පොල්තෙල් අගුණ යයි ප්‍රචාරය කොට ෆාම් තෙල් විකුණාගත් බහුජාතික උගුල




පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල් යහමින් භාවිතා කරයි. එමෙන්ම කිරි බතටද යොදන්නේ පොල්කිරිමය. ඒ හැරුණුකොට අපගේ ආහාර සංස්කෘතියේ සියලු අතුරුපස පාහේ පොල්තෙල්වලින් බදින ලද ආහාර වේ. ඒවා අතර කැවුම්, කොකිස්, මුං අලුවා, ආස්මි, දොදොල්, පැණි වළලුද යන අතුරුපස ප්‍රධාන තැනක් ගනී.


කුඩා කල ළදරුවන්ට උණු උණු කැකුළු බතට ලුණු හා පොල්තෙල් අනා කෑමට දීම අප කුඩා කල රස බැලූ මිහිරි අත්දැකීමකි. හදිසියේ සීරීමක්, තැල්මක් හෝ කුඩා සතෙකු (මී මැස්සෙකු, කූඹියෙකු, කඩියෙකු) කෑමෙන් හෝ දළඹුවෙකු වැදුනහොත් හෝ කහඹිලියා වැදීම නිසා එන පලු නැගීම හා කැසීම නැවතීමට ගාන්නේද පොල්තෙල්ය. මේ හැරුණුකොට හිසට පොල්තෙල් ගෑම අපගේ ස්වස්ථතා සංස්කෘතියේ හිස හා කොණ්ඩය ආරක්ෂා කිරීමේ ප්‍රබලම ඖෂධය වේ. පොල්තෙල් මගින් කෙස් වර්ධනය, ශක්තිය වැඩිකරන අතර හිස් කබලේ බොහෝ රෝග දුරලන මහෝෂධයක් වන්නේ පොල්තෙල්ය.

පෙරකල අපේ යුවතියන්ට දිගු වරලසකට හිමිකම් කීමට උදව් කළේද පිරිසිදු පොල්තෙල්ය. පොල්තෙල්වලට අපගේ සංස්කෘතිය තුළ කොපමණ මුල්තැනක් ඇත්ද යත් සිංහලයන්ගේ ප්‍රධාන උත්සවය වන සිංහල අලුත් අවුරුද්දේදී හිසතෙල් ගෑම නම් ප්‍රධාන නැකතටද භාවිතා වන්නේ පොල්තෙල්ය.එමෙන්ම මඟුලක තුලාවකදී මුලින්ම කරන චාරිත්‍රය වන්නේ තෙල් ලිප තැබීමයි.

පෙරකල ආහාරය සඳහා සාදා ගන්නා තෙල් අත්තෙල් නම් විය. එනම් ගා මිරිකාගත් පොල්කිරි කකාරා සාදා ගන්නා තෙල් වේ. නූතන අර්ථයට අනුව නම් අත්තෙල් යනු Vergin Coconut Oil වේ. කොප්පරා වලින් සාදා ගන්නා තෙල් වලට වඩා අත්තෙල් ගුණ බවත් රසයෙන් උසස් බවත් පෙරකල ලක්වැසියන් හොඳින් දන්නා කරුණකි.

චිරාත් කාලයක් සෑම වේලකටම යහමින් පොල් සහ පොල්තෙල් පරිභෝජනය කළ ජාතියක් වශයෙන් අප පැරැන්නන්ට ඉහෙන් බසින රෝගයක් නොසෑදුනද අද වනවිට අපරදිගයන්ගේ ආහාර සංස්කෘතිය පසුපස ගිය ජාතියක් වශයෙන් ආහාර මුල්කොට ගත් ප්‍රධාන රෝගවලින් සමස්ත ජාතියෙන් අඩකට වඩා රෝගී වී ඇත.


