BUSINESS STRATEGY : උපාධිය මොන විශ්වවිද්‍යාලෙන් උනත් කමක් නෑලු දැන්?


"සයිටම්, ප්‍රයිවෙට් කැම්පස්, ප්‍රමිතියක් නැති උපාධි, රජයේ කැම්පස් විතරයි පිලිගැනීමක් ඇති කැම්පස්, කැම්පස් ගියෙ නැති අය කැම්පස් ගැන කතා කරන්ඩ එපා........." ආදී වශයෙන් අමාත්‍යාංශ පවා ආක්‍රමණය කිරීමට තරම් ඔඩු දුවපු, දොස්තරලාට සිය එකම හා පරම වගකීම වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැලකී සිටීමට තරම් බැරෑරුම් වගේම සංවේදී ප්‍රශ්ණයක් තමයි උපාධියේ වටිනාකම හා ඒ වටිනාකමට උපාධිය ප්‍රධානය කරන විශ්වවිද්‍යාලයෙන් ලැබෙන තල්ලුව.

පලමුවෙන්ම කියන්න ඕනෑ, සයිටම් හා දොස්තරලාගෙන් පටන් ගත්තට මේ සාකච්ඡාවට සයිටම් ප්‍රශ්ණය අදාල නැතිබව. සයිටම් උපාධිය වෛද්‍ය සභාවෙන් පිලිගැන නැති නිසා ජාත්‍යන්තර නීති හා අන්තර්-රාජ්‍ය එකඟතා (inter-governmental agreements) වලට අනුව තවමත් සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීමක් නැති උපාධියක් කියන එක තමයි ඇත්ත.

මේ සාකච්ඡාව පිලිගත් උපාධියකට ඇති වෙළඳපොල වටිනාකම (එනම් රැකියාවකට එම උපාධියෙන් ඇති වටිනාකම) හා ඒ වටිනාකම සඳහා, උපාධිය ප්‍රධානය කරන විශ්වවිද්‍යාලයේ නමින් ලැබෙන දායකත්වය පිලිබඳවයි (සන්නාමය වටිනාකම - brand value).

පිලිගත් උපාධියක් කියන්නේ මොකක්ද?

උපාධිය ලබාදුන් විශ්වවිද්‍යාලය එහි මව් රටේ උපාධි ප්‍රධානය කරන ආයතන පිලිගැනීමට හා නියාමනය කිරීමට බලයලත් ආයතනය (හෝ ආයතන) මගින් උපාධි ප්‍රධාන ආයතනයක් ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත්කල ආයතනයක් වීම එයින් ලබාදෙන උපාධිය පිලිගත් උපාධියක් වීමට අනිවාර්යයි.

ලංකාවේ විශ්විවිද්‍යාල හා ආයතන මගින් ප්‍රධානය කරන උපාධි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප්‍රධානය කිරීමට බලය ඇති ආයතනයක් ලෙස ගැසට් කිරීම සිදුවිය යුතුයි. එම ආයතන මගින් ප්‍රධානය කරන උපාධි සඳහාද ගැසට් නිවේදන නිකුත්විය යුතුයි.

එසේත් නොමැතිනම් විශ්වවිද්‍යාලයක් ලෙස පාර්ලිමේන්තු පණතක් මගින් ප්‍රකාශයට පත්කල යුතුයි. උදාහරණයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා UNIVOC University විශ්වවිද්‍යාලය පාර්ලිමේන්තු පනත් මගින් විශ්වවිද්‍යාල ලෙස ප්‍රකාශයට පත්කල  විශ්වවිද්‍යාලවලට  උදාහරණ වනවා. ඒවායින් ප්‍රධානය කරන උපාධිද පිලිගත් උපාධි ගණයට අයත්වනවා.

එහෙත් යම් යම් වෘත්තීන් සඳහා පිලිගත් උපාධියක් තිබීම පමණක්, එම වෘත්තියේ නියැලීමට සුදුසුකමක් ලෙස සලකන්නේ නෑ. ලංකාවේ වෛද්‍ය වෘත්තිය, ගණකාධිකරණ වෘත්තිය, නීතිඥ වෘත්තිය මෙලෙස උපාධියක් තිබීමෙන් පමණක් වෘත්තියේ කටයුතු කිරීමට අවසර නැති අවස්ථා වනවා.

වෛද්‍යවරයෙකු ලෙස පිලිගැනීමට - පිලිගත් වෛද්‍ය උපාධියක් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිළ අනුමැතිය ලැබිය යුතුයි.

නීතිඥයෙකු වීමට - නීති උපාධියක් හා නීතිඥ සංගමයේ (Bar Association) නිළ අනුමැතිය ලැබිය යුතුයි

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මුල සිට ඉගෙන ගන්නා කෙනෙකුට අවශ්‍ය සුදුසුකම් සපුරා නීතිඥයෙක් විය හැකි වුවත්, නීති උපාධියක් ලැබෙන්නේ නැහැ. කොළඹ හා විවෘත විශ්ව විද්‍යාල ඇතුළු විශ්ව විද්‍යාල වලින් නීති උපාධියක් ලබන අය නීතිඥයෙක් වීම සඳහා නීති විද්‍යාලය විසින් මුදවා නොහරින විෂයයන් වලට එහිදී නැවත පෙනී සිටිය යුතුයි. ඔවුන්ට උපාධියක් තිබුණත් නීති වෘත්තියට පිවිසෙන සියල්ලන්ටම  (එනම් නීති විද්‍යාලයෙන් පිටවන නීතිඥයින්ට)  උපාධි නැහැ.

ගණකාධිකාරීවරයෙකු වීමට - වරළත් ගණකාධිකරණ ආයතනයේ වරළත් ගණකාධිකරණ පාඨමාලාව පූර්ණලෙස සමත්වී ප්‍රායෝගික පුහුණුව ලැබිය යුතුයි. නැතහොත් වරළත් ගණකාධිකරණ ආයතනය පිලිගන්නා උපාධියක් හා වරළත් ගණකාධිකරණ ආයතනයේ අනුමැතිය ලැබිය යුතුයි.

මේ වෘත්තීයමය පිලිගැනීම් සඳහා උපාධියට අමතරව වෙනත් විභාග සමත්වීම, පරිවාස පුහුණුව හා ප්‍රායෝගික පුහුණුව වැනි අවශ්‍යතා සැපිරිය යුතු වනවා.

විදෙස් විශ්වවිද්‍යාල සඳහා ලංකාවේ පිලිගැනීම

එම විදෙස් විශ්විවිද්‍යාලය, එහි මව් රටේ විශ්වවිද්‍යාල නියාමන ආයතන මගින් පිලිගත් එකක් විය යුතුය. 

එක්සත් රාජධාණිය

ලංකාවේ වඩාත් ජනප්‍රිය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට පිලිගැනීම ලබාදෙන ක්‍රම තුනක් බ්‍රිතාන්‍යයේ තිබෙනවා. ඒවා නම්;

Royal Charter - විශ්වවිද්‍යාලයක් ලෙස රාජකීය වරය ලැබීම
Act of Parliament - පාර්ලිමේන්තු පණතක් මගින් විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම.
Privy Council - එක්සත් රාජධානියේ රැජිණියට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨ උපදේශක මණ්ඩලය වන ප්‍රිවී කවුන්සිල් මගින් රැජිනගේ අනුමැතිය ඇතිව විශ්විද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම යන ක්‍රමවේදයන් තුනයි.

මේ ඕනෑම ක්‍රමවේදයකට උපාධි ප්‍රධානයට අනුමැතිය ලැබූ විශ්වවිද්‍යාල එක්සත් රාජධානියේ රජය විසින් පිලිගන්නා විශ්වවිද්‍යාල වනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල විශ්වවිද්‍යාල

එක්සත් රාජධාණියට පසුව ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වන්නේ  ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල විශ්වවිද්‍යාලයි. මෙම විශ්වවිද්‍යාල එම රටවල නිළ ආයතනය මගින් විශ්වවිද්‍යාලයක් ලෙස පිලිගන්නවා නම් එම විශ්වවිද්‍යාල ලංකාවේ රජය විසින් නිළ විශ්වවිද්‍යාල ලෙස පිලිගන්නවා.

පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල විශ්වවිද්‍යාල පිලිගැනීමේ පහසු ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුගමනය කරන්නේ එම පොදුරාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාලය "පොදුරාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල සංගමය (The Association of Commonwealth Universities) මගින් පලකරන පොදුරාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල වාර්ෂික ප්‍රකාශයේ (Commonwealth Universities Yearbook) ලයිස්තුගත කොට තිබෙනවාද යන්න සොයා බැලීමයි. වාර්ෂිකව යාවත්කාලීන වන නිළ ප්‍රකාශයක් ලෙස සැලකෙන මෙම අත්පොතෙහි  පිලිගත් විශ්වවිද්‍යාලයක් ලෙස සඳහන් වන ඕනෑම විශ්වවිද්‍යාලයක උපාධියක් ලංකාවේ පිලිගත් උපාධියක් ලෙස සැළකෙනවා.

ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාල

අන්තර්ජාතික විශ්වවිද්‍යාල සංගමය මගින් පලකරල අන්තර්ජාතික විශ්වවිද්‍යාල අත්පොතෙහි සඳහන් කොට ඇති විශ්වවිද්‍යාලවල උපාධි පිලිගත් උපාධි ලෙස සැළකේ.


සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වලින් උපාධියක් ලබාගත් අයට වෙනත් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත් අයට වඩා හොඳ රැකියා ලැබෙනවද?

මේ ප්‍රශ්නෙට දෙන්න පුලුවන් කෙටිම උත්තරේ "නෑ..." කියන එක. 

සාමාන්‍යයෙන් උපාධි හදාරන්න බලන සිසුන්, ඔවුන්ගේ දෙමව්පියන් වගේම වෙනත් වැඩිහිටියන් හිතාගෙන ඉන්නෙත් සුප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් විශ්වවිද්‍යාලවලින් උපාධි දිනාගන්න අයට අනෙක් අයට වඩා ලොකු රස්සාවල් හා විශාල වැඩි වැටුප් ලබාගන්නවා කියන එක.

හැබැයි ලංකාවට වඩා ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් විශ්වවිද්‍යාල තියෙන එක්සත් රාජධාණියේ හා ඇමරිකාවේ කරන ලද සමීක්ෂණ ගණනාවකින්ම මේ විශ්වාසය වැරදි බවයි ඔප්පු කරලා තියෙන්නේ.

එක්සත් රාජධාණියේ හා එක්සත් ජනපදයේ උපාධිධාරීන් බඳවාගන්න සමාගම් වලින් 90%කට වැඩිය කියන්නේ එයාලට ඔබගේ උපාධිය ගත් විශ්වවිද්‍යාලය එතරම් වැදගත් නෑ කියලයි.

ඔවුන් බලාපොරොත්තු වෙන්නේ, වගේම වැඩි වැටුප් ගෙවන්නේ මේ වගේ උපාධිධාරීන්ටයි;

1] උපාධිය ලබාගත් විෂය ගැන  / කේෂ්ත්‍රය ගැන ගැඹුරු දැනුමක් ඇති අය 

ඒ කියන්නේ යන්තමට ඇසයින්මට් ටිකයි, විභාග ටිකයි ගොඩදාගත්ත අය නෙමෙයි - මහන්සිවෙලා වැඩ කරපු, නිර්දේශිත පොත පත කියවපු, හොඳ පර්යේෂණ නිබන්ධනයක් කරන්න මහන්සිගත්ත, 1 වැනි හෝ 2වැනි ශ්‍රේණියේ සාමාර්ථයක් ගත්ත අය

2] ව්‍යවහාරික කුසලතා ඇති අය

ව්‍යවහාරික කුසලතා කියන්නේ 21වැනි ශතවර්ෂයේ රැකියාවක් හොඳින් කිරීමට ඉතා වැදගත් වන ප්‍රායෝගික කුසලතාවලට. ඒවයේන් කිහිපයක් පහත දක්වලා තියෙනවා.
  • තීක්ෂ්ණව සිතීමේ හැකියාව (Critical thinking skills)
  • විශ්ලේෂණ හැකියාව (Analysis skills)
  • තර්කාණුකූලව තීරණ ගැනීමේ හා රෙකමදාරු කිරීමේ හැකියාව (logical reasoning and recommendations)
  • නිර්මාණශීලීබව (creativity)
  • කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීම හා සාමූහික වගකීම් පිලිබඳ අවබෝධය (team working skills and ability to work towards collective goals)
  • සොයාබැලීමේ හා පර්යේෂණ කිරීමේ හැකියාව (investigative and research skills)
  • පැහදිලිව හා නිරවුල්ව කතාකිරීමේ, ලිවීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව (speaking, writing and presentation skills)
  • සවන්දීමේ හැකියාව (listening skills)
  • සැළසුම් කිරීමේ හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව (planning and implementation skills)
  • අලුත් දෑ ඉගෙනීමට ඇති ආශාව (willingness to learn)
  • තමන්ගේ විෂය හා කර්මාණ්තයේ නව ප්‍රවනතාවයන් පිලිබඳව නිරන්තරයෙන් යාවත්කාලීනව සිටීමේ හැකියාව (be updated about new developments in the subject area and the industry)
  • අන් අය සමග සුහදශීලීව, අවබෝධයෙන් වැඩකිරීමේ හැකියාව (people skills)








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments