තවමත් Floppy Disks පාවිච්චි කරන පෙන්ටගනය!!!

 

ෆ්ලොපී ඩිස්ක ගැන අහලා තියෙනවද? සමහර විට අහලා ඇති, ඡායාරූප දැකලත් ඇති, ඒත් ඔබ වයස අවුරුදු 30 අඩු කෙනෙක් නම් කවදාක්වත් පාවිච්චි කරලා නැතුව ඇති. ෆ්ලොපී ඩිස්ක වල ඉතිහාසය සෑහෙන්න පරණ වුනත් ඒවා සාමාන්‍ය භාවිතයට ආවේ 1980 දශකයේ මුල්කාළයේ අයි.බී.එම් පුද්ගලික පරිගණකවලට ෆ්ලොපී ඩිස්ක් ධාවන යන්ත්‍ර එකතු කිරීමත් සමගයි. එවක මිලියන ගණනින් අලෙවි වුනු පරිගණක හා අණුකාරක පරිගණක (IBM PC & PC Clones) සෑම එකකම ෆ්ලොපී ඩිස්ක ධාවන යන්ත්‍රයක් තිබීම නිසා ක්‍රි.ව 2000 පමණ වෙනතෙක් බිලියන ගණනක් ෆ්ලොපී ඩිස්ක භාවිතා වුනා. කෙසේ වෙතත් ඉතා අඩු ධාරිතාවයකින් යුතු වන ෆ්ලොපී ඩිස්ක් භාවිතය Re-writable CD ROM (CD-RW) හා Memory Stick ජනප්‍රිය වීමත් සමග අඩුවීගෙන ගිහින් මේ වෙනකොට නැත්තටම නැතිවී තිබෙනවා.

අඟල් 8, අඟල් 5.25 හා අඟල් 3.5 ප්‍රමාණවල ෆ්ලොපී ඩිස්ක - (C) විකිමීඩියා කොමන්ස්
මේ වෙනකොට ෆ්ලොපී ඩිස්ක භාවිතය නැවතිලා තිබුණත්, තවමත් ෆ්ලොපී ඩිස්ක භාවිතාවන අපූරු ස්ථානයක් පිලිබඳව පොපියුලර් සයින්ස් සඟරාව මේ මෑතකදී වාර්තා කලා. ඒ තමයි අමෙරිකාවේ ආරක්ශක දෙපාර්තමේන්තුවේ, නැතිනම් පෙන්ටගනයේ න්‍යශ්ඨික අවි දියත්කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය.

Department of Defense Strategic Automated Command and Control System ලෙස හැඳින්වෙන මේ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් තමයි අමෙරිකානු ජනාධිපතිවරයා යම් රටකට න්‍යශ්ඨික ප්‍රහාරයක් එල්ල කරන්න කියලා අණ ලබාදුන්විට, එම අණ හා ජනාධිපතිවරයා සතුව පමණයක් ඇති න්‍යස්ඨික මිසයිල දියත්කිරීම සඳහා අවශ්‍ය මිසයිල් දියත් කිරීමේ කේත (Nuclear Missile Launch Codes) සිය පාලණ පද්ධතියට ඇතුලත් කරලා න්‍යස්ඨික මිසයිල දියත් කිරීමට අවශ්‍ය ආරක්ශණ පියවර අරගන්නේ.

පොපියුලර් සයන්ස් සඟරාව පවසන අන්දමට මෙම මිසයිල් පාලණ පද්ධතිය තවමත් ක්‍රියාත්මක වෙන්නේ 1970 නිශ්පාදිත IBM Series 1 පරිගණකයක් මගින්. මෙම පරිගණකය දැනට වෙළඳපොලේ සොයාගැනීමට වත් නොහැකි අඟල් 8 ෆ්ලොපී ඩිස්ක භාවිතා කරන බව තමයි වාර්තාවෙලා තියෙන්නේ.


 මේ පිලිබඳව වාර්තාකරුවන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු දෙන පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශිකා ලුතිනන් කර්නල් වැලරී හෙන්ඩර්සන් පවසන්නේ එම පරිගණක පද්ධතිය හා ෆ්ලොපී ඩිස්ක තාක්ශණ ලෝකයේ පැරණිම ඒවා වුනත්, කිසිම ගැටලුවකින් තොරව දැන් වසර 40ක් තිස්සේ ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් පෙන්ටගන් ආරංචිමාර්ග පවසන අන්දමට 2017 මෙම පරිගණක පද්ධතිය අති නවීන පරිගණක පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙන අතර 2020 සිට මෙම නව පරිගණක පද්ධතිය අමෙරිකානු න්‍යස්ඨික අවිවල පාලනය භාරගනු ඇත.


__________________________________________________________________________

Creative Commons License
   


VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .

  GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments