හිට්ලර්ගේ නට්සි හමුදා යුරෝපය ජයගත්තේ ප්‍රභල මත් පෙත්තක බලයෙන්ද? | Did Hitler's Nazi forces waged war in Europe fuelled by a powerful drug?




1940 වසරේ මැයි මාසයයි. හිට්ලර්ගේ හමුදා යුරෝපයේ රටවල් කජුපුහුලන් තලන්නා මෙන් යටත් කරගත්තේ "බ්ලිට්ස්ක්‍රීග්" හෙවත් අකුණක් මෙන් එක්වරම සතුරාට මහා විනාශයක් ගෙන එන ආකාරයේ දැවැන්ත ප්‍රහාර හදිසියේම එල්ල කරමිනි. හිල්ටර්ගේ ස්ටෝර්ම් ටෲපර්ස් නැමති ක්ෂණික විහිදුම් බලකා සතුරු මැෂින් තුවක්කු ප්‍රහාර මධ්‍යයේ නොකඩවා ඉදිරියට ගියේ සතුරන් විශ්මයට පත්කරමිනි. ජර්මානු හමුදා  හැසිරුනේ සතුරු (බ්‍රිතාන්‍ය, ප්‍රංශ, පෝලන්ත ආදී) හමුදාවල වෙඩි උණ්ඩවලට තමන් මරාදැමිය නොහැකියයි සැබැවින්ම සිතූ පරිද්දෙනි. එනිසාම ඔවුන්  යුරෝපීය හමුදාවලට බිය කාවද්දන්නට සමත්වූ අතර වසරක ඇවෑමෙන් මුලු යුරෝපයම යටත් කරගත්තේ ඉතා පහසුවෙනි.

බොහෝ කාළයක් යනතෙක්ම ඉතිහාසඥයින් ජර්මානු හමුදාවල මේ අභීත හැසිරීම හා මරණයට ඇති නිර්බහය බව ඔවුන් පුහුණුකොට තිබූ දැඩි විනය හා හිට්ලර් තමන්ගේ ජාතික වාදි අදහස් (එනම් සියල්ලන්ටම වඩා ආර්ය ජර්මන් ජාතිය ඉහලය, ලොවට සෙතක් සැළසිය හැක්කේ මුලු ලොවම ජර්මනියට යටත් වූ විටය..) දැඩිලෙස මෙම තරුණ හමුදාවට කාවැද්දීමට සමත්වීම යයි පිලිගන්නා ලදී. එමෙන්ම ජර්මානු යුධ ජෙනරාල්වරුන් යුධ උපායමාර්ගවල කෙල පැමිණි, නවීන උපායමාර්ග අත්හදා බලන්නට බිය නොවන දක්ශයින් පිරිසක් බවටත් පිලිගෙන තිබුණි.

මේ සියල්ලම නට්සි ජර්මන් යුධ ජයග්‍රහණ සඳහා සත්‍ය ලෙසම පාදක වුවත්, තවත් එක් සුවිශේෂී, එමෙන්ම ලොව බොහෝ ඉතිහාසඥයින් අවධානය නොකල කරුණක් දැන් හෙලිවෙමින් පවතී. එනම් ජර්මානු ත්‍රිවිධ හමුදාව පමණක් නොව, නට්සි ජර්මනියේ පොදු මහජනයා පවා, එකල ඕනෑම වෙළඳසැළක අලෙවියට තබා තිබූ "Pervitin" නම් සන්නාමයෙන් වෙළඳපොලට පැමිණි මත් පෙත්තකට දැඩි ලෙස ඇබ්බැහිවී සිටි බවයි.

නට්සි ජර්මනිය ඖෂධ සමාගමක් වන ටෙම්ලර් සමාගමේ නිෂ්පාදනයක් වූ පර්විටින් ඇසිරුමක්. 
විටමින් පෙත්තක් මෙන් ජවය ලබාදෙනවා යයි හැඟෙන "Pervitin" නම් සන්නාමයෙන් නට්සි ජර්මනියේ සෑම වෙළඳසැළකම අලෙවියට තිබූ, බොහෝ ජර්මානුවන්ගේ කලිසම් සාක්කුවේ සැමවිටම තිබූ කුඩා පෙත්තේ ක්‍රියාකාරි සංයෝගය වූයේ වෙන කිසිවක් නොව "මෙතම්ෆෙටමින් - methamphetamin " ලෙස හැඳින්වෙන, දැඩි ලෙස ඇබ්බැහිවීම් ඇති කරන දිගුකාලීන භාවිතයෙන් මනෝව්‍යාකූලතා ඇතිකරන රසායණිකයක් ලෙස හඳුනාගෙන තහනම් කොට ඇති ප්‍රභල මත්ද්‍රව්‍යයකි. 1937 වසරේ සිට සෑම වසරකම පෙති මිලියන ගණනක් අලෙවුවූ මෙම භයානක මත්ද්‍රව්‍යය එකල ජර්මනියේ ප්‍රසිද්ධවූයේ "Volksdroge" හෙවත් පොදුජනයාගෙ බෙහෙත ලෙසයි.

පර්විටින් (මෙතැම්ෆෙටමින්) භාවිතා කරන්නාට කොතෙක් වැඩ කලද වෙහෙස නොදැනෙන අතර, සෑම්විටම සුවදායි ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරයි. දැඩි උද්‍යෝගයෙන් කටයුතුකල හැකිවන නිසා පර්ටිවින් මත් පෙත්තට ඇබ්බැහිවූ බහුතරයක් ජර්මානු ජනතාව දෙවනලෝක යුධයට පෙර වසර කිහිපයක කාළයේදි අතිවිශාල ලෙස කාර්යශකමතාවය හා පලදායිත්වය ඉහල නංවාගත් අතර මෙම කෘත්‍රිම පලදායිත්වය හා කාර්යක්ශමතාවය ජර්මනිය ලොව සමග යුධවැදීම සඳහා අවශ්‍ය පලදායි මානවසම්පතක් ලබාදුනි.

එමෙන්ම ජර්මානු යුධහමුදාව, ගුවන්හමුදාව හා නාවිකහමුදාව, මෙම මත්ද්‍රව්‍යය අතිවිශාල ලෙස ඇණවුම් කල අතර, දැඩි වෙහෙසකර යුධ මෙහෙයුම් අතරතුර ජර්මානු හමුදා සෙබලුන්ගේ මෙන්ම යුධ නායකයින්ගේ විඩාව අමතකවීමට හා මාන්සික ඒකාග්‍රතාවය රඳවා ගැනීම සඳහා ජර්මන් හමුදා වෛද්‍යවරුන් මෙම පෙත්ත සිය සෙබළුන්ට හා නිළධාරීන්ට නියමකරන ලදී. හමුදාව හා ජර්මන් ජනයා පමණක් නොව, නට්සි පක්ශයේ නායකයින් මෙන්ම බිහිසුණු යුධ අණුඛණ්ඩයක් වන SS බළකායේ සෙබළුන් හා නිළධාරීන්ද පර්විටින් පෙත්තට තදින් ඇබ්බැහිවී තිබූ අතර එය දුම්පාණය හා දුම්කොල සැපීමටත් වඩා ජනප්‍රිය උත්තේජකයක් විය.




__________________________________________________________________________


Creative Commons License 

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments