VW සමාගම ඉන්ධන පිරිමැස්ම සඳහා ගියර 10ක ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් නිර්මාණය කරති.

වොල්ක්ස්වගන් යනු ලෝක ප්‍රකට ජර්මානු මෝටර් රථ නිශ්පාදකයෙකි. නට්සි ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අදහසක් අනුව, ජර්මනියේ වැඩකරන ජනයා සඳහා ලාබදායි, ඉතා පහසුවෙන් නඩත්තුකල හැකි කුඩා කාර් රථයක් නිර්මාණය කොට නිශ්පාදනය කිරීම සඳහා 1937දී වොල්ක්ස්වගන් සමාගම ඇරඹුනි. වොල්ක්ස්වගන් යන ජර්මන් නමෙහි තේරුම වන්නේද මහජනයාගේ වාහනය (වොල්ක්ස්=ජනයා | වගන්=වාහනය) යන්නයි. ඔවුන්ගේ සුප්‍රකට නිර්මාණය වන්නේ පසුපස එන්ජිම පිහිටි, ජලය යොදන රේඩියේටරයක් හා ජල සිසිලන පද්ධතියක් නොමැතිව, තනිකරම වාතයෙන් සිසිල්වන (air cooled) එන්ජිමක් සහිත වොල්ක්ස්වගන් බීටල් කාරයයි. මෝටර් රථ කර්මාණ්තය පිලිබඳව පර්යේෂණ පවත්වන ඉතිහාසඥයින් සඳහන් කරන අන්දමට බීට්ල් කාරයේ එන්ජිම වාතයෙන් සිසිල්විය යුතුබවට එය නිර්මාණය කල ඉන්ජිනේරුවන් හට අණකොට ඇත්තේ හිට්ලර් විසින්මයි. එයට හේතුව දැඩි හිම පතනයක් ඇති ජර්මනියේ ශීත සෘතුවේදී මෙහි එන්ජිමෙහි ජලය මිදී එන්ජිම පණගැන්වීමට නොහැකිවීම වැලැක්වීම සඳහායි.

1938-2003 දක්වා වසර 65ක් තුල මිලියන 21.5ක් පමන බීටල් කාර් රථ ලොව පුරා අලෙවි වුනි.

එලෙස ආරම්භවුනු වොල්ක්ස්වගන් සමාගම අද ලොව මෝටර් රථ ක්ශේෂ්ත්‍රයේ දැවැන්තයෙකි. අමෙරිකාවේ දැවැන්ත ජෙනරල් මෝටර්ස් සමාගම පවා අභිබවා ඇති එය දැනට ජපානයේ ටොයෝටා සමාගමට හා ජපාන-ප්‍රංශ ඒකාබද්ධ  ව්‍යවසායක් වන නිසාන් රෙනෝ (Nissan-Renault) බද්ධ-සමාගමට පමණක් පිටුපසින් සිටිමින් ලොව තුන්වැනි මෝටර් රථ දැවැන්තයා බවට පත්වී ඇත. අදවන විට වොල්ක්ස්වගන් සමාගම, වොල්ක්ස්වගන් සන්නාමයට අමතරව ජර්මනියේ අව්ඩි ( Audi) හා පෝර්ෂ් (Porsche), ඉතාලියේ බුගාටි (Bugatti) හා ලැම්බෝර්ගිනී (Lamborghini) මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ සුපිරි-සුඛෝපභෝගී මෝටර් රථ මාදිලියක් වන බෙන්ට්ලි (Bently) සමාගමේද නිළ හිමිකරුවන් වේ.

මෝටර් රථ තාක්ශණය වැඩි දියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන වොක්ල්ස්වගන් සමාගම ඉහල කාර්යක්ශමතාවයක් හා පරිසර දූෂණය අවම ඩීසල් එන්ජින් තාක්ශණයේ දැවැන්තයෙකි. ඇඩ්වාන්ස්ඩ් ඩීසල් එන්ජින් ටෙක්නොලොජි ලෙස හඳුන්වන මෙම තාක්ශණයට අනුව පෙට්‍රෝල් එන්ජින් වලටත් වඩා පරිසර දූශණය සිදුකරන වායු විමෝචනය අඩු, පෙට්‍රෝල් එන්ජින්වලට වඩා ඉහල ඉන්ධන පිරිමැස්මක් ඇති ඩීසල් එන්ජින් නිර්මාණය කිරීමට ඔවුන් සමත්වී ඇත. අද ලොව විශාලම ඩීසල් කාර් නිශ්පාදකයා වන්නේ වොල්ක්ස්වගන් සමාගමයි. යුරෝපා සංගමයේ දැඩි පරිසර දූෂක වායු විමෝචන තත්වයන් අභිබවයා යාමට මෙම ඩීසල් එන්ජින් සමත්ව ඇත.

නොබෝදා ඔස්ට්‍රියාවේ වියනා නුවරදී මුළුදුන් අන්තර්ජාතික මෝටර් රථ තාක්ශණ සම්මන්ත්‍රණයකදී වොල්ක්ස්වගන් සමාගම සිය නවතම නිර්මාණය වන ගියර 10යේ ට්‍රාන්ස්මිශන් තාක්ශණය පිලිබඳව අනාවරණය කලේය. මෙම සමුළුවට සහභාගිවුනු VW සමාගමේ සභාපතිවරයා වන ආචාර්ය මාටින් වින්ටර්කෝර්න් හා නිර්මාණ අංශයේ ප්‍රධානී හාන්ස් ජේකොබ් ප්‍රකාශකල අන්දමට මෙමගින් විශාල වේග පරාසයන් ප්‍රමාණයක් සඳහා වෙන වෙනම ගියරය බැගින් ඇති නිසා ඉන්ධන කාර්යක්ශමතාවය 20%කින් පමණ ඉහල නැංවෙනවා. ඔවුන් පවසන අන්දමට මෙම ගියර පද්ධතිය 2015 එලිදැක්වෙන වොල්ක්ස්වන්ගන් පසාට් (VW Passat) කාරයට අඩංගුකොට එලි දැක්වෙන අතර ඉදිරිකාලයේදී වොල්ක්ස්වගන් සමාගම නිශ්පාදනය කරන සියලුම මෝටර් රථ මාදිලිවල මෙම ගියර පද්ධතිය අඩංගු කොට නිපැදවෙනු ඇති.

Sources:
http://www.wired.com/2014/05/vw-10-speed-transmission/
http://www.roadandtrack.com/go/news/vw-10-speed-transmission?src=rss

Comments

  1. එක අතක් gear එකේම තියාගන්න වෙයිද දන්නේ නෑ :O

    ReplyDelete

Post a Comment