අමෙරිකාවට අයත් මිසයිල ප්‍රහාර පූර්ව අණතුරු ඇඟවීම් චන්ද්‍රිකා පද්ධතිය MH17 මිසයිල ප්‍රහාරය ඡායාරූපගත කලාද?

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා MH17 ප්‍රහාරය පිලිබඳව සිය කටහඬ මුලින්ම අවදිකලේ පසුගිය ජූලි 18වැනිදාය. සාමාන්‍යයෙන් අමෙරිකානු ජනාධිපතිවරයෙකු මෙවැනි අන්තර්ජාතික වශයෙන් වැදගත් සිද්ධියක් පිලිබඳව අදහසක් පලකරන්නේ සිය රහස් ඔත්තු ප්‍රධානීන්, ආරක්ශක ප්‍රධානීන් හා දේශපාලන හා අන්තර්ජාතික කටයුතු පිලිබඳව හසල දැනුමක් ඇත්තවුන් සමග ගැඹුරු සාකච්ඡාවකින් අනතුරුවය.

ජනාධිපති ඔබාමාගේ ප්‍රකාශයේ තමන් සතුව ප්‍රහාරය පිලිබඳව චන්ද්‍රිකා ඡායාරූප තිබෙන බවක් හෝ වෙනත් සාක්ශි තිබෙන බවක් සඳහන් නොවූවත්, ඉතා දැඩිලෙසම මෙම ප්‍රහාරයට රුසියාවෙන් සන්නද්ධවූ යුක්‍රේන බෙදුම්වාදීන් විසින් සිදුකරන ලද්දක් බව පැවසින. රුසියාව වැනි බලසම්පන්න රාජ්‍යයක් යම් ගැටළුවකට ඈඳා ගන්නාවිට, චෝදනා එල්ල කරනවිට එය ඉතා සැළකිල්ලෙන් සිදුකිරීම අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික පිලිවෙතයි. අමෙරිකාවට මෙන්ම රුසියාවටද මිසයිල ප්‍රහාර පූර්ව අණතුරු ඇඟවීමේ පද්ධතියක් තිබෙන බවත් අමෙරිකානු පද්ධතිය මෙන්ම එයද කාර්යක්ශම හා නිවැරදි පද්ධතියක් බවත් ධවල මන්දිරයේ විශේෂඥයින් හොඳින් දන්නා බැවින් රුසියානුවන් හට අමෙරිකානු ජනාධිපතිවයෙකු ගේ ප්‍රකාශයක් සාක්ශි සහිතව බොරු ප්‍රකාශයක් බවට ඔප්පු කල නොහැකි බව තහවුරු කර ගැනීමෙන් පසුවයි ඔවුන් ජනාධිපති වරයාට සිදුකල යුතු ප්‍රකාශය පිලිබඳව උපදෙස් ලබාදෙන්නේ. 

නිවැරදි උපදෙස් ලබා නොදෙන උපදේශකයින් සේවයේ රඳවා ගැනීමක් හෝ, දෙන උපදෙස් පිලිනොගෙන හිතූ මනාපේ ප්‍රකාශ සිදුකොට අමාරුවේ වැටෙන පිලිවෙතක් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පරිණත රටවල්වල නොමැති බවත් මෙහිදී සඳහන් කල යුතුමය.

අමෙරිකාවට සාක්ශි ඇත්නම් නොපෙන්වන්නේ ඇයි?

මෙය ගැටළුවකි. එහෙත් එලෙස සාක්ශි ඉදිරිපත් කරනවා යනු තමන් සතු නවීනතම මෙන්ම අතිශයින්ම රහසිගත චන්ද්‍රිකා පද්ධතියකින් ගන්නා ලද ඡායාරූප ලොව හමුවේ තැබීමයි. මෙම ඡායාරූප අධ්‍යයනය කරන රුසියානු හා චීන යුධ විශේෂඥයින්ට අමෙරිකානු මිසයිල අණතුරු ඇඟවීම් පද්ධතියේ හැකියාවන් පිලිබඳව නිවැරදි තක්සේරුවක් ලබාගන්නට හැකිවනවා මෙන්ම මෙම පද්ධතියේ සැඟවී ගමන් කල හැකි තාක්ශණයක් නිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත ලබාදීමක්ද සිදුවනවා. එබැවින් සාක්ශි ඉදිරිපත් නොකිරීම තුල සිය යුධ රහස් ආරක්ශාකර ගැනීමේ අවශ්‍යතාවය තිබෙන බව වටහා ගත හැකියි.

මොකක්ද මේ මිසයිල ප්‍රහාර පූර්ව අණතුරු ඇඟවීම් චන්ද්‍රිකා පද්ධතිය?

එක්සත් ජනපද ගුවන් හමුදා අභ්‍යවකාශ අණදෙන මූලස්ථානය හෙවත් US Air force Space Command මගින් පරිපාලනය වන Space Based Infrared System (SBRIS) නමින් හඳුන්වන චන්ද්‍රිකා පද්ධතියක් මෙම පූර්ව අණතුරු ඇඟවීම් සිදුකරයි.


දැනට විව්ධ කක්ශවල රඳවන ලද චන්ද්‍රිකා 7කින් මෙම පද්ධතිය සමන්විත වන අතර මෙම චන්ද්‍රිකා මගින් අමෙරිකාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති සියලුම රටවල් ආවරණය කරයි. මෙම චන්ද්‍රිකාවල සවිකොට ඇති අධිසංවේදී අධෝරක්ත සංවේදක (infrared sensors) මගින් පෘථිවියේ ඕනෑම ස්ථානයකින් විදින රොකට්ටුවක හෝ මිසයිලයක රොකට් එන්ජිමේ උශ්ණත්වය මැනීමට හැකි තරම් සංවේදීය. මෙලෙස උශ්ණත්වය මැනීම මගින් එය කුමන වර්ගයේ රොකට්ටුවක්ද නැතහොත් මිසයිලයක්ද යන්න එම පද්ධතියට තෝරාගත හැකිය. එමෙන්ම නිරන්තරයෙන් මෙම රොකට්ටුවේ උශ්ණත්ව මුද්‍රාව (heat signature) සටහන් කරගැනීමෙන් එම රොකට්ටුව විදිනු ලැබුවේ පෘථිවියේ කුමන ස්ථානයකින්ද, එහි වේගය කුමක්ද, ගමන් පථය කුමක්ද, ඉලක්කය කුමක් විය හැකිද යන සියලු දත්ත ගණනයවේ.

MH17 මැලේසියානු ගුවන්යානය යුක්‍රේනයේදී වෙඩිතබා බිම හෙලූ SA-11/SA-17 BUK ගුවන්යානා නාශක මිසයිලය.

මැලේසියානු යානය බිමහෙලූ රුසියාවට පක්ශපාතී කැරලිකරුවන් සතුවූ SA-11/SA-16 BUK මිසයිල විදිනය හොර රහසේ රුසියාවට ගෙනයන අයුරු යුක්‍රේනියානු ඔත්තුකරුවන්ගේ කැමරාවලට හසුවෙයි??

MH17 ‍යා‍න‍ය ‍බි‍ම ‍හෙ‍ලී‍ම... ‍හි‍තා‍ම‍තා ‍සි‍දු‍ක‍ල ‍දෙ‍යක්‍‍ද? ‍වැ‍ර‍දී‍මක්‍‍ද? ‍වැ‍ර‍දු‍නේ ‍කා‍ට‍ද?

SBRIS පද්ධතියෙන් ලැබෙන දත්ත විශ්ලේෂණය කොට අමෙරිකාන අණදෙන මධ්‍යස්ථාන වලට, පෙන්ටගනයට, සී.අයි.ඒ හා වෙනත් ඔත්තුසේවා වලට ලබා දෙන්නේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි බක්ලි ගුවන් හමුදාමූලස්ථානයේ (Buckley Air Force Base in Colorado) පිහිටුවා ඇති පාලන මධ්‍යස්ථානයකිනි.

එපමණක් නොව මෙම SBRIS චන්ද්‍රිකා පද්ධතිය උතුරු අමෙරිකානු අභ්‍යවකාශ ආරක්ශක මූලස්ථානය හෙවත් North American Aerospace Defense Command (NORAD)  මිසයිල ආරක්ශණ රේඩාර් පද්ධතිය හා යුරෝපයේ ග්‍රීන්ලන්තයේ පිහිටි Ballistic Missile Early Warning System (BMEWS) රේඩාර් පද්ධතිය හා සම්බන්ධ කොට ඇති අතර එමගින් සතුරු රටකින් මිසයිලයක් දියත්වූ වහාම එය නිරීක්ශණය කරමින් පූර්ව අණතුරු ඇඟවීම් සිදුකරයි.

යුක්‍රේන මිසයිලය SBRIS චන්ද්‍රිකා අණතුරු ඇඟවීම් තිරවල දිස්වුනාද?

SBRIS මිසයිල අණතුරු ඇඟවීම පද්ධතියේ තාක්ශණික හැකියාවන් පිලිබඳව අවබෝධයක් ඇති ආරක්ශක විශ්ලේෂයකයින් පවසන අන්දමට MH17 බිම හෙළු SA-11 බක් මිසයිලය දියත්වී තත්පර කිහිපයක් ඇතුලට එහි රොකට් එන්ජිමේ අධෝරක්ත සටහන හා මිසයිලයේ වර්ගය, එහි ගමන්මාර්ගය හා ඉලක්කය පිලිබඳ තොරතුරු SBRIS චන්ද්‍රිකාවලින් තොරතුරු ග්‍රහණය කරගන්නා බක්ලි ගුවන්හමුදා මූලස්ථානයේ පරිගණක තිරවල දිස්වන්නට ඇති බව පවසනවා.

එමෙන්ම මිසයිලය වැදී යානය පුපුරා යනවිට ඉන් මතුවන ගිණිජාලාවද මෙම චන්ද්‍රිකා මගින් ග්‍රහණය කරගෙන බක්ලි ගුවන්මූලස්ථානයේ පරිගණක තිරවල සටහන් කරන්නට ඇති බව ඔවුන් පවසනවා.

ජනපති ඔබාමා එතරම් විශ්වාසයකින් රුසියානු ආධාර ලබන කැරළිකරුවන් හට චෝදනා කරන්නේ මෙම දත්ත සියැසින්ම දැකීමෙන් පසු වන්නට පුලුවන්.

Comments

  1. මේ සිද්දිය සම්බන්ධයෙන් ඔබ ලියන මේ ලිපි පෙළ ඉතා වැදගත්... බොහෝ දේවල් දැන ගත්තා.. යුක්රේනය/රුසියාව සහ මැලේසියාව අතර දේශපාලන හෝ වෙනයම් ආරවුල් එහෙම මෙවැනි දේකට හේතු වෙන්න පුළුවන් ද? මෙහෙ සමහර මිනිසුන් එවැනි දේ ගැනත් කතා වෙනවා..

    ReplyDelete

Post a Comment