළ වෙත ළඟා වීමු.

මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයෙන් හැමිල්ටන් ඇළ ඔස්සේ අපගේ යාන්ත්‍රික බෝට්ටුව දියත්වන විට උදෑසන හතයි තිහට පමණ ඇත. එය යාන්ත්‍රික බෝට්ටුවක් වුව ද ඇන්ජිම අශ්වබල අටක අවම බලයෙන් යුක්ත බැවින් වේගය සීමාකාරී ය. නමුත් එය පරිසරයට හිතැති ය.

ඕලන්ද යුගයේ දී කැලණි ග‍ෙඟ් සිට මීගමු කළපුව දක්වා මීගමුව කොළඹ මහාමාර්ගයට සමාන්තරව මුතුරාජවෙල වෙල්යාය හරහා ඇළමාර්ගයක් සකස් කෙරුණි. ඒ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ය. එය ඕලන්ද ඇළ නම් විය. ඕලන්ද යුගය අවසන් වී ස්ථාපිත ඉංග්‍රීසි යුගයේ දී හැමිල්ටන් නම් ආණ්ඩුකාරවරයා යටතේ කැලණි ගඟත් මීගමු කලපුවත් යා කරමින් මීගමුව දක්වාත් එතැනින් පුත්තලම දක්වාත් සකස් කරන ලද හැමිල්ටන් ඇළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා සකස් කෙරුණි. අප ගමන් ගන්නේ එකී හැමිල්ටන් ඇළ ඔස්සේ ය.


නොයෙකුත් සතුරු ආක්‍රමණ හා දුර්භික්ෂ හේතුවෙන් උතුරු මැද පලාතේ සිට නිරිතදිගට සංක්‍රමණය වූ අතීත රජ දරුවන් ගේ පාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයෙ හි ස්ථාපිතව තිබූ වකවානුවේ දී අප විසින් ගවේෂණය කරන සොඳුරු තෙත් බිම සශ්‍රීක කුඹුරු යායකි. සවන පැරකුම්බා රජ සමයේ දී මුතුමෙන් වටිනා සහල් රජුට ලබා දීම නිසාවෙන් මෙම තෙත් බිම මුතුරාජවෙල ලෙස හැඳින්වුණි. නමුත් ඉන් පසු මේ තෙත් බිම හරහා ඉදි කෙරුණු ඇළ මාර්ගවල අහිතකර ප්‍රතිඵලයක් ලෙස කළපුවේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒමෙන් මෙහි වගා කටුතු අභාවයට යන ලදී. මේ විනාශය නොඉහිලු ප්‍රදේශවාසීන් මෙම විනාශයට පිළියම් යොදන ලෙස රජුට එරෙහිව කැරළි ගැසු බවට ද ප්‍රදේශයේ ජනප්‍රවාද පවතී. සශ්‍රීක මුතුරාජවෙල වෙල්යාය වී වගාවට නුසුදුසු තත්ත්වයට පත් වී පසුකාලීනව සහමුලින් ම නැති වී ගියේ ය. පසුව මෙම භූමිය ක්‍රමයෙන් තෙත්බිම් පරිසර පද්ධතියක් බවට පරිවර්තනය විය. අද මේ තෙත් බිමෙන් සහල් නොලැබුණ ද දෙස් විදෙස් පතල අතිශය වැදගත් ජෛව උරුමයන්ගෙන් සංතතිය වන්නට එකී මිනිස් ක්‍රියාකාරකම හේතු වූ බව කිව හැකි ය.

ජා-ඇළ, වත්තල, මීගමුව සහ කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරට ම අයත් වන මුතුරාජවෙල හෙක්ටයාර 6000කට අධික භූමියක ව්‍යාප්ත ව පවතී. මේ පරිසරය තෙත් බිම් කලාපය, මීගමුව කළපුව, දඬුගම් ඔය ප්‍රදේශය වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.

මුතුරාජවෙල පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය


මුතුරාජවෙල පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය උදෙසා විවිධ පරිසර පද්ධතීන්වලින් ලැබෙන දායකත්වය ඉමහත් ය. කඩොලාන, වගුරුබිම්, මිරිදිය ජලමාර්ග, වගාකිරීම අත්හල කුඹුරු, ලඳුකැළැ යනා දී එකිනෙකට වෙනස් පරිසර කොටස් වෙනස් ආකාර ශාක සහ සත්ත්ව විවිධත්වයකට මඟ පාදයි. මෙකී පරිසර පද්ධතීන් සියල්ලම මුතුරාජවෙල තෙත් බිම් වනෝද්‍යානයේදී දැකගත හැකිය.

ලවණ ජලයේ ජීවත් වීමට හැකියාව ඇති ලෝකයේ ඉතා විශාලතම උරගයන් ලෙස සැලකෙන ගැට කිඹුලන් ඉතා වටිනා ස්වභාවික සම්පතකි. අතිතයේ මුතුරාජවෙල තෙත්් බිමේ ද ඉතා හොඳ ගැට කිඹුලන් ගහනයක් දිවි ගෙවුව ද දුස්මාන්තික දඩයම් කිරීම හමුවේ අද ඔවුන් විරල දසුනකි. කිඹුලාට අමතරව කබරගොයා, තලගොයා, කටුස්සන්, හුනන් හා හිකනලුන් මෙන් ම සර්ප විශේෂ රැසක් ද මුතුරාජවෙල උරඟ විවිධත්වය ඉහළ නංවන බව කිව යුතු ය. ඒ අතරින් කඩොලාන දිය බරියාට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ හමුවන ඉතා දුර්ලභ සර්පයෙකු වන කඩොලාන දියබරියාගේ නිදර්ශක හමු වී ඇත්තේ ඉතාමත් ස්වල්පයකි. එයින් ද වැඩි ප්‍රමාණයක් හමු වී ඇත්තේ මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව ය.

තමන් ගේ මවු රටවල ශීතකාලය උදා වූ විට මෙරටට පැමිණෙන සංචාරක පක්ෂින් මෙන් ම දේශීය පක්ෂි විශේෂ රැසක් නැරඹීම සඳහා ද මුතුරාජවෙල තොතැන්නකි. විශේෂයෙන් උදෑසන සහ සවස් කාලයේ දී මුතුරාජවෙල හා මීගමු කළපුව විහඟුන් ගේ පාරාදීසයක් බවට පත් වේ. කරවැල් කොකා, අළුකොකා, රත්යටිමල් කිරලා, ගොළු කිරලා, කුස ඇලි සයුරුකුස්සා, බමුණු පියකුස්සා, මල් පිළිහුඬුවා, මහා පිළිහුඩුවා, ලය සුදු මැදි පිළිහුඩුවා, පුංචි දියකාව, නිල්පෙඳ බිඟුහරයා, අටු වැහි ලිහිණියා සහ කළුපිය ඉපල්පාවා වැනි පක්ෂීන් ඒ අතර සුළබ වෙති. එසේ ම ශ්‍රී ලංකාවට පැමිණෙන දුර්ලභ සංක්‍රමණික පක්ෂියෙකු වන කළු හිසැති මැදි පිළිහුඩුවා ද දැක ගැනීම සඳහා පක්ෂී නිරික්ෂකයන් විශේෂයෙන් මුතුරාජවෙලට පැමිණෙති.

වායුගෝලීය වාතය නිශ්චලව පවතින අවස්ථාවන්හි දී හිමිදිරි උදෑසන මිගමු කළපුව නෙතට ගෙන එන දසුන වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දර බව කිවමනා ය. යන්තම් හෝ සරලිති නොනගන කළපු දිය නිල් පැහැති පිට්ටනියක් බඳු වන අතර ඒ මතට හිරු කිරණ වැටීමෙන් රිදී තැටියෙක් ලෙස දිළිසෙන්නට පටන් ගනී. ඒ අතර කළපුවේ තැන තැන තවමත් කැටි ගැසී තිබෙන මිහිදුම් සළු අතරින් ඔබ මොබ යන ඔරු කරුවන් මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමට උත්සුක වෙනු රමණීය ය. කළපුවෙ තැන තැන තනා ඇති සාම්ප්‍රදායික ධීවර ක්‍රමයක් වන “ මස් අතු” වෙත මුහුදු ලිහිණින් රොක් වන්නේ හිරු උදා වීමෙන් පසුව ය. විශේෂයෙන් මල් කඩොල් ශාක අතු යොදාගෙන තනා ගන්නා මේ ස්වභාවික මත්ස්‍ය කොටු පරිසරය සහ අතීත ශ්‍රී ලාංකිකයන් අතර තිබු මනා සබඳතාවය මොනවට පැහැදිලි කරයි.

කුල 66කට අයත් විවිධ ශාක විශේෂ 194ක ට ද මුතුරාජවෙල තෙත් බිම නිවහන බව සොයාගෙන තිබේ. කළපු හා ගංගා මෝය සරසන ‍ෙසාබාදහමේ සුවිශේෂී නිර්මාණයක් වන කඩොලාන ශාක ප්‍රජාව සැලකීමේ දී ද මුතුරාජවෙල හා මීගමු කළපු තෙත් බිම ඉතා වැදගත් ය. ලවණ මිශ්‍රිත ජලයට හා ඉතා දුෂ්කර පරිසර සාධකයන්ට අනුවර්තනය වෙමින් ඉතා හොඳින් ජීවත් වීමට අවශ්‍ය හැකියාව ඇත. කඩොලාන සහ මීගමු කළපු සංවර්ධන පදනම, මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගින් සිදු කළ සොයා බැලීමක දී පෙනී ගියේ ශ්‍රී ලංකාවේ වාර්තා වන කඩොලාන ශාක විශේෂ 22න් 18ක්ම මේ තෙත් බිමෙහි වාර්තා වන බව ය.

මුතුරාජවෙල තෙත් බිමේ සංචාරය කිරීමෙන් ලද හැකි මිහිරියාවසේ ම සෙසු අති මහත් ප්‍රයෝජන රැසක් ද මේ පරිසර පද්ධතිය මඟින් ආශ්‍රිත ප්‍රජාවට මෙන් ම මුළු මහත් ලක්වැසි ජනතාවට ම හිමි වන බව කිව යුතු ය. නමුත් ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන් අද වන විට මෙම අගනා පරිසර පද්ධතිය අභියෝග රැසකට මුහුණ දී ඇති බව කිව මනා ය. මුතුරාජවෙල තෙත් බිමේ ජෛව විවිධත්වය සහ පාරිසරික අගය සුරැකෙන පරිදි තිරසාරව සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීමට “ මුතුරාජවෙල මහ සැලැස්ම” නමින් සංවර්ධන යෝජනාවලියක් කලකට ඉහත කරලියට පැමිණියේ ය.

මේ යටතේ කොළඹට ආසන්නව දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උප කාර්මික කලාපයක් ලෙසත් මීගමු කළපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත් ඒ අතර ප්‍රදේශය ලෙසත් වෙන් කිරීමට යෝජනා කෙරුණි. ඒ අනුව වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක පනත යටතේ  මුතුරාජවෙල අභයභූමිය, 1996 ඔක්තෝම්බර් 31 වෙනිදා තෙත් බිම් සහ සංරක්ෂකණ අභයභූමියක් ලෙස අංක 947/13 යටතේ ගැසට් නිවේදනයක් නිකුත්  කරමින් ප්‍රකාශයට පත් කර ඇත. මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1029 ක් වෙයි.

මුතුරාජවෙල රක්ෂිතය විකිණීමේ සැලැස්මක් ?

සත්ත්ව සහ ශාක ආඥාපනත උල්ලංගනය කරමින් මුතුරාජවෙල සංරක්ෂිතයට අයත් අක්කර 150 කට අධික භූමි ප්‍රමාණයක් නරග නිර්මාණ ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික ආයතනයට පැවරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මෙම පෞද්ගලික ආයතනය ඉතා සැප පහසුකම් සහිත නගර දෙකක් මේ භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. ආයෝජන මණ්ඩලය විසින් මුතුරාජවෙල භූමි ප්‍රමාණය වෙන් කරවා ගැනීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුවෙන්  අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ෂිවාන් ද සිල්වා මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ 2013 දෙසැම්බර් 05 වෙනිදා GB/4/1718/2 දරණ ලිපි අංකය යටතේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙනි. ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් වූ  නගර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙම භූමි ප්‍රදේශ නිදහස් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.


සුඛෝපභෝගී නිවාස, සීඝ්‍රගාමී දුම්රිය, හෝටල්, සාප්පු, වෛද්‍ය ආයතන සහ ගොල්ෆ් පිටියක් මෙම ‘බෝපිටිය අති සුඛෝපභෝගී නගර ව්‍යාපෘති'ය යටතේ ඉදිකිරීමට නියමිත බව වාර්තා පෙන්වා දෙයි. මෙම පෞද්ගලික ආයතනය ඉතා සැප පහසුකම් සහිත නගර දෙකක් මේ භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.


Related Posts Plugin for WordPress, Blogger...