CRITICAL ANALYSIS : සාස්තරතුමනි; මේ අවුරුද්දේ තව ගංවතුර විපතක් එනවාද? ඔව් වොව් එනවාමයි!



මගේ පෞද්ගලික මතය වන්නේ ලංකාවේ ජනමාධ්‍ය, විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය රටේ ජනතාව මත මිත්‍යා විශ්වාස වපුරමින්, හොර වෙද්දුන්, ජෝතීර්වේදීන් කියා ගන්නා මැජික් කාරයින් හා තෙල්බේත් කාරයින් පුම්බමින් මහත් ව්‍යසනයක් සිදුකරන බවයි. දොළුකන්ද, එලියන්ත වයිට් පමණක් නොව ජාතියේ මහා වංචාකාර සක්විතියා පිම්බෙව්වේත් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති, කොලිටියක් නැති, ජාතික යයි කියාගන්නා පත්තරයි. හැබැයි ඉතින් ඔවායේ මාද්දියවේදීන් කියාගෙන කැමරා, මයික් උලුක්කරගෙන එන පඟරෙකුට මොකක් හරි කලොත් ජෝන් බාස් නොවේ රනිල් හාමුට වුනත් බඩුම තමාය.

කලක් පිටු කිහිපයකට සීමාවී තිබූ මේ ජෝතිෂ්‍ය වැදිබණ-අණාවැකි-කයිවාරු, විද්‍යාත්මක පදනමක් නැති එහෙත් අත්දුටු ප්‍රතිපල සහිත මැරුණු මිනිස්සු පවා නැගිට්ටවූ ආයූර්වේද උපදෙස් පමණක් නොව පිලිකාවට, ඩෙංගුවට, දියවැඩියාවට අත්දුටු ප්‍රතිකර්ම රැගත් වට්ට්ටෝරුවලින් අදවන විට සිංහල ඉරිදා පත්තරවල 60%-70% දක්වා වැසී ඇත. ඉතිරි ටික කපටි දේශපාලකයින්ට, දේශපාලන ගොසිප් වලට හා ප්‍රභාකරන්ගේ/විජේවීරගේ/කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ පැරණි රසාංගවලට වෙන්වී ඇත.

මුසල්මානු අන්තවාදීන්ගේ හා ISIS වනචාරීන්ගේ ග්‍රහණයට හසුවී නැති රටවල් ඇරුණුකොට අන් සෑම රටක්ම, ගතානුගතික ඉන්දියාව පවා, හණමිටි අදහස් බැහැරකරමින් අවදිවද්දී අපේ රටේ මිනිස්සු, සල්ලි පස්සේ දුවන ජනමාද්දියවල නොමසුරු ආධාරයෙන් හණමිටි වලින් ගෙවල් සාදාගෙන නිදි වදිමින් සිටින හැටි දකිනවිට ඇතිවන්නේ දුකක්.

ලෝකයෙන්ම වැඩිම වශයෙන් අවිද්‍යාව, බොරුව හා මිත්‍යාවෙන් වෙලී ඇති රට ලංකාව විය යුතුය. 

අහවල් දවසේ දෙයියන් පේනවා යයි සාස්තරකාරයෙක් කියූ පමණින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දෙවියන් බලන්නට දරු මල්ලන් කරතියාගෙන, වාහන හයර් කරගෙන, සැතපුම් සියගණන් මග ගෙවාගෙන ගිහින් ලක්ෂගණනින් රස්තියාදු වෙන්නේ වෙන මොන රටේ මිනිස්සුද? 

ලංකාවට වඩා දෙයියෝ අදහන ඉන්දියාවේ නම් ඔය සාස්තර කාරයා තාමත් හිරබත් කනවාය. 

මිනිසුන් රැවටීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවන ලෝකෙ එකම රට මේක විය යුතුය.




අලුත් පත්තරෙත් මිත්‍යාව පෙරට

ජනයුගය සිරි ලංකාවේ අලුත්ම පත්තරයයි. මම දන්නා විධියට මෙහි කතෲ මව්බිම හිටපු කතෲ උපුල් ජෝසප් ප්‍රනාන්දුය. කතෲ කවුරු වුවත්, අන් පුවත්පත් සියල්ලටම වඩා වැඩිපුර මිත්‍යාව වැපිරීමට  ජනයුගය සූදානම් වීම අවාසනාවකි. පහලින් දැක්වෙන්නේ ජනයුගයේ මේ ඉරිදා (ජූනි 11) පත්තරේ අන්තර්ජාල පිටපතේ එකතරා පිටුවකි. පත්තරේ මහත්තුරු ප්‍රවීණ ජෝතීර්වේදීන් ලෙස හඳුන්වාදෙන මහත්වරුන් තිදෙනෙකුගෙන් "මේ අවුරුද්දේ ආයෙත් ගංවතුරක් ඒවිදෝ?" යයි විමසයි.පුදුමෙ කියන්නේ පත්තර මහත්තුරු ජෝතීර්වේදීන්ගෙන් අහපු ප්‍රශ්ණෙ කාළගුණ විද්‍යාඥයින් ගෙන් නෑසීමය.

ලංකාවේ කාළගුණ අණාවැකිවල වැරැද්දක් ඇතිනම් ඒවා එම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින්ගේ වැරදි හෝ අතපසුවීම් වලට වඩා ඒ නිළධාරීන්ට/විද්‍යාඥයින්ට සිය අණාවැකි නිවැරදිව සකසාගැනීම සඳහා දත්ත ලබාගැනීමේ අපහසුව නිසා සිදුවනදේවල් යන්න මගේ නිගමනයයි. ඩොප්ලර් රේඩාර් කතාව දැන් කවුරුත් දන්නා දෙයකි. ඒත් ඊට වඩා සරල උපක්‍රමයක් වන ඉහලවායුගෝලයේ දත්ත පැය කිහිපයකට වතාවක් ලබාගත හැකි හීලියම් බැලුන් යැවිය හැක්කේ දවසකට එකකි ඒත් කොළඹ විතරය. වැඩිපුර බැලුන් යවන්නට ප්‍රතිපාදන නැත. දේසපාලුවෙකුට ගන්නා එක කාර් එකකින් රටපුරාම ඇති කාළගුණ ඒකක වලට දවසට බැලුන් තුන හතරක් බැගින් අවුරුදු 10ක් තිස්සේ යවන්න බැලුන් හා හීලියම් ලබාගත හැකිය. ඒත් එහෙම වෙන්නේ නැත. රාජපක්ෂත් එසේය, මෙයාලත් එසේය 2020 රට අල්ලන්න ඉන්න රෙඩ් ස්ටාර් බුවාලාගෙත් ප්‍රයිවට් ජීවිත බැලූවාම එයාලා ආවත් වෙනසක් වෙන්නට ඉඩක් නැත.

පත්තරේ විස්තරේ තියෙන ප්‍රවීණ ජෝතීර්වේදීන් තිදෙනාගේ අණාවැකි අරගෙන බලමු;

1] සැප්තැම්බර් දෙසැම්බර් ආයෙත් එනවා

2] දෙසැම්බර් මුල් සතිදෙකේ ගංවතුරක්

3] ග්‍රහචාරය මහ විපතකට


දැන් අපි, පොදු අවකාශයේ තිබෙන, ඕනෑම කෙනෙකුට ලබාගත හැකි, ලෝක බැංකු වෙබ් අඩවියේ ඇති ලංකාවේ වර්ෂා දත්ත අරගෙන බලමු.



කොහොමද තීරු ප්‍රස්තාරය කියන අණාවැකිය?

සාස්තරකරුවන්ගෙන් අහන්න උවමනා නැත - 1901 සුද්දාගේ කාලේ සිට ලංකාවේ වර්ෂාපතන දත්තවලින් පෙන්වන්නේ රටට වැඩියෙන්ම වැස්ස ලැබෙන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා බවයි. ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර්-දෙසැම්බර් ආයෙත් ගංවතුරක් එන්නට හොඳටම ඉඩ තියෙනවා. මෙය මිත්‍යා ග්‍රහචාරය නොව, මේ රටේ ස්වභාවික වර්ෂාපතන රටවායි.

ලංකාවේ වැස්ස ලැබෙන කාළ වකවානු හතරක් ඇත. ඉන් දෙකක් මෝසම් කාල වන අතර අනෙක් දෙක අන්තර්මෝසම් කාලයි.

දෙසැම්බර් - පෙබරවාරි > ඊසානදිග මෝසම් : රජරටට, උතුරු නැගෙනහිර හා ඌවට වැඩිම වැස්සක් ලැබෙන්නේ මේ මෝසමෙනි.

මාර්තු - අප්‍රේල් > ඊසානදිග මෝසමෙන් පසු අන්තර් මෝසම් කාළය

මැයි - සැප්තැම්බර් > නිරිතදිග මෝසම් වැස්ස. බස්නාහිර, සබරගමුව, කන්ද උඩරට හා දකුණු පලාතට වැඩිම වැස්ස මේ මෝසමෙනි.

ඔක්තෝම්බර් - නොවැම්බර් > නිරිතදිග මෝසම් වැස්සෙන් පසු අන්තර්මෝසම් කාලසීමාව


මැයි ගංවතුර - බස්නාහිරට, රත්නපුර හා ගාල්ලට 


2008 සිට 2013 වෙනකම් මැයි මාසේ වර්ෂා දත්ත, පලාත් අනුව ප්‍රස්තාරගත කල විට, මැයි මාසයේ බස්නාහිට, සබරගමුව හා ගාල්ලට ගංවතුරක් එන්නට පුලුවන් බව කියන්නට සාස්තර උවමනාද?


දෙසැම්බර් ගංවතුර - නැගෙනහිරට




ලංකාවේ වැඩියෙන්ම ගංවතුර තර්ජනය තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. වැඩියෙන්ම නාය යන්නේත් රත්නපුර පැත්තමයි.




වහින්නේ  යහපාලන ආණ්ඩුව ගැන දෙයියෝ කෝප වෙලාද?

මේ කතාව කවුදෝ ඒකාබද්දේ පොරක් කියූ බව පත්තර වල ගියා මතකය. එහෙම නම්, එයාට මේ ප්‍රස්තාරෙ පෙන්නන්න. ලංකාවේ විපරීත ලෙස ගංවතුර තර්ජන වැඩිවෙලා තියෙන්නේ 2004න් පසුවය!


කරුණාකර මිත්‍යාවලින් ගැලවෙන්න. ලෝකයේ පැරණිම ශාස්ත්‍රයක් හා පලමු විද්‍යාව ලෙසද සැළකිය හැකි ජෝතිෂ්‍ය ශාස්ත්‍රය බොරුවක් විය නොහැකි නමුත් ලංකාවේ ඉන්න බාල ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් එක්කෝ බොරු කියන නැතිනම් හැමෝද දන්නා මෝසම් වැස්සට පවා ග්‍රහචාරේ අන්දන මැජික් කාරයන්ය.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments