සුන්දර මහ එළියේ ඇවිදින්න හොඳම කාලේ ඇවිත්!


උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ සිරිපා කරුණා සමයයි. අප්‍රේල් මාසයේ බක් පුන් පොහෝදින වෙනකන් සිරිපාදය වැඳපුදාගන්නා සමය පවතිනවා. සැප්තැම්බරයේ ඉඳලා නොවැම්බරයේ අග වෙනකන් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන උඩරට කඳුකරයේ අහස පැහැබර වෙන්නේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් පස්සෙ නිසයි, සිරිපා වාරය උඳුවප් පොහොයෙන් ඇරඹෙන්නේ. වළාකුලෙන් තොර දීප්තිමත් අහසත්, සීතල කාළගුණයත් නිසා සිරිපා කරුණාකරන්නට විතරක් නෙමෙයි නුවර එලිය වගේ ප්‍රදේශවල ඇවිදින්න යන්නත් හොඳම කාලේ වෙන්නේ දෙසැම්බරයේ ඉඳන් අප්‍රේල් වෙනකම් කාලයයි. සුන්දර මහ එලිය, නැතිනම් හෝර්ටන් තැන්නේ ඇවිදින්න යන්නත් හොඳම කාලේ මේකාලේ. ඒ නිසා මේ දිග නිවාඩුවේ නුවර එළිය පැත්තේ යනවානම්, හෝර්ටන් තැන්න බලන්න යන්නත් අමතක කරන්න එපා.

1969 දෙසැම්බර් 5 වැනිදා රක්ශිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කෙරුනු මහ එළිය 1988 මාර්තු ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරුනා. මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට ඉහලින් පිහිටි මහ එළිය හෙක්ටාර 3169ක වපරිසයෙන් යුතුයි. මහ එළිය යටත් විජිත සමයේ "එල්ක් ප්ලේන්ස් - Elk Plains" හෙවත් ගෝනුන් බහුල තැන්න ලෙසද හැඳුන්වුනේ මෙහි දකින්නට ලැබෙන සැම්බර් නැමති ගෝනුන් විශේෂය (Sri Lankan sambar deer - Rusa unicolor unicolor) නිසයි.

සිහළුන්ට මහ එළියත්, යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය දඩයක්කරුවන්ට ගෝන තැන්නත් වූ මේ අපූර්ව භූමිය හෝර්ටන් තැන්න වූයේ, 1831 සිට 1837 දක්වා ආණ්ඩුකාරයා වූ විල්මොට් හෝර්ටන්ට ගෞරවයක් ලෙස බව බොහෝදෙනා දන්නා කාරණයක්. බොහෝදෙනා නොදන්නා කාරණයක් වන්නේ, ආණ්ඩුකාරයා ලෙස රාජකාරිකල සමයේ විල්මොට් හෝර්ටන් කිහිපවතාවක්ම මහ එළියේ සංචාරය කොට,එහි සුන්දරත්වය හා ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගතකම නිසායෙන් එය ආරක්ශාකිරීමට විවිධ පියවරයන් ගත් බවයි.

දෙසැබර් අගසිට අප්‍රේල් මුල් කාළය වනතෙක් වියළි කාළගුණයක් පවතින මහ එළියට නිරිතදිග හා ඊසානදිග මෝසම් වර්ෂා දෙකෙන්ම වැසි ලැබෙන අතර මිලිමීටර් 5000ක පමණ වාර්ශික වර්ෂාපතනයක් ලැබෙන අතර ලංකාවේ බොහෝ ප්‍රධාන ගංගාවල ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ඉතා වැදගත් වනවා. සෙන්ටිග්‍රේඩ් 15ක සාමාන්‍ය උශ්ණත්වයක් පවතින මහ එළියේ උශ්ණත්වය දෙසැම්බර් හා ජනවාරියේ සෙන්ටිග්‍රේඩ් 2-3 දක්වා පහත බසින අතර හිම තුහිණ (frost) දකින්නට හැකිවනවා. පතන ලෙසින් හැඳින්වන තෘණ භූමිය වටකොට කඳුකර වළාකුළු වනාන්තර (montane cloud forests) ලෙස හැඳින්වෙන මිටි ගස්වලින් යුතු වනාන්තර වලින් මහ එළිය සමන්විත වනවා.

මහ එළිය ජාතික වනෝද්‍යාන භූමිය වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාළණය වන අතර, එයවටා ඇති හෙක්ටාර 18,000කින් පමණ වන රක්ශිත වනාන්තර භූමිය වන සංරක්ශණ දෙපාර්තමේන්තුව මගින් පාළණය වනවා. මහ එළියේ ජෛව පද්ධති 4ක් දකින්නට ලැබෙන අතර ඒවා කඳුකර වළාකුළු වනාන්තර, පතන් හෙවත් තෘණභූමි, වගුරු හා විල්ලු හෙවත් නොගැඹුරු ජලාශ යන ජෛව පද්ධතියි. මහ එළියෙන් පෝෂණය වන ජළධාරා අතර මහවැලියේ ප්‍රධාන අතු-ගංගාව වන ආගාර ඔය, කැළණි ගඟේ ආරම්භය වන බගවන්තලා ඔය හා වළවේ ගඟේ ප්‍රධාන අතු-ගංගාව වන බෙළිහුල් ඔය වනවා. ලංකාවේ දෙවැනියට හා තුන්වැනියට උසම කඳු වන කිරිගල්පොත්ත හා තොටුපොල කන්ද මහ එළිය පෙනෙන මානයේ පිහිටා තිබෙනවා.

මහ එළියේ ඇවිදින ඔබට තද දම් පැහැති බිනර මල් දකින්නට පුළුවන්. ඒවගේම රතුපාට මහ රත්මල්ද දකින්නට පුලුවන් වෙනවා. ඒවගේම වසර 12-14 වරක් පමණක් මල් පිපෙන නෙල්ලු පැලෑටියද මහ එළියට ආවේණිකයි. නෙල්ලු පිපෙන කාළය වසර 12කට වරක් බව මුලින්ම අනාවරණය කරගත්තේ මහ එලියේ "ෆා-ඉන්" නම් ගිමන් හලක් පවත්වාගෙන ගිය යටත්විජිත සමයේ බ්‍රිතාන්‍යයෙකුවූ තෝමස් ෆා විසිනුයි. 1881, 1893, 1905 කාලාන්තරවල නෙල්ලු මල් පිපීම නිරීක්ශණය කල තෝමස් ෆා, 1912දී ලංකාවෙන් පිටත්ව යනවිට නෙල්ලු මල් 1917 යලිත් පිපෙන බවට අනාවැකියක් පලකොට පිටත්වූ අතර එය සැබෑ කරමින් 1917දී මහ එළිය නෙල්ලු මලින් වැසී ගියා. අවසාන වරට නෙල්ලු මල් පිපුනේ 2013 වසරේදී. යලිත් ඒ මල් දකින්නට ලෙබෙන්නේ 2024 හෝ 2025 සැප්තැම්බර්-දෙසැම්බර් කාළයේදී එනම් තවත් අවුරුදු 9/10කින්.

කීන (calophyllum walkeri) වල්කුරුඳු (wild cinnamon - cinnamomum ovalifolium) හා පොල්කටු ගහ (elephant ear tree - actinodaphne speciosa) ලෙස හැඳින්වෙන ගස්වර්ග මහ එළියේ වලාකුළු වනාන්තරවල බහුලව දකින්නට ලැබෙනවා. ලංකාවේ කුඩාම උණ ශාඛය වන කුරු උණ (dwarf bamboo - sinarundinaria densifolia) මහ එළියට ආවේණික තවත් ශාකයක්. මීට අමතරව බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන්, දැන් ආක්‍රමණික ශාක බවට පත්වතිබෙන යුරෝපියන් ගෝස් (european gorse - ulex europaeus) නම් කුඩා කහමල් පිපෙන කටුපඳුරු, වැරැල්ල නම් ජලජ ශාකය හා කිකුරිය (pennisetum clandestinum) නම් අප්‍රිකානු තෘණ වර්ගයද බහුලව දැකිය හැකියි.

ගෝනුන්ට අමතරව රතු උණහපුළුවා, ලංකා දිවියා, දිය බල්ලා හා දඬුලේනා දැකගන්නට පුළුවන්. ඊට අමතරව කළු වඳුරා, රිලවා හා වළසුන්ද ඉඳහිට දකින්නට පුලුවන්. අතීතයේදී මහ එළියේ අතිවිශාල අලි ඇතුන් ගහණයක්ද වාසය කොට ඇතත් මීට වසර 70කට පමණ පෙර සිට මහ එළිය ප්‍රදේශයේ ඇතුන් දකින්නට ලැබී නෑ.


Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------




Comments