POLITICS : හම්බන්තොට චීනාට දීම පිලිබඳ මගේ සතපහ

හම්බන්තොට වරාය චීනයට බදුදීම පිලිබඳව ගිවිසුම අද අත්සන් කරන ලද බව වාර්තාවිය. මේ ගිවිසුම පිලිබඳව රටම කතාවූ ආසන්නම විරෝධය වූයේ ඛණිජතෙල් සේවකයින්ගේ වර්ජනයයි. හම්බන්තොට තෙල් ටැංකි බදුදීම පිලිබඳව මොකක්දෝ කතාවක් වර්ජන ලොක්කන් කියනු ඇසිනි. හෙට අනිද්දා වනවිට හමුදාවටද, පොලීසියටද, ගුවන්යානා වලටද, විදුලිබලේටද තෙල් නැතිවනු ඇතැයි වහසිබස් දොඩවනුද ඇසුනි. කෙසේ වෙතත් වර්ජනයට රජය මුහුණදුන් ආකාරය ප්‍රශස්තය. යුධ හමුදාව හා ගුවන් හමුදාව යොදාගෙන වර්ජකයින්ගේ දළ බිඳීමට රජය සමත්වූ අතර දොස්තරලා මෙන්ම ජනපති හා සාකච්චාව යන අමුඩයට මුවාවී වර්ජනය අවසන් කලේ නැතිනම් අම්බානක ගුටි කෑම සහතිකවී තිබුණි.

වරාය විකුණනවා නොව බදු දෙන බව රජය කියයි. ඒකාබද්දේ. පෙරෙට්ටෝ හා ජවිපේට මෙන්ම බංකොලොත් වෘත්තිය සමිති නඩවලටද ඒක විකිණීමකි. එය සාමාන්‍ය දෙයකි. තමන්ට වාසි ලෙස ඔවුන් සෑම දෙයක්ම අර්ථකතනය කර ගනිති. කෙසේ වෙතත් රජය අඩිය ආපස්සට නොගත්තේය. එය සැබැවින්ම හොඳ තීන්දුවකි. විරුද්ධ පාක්ෂිකයින් හා සමිති කාරයින් කියනා ආකාරය රටක් ආණ්ඩුවක් ගෙන යන්නටනම් චන්ද තියා ආණ්ඩු පත් කරගන්නට ඕනෑ නැත. 

වර්ජන, විරෝධතා හා කළකෝලහාල පිටුපස විදෙස් බුද්ධි අංශයක් සිටින බව ලංකාවේ බුද්ධි අංශ අණතුරු අඟවා තිබේ. සහසුද්දෙන්ම එය ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විය යුතුය. රෝ ඔත්තු සේවය කෙරුවාව නිසා පෝෂණය වුනු කොටි සංවිධානය අතින්  ඉන්දියානු හමුදාවේ IPKF  සාමසාධක බළකායේ 1200ක් පමණ මිය ගොස් දහස්ගණනක් තුවාලවිය. රාජීව් ගාන්ධි ජීවිතයෙන් වන්දි ගෙව්වේය. ඒ ලේ සළකුණු සියල්ල නොමැකිය ලෙස හැකි ලෙස රෝ ගිණුමේ සටහන්වී තිබේ. වෙනත් රටවල අර්බුද ඇතිකොට ඉන්දියානු භූ-දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමට යාමේ රෝ උපායමාර්ග දැඩි විවේචනයට බඳුන්වූයේත්, ප්‍රභාකරණ් වනසන්නට අවසන් මෙහෙයුම් වලදී ඉන්දියාව කරබාගෙන, හොරෙන් උදව් කරමින් සිටියේත් මේ පාඩම නිසාය. 

යලිත් රෝ නැටුම් එලියට ඒම එතරම් හොඳ නැත. ඒත් ලංකාවේ මෙහෙයුම් කරන්නේ රෝ පමණක් නොවේ. අති විශාල චින ආයෝජන නිසා නිසැකයෙන්ම චීන විදෙස් ඔත්තුසේවය වන MSS (Ministry of State Security) ඒජන්සියද ලංකාවේ දැඩි ලෙස ක්‍රියාත්මක වන බවත් ඔවුන්, චීන ආයෝජන හා චීනයට ලංකාව තුල ඇති ආර්ථික හා දේශපාලනික බලපෑම් කිරීමේ හැකියාව ආරක්ෂාකරගැනීමටත් කැපවනු ඇති බව විශ්වාසය. MSS ලංකාවේ රෝ ඒජන්තයින්, ඔත්තුකරුවන් හා ඔවුන් ලංකාවේ දේශපාලන බලවේග සමග ඇති සම්බන්ධතා පිලිබඳව ඇස ගසාගෙන සිටින බවට කිසිදු සැකයක් නැත.අතර එනිසාම රෝ ඔත්තු සේවයට 1980-90 ගණන්වල ලංකාවේ සිදුකල භූමිකාව කල නොහැකිවනු ඇත. ලංකාවේ බුද්ධි අංශවලට රෝ ඔත්තුසේවයේ අලුත් කුමණ්ත්‍රණ පිලිබඳ තොරතුරු හා තහවුරුකිරීම් චීන ඔත්තුසේවය හරහා ලැබෙන බවට සැකයක් නැත.

හම්බන්තොට වරාය චීනයට ලබාදීම මාගේ කියැවීමේ හැටියට කල යුතු හා කල හැකි එකම දෙයයි. ඩොලර් බිලියන ගණනක ණය කන්දක් මත ගොඩනැගූ, එහෙත් භාවිතය අතින් ඉතා පහල අඩියක ඇති මෙම වරායට නැව් ගෙන්නා ගනීමට මෙන්ම එම වරාය ආශ්‍රිතව ඇති කර්මාණ්ත පුරයට ආයෝජන ගෙන්නා ගැනීමටත් මේ තීන්දුව හේතුවනු ඇත. ලොව පුරාම විහිදෙමින්,   ලොව පුරා ආයෝජනය කරමින් වේගයෙන් විශාල බහුජාතික සමාගම් බවට පත්වෙමින් ඇති චීන සමාගම් වල සැපයුම් ජාලයේ එක් වැදගත් කේන්ද්‍රයක් බවට ලංකාව පත්කර ගැනීමට මේ ගිවිසුම ඉවහල් වනු ඇත.

ඉතිහසය පුරාවටම ඌණ සංවර්ධිත, විරැකියාව බහුල හම්බන්තොට, මොණරාගල ආදී ප්‍රදේශවල ගැමි තරුණ තරුණියන් හට රැකියා අවස්ථා හා හොඳ ජීවන තත්වයක් පිලිබඳ බලාපොරොත්තු හම්බන්තොට වරාය හා කාර්මික පුරවරය සක්‍රියවීමෙන් සපල වනු ඇත. එසේ වීමට නම් වරායට නැව් හා කාර්මික පුරවරයට ආයෝජන පැමිණිය යුතුය. එසේ කිරීමට හොඳම උපායමාර්ගය දැන් රජය විසින් ගෙන තිබේ. 

මේ සාධනීය පියවර වලට වෘත්තීය සමිති ඩයිනසෝරයන් හා උන් නටවන ඒකාබද්ධ-පෙරටුගාමී-ජවිපෙ රූකඩ නටවන්නන් විරුද්ධ වන්නේ රටට ඇති ආදරයට නම් නොවේ. දහසකුත් එකක් බාධක මැද රජය මේ පණින්නට (හෝ රට පන්නවන්නට ) තැත් කරන ආර්ථික පිම්ම සාර්ථක වුවහොත් ඔය නඩයටම යන එන මං නැතිවන බව ඔවුන් හොඳින්ම දන්නා දෙයකි. අතමිට මුදල් ගැවසෙන, කැමති ආකාරයකට ජීවත්විය හැකි රැකියාවක් ලැබී තෘප්තිමත් වන තරුණ පරපුරක් රටේ දුශ්කර පෙදෙස්වල බිහිවුව හොත් ඔය බුරුත්තටම පෝස්ටරයක් අලවාගන්නට, කොළ බෙදන්නට, විරෝධතාවලට දක්කවන්නට පිරිසක් නැති වන බව දකින ඔවුන් දැඩි පීඩනයකට පත්වී ඇත. බොරු මුසාවාද හැරෙන්නට නූතන ලෝකයට සරිලන ආර්ථික දැක්මක් ඇති ජවිපෙට හා පෙරටුගාමීන්ට වහලුන් නොමැතිව ඉදිරිගමණක් නැත. උගුර ලේ රහ වනතෙක් මේ මොර ගාන්නේ, මැරෙන්නට හදන්නේ ඒ නිසාය. 

රාජපක්ෂ නඩයේ එකම බලාපොරොත්තුව කෙසේ හෝ නැවත රජවී නවත්තපු තැන සිට නැවතත් කාගෙන කාගෙන යාමයි. ඒ සඳහා බොරු චීන විරෝධයක් පෙන්වූවද මේ වන විටත් බැසිල් හරහා චීනයට කළබල නොවන ලෙසත්, තම විරෝධය ප්‍රතිපත්තිමය විරෝදයක් නොව දේශපාලන අවස්ථාවාදයක් පමණක් බවටත් සහතිකදී පණිවුඩ යවා ඇතුවාට සැක නැත.

එමෙන්ම ගිවිසුමට විරුද්ධවන ඇත්තන් පවසන ලංකාව තුල චීනය බලවත්වීමේ භූ-දේශපාලනික අණතුරක් ගැන දොඩවයි. චීනය බලවත් වී ඇත්තේ ලංකාව තුල පමණක්ද?


ඇමරිකාවේ අධිතාක්ෂණික, කාර්මික හා වෙනත් සමාගම් බොහොමයක සපයුම් දාමය හා නිශ්පාදන කේන්ද්‍ර ඇත්තේ ඇමරිකාවේ නොව චීනයේය. ඇමරිකාවේ විශාලම සුපිරි වෙළඳසැල් ජාලය වන වොල්-මාර්ට් ජාලය මගින් විකුණන භාණ්ඩවලින් 70%ක්ම චීනයේ නිෂ්පාදිත ඒවා බවට වාර්තා වී ඇත. එමෙන්ම 2016 වනවිට චීන සමාගම් විසින් ඇමරිකාවේ සිදුකොට ඇති සෘජු ආයෝජන (foreign direct investments) වල වටිනාකම ඩොලර් බිලියන 300ක් බවට වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 1.2ක් නැතිනම් ඩොලර් බිලියන 1200ක් ණයදී, ඇමරිකාවේ මිනිස්සු කන, බොන, අඳින පලඳින, පාවිච්චිකරන බඩුබාහිරාදියෙන් 70%ක් හදන, ඇමරිකාවේ දේපොල හා සමාගම් වල ඩොලර් බිලියන 300ක් ආයෝජනය කොට ඇති චීනයට ඇමරිකාවට කල හැකි භූ-දේශපාලනික බලපෑම කොතරම් දැයි සිතාගන්නට පුලුවන්ද? ඇමරිකාව තාමත් ලෝකයේ යුධ, දේශපාලනික හා නව තාක්ෂණ සුපිරිබලවතා වුවද ආර්ථික බලවතා වන්නේ චීනයයි.

මෙය තේරුම් ගන්නට නොහැකිව වර්ජනය කරන මෝඩයින්ගේ සිත්වලට මරික්කාර් ඇතුලුවීමේ වරදක් දකින්නට පුලුවන්ද?



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments