OPINION : ලින්කින් පාර්ක් හා වික්ටෝරියා පාර්ක්



ලින්කින් පාර්ක් හි චෙස්ටර් බෙනිංග්ටන් මියගොස් ඇත. 1976 උපන් චෙස්ටර් සිය දිවි නසා ගන්නා විට වයස 41කි. හෙදියක හා පොලිස් රහස් පරීක්ෂකයෙකුගේ දරුවකු වූයේය. චෙස්ටර්ට වසර 11දී සිය දෙමාපියන්ගේ දික්කසාදය දරාගැනීමට නොහැකිවූ අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුවුනි.

දික්කසාදයෙන් පසු චෙස්ටර්ට පියා සමග වෙසෙන්නට සිදුවූයේ ඔහු නීතියෙන් චෙස්ටර්ගේ අයිතිය ලබාගත් නිසාය. එහෙත් වයස 17දී ඔහු මව සමග ජීවත්වන්නට පටන් ගත් අතර ඔහු මත් ලෝලියෙක් බව මව දැනගත් පසු නිවසේ දැඩි නීති පැනවින. එමපණක් නොව පාසලේදී වෙනත් සිසුන්ගේ ගැරහුමට හා ශාරීරික පීඩාවලටද ගොදුරුවිය. 

එක් පුවත් සාකච්ඡාවකදී චෙස්ටර් තමාට පාසැලේදි මැර සිසුන් බිම පෙරලාගෙන පහරදුන් බව පවසා සිටියා. තමා කෙට්ටු හා අමුතු පෙනුමක් ඇති ළමයෙකු නිසා එසේ පහරකෑමට ලක්වූ බව ඔහු පවසා සිටියා.  එපමණක් නොව තවත් එක් පුවත්පත් සාකච්ඡාවකදී ඔහු හෙලිකර සිටියේ වයස 7ක් තරම් ලාබාල අවධියේදී ඔහුව වැඩිහිටි පිරිමි ළමයෙකු ලිංගික අපචාරයට බඳුන්කල බවයි. වසර 6ක් පුරා මේ අන්දමට චෙස්ටර් ලිංගික අපයෝජනයට ලක්වුනත් ඔහු ඒ පිලිබඳව හෙලි නොකරසිටියේ සමලිංගිකයෙකු යයි සමච්චලයට බඳුන්වන්නට වේ යයි යන බියෙන්.

පාසැලෙන් අස්වී බර්ගර් කිං ආපනශාලා ජාලයේ සේවය කල ඔහු, පසුව ඉන් ඉවත්ව සිය ගායක ජීවිතය ඇරඹුවා. චෙස්ටර් බෙනිංග්ටන් ඇතුලත් ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායම ලෝක ප්‍රචලිත වන්නේ වසර 2000දී වෝනර් මියුසික් ලේබලය යටතේ නිකුත්කල සිය පලමු ඇල්බමය අතිශයින් ජනප්‍රියවීමෙන් පසුවයි.

කලක් තිස්සේ විවිධ ආබාධවලට ලක්වෙමින් සිටි චෙස්ටර් එක් සංගීතක් ප්‍රසංගයකදී සිදුකල රංගණයකදී වළලුකර ආබාධයකට ලක්වූ අතර එහෙත් දැඩි වේදනාව දරාගෙන මුලු ප්‍රසංගයම අවසන් කරනතෙක් වෛද්‍යාධාර පැතුවේ නෑ. ඔහුව පරීක්ෂාකල වෛද්‍යවරුන් ඔහුගේ අස්ථිබිඳීමක් සිදුවී ඇති බව නිරීක්ෂණය කලා. ඒ අනුව චෙස්ටර් බෙනිංග්ටන් ජීවිතයේ බොහෝ දුක්විඳ, අමාරුවෙන් ඉහලට හා මිනිසෙක් බව වටහාගන්නට පුලුවන්.

චෙස්ටර් ගැන දුක්වන්නන් හා ශෝක ප්‍රකාෂයට වලි දමන්නන්

මා ලින්කින් පාර්ක් ලෝලියෙකු නොවන අතර, එම කණ්ඩායමේ එකම ගීතයකට හෝ සවන්දී ඇතිබවක් මතක නෑ. නමුත් මා බටහිර මෙන්ම දේශීය සංගීතයද දැඩි ලෙස ප්‍රිය කරන්නෙක්. පාසැල් යන කාලයේ මිල්ටන්ගේ, කපුගේගේ සිංදු වගේම මැඩෝනාගේ, මයිකල් ජැක්සන්ගේ, ටීනා ටර්නර්ගේද ගීත එක ලෙස රසවින්ද අතර, සංගීතය යනු ජාතියක්, රටක් ලෙස වෙන්කරගත නොහැකි විශ්ව වින්දනයක් බව අදහනවා.

චෙස්ටර්ගේ මරණයත් සමග (මීට පෙර පෝල් වෝකර්ගේ මරණයේදී මෙන්ම) ඇතිවී තිබෙන ෆේස් බුකි රංඩුව ලංකාවේ නූතන පොදු සංස්කෘතියේ පිරිහීම විදහා දක්වනවා යන්න මගේ අදහසයි.

රෝගී අයිතිවාසිකම් ආරක්ෂාකිරීමට දිවිහිමියෙන් කැපවීම මත අඛණ්ඩ වැඩවර්ජන කරමින් රෝගීන්ට ප්‍රතිකාර නොකර සිටින මානව හිතවාදී, සුපිරි වෛද්‍ය පැලැන්තිය මෙන්ම නිදහස් අධ්‍යාපනය සුරකින්නටයි කියමින් ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසු-සිසුවියන් පාරට දක්කමින් ගාටවන ගමන් අවුරුදු 3න් කල යුතු උපාධිය අවසන් නොකර, අවුරුදු 7ක් යනකන් විශ්වවිද්‍යාලයේ බින්න බැස සිටින සුපර්-බ්‍රයිට් සිසු නායකයින්ද සිටින මේ සංස්කෘතියේ ඉහලට සිට පහලටම අරක්ගනිමින් පුවත් මවන්නේ ආත්ම වංචණිකයින් බව පැහැදිලියි.

ඉතිහාසයේ කවදාක්වත් නැති තරමට සංඝයා විවේචනය කරනවා, සංඝයාට ගරහනවා යයි කියමින් ආණ්ඩුවට තග දමන මල්වතු-අස්ගිරිලා, ඉතිහාසයේ කවදාක්වත් නැති තරමට පිහිරී ඇති සඟ විනය ගැන වචනයක් වත් කතා කරන්නේවත්, අබැටක ක්‍රියාමාර්ගයක් නොගන්නේ ගිහියන්ට වඩා දරුණු ලෙස සඟ-සමාජය පිරිහී ඇති බැවින්.

පිරිහීම කෙතරම්ද යත් තමන්ගේ පිරිහීම නිසාම ලැබෙන ගැහැට බෞද්ධ විරෝධී ක්‍රියාදාම ලෙස අඳුනාගන්නට තරම්ම සඟ රජවරුන් මුග්ධවී ඇති සැටි කණගාටුදායක නොවේද? මල්වතු-අස්ගිරි නායකයින්ට අනුව වැරැද්ද ඇත්තේ සඟුන් දස වැඩ/සට්ටැඹි වැඩ කිරීම නොව සඟුන් කරන දසවැඩ/සට්ටැඹි වැඩ ගිහියන් විවේචනය කිරීම හා ජන මාධ්‍ය මගින් හෙලිකිරීමයි. සිවුර පොරොවාගෙන ඕනෑම පහත් වැඩක් කලද, ගිහියාට අවවාද උපදෙස් දෙන්නට, පසඟ පිහිටුවා වැඳුම් ලබන්නට මෙන්ම පහත් වැඩ ඉවසමින් උතුමන් ලෙස පිදුම් ලබන්නටද තමන්ට දේව වරම් ඇතැයි සිතන සඟ පරපුර සිටින්නේ කසාද බඳින සාදුලා සිටින මහායාන රටක නොව තේරවාද බෞද්ධ රටකයි.


මෙලෙස සඟ-වෙද-සරසවි සිසු වැනි සමාජයේ පෙරගමන්කරුවන්ගේ පිරිහීමේ, දැඩි අන්තවාදී ලෙස හැසිරීමේ ප්‍රතිපලයක් වන්නේ රු.99/- ඩේටා කාඩ් එකෙන් ෆේස් බුකියේ රඟන නූගත් මෝඩ බහුතරය තවත් චූන් වීමයි. තමන්ගේ අමන හැසිරීම, මුග්ධකම, මුඛරිකම සිංහල බෞද්ධකම ලෙස හඳුන්වාදෙන මේ සිඟාලයින් ලංකාවේ අනාගත භාරකරුවන් හා දරුපරපුරේ පියවරුන් (මෙසේ හැසිරෙන්නන් බොහෝවිට පිරිමින් හෝ පිරිමි ප්‍රොෆයිල්වලින් පෙනී සිටිනා ගැහැණු වීම නිසා) මෙන්ම ආණ්ඩු පත්කරන චන්දදායකයින් වීමත් කොතරම් වියවුල් සහගතද?

ඕනෑම හොරෙකු/තක්කඩියෙකු වුවද මළපසු පාංසකූලයදී උපාසක මහත්තයා යයි අමතා පින්පමුණුවන ජාතියක්ව සිටි අපට, කුඩාකල සිටම අපමණ දුක් ගැහැට විඳිමින් තම ක්ශේෂ්ත්‍රයේ හිනිපෙත්තට පැමිණ ලොව වටා අසන්නන්ගේ ජනාදරයට පාත්‍රවූ ලෝක ප්‍රකට ගායකයෙකු අවාසනාවන්ත ලෙස මිය ගියවිට එයට ශෝක ප්‍රකාශ කිරීම පොෂ්වීමට දැඟලීමක් නැතිනම් පට්ට ජෝක් එකක් වීම කොතරම් අවාසනාවක්ද?

දැන් පවතින ආණ්ඩුව පමණක් නොව ඊලඟට එන ආණ්ඩුවද, එහි දේශපාලකයින්ද බලයට ගෙන එන්නට චන්දය දෙන්නේ මෙවැන් ගොන්තඩි වීම රටේ අනාගතයට කෙතරම් අවදානමක්ද? අපිට චන්දෙ දෙන්න, අපි ආවොත් හම්බයෝ නැති කරනවා, දෙමළු කුඩුකරනවා, ලින්කින් පාක්ලා වික්ටෝරියා පාක් එකේ එල්ලනවා කීවොත් මේ රු.99/- ඩේටා කාඩ් සි-හෙළු-වන් උන්ව බලයට උස්සා නොතියන්නේද? ඊට පස්සේ මෙන්න මුන් අපිව කනෝ - රට කනෝ කිය කියා බුකිය දෙවනත් කරන්නේත් මේ රු.99/ බුකි දේශප්‍රේමීන්ම නේද?

හම්මේ ඉතින් නේද?





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments