AUTOMOBILE TECHNOLOGY : සුපර්චාජර්, ටර්බෝචාජර් හා ඉන්ටර්කූලර් ටර්බෝ



සුපර්චාජර්, ටර්බෝචාජර් හා ඉන්ටර්කූලර් ටර්බෝ යන වචන රථවාහන සම්බන්ධයෙන් කතාකරන විට නිතරම අසන්නට ලැබෙන යෙදුම්. රථවාහන නිශ්පාදකයින් හා මෝටර්-රථ අලෙවිකරුවන් සිය වාහනවල ගුණාත්මක භාවය ඉහල බව පෙන්වීමට මේ තාක්ශණික යෙදුම් ප්‍රයෝජනයට ගත්තත් පොදු මහජනතාව අතර මේ යෙදුම් වල නියම තේරුම පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්. 

සුපර්චාජර් හා ටර්බෝචාජර් වාහනයේ අශ්වබල ප්‍රමාණය හා ඉන්ධන කාර්යක්ශමතාවය (fuel economy) වැඩිකරනවාද?

ඔව්, සුපර්චාජර් හා ටර්බෝචාජර් යන තාක්ශණයන් මගින් යම් ඉන්ධන ප්‍රමාණයකට එන්ජිමක් මගින් ලබාදෙන අශ්වබල ප්‍රමාණය ඉහල දමනවා. මේ නිසා එවැනි එන්ජින් ඉන්ධන කාර්යක්ශමතාවයෙන් ඉහලයි.

සුපර්චාජර් හා ටර්බෝචාජර් ක්‍රියාකාරිත්වය

සුපර්චාජර් හා ටර්බෝචාජර් ක්‍රියාකාරිත්වයෙන් ඉතාමත් සමානයි. මේ දෙකම වාහනයක සාමාන්‍ය එන්ජිමකට සවිකරන අමතර උපාංග වන අතර එමගින් සිදුකරන්නේ වාහනයේ එන්ජිමේ සිලින්ඩර තුලට දහනය සඳහා අධික ලෙස සම්පීඩනය කරනලද වාතය පොම්ප කිරීමයි. මෙම ක්‍රියාවලිය "forced induction" ලෙස හඳුන්වනවා.

වාතය සම්පීඩ්නය කලවිට සිලින්ඩරය තුලට වැඩි වායු ඝණ මීටර් ප්‍රමාණයක් ඇතුලුකල හැකිවනවා. එම වැඩි වායු පරිමාව තුල වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇති බැවින් ඉන්ධන දහනය පරිපූර්ණව සිදුවන බැවින් එන්ජිමේ කාර්යක්ශමතාවය වැඩිවෙනවා. එමෙන්ම සම්පීඩිත වාතය දහනය වීමේදී නිපදවෙන තෙරපුමද අධික බැවින් වැඩි ජවයකින් පිස්ටන තල්ලුකිරීම සිදුවනවා. එන්ජිමෙන් ලැබෙන අශ්වබල ප්‍රමාණය වැඩිකිරීමට මෙයද හේතුවනවා.

සුපර්චාජර් හා ටර්බෝචාජර් යන දෙකෙන්ම සිදුකරන්නේ මෙම ක්‍රියාවලියයි. 



සුපර්චාජර් හා ටර්බෝචාජර් තාක්ශණවල වෙනස

සුපර්චාජරයට මෙන්ම ටර්බෝචාජරයටද වාතය සම්පීඩ්නය කලහැකි කොම්ප්‍රෙසරයක් අඩංගුය. මේ තාක්ශණ දෙකෙහි ඇති වෙනස්කම වන්නේ කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලබාදෙන ආකාරයයි.

සුපර්චාජරයක කොප්‍රෙසරය වාහනයේ ක්‍රෑන්ක් ශාෆ්ටයට දම්වැලක් හෝ බෙල්ටයක් ආධාරයෙන් සම්බන්ධකොට ඇති අතර එන්ජිමේ බලයෙන් කොටසක් කොම්ප්‍රෙසරය කරකැවීමට යොදාගැනෙයි.

ටර්බෝචාජරයක කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වන්නේ එන්ජිමේදී දහනයවී මැනිෆෝල්ඩයෙන් ඉවත්වෙන අධික තාපයෙන් යුතු පිටකුරු වායුව (exhaust gas) මගිනි. මෙම වායුව සයිලන්සරය හරහා පිටකරවීමට ප්‍රථම ටර්බයින් වර්ගයේ අවරපෙත්තක් ආධාරයෙන් (turbine fan) කොම්ප්‍රෙසරය කරැකැවීමට අවශ්‍ය බ්‍රමණය ලබාගන්නවා.

සුපර්චාජර් ගැන වැඩිදුරටත්...

සුපර්චාජර් තාක්ශණය මුලින්ම නිර්මාණය කලේ ගුවන්යානා පෙට්‍රෝල් එන්ජින්වල (ජෙට් එන්ජින් නොවේ ) කාර්යක්ශමතාවය ඉහල නංවාගනීමේ උපක්‍රමයක් ලෙසයි. සුපර්චාජර් බෝහෝ වාහනවල ඔරිජිනල් උපාංගයක් ලෙස නිශ්පාදකයා විසින් සවිකොට එවීමක් දකින්නට ලැබෙන්නේ නෑ. පෙට්‍රොල් එන්ජින්වල කාර්යක්ශමතාවය ඉහල නැංවීම සඳහා නිශ්පාදකයින් වෙනත් උපක්‍රම භාවිතාකරන අතර ඩීසල් එන්ජින් සඳහා ටර්බෝචාජර් තාක්ශණය භාවිතාකරනවා.

පැට්‍රෝල් වාහනවලට සුපර්චාජර් වැඩිවශයෙන්ම යොදාගන්නේ ධාවන තරඟ සඳහා වාහන අනුවර්තනය කරන ධාවන තරඟ ලෝලීන් විසිනි. මෙවැනි ධාවන තරඟ drag racing ලෙස හඳුන්වන අතර තරඟකරුවන් සිය වාහනවල අශ්වබලය වැඩිකරගැනීම සඳහා සුපර්චාජර් භාවිතා කරනවා. මේ සඳහා ඔවුන් අතිවිශාල සුපර්චාජර් උපාංග එන්ජිමට සවිකොට අධික බලයක් ලබාගැනීමට උත්සහකරනවා. 

ධාවන තරඟවලට සූදානම් කරන වාහන නිසා ඔවුන් ඉන්ධන කාර්යක්ශමතාවය ගැන එතරම් තැකීමක් කරන්නේ නෑ.


අතිවිශාල සුපර්චාජරයක් සවිකොට ධාවන තරඟ සඳහා අනුවර්තනය කරනලද කාරයක්. මෙම සුපර්චාජරය කොතරම් විශාලද යත් බොනට්ටුවේ කොටසකුත් කපා ඉවත්කොට තිබෙනවා. සුපර්චාජරයේ කොම්ප්‍රෙසරය එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ට් කොටසට සම්බන්ධ කරන අවාන් පටිය (fan belt) ඔබට දැක ගැනීමට පුලුවන්.


ටර්බෝචාජර් තාක්ශණය

අද වෙළඳපොලේ දක්නට ලැබෙන සෑම ඩීසල් වාහනයකම ටර්බෝචාජර් තාක්ශණය අනුයුක්තකොට ඇත්තේ ඩීසල් එන්ජිමක කාර්යක්ශමතාවය ඉහල නැංවීමට ටර්බෝචාජර් තාක්ශණය ඉතා සුදුසු නිසායි. කලින් විස්තර කල පරිදි ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරය ක්‍රියාකරවන්නේ එන්ජිමෙන් ඉවත්වන පිටකුරු වායුව මගින්. මේ නිසා එන්ජිමේ කාර්යක්ශමතාවයේ අඩුවීමක් සිදුනොවන අතර මේ නිසා ටර්බෝචාජරයක් මගින් ඩීසල් එන්ජිමක කාර්යක්ශමතාවය විශාල ලෙස ඉහල නංවනවා. නවීන පෙට්‍රෝල් වාහන වලද ටර්බෝචාජර් තාක්ශණය අඩංගුකොට තිබෙනවා.

ඉන්ටර්කූලර් ටර්බෝ තාක්ශණය

ශ්‍රී ලංකාව තුල ඉන්ටර්කූලර් යන වචනය අති සුඛෝපභෝගී වාහන සඳහා නිතර භාවිතාවන්නක්. ඉන්ටර්කූලර් වාහන නවතම තාක්ශණය අඩංගු අති නවීන, මෙන්ම අධික මිලක් ඇති වාහන ලෙස පිලිගැනෙනවා.

එහෙත් සැබැවින්ම ඉන්ටර්කූලර් ටර්බෝ තාක්ශණය අතිනවීන, රැඩිකල් තාක්ශණයක් නොව, ටර්බෝචාජර්වලට ආවේණික එක් දුර්වලතාවයක් මගහරවා ගැනීමට වාහන නිශ්පාදකයින් යොදාගන්නා සරල උපක්‍රමයක් යයි පැවසුවහොත් ඔබ පුදුම වනවා ඇත.

ටර්බෝචාජර්වල ඇති එක් ආවේණික දුර්වලතාවයක් නම් එය මැනිෆෝල්ඩයෙන් පිටවන අධික තාපයෙන් යුතු පිටකුරු වායුවෙන් බලගැන්වෙන නිසා අධික ලෙස රත්වීමයි. මෙලෙස අධික ලෙස රත්වීමේදී කොම්ප්‍රෙසරය මගින් සම්පීඩනය කරන වායුවද අධික ලෙස රත්වීමෙන් අවාසි දෙකක් ඇතිවෙනවා. 

  1. පලමුවැනි අවාසිය, රත්වූ වායුව ප්‍රසාරණය වීමෙන් දහනය සඳහා යන වායුව නිසිකාර්යක්ශමතාවයට සම්පීඩිත නොවීම. 
  2. දෙවැන්න නම්, මෙලෙස අධික ලෙස රත්වූ වායුව, ඉන්ධන හා මිශ්‍රවූ වහාම (නියමිත කාලයට පෙර) ගිණිගැනීමට හැකිවීම.
ඉන්ටර්කූලර් ලෙස හඳුන්වන්නේ ටර්බෝචාජරයක් මගින් සම්පීඩනය කරනලද වාතය, එන්ජිම වෙත යැවීමට පෙර රේඩියේටරයක් වැනි උපාංගයක් හරහා යවා එම වායුව සිසිල් කිරීමයි. Charge air cooler ලෙස හඳුන්වන මෙය සමහර වාහන නිශ්පාදකයින් intercooler ලෙසද හඳුන්වනවා.

ඉන්ටර්කූලරයක් සහිත ටර්බෝචාජරයක රූපසටහන



ඩීසල් වාහනයක ටර්බෝචාජරය











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. ස්තුතියි .

    ReplyDelete
  2. ඉතාමත් වැදගත් පාඩම් මාලාවක් .

    ReplyDelete
  3. ස්තුතියි .

    ReplyDelete

Post a Comment