[To the moon and back] සඳ ජයගෙන අදට වසර 46යි! - සඳ ගමනේ සේයාරූ 1969දී පලවූ LIFE සඟරාවේ සටහන්වූ අයුරු...


1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝං සඳමතට පියසටහන් තබා මානව වර්ගයා සිය කැදැල්ලෙන් ඔබ්බට පියඹා විශ්වය සැරිසරන්නට සැරසීමේ මල්වර පියවර සනිටුහන් කලේය. ඒ අදට වසර 46කට පෙරය.

එදා ඒ ගමන සනිටුහන් කරමින් සුප්‍රකට ටයිම් සඟරාවට අනුබද්ධ LIFE සඟරාව විශේෂ සඳ ජයගැනීමේ කලාපයක් නිකුත් කලේය. ඒ 1969 අගෝස්තු 11වැනිදා නිකුත්වූ කලාපයයි. 1883 සිට නොකඩා පලවූ LIFE සඟරාව වසර 2000දී පලකිරීම නවතා දැමුනද, ඡායාරූප-ජනමාධ්‍යකරණය (photo-journalism) අතින් ලොව විශිෂ්ඨම ප්‍රකාශණයක් ලෙස අදටත් පිලිගැනෙනවා.

LIFE සඟරාවේ ඡායාරූපශිල්පීන් විසින් එක්රැස් කරන ලද මිලියන ගණනක ඡායාරූප පුස්තකාලය, එම සඟරාව පලවුනු 1936-2000 අතර කාලය තුල ගන්නා ලද හොඳම ඡායාරූපවලින් සමන්විතයි. එමෙන්ම LIFE සඟරාවට එකල තිබූ පිලිගැනීම නිසා, විශේෂයෙන්ම අමෙරිකානු දේශපාලන, යුධ හා සමාජීය කටයුතුවලටදී, අන් සඟරාවල ජනමාධ්‍යවේදීන්ට නොතිබූ අවසරයන් හා අවස්ථා LIFE ජනමාධ්‍යවේදීන්ට හා ඡායාරූපශිල්පීන්ට ලැබුණා.

අමෙරිකාව සඳ ගමනට සූදානම්වන කාලයේ, එහි තොරතුරු, වාර්තා හා තිරය පිටුපස සිදුවීම් වාර්තාකරණයට, නාසා ආයතනය නිළ ජනමාධ්‍ය ආයතනවලින් එකක් ලෙස LIFE සඟරාව තෝරාගත්තා. ඒ අනුව 1969 ජූලි 20 වැනිදා සිදුවූ ඓතිහාසික අවස්ථාවේ සියලුම පැති ආවරණය කරන්නට LIFE සඟරාවට හැකිවුනා. ඒ අනුව නීල් ආම්ස්ට්‍රෝං සඳමතට පයතබන මොහොතේ, ඔහුගේ බිරිඳ, දරුවන් හා නෑ-හිතමිතුරන් සමග ආම්ස්ට්‍රෝංගේ නිවසේදීම ඔවුන් සමග සංත්‍රාසය, සතුට හා කුතුහලය බෙදාගන්නට LIFE සඟරාවේ ඡායාරූප ශිලිපියාට හා ජනමාධ්‍යවේදීන්ට නාසා ආයතනය අවසරදී තිබුනා. ඒ අනුව සඳගමනේ කිසිවෙකුත් නොදුට පැති ලොවට හෙලිකරන්නට 1969 අගෝස්තු 11 පලවුනු LIFE විශේෂ කලාපයට හැකිවුනා.

මේ ලිපියේ කොටස් දෙකම, 1969 අගෝස්තු 11 පලවූ සඳගමන පිලිබඳ LIFE සඟරාවේ විශේෂ කලාපයෙන් ගන්නලද ඡායාරූප හා තොරතුරු වලින් සමන්විතයි.

LAUNCH OF SATURN V WITH APOLLO 11 CREW

හිට්ලර්ට V2 මිසයිල නිපදවූ රොකට් විද්‍යාඥ වර්න්හර් වොන් බ්‍රෝන් නිර්මාණය කල යෝධ සැටර්න් 5 රොකට්ටුව, ඇපලෝ 11 ගගනගාමීන් සමගින් 39A ගුවන්ගතවීම් පර්යන්තයෙන් උඩුගුවනට ඇදෙන අයුරු.



රටවල් 55කින් පැමිණි ජනමාධ්‍යවේදීන් 3500ක් දෙනා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඈතින් පිහිටි විශේෂ පීඨිකාවක සිට ඇපලෝ 11 ගගනගාමීන් රැගත් සැටර්න් 5 රොකට්ටුව ගුවන්ගතවන ආකාරය ඡායාරූපයට නැගූහ.


මානව වර්ගයාගේ යෝධ පිම්ම...
සඳමත සටහන්වූ නීල් ආම්ස්ට්‍රෝං නම් හෝමෝ සැපියානුවාගේ දකුණු පාදය
1969 ජූලි විසිවැනි ඉරුදින සවස්යම සඳුගේ පොලොවමත සටහන්වූ නීල් ආම්ස්ට්‍රෝං ගගනගාමියාගේ පාසටහන්, මිනිස්වර්ගයාගේ ඉහලම තාක්ශණික ජයග්‍රහණය මෙසේ සනිටුහන් කරන ලදී. මේ උත්කෘෂ්ඨ ඉලක්කය ඊට වසර 8කට පෙර අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් අමෙරිකානු විද්‍යා-තාක්ශණ-කර්මාණ්ත ලෝකයට ලබාදුන් අතර, මිනිසෙකු සඳවෙත යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වාගැනීමේ හැකියාව අමෙරිකානු විද්‍යා-තාක්ශණ-කර්මාණ්ත ත්‍රිමූර්තියට හැකිබවට ඔහු විශ්වාසය පලකලේය. ඇපලෝ 11 ගගනගාමීන්ගේ නිර්භීත වික්‍රමාන්විතභාවයත්, දසදහන් ගණන් විද්‍යාඥයින්, තාශණවේදීන්, ඉන්ජිනේරුවන්, පරිගණක විශේෂඥයින්, රොකට් විශේෂඥයින්ගේ කැපවීමත් හේතුකොට ගෙන මානව වර්ගයා සිය කැදැල්ලෙන් මෙපිට වෙනත් ග්‍රහලොවක සිදුකල සංචාරයක සිහිණය මල්පල ගැන්විය. 39A රොකට් දියත්කිරීමේ පර්යන්තයේ සිට, සඳුගේ නිසල මුහුද (Sea of Tranquility) වෙත ගිය ඒ  දිගුගමනේ පියවර කිහිපයක් මෙම විශේෂ කලාපයේ සටහන් වේ...


1969 ජූලි 20 වැනිදින සඳුගෙන් සැතපුම් 63 ඉහල කක්ශයේ ගමන්කරමින් සිටි ලූනා මොඩියුලයේ ගගනගාමීන් මෙම ඡායාරූපය ගන්නා ලදී. මෙහි වම්පැත්තේ වැටී ඇති සෙවනැල්ල ලූනා මොඩියුලයේ රොකට් ත්‍රස්ටරයකින් සඳ මත ඇතිකරන ලද්දකි.

රාජාලියා සඳමතට ගොඩබසී...

ලූනා මොඩියුලයෙන් වෙන්වූ ඊගල් (Eagle) නම්වූ ගොඩබැසීමේ මොඩියුලය (landing module) සඳමතට ගොඩබැස්වීමේ ත්‍රාසජනක මිනිත්තු කිහිපය මෙසේ සටහන් විය. 

ගොඩබැසීමට විනාඩි කිහිපයක් තිබියදී ඊගල් මොඩියුලය සඳුගෙන් අඩි 46,000ක් ඉහලින් තිබෙන බව නීල් ආම්ස්ට්‍රෝං පාලන මැදිරියට වාර්තාකලේය. ඔහුගේ සගයාවූ එඩ්වින් ඕල්ඩ්‍රින්ද ඊගල් මොඩියුලයේ සිටි අතර තෙවැනි සගයා වූ මයිකල් කොලින්ස් ලූනා මොඩියුලයේ සිටිමින් ඊගල් මොඩියුලයත්, පාලන මධ්‍යස්ථානයත් අතර පණිවුඩ හුවමාරුව පවත්වාගෙන යන්නට උපකාරී විය.

මෙම ත්‍රාසජනක මිනිත්තු කිහිපයතුල කුමක් හෝ වැරදී ගියානම් අදටත් නීල් ආම්ස්ට්‍රෝංගේ හා එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ කලේබර සඳමත විසිරී තිබෙන්නට ඉඩ තිබුණි. මේ කටුක සත්‍යය දැනසිටි මිලියන ගණනක් ලෝක වාසීන් සඳමතට ගොඩබසින්නට වෙරදරන සිය වීර පුතුන් තිදෙනාගේ වික්‍රමය දෑස් දල්වාගෙන රූපවාහිණී තිරවලින් දකිමින් හෝ රේඩියෝ විකාශණවලින් අසමින් සිටියහ. 

අවසන් තත්පර කිහිපයතුලදී ඊගල් මොඩියුලයේ පරිගණක නොකඩවා අණතුරු ඇඟවීම් සඥා නිකුත්කලේ කුමක් හෝ වැරදී ඇතයි යන පණිවුඩය දෙමිනි. ආම්ස්ට්‍රෝං හා ඕල්ඩ්‍රින් ඊගල් මොඩියුලයේ පාලනය පරිගණකයෙන් මුදවාගෙන තමන්ම මෙහෙයවන්නට වූ අතර, අති දක්ශ ගුවන් නියමුවෙකුවූ ආම්ස්ට්‍රෝංගේ පලපුරුදු දෑතට ඊගල් චන්ද්‍ර යානයේ රොකට් මෝටර් අවනතවිය. අවසන මිනිස් ධෛර්‍යය හා තාක්ශණික මහිමය ජයගන්නා ලදී.

ආම්ස්ට්‍රෝං : Huston, Tranquility Base here.... The Eagle has landed. [හුස්ටන්, මේ ට්‍රැංක්විලිටි කඳවුර, රාජාලියා ගොඩබැස්සා...]

මේ සතුටු පණිවුඩයට පිලිතුරුදුන් හුස්ටන් පාලන මැදිරියේ ඒ මොහොතේ CAPCOM රාජකාරිය මෙහෙයවූ චාල්ස් ඩියුක් : Roger, Tranquility. We copy you on the ground. You got a bunch of guys about to turn blue. We're breathing again. Thanks a lot.. [ට්‍රැංක්විලිටි, ඔබ නිරුපද්‍රිතව ගොඩබැස්වූ බවට පණිවුඩය ලැබුනා. මෙතන ඉන්න හුඟදෙනෙක් ත්‍රාසයෙන් නිල් වෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ. අපි දැන් හුස්මගන්නවා. බොහොම ස්තූතියි...]

Note : CAPCOM හෙවත් Capsule Communicator යනු නාසා ආයතනයේ අභ්‍යවකශ පියාසැරි පාලන ක්‍රමවේදයට අනුව අභ්‍යවකාශ යානයක ගගනගාමීන් සමග පණිවුඩ හුවමාරු කරගැනීමට අවසර ඇති එකම නිළධාරියායි. වෙනත් ඕනෑම අයෙකු, පියාසැරියේ පූර්ණ වගකීම දරන Flight Director පවා, ගගනගාමීන් හා සම්බන්ධවිය යුත්තේ CAPCOM ගේ අනුදැනුම හා අවසරය මතයි.

One small step for a man, one giant leap for mankind


නීල් ආම්ස්ට්‍රෝං

එඩ්වින් ඕල්ඩ්‍රින්, සඳ වෙත ගෙන ගිය පර්යේෂණ උපකරණ දෙකක් වන භූකම්පණමානය හා ලේසර් පරාවර්තක උපකරණය ස්ථාපනය කිරීමට ගෙනයමින්
දකුණු පස: සඳමත භූමිකම්පා ඇතිවේදැයි සටහන් කරගන්නා භූකම්පණමානයේ සීරුමාරු සිදුකරන ඕල්ඩ්‍රින්. වම්පස: සූර්ය සුළං ලෙස (Solar Wind) හැඳින්වෙන, සූර්යාගෙන් නික්මෙණ අංශු මැනබලන සූර්ය සුලං මානය ස්ථාපනය කරන ඕල්ඩ්‍රින්.
වසර මිලියන ගණනක් නිකැලැල්ව, නොයිඳුල්ව තිබූ චන්ද්‍රමණ්ඩලය, මිනිසාගේ පා තැබීමෙන් පැය 9කට පසු මානව පාතැබීමේ සංකේත වන අමෙරිකානු ජාතික කොඩියෙන් හා මිනිසා සාමය පතමින් සඳට පාතැබූ බව සටහන් කෙරෙන ඵලකයෙන්ද, තාක්ශණ මෙවලම් වලින් ඉඳුල්වී තිබූ අයුරු....
සුළං පොදක් නැති නිසල මුහුදේ තැනිතාලාවක, හරස් අතට යෙදූ සුනම්‍ය වයරයක ආධාරයෙන් ලෙලදෙන අමෙරිකානු ධජය (Stars and Stripes) දෙස බලාසිටින ඕල්ඩ්‍රින්..

වම්පස: ඊගල් මොඩියුලයේ පාදයක්. දකුණු පස: ඊගල් මොඩියුලයේ ජනේලයක් තුලින් අමෙරිකානු ධජය

රාජාලියා නැවතත් ගුවනේ...

පුරා පැය 21 සඳමත ගතකල ආම්ස්ට්‍රෝං හා ඕල්ඩ්‍රින් කිලෝ 22ක චන්ද්‍ර පාශාණත්, සඳමත ගන්නා ලද ඡායාරූපවල නෙගටිව් පටලත් (එකල ඩිජිටල් කැමරා තාක්ශණය බිහිව නොතිබුණි ) රැගෙන සඳ මතින් නික්මගියේ ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 5.54ටය. මීට අමතරව විද්‍යා උපකරණ ගණනවකුත්, සඳමතදී ඔවුන් භාවිතා කල ගගනගාමී ඇඳුම් කට්ටල හා තවත් උපකරණ රැසකුත් ඔවුන් සඳමත තබා ගියේ, ඒවා රැගෙන යාම අනවශ්‍ය බරක්වූ නිසායි. ඊගල් මොඩියුලයේ පාද ඇතුලු "landing gear" කොටස පාදමක් ලෙස භාවිතාකරමින්, එම කොටසද සඳමත ඉතිරිකරමින් ඊගල් මොඩියුලය කොලොම්බියා ලූනා මොඩියුලය වෙත ඉගිලගියේ තවත් සන්ත්‍රාසය මුසු විනාඩි කිහිපයකින් අනතුරුවය. 

නාසා අයතනයට මෙන්ම අමෙරිකානු රජයටත් තිබූ බරපතලම ගැටලුව වූයේ ඊගල් මොඩියුලය ආපසු කොලොම්බියා මොඩියුලය වෙත රැගෙන යෑමට දැල්විය යුතු රොකට්ටු ක්‍රියාත්මක නොවුවහොත් කුමක් සිදුකරන්නේද යන උභතෝකෝටිකයයි. රොකට්ටුව නොදැල්වුනොත් ආම්ස්ට්‍රෝං හා ඕල්ඩ්‍රින් ඊගල් මොඩියුලයේ ඔක්සිජන් අවසන්වීමෙන් පසු මියයනු ඇත. මෙය කොතරම් බැරෑරුම් අවදානමක් වූවේද යත්, එකල අමෙරිකානු ජනාධිපතිවරයාවූ ලින්ඩන් ජොන්සන් එවැනි අවස්ථාවක ජාතිය අමතාකල යුතු ප්‍රකාශයද ලියා අවසන් කරගෙන සිටි අතර, නාසා ආයතනයද එවැනි අවස්ථාවකට මුහුණදීම සඳහා ඉතා සවිස්තර ක්‍රියායාමාර්ග හා සැළසුම් සකස්කොටගෙන තිබුනේය.

ඊගල් යානයේ රොකට්ටුව දැල්වුනත්, එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූවානම්, ඊගල් මොඩියුලය සඳෙහි වෙනත් තැනකට කඩාවැටෙන්නට ඉඩතිබුණි. එය කක්ශගත වුවත්, කොලොම්බියා මොඩියුලයට සම්බන්ධවී ආම්ස්ට්‍රෝංට හා ඕල්ඩ්‍රින්ට, මයිකල් කොලින්ස් සිටින ලූනා මොඩියුලයට ඇතුලුවන්නට බැරිවූවානම්, එවිටද ඔවුන් දෙදෙනා සඳමත කක්ශයේ අතරමන් වන්නේය. 

සඳගමන මෙතරම් තාක්ශණික ජයග්‍රහණයක් ලෙස සලකන්නේ, පොලොවෙන් සැතපුම් ලක්ශ ගණනක් ඈත වෙනත් ග්‍රහලොවකදී මිනිස් ජීවිත තුනක වගකීම ගත හැකි, කිසි ලෙසකින් හෝ වැරදිය නොහැකි, අක්‍රියවිය නොහැකි තාක්ශණයක් බිහිකිරීම හා එම තාක්ශණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගැණීමේ අතිශය දුශ්කර ක්‍රියාදාමයන් නිසාය.

මේ වෑයමට සෘජුව හා වක්‍රව දායකවූ අමෙරිකානුවන්ගේ ප්‍රමාණය ලක්ශ ගණනකි. ඒ අතරට හිට්ලර්ට ලන්ඩනය වනසන්නට මිසයිල තැනූ වර්නර් වොන් බ්‍රෝන් නම් දක්ශ රොකට් විද්‍යාඥයා හා ඔහුගේ නාසි ජර්මන් රොකට් ඉන්ජිනේරු කණ්ඩායමද විය. සඳජයගත් අවධියේ වර්නර් වොන් බ්‍රෝන් අමෙරිකානු ජාතික වීරයෙකු වුවද, හිට්ලර්ගේ නාසි හමුදාවේ යුධ ක්‍රියාදාමයන්ට සක්‍රිය දායකවූ නිසා එම ගෞරවය මෙන්ම නම්බුනාමද පසුකලක ඔහුට අහිමිවිය. එහෙත්, මිනිසා වනසන්නට යොදාගත හැකි මිනිස් ඥාණය, මිනිසා විශ්වයේ හිනිපෙත්තේ තබන්නට යොදාගත හැකිබවට වර්නර් වොන් බ්‍රෝන් හොඳම උදාහරණයකි. 


නීල් ආම්ස්ට්‍රෝං හා එඩ්වින් ඕල්ඩ්‍රින් කැටුව නැවත ගුවන්ගත වෙන ඊගල් මොඩියුලය, අමෙරිකාව සොයාගත් ක්‍රිස්ටෝපර් කොළොම්බස් සිහිකිරීම සඳහා කොලොම්බියා ලෙස නම් තැබූ ලූනා මොඩියුලය වෙත පියාසර කරමින් සිටි ආකාරය කොලොම්බියා මොඩියුලයේ සිටි මයිකල් කොලින්ස්ගේ කැමරාවට හසුවූ ආකාරය.

****************************************************** 
PHOTOGRAPHIC COPYRIGHT 
 The photographs here are scanned from August 11, 1969 LIFE Special Edition. 

Selected pages of the above edition are posted here to commemorate the 46th anniversary of the historic Apollo 11 space flight. 

Copyright of the photographs belong to whoever the present owners of LIFE magazine photographic archive. Vidya Gaweshana is purely an educational website promoting science and technology. It does not permit advertising of any kind.
*******************************************************

Comments

  1. ඉතාම වැදගත් සේයා සටහන් වගේම ඔබ පවසන විස්තර තොරුතුරුත් ගොඩක් ස්තුතියි සංහල කියවන්නන් වෙනුවෙන් ඉටු කළ මෙහවරට

    ReplyDelete
  2. වැදගත් සටහනක් ..කලින් නොදැකපු පිංතුර ටිකක්..

    ReplyDelete

Post a Comment