රොබෝ කාර් මහා පරිමාණයෙන් වීදිගත කලයුත්තේ ඇයි? . . . . .

ගූගල් සමාගම නිර්මාණය කල රොබෝ කාරය සමග ඡායාරූපයකට පෙනී සිටින ගූගල් සමාගමේ සභාපති එරික් ශ්මිඩ් (සිටගෙන), ගූගල් සමාගමේ සම-නිර්මාතෲවරුන් වන ලැරී පේජ් (ඉදිරිපස අසුනේ) හා සර්ගෙයි බ්‍රින් (පසුපස අසුනේ)
රොබෝ කාර් යනු මොනවාද?

Autonomous car, driverless car  නැතිනම් self-driving car කියලත් හඳුන්වන රොබෝ කාර් රථයක් කියන්නේ කිසිදු මිනිස් රියැදුරෙකුගේ සහයක් නොමැතිව හෝ වාහනය තුල කිසිවෙකුත් නොමැතිව සාමාන්‍ය මහා මාර්ගයක සියලුම මාර්ග නීති අනුගමනය කරමින් ගමන් කිරීම, රථය ගාල් කිරීම වැනි සියලුම කටයුතු ස්වයංක්‍රීයව සිදුකල හැකි යම් ආකරයක කෘත්‍රිම බුද්ධියකින් පාලනය වන මෝටර් රථයකි.

නිසාන්, ටොයෝටා, අව්ඩි, වොක්ස්වගන්, මර්සඩීස් වැනි දැවැන්ත මෝටර් රථ සමාගම් මෙන්ම ගූගල් වැනි අධිතාක්ශණික සමාගම්ද රියදුරන් රහිත රොබෝ කාර් නිර්මාණය කිරීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් ආයෝජනය කොට තිබෙනවා. ගූගල් සමාගම පසුගිය වසර කිහිපය තුල කෘත්‍රිම බුද්ධිය හා රොබෝ තාක්ශණයේ ඉදිරියෙන් සිටින සමාගම් මිළදීගැනීම සඳහා සිදුකල අයෝජන ඩොලර් බිලියන ගණනක්. මේසා දැවැන්ත ධනස්කන්ධයක් ආයෝජනය කරමින් රොබෝ කාර් හා වෙනත් රියදුරන් රහිත රථවාහන නිර්මාණයට මෙම සමාගම් අතගසා තිබෙන්නේ රොබෝවන් මෙහෙයවන රථ මගින් රටක අර්ථිකට මෙන්ම මහජන ආරක්ශාවට ලැබෙනු ඇතැයි උපකල්පණය කරන අතිවිශාල ප්‍රථිලාභ හේතුවෙන්.

රොබෝ රියදුරෙකු මෙහෙයවන අව්ඩි A7 කාරය

රොබෝ වාහන වීදිගත කිරීම මගින් ලැබෙනු ඇතැයි සැලකෙන ප්‍රතිලාභ

1] මිනිස් රියදුරන් මෙන් නීති කඩ නොකිරීම, ඉතා තියුණු සංවේදක හා මිනිසුන්ට වඩා අතිශය වේගයෙන් ප්‍රතික්‍රියාකල හැකි බැවින් වාහන අණතුරු, තුවාල, මරණ හා දේපොල අලාභහානි හා රක්ශණ වන්දි වියදම් විශාල ලෙස අඩුකරගත හැකිවීම.

2] ගමන්කරන සියලුදෙනාටම රථය මෙහෙයවීමේ කටයුතු වලින් බැහැරව ගමන අත්විඳීමට ඉඩ ලැබීම හා රථයේ ගමන් කරන අතර පලදායි වැඩක නිරතවීමේ හැකියාව.

3] රථවාහන තදබදය අවම කරගැනීමට හැකිවීම - රොබෝ රියදුරන් සියලු මාර්ග නීතිරීති වලට අනුකූලව ධාවනය, මහාමාර්ගයේ තත්වය, වාහන තදබද පිලිබඳ තොරතුරු හා කාළගුණය පිලිබඳව නිරන්තරයෙන් යාවත්කාලිනවී ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාව, අතිනවීන ඩිජිටල් සිතියම් හා චන්ද්‍රිකා තාක්ශණය අධාරයෙන් වාහන තදබදය අඩු මාවත් භාවිත කරමින් ගමන්කිරීමට ඇති හැකියාව වැනි කරුණු මෙයට පාදකවේ.

4] වේගසීමා ඉහල දැමීමට හැකිවීමෙන් ගමන් ඉක්මණින් අවසන්කරගත හැකිවීම.

5] කුඩා දරුවන්, මහලුවියැති පුද්ගලයින්, රෝගීන්, අන්ධ හෝ වෙනත් ආබාධ ඇත්තවුන් ආරක්ශාකාරීව හා නිවැරදිව අදාල ස්ථානවලට ගෙනගොස් ඇරලවීම හා නැවත නිවසට ගෙනවිත් ඇරලවීමට හැකිවීම නිසා ඔවුන්ගේ භාරකරුවන්ට වෙනත් පලදායි වැඩවල හෝ රැකියාවල නිරතවීමේ හැකියාවෙන් ලැබෙන ආර්ථික හා සාමාජීය ප්‍රතිලාභ.

6] රථවාහන ගාල්කිරීමේ ඉඩ පිලිබඳ ඇති අතිවිශාල ගැටලුව නිරාකරණය කරගැනීමට හැකිවීම - රොබෝ වාහනයකට සිය මගීන් බස්සවා ඈතින් ඇති රථගාලකට තනිවම ගොස් ගාල්විය හැකි අතර අවශ්‍ය වේලාවට නැවත පැමිණ මගීන් නග්ගවා ගත හැකිය. මෙය කෙතරම් ප්‍රයෝජනවත්දැයි ඔබම සිතා බලන්න. එමෙන්ම රොබෝ වාහන වල ඇති කැමරා හා සූක්ශම සංවේදක ආධාරයෙන් ඉතා ලඟින් වාහන ගාල්කිරීමේ හැකියාව නිසා රථගාල්වල වැඩිපුර රථ ගාල්කල හැකිවීමෙන් ඇතිවන වාසියද ඇතුලත්ය.

7] රොබෝ වාහනවලට තනිවම ගමනක් පිටත්ව ගොස් මගියෙකු නග්ගවාගෙන පැමිණීමට හැකිවීම, තනිවම සේවා හා අලුත්වැඩියා ස්ථානවෙත ගොස් එම එම කටයුතු කරගැනීමට හැකිවීම වැනි කරණු නිසා වාහන අයිතිකරුවන්ට හා විශාල ලෙස වාහන භාවිතාකරන සමාගම්වලට විශාල ආර්ථික ප්‍රථිලාභ ලැබේ.

8] මහාමාර්ග හැසිරවීමට යෙදිය යුතු අතිවිශාල රථවාහන පොලිස් සේනාව අවමකරගත හැකිවීමේන් විශාල ධනස්කන්ධයක් රටක පොලිසියට ඉතුරුවනු ඇත.

9] නිවැරදිලෙස හා නිමිත වේගයන්හි ධාවනය, තදබදය අවම හෝ කෙටිම මාවත් භාවිත කිරීමට ඇති හැකියාව නිසා විශාල ඉන්ධන ඉතුරුවක් සිදුවන අතර ඉන් රටක ඉන්ධන ආනයන පිරිවැය විශාලලෙස අඩුකරගත හැකිවීම.

10] කලට වේලාවට සේවාවන් හා නඩත්තු කටයුතු සිදුකිරීම මෙන්ම රථයේ කාර්මික තත්වය පිලිබඳව මිනිස් රියදුරෙකුට වඩා රොබෝ රියදුරාට දත්ත ලැබෙන නිසා වාහනයේ නඩත්තු වියදම් හා හදිසි අණතුරු අවම කරගැනීමට ඇති හැකියාව.

වසර 2020, 2035 හා 2045

2020 වසර අමෙරිකාව හා යුරෝපයේ ජර්මනිය, ස්වීඩනය මෙන්ම ජපානය වැනි අධිතාක්ශණික රටවල්වල රොබෝ වාහන මංමාවත්වල දකින්නට ලැබෙන වසර ලෙස අනාවැකි පලවේ. මුලින්ම කුලීරථ සමාගම්, මගී ප්‍රවාහණ බස් සමාගම්, කෙටි දුර ශටල් සේවා සපයන සමාගම් (උදා: කාර්යාල සේවක ප්‍රවාහණය), භාණ්ඩ ප්‍රවාහණ ට්‍රක්-රථ සමාගම් වැනි ප්‍රවාහණසේවා ව්‍යාපාර රොබෝ රියදුරන් මුලින්ම භාවිතයට ගන්නා සමාගම් වනු ඇත. එසේවීමට හේතුව රොබෝ රියදුරන් භාවිතයෙන් ඔවුනට ඍජු ආර්ථික ප්‍රථිලාභ තිබීමයි.

2035 වනවිට සංවර්ධිත රටවල පාරිභෝගිකයින්ට සාමාන්‍ය මෝටර් රථ මිලදීගන්නා ආකාරයට රොබෝ කාර් මිලදීගත හැකිවනු ඇතැයි මැකින්සි සමාගම නිකුත්කල වාර්තාවක දැක්වේ. එහෙත් වොල්වෝ, මර්සඩීස්, ටොයෝටා වැනි සමාගම්, 2035ට පෙර රොබෝ රථ සාමාන්‍ය භාවිතයට එක්වනු ඇතැයි අනාවැකි පලකරයි. අධිතාක්ශණික වාහන නිශ්පාදනයේ දැවැන්තයෙකුවන, මර්සඩීස්, බී.එම්.ඩබ්ලිව්, අවුඩි, පෝෂේ (Porche) වැනි සමාගම්වන මව් රටවන ජර්මනිය 2016 වනවිට රොබෝකාර් සඳහා සාමන්‍ය මහාමාර්ගවල ඉඩ ලබාදීමට තීරණය කොට ඇත. මීට අනුරූපව මර්සඩීස් සමාගම "ඔටෝ-භාන් පයිලට්" නම් කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවෙකුට පැදවිය හැකි රථ හඳුන්වාදීමට කටයුතු කරමින් සිටී.

2045 වනවිට සංවර්ධිත රටවල්ව වාහනවලින් 80%-90% රොබෝ වාහන වනු ඇත. සැබැවින්ම 2045 වනවිට රොබෝ රියදුරු පහසුකම නැති රථයක් මිළදී ගැනීම අද එම රටවල ඔටෝමැටික් ගියර් නොමැති මැනුවල් ගියර් වාහනයක් මිළදීගැනීම මෙන්ම විරල කරුණක්විය හැකිය. එපණක් නොව වාහන නිර්මාණය හා භාවිතයද විශාල වෙනස්කම් වලට භාජනයවනු ඇත. අද ලංකාවේ පවා සැමියාට එක් වාහනයක් හා බිරිඳට තවත් වාහනයක් අවශ්‍යවී ඇත්තේ එම දෙපොලට එකම වාහනයකින් සියලු කටයුතු කරගැනීමේ ප්‍රායෝගික අපහසුව නිසයි. එහෙත් රොබෝ වාහනයක් තිබේ නම් සැමියාව වැඩට ගෙනගොස් බස්වා නැවත නිවසට පැමින බිරිඳව සාප්පු සවාරියක් ගෙනයමේ හැකියාව තනි රථයකට ලැබේ. ඒ අනුව බටහිර රටවල අද සාමන්‍ය දෙයක්ව ඇති වාහන දෙකතුනක් ඇති නිවෙස් ප්‍රමාණය 2045 වනවිට අඩුවනු ඇත.






Comments