[To the moon and back - Part II] සඳ ජයගෙන අදට වසර 46යි! - ඇපලෝ 11 ගගනගාමීන් හඳුනාගන්න

ඇපලෝ 11 අභ්‍යවකාශගාමීන් ඔවුන්ගේ පවුලේ උදවිය සමග [x] වම්පස: එඩ්වින් ඕල්ඩ්‍රින් සිය බිරිඳ හා දරුවන් තිදෙනා සමග [x] මැද: මයිකල් කොලින්ස් හා පවුල [x] දකුණුපස: නීල් ආම්ස්ට්‍රෝං, බිරිඳ හා පුතුන් තිදෙනා සමග.
සඳ ජයගන්නට වරම් ලැබූ කොළුගැටවුන් තිදෙනා
වමේ   : නීල් ආම්ස්ට්‍රෝං වයස අවුරුදු 8දී
මැද     : එඩ්වින් ඕල්ඩ්‍රින් වයස අවුරුදු 5දී
දකුණ : මයිකල් කොලින්ස් වයස අවුරුදු 6දී

සඳ ජයගත් මේ කොළුගැටවුන් තිදෙනා හැම අතින්ම සාමාන්‍ය දරුවන් වුනා. 1930 දශකයේ අමෙරිකාවේ මධ්‍යම පාංතික පවුල්වල උපත ලැබූ මොවුන්ට, එකල වෙනත් අමෙරිකානු දරුවන්ට තිබූ අවස්ථා පමණක් තිබූ අතර, ඔවුන්ගේ පවුල්වල කිසිදු විශේෂත්වයක් නොවීය. ඔවුන්ගේ ආසාවල්ද වෙනද් සමවයස් දරුවන්ගේ ආසාවල් මෙන් විය. ඔවුන්ටද ඉගෙන ගන්නට මහන්සි වන්නට වූ අතර, අනාගතයේ විවරවූ දොරටු උත්සහය, සහජ හැකියාව හා දෛවය විසින් විවරකර දුන්නා මිස, ඔවුන් කිසිවෙකුත් රිදි හැන්ද මුව තබාගෙන නූපන්නෝය. 

සමාන්‍ය පවුල්වල ඉපිද, සාමාන්‍ය ජීවිත ගතකොට, උත්සහයයෙන් ඉගෙනගෙන, අවසන මහා බලසම්පන්න අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සඳ ජයගන්නා මෙහෙයුමේ සෙනෙවියන් වන්නට අවස්ථාව උදාකරගත් මොවුන් අදටත් අමෙරිකානු තරුණ පරපුරට මෙන්ම ලෝක තරුණ ප්‍රජාවටද උදෲත සපයනවා.

ඩ්‍රයිවින් ලයිසන් ගන්නට පෙර ගුවන්යානා පියාසර කරන්නට ඉගෙනගත් නීල් ආම්ස්ට්‍රෝං!

1930 අගෝස්තු 5වැනි දින, අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ මෙලොව එලිය දුටු නීල් ආම්ස්ට්‍රෝංගේ පියා ඔහායෝ ප්‍රාන්ත රජයේ විගණන නිළධාරියෙක්වූ අතර මව ආගමට දහමට ලැදි, උගත්, සංගීතයට ඇලුම්කල කුළකාන්තාවක් වූවාය. නීල් ආම්ස්ට්‍රෝං උපන් 1930 දශක කාලය අමෙරිකාවට ඉතා දුශ්කල කාල පරිච්චේදයක් විය. අමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අවපාතය, එනම් The Great Depression නම් ආර්ථික ව්‍යසනය මුලු රටම වෙලාගනිමින් තිබුණි. බැංකු කඩාවැටී, විශාල සමාගම්, කර්මාන්ත වැසීයමින් ලක්ශගණන් ජනයා රැකියාවිරහිතව මහපාරට ඇදවැටී තිබුණි. මාස කිහිපයකට පෙර කොටස් වෙළඳපොල අයෝජනයන් මගින් මහත් ධනයකට හිමිකම් කී ධන කුවේරයෝ, කොටස් වෙළඳපොල කඩාවැටී, මුදල් ඉතිරිකොට තිබූ බැංකුද බංකොලොත්වී ඒ මුදල්ද අහිමිව මහමග කෑමවේලකට සිඟාකරන හැටි ඡායාරූපද සමග පුවත්පත්වල පලවන්නට වූයේ මුලු රටම ඉච්ඡාභංගත්වයට පත්කරමිනි.
නීල් ආම්ස්ට්‍රෝංගේ දිවියේ මතක සටහන් - වමේ සිට දකුණට. (1) නීල් ආම්ස්ට්‍රෝං (මැද) සිය අක්කාවන ජූන් ආම්ස්ට්‍රෝං හා මල්ලීවන ඩීන් ආම්ස්ට්‍රෝං සමග වයස අවුරුදු 6දී. (2) වයස 13 වනවිට නීල් කුඩා ගුවන්යානා තැනීමෙහි ඉතා දක්ශවූවේය. (3)වයස 16දී නාවික හමුදාවේ ගුවන් බල ඇණියට බැඳුනු නීල් ආම්ස්ට්‍රෝං නාවික ගුවන් නියමුවෙකු විය. (4) පූර්ණ නාවික හමුදා නිළ ඇඳුමින්. (5) කොරියානු යුද්ධයේදී යුධ ගුවන් නියමුවෙකු ලෙස මෙහෙයුම්වලට සහභාගීවන අතරතුර (6) 1956දී දිගුකාලීන පෙම්වතිය වූ ජැන් ශිරෝන් මෙනෙවිය හා අතිනත ගත් නීල් ආම්ස්ට්‍රෝං (7) කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේදී අධිවේගී X-15 රොකට් ගුවන්යානා පරීක්ශණ-පියාසැරි නියමුවෙකු (test pilot) වූ ආම්ස්ට්‍රෝං සිය X-15 රොකට් ගුවන්යානය සමග.
මෙම දුශ්කර පරිසරයෙන් පන්නරය ලැබූ ස්ටීවන් හා වයෝලා ආම්ස්ට්‍රෝං යුවල සිය දරුවන් තිදෙනා දැඩි විනයකින් හදාවඩා ගත්තෝය. ආම්ස්ට්‍රෝං පවුලේ දරුවන් තිදෙනාටම මහන්සිවී වැඩකිරීම අනිවාර්යවූ අතර, දුක්-කම්කටොලු ඉවසාගෙන සිනහමුසු මුහුණින් සිටීම, ඉතිරිකිරීම, තමන්ට ලැබී ඇති දෙයින් සතුටුවීම හා දෙවියන් යැදීම පුහුණු කරවන ලදී.

නීල් ආම්ස්ට්‍රෝං වයස 7ක් පමණ කාලයේ ඔහුගේ පියා සිය දරුවන් කැටුව ගුවන් සංදර්ශණයක් බලන්නට ගිය අතර ආම්ස්ට්‍රෝං ගුවන්යානා ගැන උනන්දුවක් දක්වන්නට වූයේ ඉන්පසුවය. වයස 9වනට විට ඔහු ගුවන්යානා පිලිබඳව කොතරම් උනන්දුවක් දක්වුවේද යත් පවුලේ උදවියට එය දැනුනේ උමතුවක් ලෙසිනුයි. ඔහු සිය විවේක කාලයෙන් බොහෝ වෙලාවක් කුඩා ගුවන්යානා නිර්මාණය කරන්නට ගතකලේ මේ ඇල්ම නිසාමයි.

වයස 14දී (1944දී) ෆාමසියක පෙට්ටි අසුරන්නෙකු හා අතුගාන්නෙකු ලෙස පැයට සත 40ක වැටුපකට සේවයට බැඳුනු ආම්ස්ට්‍රෝං දිනපතා පාසැල් යන්නට පෙර හා පාසැල් ගොස් ආපසු පැමිණ නොවරදවා සේවයේ යෙදුනේය. සත 40ක කුඩා වැටුපකින් වුවද කෙසේ හෝ ඩොලර් 9ක් එකතුකරගෙන ඔහුගේ නිවස පිහිටි නගරයේවූ කුඩා ගුවන් පාසැලේ අයිතිකරු ලවා ගුවන් යානා පැදවීමේ පුහුණුව ලබාගන්නට පටන්ගත්තේය. පියාසර පාඩම් සඳහා පැයකට ඩොලර් 9ක් වූ එවක අතිවිශාල මුදල සොයාගැනීම සඳහා ෆාමසියේ රැකියාවට අමතරව රාත්‍රීකාලයේ බේකරියක පිරිසිදුකරන්නෙකු ලෙසද සේවයකොට තවත් මුදල් සොයාගත්තේ කිසිවිටක්ත් දෙම්ව්පියන්ට කරදර කිරීමකින් තොරව සිය ආශාවවූ ගුවන් යානා පැදවීමේ බළපත්‍රය ලබාගැනීම සඳහායි. නීල් ආම්ස්ට්‍රෝංගේ මේ මහන්සිවී වැඩකිරීමේ ගුණය එදා සිට සඳ ජගැනීමේ ගමනතෙක්ම මෙන්ම ඊට පසු දිවියේත් දිගටම ප්‍රගුණකරගෙන ගියේය.

මෙම දැඩි උත්සහය මල්පලගන්වමින් 1946 අගෝස්තු 5වැනිදින, එනම් ඔහුගේ 16වැනි උපන්දිනයේදී නීල් ආම්ස්ට්‍රෝං සිය ගුවන්යානා පැදවීමේ බලපත්‍රය ලබාගත්තේ සියලු විභාග හා ප්‍රායෝගික පරීක්ශණවලින් ඉහලින්ම සමත්වෙමිනි. ගුවන් යානා පැදවීමට ලයිසන් තිබුණද ඒවනවිටත් නීල් ආම්ස්ට්‍රෝංට කාරයක් පැදවීම සඳහා බලපත්‍රයක් නොතිබුණි.

1947 දී නාවික හමුදා ශිෂ්‍යත්වයක් දිනාගෙන පර්ඩියු විශ්වවිද්‍යාලයට ඇතුලත්වන්නට වාසනාව ලැබූ නීල් ආම්ස්ට්‍රෝං මේ සුබ ආරංචිය දිවගොස් සිය මවට පවසනවිට ඇය කොතරම් සතුටට හා කළබලයට පත්වූවාදයත් ඒ මොහොතේ ඇය අත තිබූ විශාල ජෑම් බෝතලය ලිස්සාගොස් ඇයගේ කකුලේ මහපට ඇඟිල්ල මතවැටී එය කැඩී ගියේය.

වසර දෙකක් පර්ඩියු විශ්වවිද්‍යාලයේ ගගන ඉන්ජිනේරු විද්‍යාව හැදෑරූ නීල්, නාවික හමුදාව සමග ඇතිකරගෙන තිබූ ගිවිසුමට අනුව අනිවාර්ය නාවික හමුදා සේවයට බැඳුනේය. මෙම ගිවිසුමට අනුව වසර කිහිපයක් සක්‍රිය සේවයෙන් පසුව නැවතත් උපාධියේ ඉතිරි කොටස සම්පූර්ණකිරීම සඳහා ඔවුන්ව නිදහස් කෙරෙන අතර, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව තවත් වසර කිහිපයක් නාවික හමුදාවේ සේවයකල යුතුය.

නාවික ගුවන් නියමුවෙකු ලෙස පුහුණුවීම සඳහා ෆ්ලොරිඩාවේ පෙන්සකෝලා ගුවන්පාසැලට අනුයුක්ත කෙරුනු නීල්ගේ ගුවන් පුහුණුව අවසන්වන විටම අමෙරිකාව උතුරු-දකුණු කොරියාවන් අතර යුද්ධයට පැටළුනු අතර නීල් ආම්ස්ට්‍රෝං උතුරු කොරියාවට එරෙහි ගුවන් ප්‍රහාරවලට සහභාගීවීම සඳහා "USS Essex" ගුවන්යානා ගෙනයන නෞකාවට අනුයුක්තුව කොරියානු අර්ධද්වීපයට යවන ලදී.

ගුවන් සටන්වලදි අතිදක්ශ නියමුවෙකු ලෙස නමක් දිනාගත් නීල් අණතුරුවලදීද ඉතා නිර්භීතව තමන් පදවන යානය කෙසේහෝ ගුවන්යානා ගෙනයන නෞකාව වෙත ගෙනයාමට දක්ශකම් දැක්වීය. වරක් උතුරු කොරියාවේදී ගුවන් ප්‍රහාරකින් ඔහුගේ යානය උතුරුකොරියාව තුලට කඩා වැටුනු අතර දිවි ගලවාගත් ඔහු අමෙරිකානු යුධහමුදාව මගින් සොයාගන්නා ලදී. කොරියාවේදි ප්‍රහාරක මෙහෙයුම් 78කට සහභාගිවූ නීල් පදක්කම් කිහිපයක් දිනාගත්තේය.

කොරියානු යුද්ධයෙන් අනතුරුව නැවතත් විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන්කිරීම සඳහා නාවික හමුදාව මගින් නීල් ආම්ස්ට්‍රෝං නිදහස්කල අතර සිය අනාගත බිරිඳවූ ජෑන් ඔහුට හමුවූයේ පර්ඩියු විශ්වවිද්‍යාලයේදීය. ඇයද එහි සිසුවියක්වූ අතර වසර කිහිපයක ඇවෑමෙන් ඔවුන් විවාපත්විය.

විවාහයෙන් පසු නිළවශයෙන් නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් නීල් සිය බිරිඳද කැටුව කැලිෆෝනියාවට යන්නේ එඩ්වර්ඩ් ගුවන්හමුදා මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය X Plane නම් අධිවේගී ගුවන්යානා ව්‍යාපෘතියේ පර්යේශකයෙකු හා පරීක්ශණ ගුවන් නියමුවෙකු ලෙසිනි. මෙහි අත්හදා බැලූ ගුවන්යානා අතුරින් X-15 නම් අධිවේගී ගුවන්යානයක්වූ අතර රොකට් එන්ජිමකින් බලගැන්වූ X-15 යානයක් පියාසරකල නීල් ආම්ස්ට්‍රෝං 1962 වසරේ ජූලි 26වැනිදා පැයට කිලෝමීටර් 6420ක අධික වේගයකින් පියාසර කරමින් වාර්තාවක් පිහිටුවේය. X-15 යානයක වේගවත්ම පියාසැරිය මෙය නොවූවත්, එය 200කට ආසන්න පියාසැරිවලින් උපරිම වේග පියාසැරි 10 අතරට ගැනේ. (X-15 යානයක් වැඩිම වේගයෙන් පියාසර කරවූයේ නීල් ආම්ස්ට්‍රෝංගේ මිතුරෙකුවූ විලියම් නයිට් විසිනි. ඒ 1967 වසරේදීය. ඔහුගේ X-15 යානය් පැයට කිලෝමීටර් 7273ක වේගයක් වාර්තාකල අතර එය ගුවන් නියමුවෙකු විසින් සිදුකරනලද වේගවත්ම ගුවන්යානා පියාසැරියයි. 1967දී පිහිටවූ මේ ලෝක වාර්තාව තවමත් බිඳහෙලා නැත.)

1958වන විටත් ආම්ස්ට්‍රෝං නාසා ආයතනයේ අනාගත ගගනගාමී ලැයිස්තුවේ ඉදිරියෙන් සිටි අතර 1962 පෙබරවාරි 20වැනි දින ජෝන් ග්ලෙන් විසින් සිදුකල පලමු අමෙරිකානු අභ්‍යවකාශ ගමනින් පසු නාසා ආයතනය නීල් ආම්ස්ට්‍රෝං ඇතුලත් කණ්ඩායමේ පුහුණු කටයුතු වේගවත් කලේය. 1967දී ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රින් හා කොලින්ස් ඇපලෝ සඳ ජයගැනීමේ ගමන් සඳහා තෝරාගන්නා ලද අතර 1969 ජූලි 20 වැනි දිනදී, කාර් එලවන්නට ලයිසන් ගන්නට පෙර පයිලට් ලයිසන් ගත් කොළුගැටයා වෙනත් ග්‍රහලොවක පා පහස ලැබූ ප්‍රථම මානවයා බවට පත්විය.


අභ්‍යවකාශයට ගිය සුපිරි විද්‍යාඥයා-එඩ්වින් "Buzz" ඕල්ඩ්‍රින්

1930 ජනවාරි 20 උපතලැබූ එඩ්වින් ඕල්ඩ්‍රින් ගේ පියා අමෙරිකානු යුධයමුදා නිළධාරියෙකු වූ අතර මාමා එවක අමෙරිකානු යුධහමුදාවේ මාණ්ඩළික ප්‍රධානියාවිය. මොන්ට්ක්ලෙයාර් උසස් පාසැලෙන් (Montclair High School) ඉහලින්ම සමත්වූ ඕල්ඩ්‍රින්ට අමෙරිකාවේ කීර්තිමත්ම තාක්ශණික විශ්වවිද්‍යාලයක් වන මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (Massachusetts Institute of Technology - MIT) විශ්වවිද්‍යාලයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවුවද එය ප්‍රතික්ශේපකල ඔහු සිය පියා හා පවුලේ බොහෝ ඥාතීන් මෙන්ම හමුදා ජීවිතය තෝරාගත්තේය.


අමෙරිකාවේ ඉහලම හමුදා ඇකඩමිය වන වෙස්ට් පොයින්ට් ඇකඩමියට (West Point Military Academy) ඇතුලුවන්නට වාසනාව ලැබූ ඔහු එහිදී යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාදියක් දිනාගෙන දෙවන ලුතිනන් වරයෙකු ලෙස අමෙරිකානු ගුවන් හමුදාවට බැඳුනා.

USAF Fighter Pilot 2nd Lieutenant Edwin Aldrin
in Korea, 1958
එඩ්වින් ඕඩ්‍රින්ට කුඩාකල පටන්ම "Buzz" යන අපනාමය (nicname) පටබැඳී තිබුනා. පවුලේ බාලයාවූ ඕල්ඩ්‍රින්ට වැඩිමල් සොයුරියන් දෙදෙනෙකු සිටින අතර ඉන් දෙවැනි සොයුරියට කුඩාකල බ්‍රදර් (brother) යන වචනය උච්චාරණය කිරීමට අපහසුවූ අතර ඇය සිය මල්ලීව හැඳින්වූයේ  "buzzer" ලෙසයි. මෙනිසා එඩ්වින් ඕල්ඩ්‍රින්, පවුලේ අයත්, මිතුරන් හා සගයින් අතරත් Buzz Aldrin ලෙස ප්‍රසිද්ධවුනා.

නීල් ආම්ස්ට්‍රෝං මෙන්ම එඩ්වින් ඕල්ඩ්‍රින් කොරියානු යුද්ධයේදී ප්‍රහාරක ජෙට් නියමුවෙකු ලෙස කටයුතු කල අතර F-86 Sabre ප්‍රහාරක ජෙට්යානා පියාසරකල ඔහු ප්‍රහාරක මෙහෙයුම් 66කදී සෝවියට් ගුවන් නියමුවන් පැදවූ MiG-15 යානා දෙකක් බිමහෙලුවා. 1958 ජූනි 8වැනිදා සඟරාවේ, එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ F-86 ජෙට් යානයේ gun cameraවේ සටහන්වූ ඡායාරූප පෙලක් පලකලා. ඒ ඡායාරූපවල එඩ්වින් ඕල්ඩ්‍රින් විසින් වෙඩිතබා කඩාවැටෙන එක් මිග්-15 යානයකින් නියමුවා ඉවත්වන ආකාරය (pilot eject) දැක්වූවා.

The June 8, 1953, issue of Life magazine featured gun camera photos of 
a Soviet pilot ejecting from his damaged aircraft 
after being shot by 2nd Lieutenant Edwin Aldrin.
1963දී ඕල්ඩ්‍රින් Massachusetts Institute of Technology විශ්වවිද්‍යාලයෙන් අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් අතර ඔහුගේආචාර්ය උපාධි නිබන්ධනය අභ්‍යවකාශයේදී යානා දෙකක් එකිනෙක සම්බන්ධව කරවීමේදී යොදාගත හැකි තාක්ශණික උපක්‍රම (techniques for spacecraft docking in orbit) පිලිබඳව ලියැවුනු අතර එම නිබන්ධනය අධ්‍යනයනය කල නාසා විද්‍යාඥයින්, එහි සඳහන් කල්පිත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලහැකි තාක්ශණයන් නිර්මාණය කිරීම සඳහා එඩ්වින් ඕල්ඩ්‍රින්ට නාසා ආයතනය සමග එක්වන ලෙස ආරාධනාකලා.

අමෙරිකානු ගුවන්හමුදාව හා අනුබද්ධව නාසා ආයතනය ක්‍රියාත්මක කල ජෙමිනි අභ්‍යවකාශ ව්‍යාපෘතියට එඩ්වින් ඕල්ඩ්‍රින් සම්බන්ධවූයේ ඒ ආකාරයටයි. ගුවන්හමුදාවෙන් ඉවත්වන විට එඩ්වින් ඕල්ඩ්‍රින් කර්නල් පදවියක් ඉසිලුවේය. 1963දී ගගනගාමියෙකු ලෙස පුහුණුවන්නට ඕල්ඩ්‍රින් තෝරාගැනුනු අතර 1966 නොවැම්බර් 11වැනි දින, ඔහු ජෙමිනි 12 අභ්‍යකාශ පියාසැරියෙන් කක්ශගතවුනා. පෘථිවි කක්ශයේදී යානයෙන් පිටතට පැමිණි ඕල්ඩ්‍රින් පැය 2කුත් විනාඩි 20ක් යානයෙන් පිටත විවිධ පර්යේශණවල යෙදෙමින්, මිනිසාට අභ්‍යවකාශ ශූන්‍යයේ යානයෙන් පිටතට පැමිණ දීර්ඝකාළයක් සාර්ථකව ක්‍රියාකාරකම්වල යෙදිය හැකිබව ඔප්පුකලා.

යානයෙන් පිටත ක්‍රියාකාරකම්වල යෙදෙන එඩ්වින් ඕල්ඩ්‍රින් - ජිමිනි 12 මෙහෙයුම
1969 ජූනි 21 දින, සඳමත පාසටහන් පිහිටවූ දෙවැනි මානවයා වන්නට වාසනාව ලැබූ ඕල්ඩ්‍රින්, එම වාසනාව උදාකරගත්තේ කාගේ හෝ පිහිටකින් හෝ තල්ලුවකින් නොව, ස්වෝත්සාහයෙන්, දැඩි කැපවීමෙන් වැඩ කිරීමෙනි. අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හා යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධියක් ඇති නිසා ඕල්ඩ්‍රින් විසින් අමෙරිකානු අභ්‍යවකාශ තාක්ශණයේ දියුණුවට දැක්වූ දායකත්වය අතිවිශාලයි. විශේෂයෙන්ම අභ්‍යවකාශ යානා දෙකක් කක්ශයේදී එකිනෙක සම්බන්ධකිරීමෙ ඉතා සංකීර්ණ තාක්ශණික හා මෙහෙයුම් සැළසුම් නිර්මාණය කිරීමට ඕල්ඩ්‍රින් අතිවිශාල දායකත්වයක් දුන්නා.

2010 ජනාධිපති බැරැක් ඔබාමා, එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුලු ඇපලෝ 11 ගගනගාමීන් තිදෙනාට අමෙරිකාවේ ඉහලම ගෞරව සම්මානය වන Congressional Gold Medal පිරිනැමීමට තීරණය කලා. මෙම සම්මානය පිරිනැමෙන්නේ අමෙරිකානු ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් නොමැකෙන දායකත්වයක් ලබාදුන්, එම දායකත්වයේ බලපෑම අනාගත පරම්පරා ගණනාවකට සුභදායි ප්‍රථිපල ලබාදෙන්නේ යැයි තහවුරුවූ විටය. එඩ්වින් ඕල්ඩ්‍රින් හා ඔහුගේ සගයින් වන නීල් ආම්ස්ට්‍රෝං හා මයිකල් කොලින්ස් තවත් දශක ගණනවක් යනතෙක් අමෙරිකාවේ අභ්‍යවකාශ විරුවන් ලෙස සැමරෙනු ඇති.

කුඩා කල යන්ත්‍රසූත්‍රවලට ආශා නොකල ඉන්ජිනේරුවා

1930 ඔක්තෝම්බර් 31 උපන් මයිකල් කොලින්ස්ගේ පියා යුධ හමුදා මේජර් ජෙනරල්වරයෙකි. ඔහුගේ මුලු පවුලම හමුදා පසුබිමක් තිබුණු හමුදා පවුලක්වූ අතර ඔහුගේ මාමාවූ ජෙනරාල් ලෝටන් කොලින්ස් අමෙරිකා එක්සත් ජනපද යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වූ (Chief of Staff of the United States Army) අතර දෙවන ලෝක යුද්ධයේදී දස්කම් දක්වා පදක්කම් රැසක් දිනාගත් යුධ වීරයෙකි.

1948දී පාසැල් අධ්‍යාපනය අවසන්කල මයිකල් කොලින්ස් එක්සත් ජනපද තානාපති සේවයට එක්වනු දැකීම ඔහුගේ මවගේ ආශාව වුවද, පවුලේ සම්ප්‍රදායට අනුව (පියා, මාමාවරුන් දෙදෙනෙකු, වැඩිමල් සොයුරා හා ඥාති සහෝදරයෙකු ඒවන විටත් යුධහමුදා සේවයේ නියුතුවූහ) හමුදා ජීවිතය තෝරාගත් මයිකල් ගුවන් හමුදාව තෝරාගැනීමට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ මාමා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාවීමයි. ඔහුට යම් උසස්වීමක් හෝ පදක්කමක් ලැබුණහොත් එය මාමාගේ අනුග්‍රහයෙන් ලැබුණා යන චෝදනාව එල්ලවීමට ඇති හැකියාව නිසාම එම තීරණය ගත් බව ඔහුගේ චරිතාපදානයේ සටහන් වෙනවා. එමෙන්ම එකල ගගනවිද්‍යාවේ නිම් වලළු දැවැන්ත ලෙස පුලුල්වෙමින් තිබූ අතර මේ නව තාක්ශණය අත්හදාබැලීමේ ආශාවද මයිකල් කොලින්ස් තුල මෝදුවෙමින් තිබුණි.

1952දී වෙස්ට් පොයින්ට් හමුදා ඇකඩමියෙන් විද්‍යාපති උපාධියක් දිනාගත් කොලින්ස් ප්‍රහාරක ජෙට් නියමුවෙක ලෙස පුහුණුවෙන්ද අනතුරුව ප්‍රංශයේ නේටෝ ගුවන්හමුදා කඳවුරක අමෙරිකානු ගුවන්හමුදා බළගණයක් සමගින් සක්‍රිය සේවයට යැවුනා. ඔහුට සිය අනාගත බිරිඳවූ පැට්‍රීෂියා මුණගැසුනේ මෙම නේටෝ කඳවුරේදීයි. ඇය අමෙරිකානු ගුවන්හමුදාවේ සේවයකල සිවිල් සේවිකාවක් වූවා.

1960දී අතිනවීන ගුවන්යාන අත්හදාබලන පරික්ශණ ගුවන් නියමුවන් පුහුණු කරවන USAF Experimental Flight Test Pilot School පාසැලට ඇතුලත්කරගන්නා ලද මයිකල් කොලින්ස් එකල බොහෝ ගගනගාමීන් ලෙස තෝරාගත් පරීක්ශණ ගුවන් නියමුවෙකු ලෙස පුහුණුවීම ඇරඹූවා. 1963දී ගගනගාමියෙකු ලෙස පුහුණුවීමට ඔහු නාසා ආයතනයට ඉදිරිපත්කල ඉල්ලුම්පත අනුමතවූ අතර මයිකල් කොලින්ස් ගගනගාමියෙකු බවට පත්වුනේ ඉන් අනතුරුවයි.

මයිකල් කොලින්ස් සිය දරුපවුල සමග....
ජෙමිනි අභ්‍යවකාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මකවෙමින් තිබූ අවධියේදී ගගනගාමී පුහුණුව අවසන්කල මයිකල් කොලින්ස් ජෙමිනි 10 මෙහෙයුමේ ගගනගාමීන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස තෝරාගත්තා. දින තුනකට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගතකල කොලින්ස් හා ඔහුගේ සගයාවූ ජෝන් යන්ග්, අනාගත ඇපලෝ මෙහෙයුම් සාර්ථක කරගැනීමට අවශ්‍ය තාක්ශණයක් හා මෙහෙයුම් ක්‍රියාදාම ගණනාවක් සාර්ථකව අත්හදා බැලුවා.

අභ්‍යවකාශගාමින් තිදෙනෙකු සඳවටා ගොස් (ගොඩ නොබැස) ආපසු පැමිණීමේ ප්‍රථම මෙහෙයුමවූ ඇපලෝ 8 මෙහෙයුම සාර්ථකව අවසන්ව එහි ගගනගාමීන්වූ ෆ්‍රෑන්ක් බෝර්මන්, ජේම්ස් ලොවෙල් හා විලියම් ඇන්ඩර්ස් නිරුපද්‍රිතව පොලොවට ගොඩබැසීමෙන් පසු ඇපලෝ 11 සඳමතට ගොඩබැසීමේ ප්‍රථම මෙහෙයුම නාසා අයතනය නිළවශයෙන් ප්‍රකාශයට පත්කලා. එම මෙහෙයුමේදී සඳට ගොඩබැස්ස ආම්ස්ට්‍රෝං හා ඕල්ඩ්‍රීන් යලි පැමිණෙන තෙක් තනිවම සඳවටා මවුයානය පදවමින් මවුයානයේ නියමුවා ලෙස හා පෘථිවිය හා සඳ අතර සන්නිවේදක අතරමැදියා ලෙස ක්‍රියාකරන Command Module Pilot  තනතුරට මයිකල් කොලින්ස් පත්කල බව ලොවට දැනුම් දුන්නේය.

Comments