මෙම රෝග ප්‍රචලිත වන්නට පටන් ගන්නේ පනහ දශකයේ අග භාගය තුළදීය.එකල රුධිරයේ කොලෙස්ටරෝල්වලට ප්‍රධාන හේතුව වන්නේ පොල්තෙල් යයි බටහිර වෙදුන් කියන්නට යෙදෙනුයේ කිසිම සායනික පර්යේෂණයක ප්‍රතිඵලවල නොසිටාය. එතැන් පටන් හෘද විශේෂඥයන් යයි කියාගන්නා සියලුම බටහිර වෙදදුරන් පොල්තෙල් හා පොල් ආහාරයට නොගන්නා ලෙස දේශන, අත්පොත්, පත්‍රිකා,වැඩමුළු පැවැත්වූහ. තමන් ළඟට එන රෝගීන්ට පොල්තෙල් ආහාර තහනම් කළහ. පොල්කිරි නොදා ඒ වෙනුවට සෝයා කිරි ආහාර සඳහා භාවිතා කිරීමටද පොල්කිරි භාවිතා කරන්නේ නම් මිටිකිරි ඉවත දමා දියකිරෙන් පමණක් ආහාර පිසගන්නැයි ඔවුන් ජනතාවට උපදෙස් දුන්හ. මෙම උපදෙස් දුන්නේ කිසිම විද්‍යාත්මක පදනමක නොසිටාය. එය දශක තුනකටත් වඩා එකදිගටම ප්‍රචාරය කෙරුණි. එයට සමාන්තර ලෙස රට තුළට එළවළු තෙල් නාමයෙන් ශරීරයට විෂවන, තෙල් මුල්කොට සෑදෙන රෝග වැඩි කරන ෆාම් තෙල්, එළවළු තෙල් ආනයනය හා සෝයා ප්‍රචලිත කිරීම සිදු කෙරුණි. මෙය බටහිර වෙළඳ ආධිපත්‍ය හිමි බහුජාතික සමාගම්වල තවත් අධිරාජ්‍යවාදී ආර්ථික සුරාකෑමක් මෙන්ම සංස්කෘතික මොළ සේදීමෙන් කරන ලද ආර්ථික ඝාතනයකි. හැටේ දශකයෙන් පසු ඇතිවූ පරම්පරාව බටහිර විද්‍යාව යනු පරම සත්‍ය ලෙස සැලකු පරපුරකි. එම නිසා විද්‍යාවේ නාමයෙන් කුමන දේ කිවූවද එය එසේම භාර ගැනීමට මෙම පරම්පරාව සැදී පැහැදී සිටින බැවින් මෙම දේශීය ආහාර සංස්කෘතිය වෙනස්කර ආනයනික ෆාම් තෙල්, සෝයා තෙල් වලට පුරුදු කිරීමට හැකි විය.

එහෙත් තෙල් ආහාර ආශ්‍රිත රෝග එන්න එන්නම වැඩි වුණා මිස අඩු වීමක් අදවන තෙක් දක්නට නැත. එම නිසා කොලෙස්ටරෝල්, හෘද රෝග, මධුමේහය සඳහා එම බටහිර වෛද්‍යවරුන්ම රෙකමදාරු කරන බෙහෙත් ආනයනය සඳහාද රුපියල් බිලියන ගණනින් වියදම් කරන්නට සිදු වී ඇත. එයින්ද වාසිය ඇත්තේ බටහිර ඖෂධ බෙහෙත් සමාගම්වලටය.

ඒ මදිවාට පොල් සිටුවීම වෙනුවට වැවිලි සමාගම් තරඟයට මෙන් ආර්ථික ඝාතක(ෆාම්) කටු පොල් සිටුවීමට දකුණු ලකේ අක්කර දහස් ගණනක් භාවිතා කර ඇත. ෆාම් තෙල්වල සෞඛ්‍යමය තත්ත්වය කෙසේ වෙතත් මෙම ශාඛයෙන් ගතහැකි වන්නේ ෆාම් තෙල් ගැනීම පමණි.

එහෙත් පොල් ගස අපට කප්රුපකි. එහි සියලු අංගයම ආර්ථික වටිනාකමක් ඇත. වතුර බොන පොල් කට්ටේ සිට පොල් ලීය, පොල් අත්ත, පොල් කෙන්ද, පොල් ලෙල්ල හා ගසේ අනෙක් සියලු කොටස් සිංහල ජීවන සංස්කෘතියත් සමඟ එකට බැඳුනකි. එහෙත් අපගේ බටහිර චින්තනයෙන් ඔද්දල් වූ ඉහළ වතු කළමණාකරුවන්ට හා කෘෂි විශේෂඥයන්ට (ෆාම්) කටු පොල් සිටුවීම උජාරුවට කරුණකි.

චිරාත් කාලයක් අප සංස්කෘතිය හා ආර්ථිකය සමඟ බැඳුනු පොල් හා පොල්තෙල් අපගෙන් ඈත් කිරීම පිටුපස සිටින්නේ විශාල ලෙස සෝයා තෙල් නිපදවන ඇමෙරිකානු සමාගම් වේ. අද වනවිටත් අප රට තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යන ආයතනවල සිටි හා සිටින බටහිර සමාගම්වල වෙළඳ ප්‍රචාරකයන් වූ ආචාර්ය මහාචාර්යවරු හා වෛද්‍යවරු මෙම අපරාධයට වගකිව යුතුය.

අපගේ ආහාරවල ගුණාගුණ අප දන්නේ ප්‍රත්‍යක්ෂයෙන් මිස විද්යානුකුල ඔප්පු කිරීමකින් නොවේ. එහෙත් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන සිටි ගුණාගුණ විද්‍යාත්මක පර්යේෂණ මගින් ද අස වනවිට ඔප්පුකර ඇත.පොල් හා පොල්තෙල් හි ගුණාගුණ අප දන්නේද ප්‍රත්‍යක්ෂ අවබෝධයෙනි. එම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට යාම නැවතීමට නම් අප පරම්පරාවෙන් පරම්පරාවට ගෙන එන දැනුම මොට කළ යුතුය. නැතහොත් එය විශ්වාස නොකරන පරම්පරාවක් සෑදිය යුතුය. අධිරාජ්‍යවාදීන් අපගේ ආහාර සංස්කෘතිය විනාශ කර ඔවුන්ගේ ආහාර මත යැපෙන සංස්කෘතියක් සෑදීමට පාදක කරගත්තේ බටහිර අධ්‍යාපනය හරහා දේශීය දැනුම සමච්චලයට ලක්කරන පරම්පරාවක් සාදමින්ය. මෙම කුමන්ත්‍රණයට හසු වී අප අතරින් ඈත් කිරීමට හැකි වූ ප්‍රධාන දේශීය ආහාරය පොල්තෙල් වේ. මෙය අපට මෙන්ම පිලිපීනයට හා ඉන්දුනීසියාවට ද එලෙසම බලපෑවේය.


මෙම බටහිර කපටි වෙළඳ න්‍යායන්වලට හසු වූ හෝ නොදැන බටහිර ඖෂධ සමාගම්වල තැරැව්කාරයන් බවට පත්වී ඇති සමහර හෘද රෝග විශේෂඥයන් අදටත් පොල්තෙල් හා පොල්කිරි අගුණ යයි පවසමින් ජනතාව නොමග යවයි.

එහෙත් අද වනවිට (දශකයක පමණ සිට) පොල්තෙල් යනු ලෝකයේ ඇති සෞඛ්‍යම අතින් ඉහළම තෙල් බවට බටහිර විද්‍යාවෙන්ම ඔප්පුකර ඇත. මෙතෙක් පොල්තෙල්වලට එරෙහිව තිබූ සියලුම චෝදනා සියල්ල බොරු බවත් අප විසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන සිටි දැනුම විද්‍යාත්මකවද අද වන විට ඔප්පුකර ඇත. අප විසින් භාවිතා කළ අත්තෙල් අද ඇමරිකානුවාම විසින් Vergin Coconut Oil ලෙස ඉතා අධික මිලක් ගෙවමින් ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙසද භාවිතා කරයි.

බටහිර විද්‍යාව පෝෂණය වන්නේ වෙළඳපොළ ආර්ථිකයට සාපේක්ෂවය. විද්‍යාව මිනිසාගේ දියුණුව සඳහා යයි කියූවද එය ඇත්ත වශයෙන්ම ලාභය හා වෙළඳපොළ ආක්‍රමණය සඳහා ධනේෂ්වර ආර්ථිකය මගින් භාවිතා කරන උපාංගයක් හා මාධ්‍යයක් බවට පත්වී ඇත. බටහිර විද්‍යාඥයන්ගේ පැවැත්ම හා නඩත්තුව රඳා පැවතෙන්නේ බහුජාතික සමාගම්වල අරමුදල් මතය. එම නිසා සැමවිටම ඔවුන්ගේ සොයා ගැනීම් එම මුදල් පොම්ප කරන බහුජාතික සමාගම්වල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට සැදී පැහැදී සිටියි. එසේ නොවුනහොත් ඔවුන්ගේ පැවැත්ම අනතුරේය.

Monsanto, Carnegie වැනි බහුජාතික සමාගම් විසින් ඇමෙරිකානු කෘෂිකර්මය අත්පත්කර ගත් පසු ඔවුන්ගේ නිෂ්පාදන හා වෙළඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගත්තේය. කර්මාන්තකරණය කළ හැකි බොහෝ බෝග ඔවුන්ගේ අණසකට යටත් වූ අතර සමහර බෝග හා ආහාර මානව වර්ගයාට අලුතෙන් හඳුන්වා දුන් ඒවා විය. (උදා:- Canola Oil) මෙම බෝග හා ආහාර ජනතාව තුළ ව්‍යාප්ත කිරීමට නූතන විද්‍යාවේ පිහිට පැතූ අතර පසුගිය දශක හය තුළ එය සමස්ත ඇමෙරිකානු ජනතාව ඊනියා විද්යානුකුල සොයා ගැනීම්වලින් රවටා ඔවුන්ගේ සිරකරුවන් බවට පත්කර ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් මෙම සමාගම් නිපදවන Soya, Corn Yd rapseed (Canola) තෙල් ලෝකයේ සෞඛ්‍ය ආරක්‍ෂිත තෙල් බවත් ඒ වනවිටත් ඇමෙරිකානු ජනතාවගේ Fast Food සංස්කෘතිය තුළ තරබාරු බව, දියවැඩියාව හා හෘද රෝග සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ සංතෘප්ත මේද අම්ල හා කොලෙස්ටරෝල් අඩංගු සාම්ප්‍රදායික ආහාර වූ බටර් හා කේජු කෑමෙන් බවට ඒත්තු ගැන්වීමට විවිධ පර්යේෂණ දත්ත පෙන්වාදෙන ලදී. එහෙත් බටහිර ජනතාවගෙන් එම ආහාර සංස්කෘතිය වැළඳගත් අප රට වැනි රටවලත් හෘද රෝගීන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩි වී ඇත.

එහෙත් බහුජාතික සමාගම් විසින් නිපදවන ආහාර සංස්කෘතියට අලුතෙන් එක්කළ තෙල් වර්ගවල ඇත්තේ අසංතෘප්ත මේද අම්ල වේ. එමෙන්ම Fast Food සංස්කෘතිය හා බහුජාතික සමාගම් විසින් නිපදවන සුදු සීනි හා සුදු තිරිඟු පිටිවල බලපෑමෙන් රෝගීන් බවට ඇමෙරිකානු ජනතාව පත් වී සිටියි. එම රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුව මෙම සංතෘප්ත මේද අම්ල සහිත ආහාර නිසා බවට විවිධ පර්යේෂණ ප්‍රතිඵල මගින් පෙන්වා දුනි. එයට පිළිතුරු වශයෙන් ඔවුන්ගේ නව සොයා ගැනීම් වූ කර්මාන්තවලින් නිපදවන තෙල් වර්ගවල වැඩිපුර ඇත්තේ අසංතෘප්ත මේද අම්ල හෘද රෝගවලට ඉතා හිතකර බවත් ව්‍යාජ ලෙස පෙන්වමින් සමස්ත ලෝක ජනතාවම රවටන ලදී.

මෙම ලෝක පරිමාණ බොරුව පැතිරවීම සඳහා WHO, American British Dietetic Association, American Heart Association, British Heart Foundation, World Heart Federation, British National Health Service, FDA, European Food Safety Authority වැනි ආයතනවල වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් උපයෝගී කර ගත්තේය.

ඝර්ම කලාපීය රටවල මුහුදුකරයේ වැවෙන පොල් හා එයින් නිපදවන පොල්තෙල් එම රටවල සාම්ප්‍රදායික ආහාරයකි. මෙම තෙල්වලද සංතෘප්ත මේද අම්ල බහුලව ඇත. එම නිසා ඉහත සඳහන් විජිතයන්ගේ යටත්විජිත වන අප රටවල හෘද රෝග විශේෂඥයන්ද ගිරවුන් මෙන් ඉහත ආයතන මගින් ප්‍රචාරණය කරන දෙයම අප රටවල්වලද ප්‍රචාරය කර පොල් හා පොල්තෙල් වස විසට සමානකොට එය ජනතාවගෙන් ඈත් කිරීම අදටත් කරගෙන යයි.

එහෙත් මෙම (Cultural Brain Wash) සංස්කෘතියම මොළ හේදීම මගින් සමස්ත ලෝක ජනතාව දශක පහ හයක් තිස්සෙම ඒ තුළ සිර කරමින් බහුජාතික සමාගම් දියුණු වී ඇත. එමෙන්ම ඒ තුළින් අපගේ සාම්ප්‍රදායික පොල්තෙල්ද ජනතාවගෙන් ඈත් කිරීමට අපගේ දොස්තරලා උදව් විය. එහෙත් ඇමෙරිකානු ජනතාවගේ තත්ත්වය අද වන විට ඉතා බරපතල තත්ත්වයකට පත්වී ඇත.

ඇමෙරිකානු ජනතාවගෙන් මිලියන 65ක් හෘද රෝග වලින් පෙළේ.
ආසන්න වශයෙන් ඇමෙරිකානු ජනතාවගෙන් මිලියන 01ක් වසරකට හෘද රෝග වලින් මරණයට පත්වේ.
සෑම තත්පර 39කට එක් අයෙක් හෘද රෝග නිසා මරණයට පත්වේ.
ඇමෙරිකාවේ සෑම මරණ 1/3ක්ම හෘද රෝග හා සම්බන්ධ සිද්ධියක් වේ.
ඇමෙරිකානුවන්ගේ 1/3ක් හෘද රෝග සෑදීමට හැකි ස්ථුලතාවය අධික බර හා ඉන්සියුලින් ප්‍රතිවිරෝධී වේ.
මෙම තත්ත්වය තුළ 2008දී පමණක් ඇමෙරිකානු හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක් වියදම් කර ඇත.

WHO විසින් ගණන් බලා ඇති ආකාරයට සමස්ත ලෝකයේම බඩගින්න නැති කිරීමට වැයකළ යුත්තේ ඇමෙරිකානු ඩොලර් 195ක් පමණි.

මෙම වියදම් දෙස බලනවිට විද්‍යාවේ බොරුවෙන් වෙළඳපොළ උවමනාවන් සාක්ෂාත් කරගැනීම සඳහා පමණක් බහුජාතික සමාගම් කර ඇති අපරාධය කොතෙක්දැයි සිතාගත හැකිය.

පනහේ දශකයට පෙර ඇමෙරිකානුවන් සාම්ප්‍රදායිකව ආහාරයට ගත් තෙල් වර්ග වුයේ බටර්,කේජු, ඌරු තෙල් හා හරක් තෙල්ය. මේ සෑම දෙයකම ප්‍රධාන සංඝටක වූයේ සංතෘප්ත මේද අම්ලය.

එහෙත් ඇත්ත නම් පොල්තෙල්හි සංතෘප්ත මේද අම්ල ඇති හෙයින් ඉක්මනින් මුදු බවට පත් නොවේ. පොල්තෙල් නටන උෂ්ණත්වයේදී එළවළු තෙල් මෙන් ශරීරයට අහිතකර තෙල් වර්ග (Trans Fat) නිපදවීම සිදු නොවේ. එම නිසා වරක් භාවිතා කළ පොල්තෙල් දෙතුන්වර බැදීම ප්‍රශ්නයක් නොවේ. එළවළු තෙල් වශයෙන් හඳුන්වන Canola, Corn, Soybean, Peanut Oil, Sunflower, Safflower, Cotton Seed, Grape Seed රත් කිරීමේදී සෑදේ. මෙම මේදය ශරීරයට ඉතා අහිතකරය. එමෙන්ම මාගරින් යනු හයිඩ්‍රජනිකෘත එළවළු තෙල් වේ. මෙහි Omega 06 හා Trans Fat ඉතා බහුල වේ. එම නිසා මාගරින් යනු ශරීරයට අහාරයකට වඩා වස විස වන දෙයකි.

අප ශරීරයේ මේදයන්හි 97%ක් ඇත්තේ සංතෘප්ත මේද (Saturated Fat) හා ඒකීය අසංතෘප්ත මේද (Monounsaturated) වේ. ඉතිරි 3%ක් බහු අසංතෘප්ත මේදය (Polyunsaturated Fat) වේ. එයිනුත් භාගයක් Omega 03 වන හිතකර මේද වේ.

එම නිසා අපගේ ආහාරවලද අඩංගු විය යුත්තේ මෙයට සමාන ව්‍යුහයක් ඇති මේද වර්ග වේ. මෙහිදී පොල්තෙල් ඉතාමත් ගුණදායක වන්නේ එහි වැඩිපුර සංතෘප්ත මේද අම්ල ( Saturated Fatty Acid) ඇති බැවිනි. එසේම එය Omega 03 වලින් පෝෂිත වේ. ඒ හැරුණුවිට මව්කිරිවල අඩංගු Lauric අම්ලය ඇත්තේ පොල්තෙල්වල පමණි. එම නිසා පොල්තෙල් ඉතාම සෞඛ්‍යාරක්ෂිත වේ. Lauric අම්ලය යනු විෂබීජ නසන ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ඉතා හිතකර රසායනිකයකි.

වෙනත් තෙල් වර්ග ආහාරයට ගැනීමේදී අසංතෘප්ත මේද අම්ල වැඩිපුර ශරීරයට ඇතුල් වේ. එහිදී එම මේද වර්ග උරා ගැනීමේදී මෙම අම්ල ශරීරයට අහිතකර ලෙස බලපායි.

ශරීරයේ තැන්පත් වන මේද අම්ලවල අසංතෘප්ත මේද අම්ලවලින් සෑදුනු මේද තැන්පත් වීම වැඩි වේ.
අසංතෘප්ත මේද අම්ල ශරීරය තුලදී හා රුධිර නාල බිත්තිවල සෛල ප්‍රදාහයට ලක් කරයි. එම නිසා එම ප්‍රදාහයට ලක්වූ සෛල මත තෙල් තැන්පත් වී රුධිර නාල අවහිර කිරීම සිදු කරයි.
මේවා හෘද රෝග වලට ප්‍රධාන මූලය වේ.

අනෙකුත් වෙළඳපොළේ ඇති “එළවළු තෙල්” ගණයේ තෙල් යනු රසායනිකව නිස්සාරණය කරන තෙල් වර්ග වේ. ඒවා අඹරා තෙල් ගැනීමට නොහැකි වර්ග වේ. තාක්ෂනය දියුණු වීමත් සමග 1900න් පසු පමණක් මිනිස් ආහාරයට ගත් මේද වර්ග වේ. 1900ට පෙර අඹරා තෙල්ගත හැකි පොල්තෙල්, ඔලිව් තෙල් වැනි තෙල් වර්ග හැරුනුකොට බොහෝ ජාතීන් ආහාරයට ගත්තේ ඌරු තෙල්, හරක් තෙල්, කුකුල් තෙල් වැනි සතුන්ගේ තෙල් හා බටර් හා දුන්තෙල්ය.

රසායන විද්‍යාවේ දියුණුවත් සමග අඹරා තෙල් ගත නොහැකි තෙල් සහිත ද්‍රව්‍යවලින් තෙල් ලබා ගැනීමට ඇමෙරිකානු බහුජාතික සමාගම් වෙනත් රසායනික ක්‍රමවේද සොයා ගත්තේය. ඒ අනුව Solvent Extraction (දියකර වෙන්කර ගැනීම ) නම් ක්‍රමයට අනුව Acetone නැමැති වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් මගින් අඩංගු තෙල් දියකර වෙන්කර ගත් තෙල් නැවතත් ඇසිටෝන් ඉවත්කර තෙල් වෙන්කර ගැනීම ප්‍රචලිත ක්‍රමය මේ සඳහා බහුලව භාවිතා කරන ක්‍රමය වේ. Acetone යනු විෂ රසායනිකයකි. එමෙන්ම මෙම ක්‍රමයට තෙල් වෙන්කර ගැනීම බහුල වශයෙන් කරනුයේ සෝයා, කපු, මිදී ඇට, බඩඉරිඟු හා කැනෝලා නොහොත් රේප් සීඩ් සඳහාය. අද ඇමෙරිකාව තුළ නිපදවන තෙල් වර්ග වනුයේ සෝයා සහ කැනෝලා තෙල් වේ. කැනෝලා යනු රේප් සීඩ් ජාන ඉංජිනේරුමය වශයෙන් වෙනස් කළ කාර්මික බෝගයකි. මෙම විකෘති ජාන සහිත බෝගවලින් නිපදවන ආහාර සෞඛ්‍යයට ඉතා අහිතකර වේ.

මේ හැරුණුකොට කැනෝලා, සෝයා වැනි තෙල් ඉතා උකු හා දුර්ගන්ධ සහිත තෙල් වර්ග වේ. මේවායෙහි අසංතෘප්ත මේද අම්ල වැඩි හෙයින් ඉක්මනින් මුඩු බවට පත්වේ. මෙම මුඩු බව නැති කිරීමට කෘතීම ප්‍රතිඔක්සිකාරක (antioxidant) වන BHA,BHT – Butylated hydroxyl anisole හා Butylated hydroxyl toluene එක්කරනු ලැබේ. මෙම BHA හා BHT පිළිකාකාරක රසායනික බවට ඔප්පු කර ඇති රසායනික වේ. එමෙන්ම මෙම රසායනිකයන් අක්මාව හා වකුගඩුවලට හානිකරන අතර ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරයි. ඒ හැරුනුකොට වඳ බව, නිසරු බව වැඩි කිරීම මෙන්ම ළමුන්ගේ චර්යාමය වෙනස් කිරීම්ද ඇතිකළ හැකි භයානක රසායනිකයන් වේ.

ඉහත සඳහන් අමු එළවළු තෙල් ගණයේ තෙල් වෙළඳපොළට එන්නට පෙර ඒවා වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි ප්‍රසන්න තත්ත්වයට ගෙන ඒමට නොයෙකුත් රසායනික වෙනස්කිරීම්වලට හාජනය වේ.

Degumming (මැලියම් ඉවත් කිරීම) ® Dewaxing (ඉටි ඉවත් කිරීම) ® Caustic refining® Fractionation ® Winterization ® Blending ® Bleaching (විරංජනය කිරීම) හා Deodorization (ගඳ නැති කිරීම) යන රසායනික ක්‍රියාවලි රාශියකට භාජනය කර සාදන රසායනික ඵලයක් වේ.

බොහෝ එළවළු තෙල් ලෙස RDB Vegetable Oil ලෙස ලේබල් කර ඇත. RDB යනු Refine (පෙරා ගැනීම), Deodorized (ගඳ නැති කිරීම), Bleach (විරංජනය කිරීම) යන සැකසීම් යාන්ත්‍රණයේ කෙටි යෙදුම වේ.

එහෙත් පොල්තෙල් මෙසේ නොකර වේලපු පොල් (කොප්පරා) සෙක්කුවෙන් හෝ මෝලේ සිඳ ගන්නා තෙල් කෙලින්ම භාවිතයට ගත හැක. එයිනුත් ගෙදරදී පොල්කිරිවලින් සාදා ගන්නා තෙල් ලොව අනර්ඝතම ආහාරයට ගත හැකි තෙල් වර්ගය වේ.

එම නිසා සෞඛ්‍යමය ජීවිතයක් ලබා ගැනීමටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ කිව හැකි අප පැරැන්නන්ගේ ආහාර සංස්කෘතිය සොයා ගොස් ඒ සඳහා හද ගැසෙන්නට අදිටන් කළ යුතුයි. අපේම වූ ආර්ථිකයකට වින කටිමින් අප අපෙන් වෙන් කරන බටහිර වෙළඳපොළ කෙටි ආහාර මත හා නොදන්නා අහාර මත විශ්වාසය නොතැබිය යුතුයි. විශේෂයෙන් වෙළඳපොලේ ඇති පිරිසිදු දේශීය පොල්තෙල් හැරුනුකොට කිසිම තෙල් වර්ගයක් ආහාරයට නොගත යුතුයි. බුදුරදුන් කී ලෙස ජීවත්වන පරිසරයේ නිපදවන ආහාරයට ගත හැකි දේ පමණක් ප්‍රත්‍ය වේ යන්න ගුරු කොට අපේ ආහාර කරා නැවත පියනැගීම ඉතාම සුදුසුයි. එහිදී කප්රුක මගින් ලබාදෙන පොල්කිරි හා පොල්තෙල් ආහාරයට ගනිමින් නීරෝගී ලාංකිකයෙකු බවට පත්විය හැකියි. පොල්තෙල්වල ගුණ නොදන්නා අයට ඒ ගැන කියාදිය හැකියි.


උපුටා ගැනීම;
SHEHAN_GIWANTHA
http://www.elakiri.com/forum/showthread.php?t=1646574

READER COMMENTS



Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!





Comments

  1. මේ සිංහල අළුත් අවුරුදු සමයයි. පොල් තෙල් නැති සිංහල ඉතා අල්පය. බදුල්ලේ නම් දැනටමත් බාල හකුරු සහ පොල් තෙල් වෙළඳ පොලට පැමිණ ඇත්තේ අදික ලාබ ලැබීමේ අරමුණිනි. එනමුත් කන කර උගස් තබා හෝ අවුරුදු කෑමට අපි ( බහුතරය ) පුරුදු වී සිටී. එනමුත් අපට පොල්තෙල් වුවමනාය . නොදත් කරුණු රැසක් ඉදිරිපත් කළ ඔබට නොවක් තුති

    ReplyDelete
  2. මෙන්න මේකත් බලන්න
    http://worldbeyondworld.blogspot.com/2015/07/does-coconut-oil-bad-for-health.html

    ReplyDelete
  3. Rapid Tone Diet is an advance step to lose weight and get a ride from obesity. Rapid Tone Diet is a dietary supplement which is made of all natural and Organic Products. Rapid Tone

    ReplyDelete

Post a Comment