හම්ප්බැක් තල්මස් පැටවුන් සිය මවගේ අවධානය ඕනෑ වූවිට, මිනිස් ළදරුවන් මෙන් මහ හඬින් කෑගසන්නේ නෑ. තෙරක් නොපෙනෙන මහා සාගරයේ තල්මස් පැටවුන්ට ඇති අණතුරු බොහොමයි. ඔර්කා හෙවත් කිලර් වේල් නම් සුවිසල් දඩයක්කාර ඩොල්ෆින්, තල්මස් පැටවුන්ගේ ලොකුම සතුරායි. ඊට අමතරව මිනීමෝරුන් මෙන්ම වැඩිහිටි පිරිමි තල්මසුන්ගෙන්ද ඔවුනට කරදර ඇතිවෙනවා. මේ නිසා හම්ප්බැක් තල්මස් පැටවුන් සිය මවට කතාකරන්නේ බොහොම හෙමින්, ඈතට ඇහෙන්නේ නැති විධියට. නපුරු සතුරන්ට ඇහෙයි කියලා බයෙන් වගේ.
මේ වීඩියෝවේ ඇති තල්මස් සන්නිවේදනය, ඔස්ට්‍රේලියාව අසල මුහුදේදී කල එකක්. තල්මස් පැටවෙකු හා මව දින ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරලා බොහොම අපහසුවෙන් දියයට ශබ්ද පටිගත කරන උපකරණ ආධාරයෙන් තමයි මේ පටිගත කිරීම කරලා තියෙන්නේ.
මේ පටිගත කිරීම කල පර්යේෂකයින් කියන විධියට තල්මස් මවක් හා පැටවෙකු අතර සිදුවන දෙබසක් වැනි මෙවන් සන්නිවේදනයක් පටිගත කල මුල්ම අවස්ථාව මෙය වනවා.
ග්‍රීෂ්ම සෘතුව අවසන් වෙමින් පවතින කාළය වූ මේ කාළයේ මව හා පැටවා ඈත උණුසුම් පෙදෙස් කරා සැතපුම් දහස් ගණනක ගමනකට සූදානම් වෙමින්, සිරුරුවල මේධ ගබඩා වැඩිකරගැනීම සඳහා හැකිතාක් ආහර ගතයුතු කාළයයි. මේ කාළයේ මව පැටවා ලඟින්ම සිටීම වැදගත් වන්නේ ඌට අවශ්‍ය කිරි මවගෙන් ලැබිය යුතු නිසාත් ඇයගේ ආරක්ෂාව පැටවාට ලැබිය යුතු නිසාත්. මේ නිසා නිරන්තරයෙන්ම මව හා පැටවා අතර බොහෝ අඩු තීව්‍රතාවයේ සන්නිවේදනයක් සිදුවෙනවා. මෙලෙස සන්නිවේදනය කිරීම නිසා පැටවාට මව මගහැරීම සිදුවන්නේ නෑ.
මෙම පටිගත කිරීම කල පර්යේෂකයින් බලාපොරොත්තු නොවූ දෙයක්වූයේ මව හා පැටවා අතර සන්නිවේදනයේ අඩු ත්‍රීව්‍රතාවයයි. මෙම ශබ්දයන් මුහුදේ මීටර් 30කට වඩා අඩු පෙදෙසක පැතිරෙන ලෙස නිකුත්වූ අතර සාමාන්‍යයෙන් හම්ප්බැක් තල්මසුන්ගේ සන්නිවේදනයන් සැතපුම් ගණනාවක් ඈතට පැතිරෙන අඩු සංඛ්‍යාතවල ඉතා ගැඹුරු හඬනැගීම් වනවා.
Functional Ecology පර්යේෂණ සඟරාවට මෙම පටිගතකිරීම් ගැන පත්‍රිකාවක් සපයන පර්යේෂකයින් අනුමාන කරන්නේ, මව හා පැටවා අතර මෙතරම් අඩු තීව්‍රතාවයෙන් (රහසින් මෙන්) කතා බහ සිදුවන්නේ සැබැවින්ම ඔවුන් එම ප්‍රදේශයේ සිටින බව සැඟවීමට ඇති උවමනාව නිසා බවයි. රහසින් මෙන් කතාබහ කරමින්, පැටවා ලඟින්ම තබාගනිමින් හම්ප්බැක් මව උත්සහ කරන්නේ පැටවාට සතුරු කරදර අවම වන තරමට ලොකු කර ගැනීමට බව පර්යේෂකයින් විශ්වාස කරනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment