BUSINESS STRATEGY : මෘදුකාංග ඉන්ජිනේරුවන් වර්ජනය කලහොත් ලොවම ඇණහිටිනු ඇත!!!


රොබෝ වාහන, ස්වයංපාලන ඩ්‍රෝනයානා, කෘත්‍රිම බුද්ධිය අඩංගු මෘදුකාංගා හා උපාංගවලින් පිරීයන බවට සහතික නුදුරු අනාගත ලෝකයට, මෘදුකාංග ඉන්ජිනේරුවන් අද සිවිල් ඉන්ජිනේරුවන් හා වෛද්‍යවරුන් තරමටම නැතුවම බැරි වෘත්තියක් වනු ඇත. අද වෛද්‍යවරුන් වැඩ වරන විට රටම භීතියට පත්වන්නා සේ තව වසර කිහිපයකින් මෘදුකාංග ඉන්ජිනේරුවන් වැඩ වරන්නට තීරණය කල හොත් රටක ආර්ථික යන්ත්‍රයම ඇණ හිටින තරමටම ලොව සියලුම රටවල් පරිගණක හා මෘදුකාංග මත යැපෙන බව නිසැකයි.

මෘදුකාංග ඉන්ජිනේරුවෙකු යනු, පරිගණක විද්‍යාව, ගණිතය හා ඉන්ජිනේරු විද්‍යා මූළධර්ම මත පදනම්ව පරිගණක තුල දිවෙන වැඩසහන් සැළසුම් කිරීම, නිර්මාණය, පරීක්ෂාකිරීම හා යාවත්කාලීන කිරීම සිදුකරණ වෘත්තිකයින් පිරිසකි. නූතනයේ මිනිසා ලබ ඇති බොහෝ ජයග්‍රහණ මෘදුකාංග ඉන්ජිනේරුකරණයේ ජයග්‍රහණද වේ. මීට හරියටම වසර 48කට පෙර, 1969 ජූලි 24 වැනිදා සඳ මත පියවර තැබූ නීල් ආම්ස්ට්‍රෝන් රැගත් රොකට්ටුවට පොලවෙන් ඉහලට ඔසවා සඳමත තැබුවේ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුකරණයේ විස්මිත ජයග්‍රහණ මතය. පරිගණක හා මෘදුකාංග ඉන්ජිනේරුකරණය නොමැතිව එම සඳ ගමන මෙන්ම වෙනත් අභ්‍යවකාශ ගමන් සිහින පමණක්ම වනු ඇත.

මෘදුකාංග ඉන්ජිනේරුවෙකු ලෙස ඔබ, ඔබගේ දැනුම තාක්ෂණයේ දියුණුවට, ව්‍යාපාර දියුණුවට පමණක් නොව අනාගතය වෙනස් කිරීමටද දායක වන්නෙකු බව සිතේ තබාගන්න. 

පසුගාමී ගොම ගොඩක් ව තිබූ ඉන්දියාව තාක්ෂණ ලෝකයේ නමක් රැන්දූ රටක් බවට පත්කරන්නට, ගූගල් හා මයික්‍රෝසොෆ්ට් වැනි දැවැන්ත සමාගම් වල ප්‍රධාන විධායක ධූරවලට ඉන්දියානුවන් ඔසවා තබන්නට පිඹුරුපත් හැදුවේ 1980දශකයේ ඉතා කුඩාවට ආරම්භවූ ඉන්දියානු මෘදුකාංග කර්මාණ්තය හා එහි නියැලුනු අති දක්ෂ ඉන්දියානු මෘදුකාංග ඉන්ජිනේරුවන්ය.


ලංකාවේ මෘදුකාංග කර්මාණ්තය

ලංකාවේ මෘදුකාංග කර්මාණ්තයේ පෙරගමන්කරු වන්නේ Sri Lanka Association of Software and Service Companies හෙවත් SLASSCOM  ආයතනයයි. ලංකාවේ මෘදුකාංග හා ආශ්‍රිත සේවා කර්මාණ්තයේ වැඩි දියුණුව සඳහා උපායමාර්ග සැකසීමට, ආයතනවලට උපදේශණ සේවා සැපයිමට මෙන්ම කර්මාණ්තයේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති හා සැළසම් අනුගතකරවා ගැනීමේ පරමාර්ථවලින් පිහිටුවා ගත් ස්ලැස්කොම් ආයතනය 2022 වනවිට අපගේ මෘදුකාංග කර්මාණ්තය ගමන් කලයුතු මාර්ගය හා උපායමාර්ග සාකච්ඡාකිරීමට උපායමාර්ග ලේඛණයක් (strategy document) සකස්කොට තිබෙනවා.

මෙහි දක්වා තිබෙන දත්තවලට අනුව 2015/2016 වසර වනවිට 80,000ක් පමණ මෘදුකාංග කර්මාණ්තයේ විවිධ අංශවල රැකියා ලබා තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2022 වනවිට ලංකාවේ මෘදුකාංග කර්මාණ්තයේ සෘජු රැකියා 100,000ක් බිහිකිරීමටයි.

SLASSCOM Strategy Document 2016
එමෙන්ම 2007දී ඩොලර් මිලියන 213ක මෘදුකාංග අපනයන ආදායමක් ලැබූ ලංකාව 2015 වනවිට එය ඩොලර් මිලියන 850ක් දක්වා වර්ධනය කරගෙන තිබෙන අතර ස්ලැස්කොම් ඉලක්කය වන්නේ 2022 වනවිට ලංකාවේ මෘදුකාංග කර්මාණතයෙන් ඩොලර් මිලියන 5000ක් (බිලියන 5ක) අපනයන ආදායමක් උපයාගැනීමයි.

SLASSCOM Strategy Document 2016
ලංකාවේ මෘදුකාංග කර්මාණ්තය ලැබූ අන්තර්ජාතික ජයග්‍රහණ කිහිපයක් (ස්ලැකොම් වාර්තාව ඇසුරින්)

1] කටාර් ගුවන්සේවය හා එමිරේට්ස් ගුවන්සේවයේ ගුවන් ටිකට්පත් හා වෙනත් සේවා වෙන්කිරීමේ මෘදුකාංගය ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද්දකි.

2] 2015 මොබයිල් වර්ල්ඩ් කොන්ග්‍රස් සමුලුවේදී ඩයලොග් ආසියාටා සමාගමේ ජංගම දුරකථන ඇසුරින් මුදල් සම්ප්‍රේෂණ සේවා මෘදුකාංගය හොඳම මුදල් සම්ප්‍රේෂණ මෘදුකාංගය ලෙසත් එම සමුලුවේදීම ඩයලොග් ආසියාටා සමාගම හොඳම තාක්ෂණ භාවිතා කරන්නා (best technology enabler) ලෙසත් සම්මාන ලැබුවා.

3] ෆීජී රාජ්‍යයේ හා මුරුසි රාජ්‍යයේ ආගමන විගමන හා වීසා මෘදුකාංගය ලංකාවේ නිර්මාණය කරන ලද්දකි.

4] ලන්ඩන්, ජොහැන්නස්බර්ග් (දකුණු අප්‍රිකාව ), ඉතාලිය හා මැලේසියාවේ කොටස් වෙළඳපොලවල කොටස් ගණුදෙනු ස්වයංක්‍රීයව සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ නිර්මාණය කරනලද මෘදුකාංගයකිනි.

5] Google Summer of Code වැඩමුළු මාලාවේ හොඳම සහභාගිත්වය හා වැඩිම සිශුන් ගණනක් සහභාගීවීමේ සම්මානය වසර 9ක් තිස්සේ අඛණ්ඩව මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවී ඇත.

6] සංචරක සේවා කර්මාණතයේ ප්‍රමුඛ සඟරාවක් වන බ්‍රිතාණ්‍යයේ Travolution සඟරාව මගින් පවත්වන සංචාරක සේවා සම්මාන උළලේදී ලංකාවේ CodeGen මෘදුකාංග සමාගම 2016 වසරේ Technology Team of the year 2016 සම්මානය දිනාගෙන ඇත.

7] 2015 Asia Pacific ICT Alliance Awards (APICTA)  සම්මාන උළලේදී ලංකාවේ Zone24X7 සමාගම Gold award for the Best R&D Product සම්මානය දිනාගත්තේ ඔවුන් නිර්මාණය කල ‘AZIRO’ inventory robot නම්  රොබෝ තාක්ෂණය සඳහාය.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments