BUSINESS STRATEGY : බ්ලැක්වෝටර් - ඇමරිකාවේ විශේෂ බළකා පෞද්ගලික සමාගම

බ්ලැක්වෝටර් සමාගමේ කුළී හේවායින් ඉරාකයේ මෙහෙයුමක








මේ වනවිට ඇමරිකාව පැටලී සිටින දීර්ඝතම යුද්ධය වන්නේ ඇෆ්ඝන් යුද්ධයයි. තවමත් 10,000ක පමණ ඇමරිකන් සේනාවක් ඉරාකයේ සටන්වදින අතර 2000කට වැඩි සෙබලුන් ගණනක් මියගොස් තිබෙනවා. මේ සටන්වලට දස දහස් ගණනක් පෞද්ගලික සමාගම්වල කුලී හේවායන්ද සහභාගීවී ඇති අතර ඔවුන්ට සිදුවූ ජීවිත හානි පිලිබඳ වාර්තා සොයාගන්නට නෑ. මේ අතරතුර පසුගිය දා ඇමරිකානු උසාවියක් ඇමරිකාවේ කුලී හේවායින් පිරිසක් 2007 වසරේදී ඉරාකයේ බැග්ඩෑඩයේදී නිරායුධ ඉරාක වැසියන් 17ක් මරාදැමීම පිලිබඳ නඩුව ඉවත දැම්මා.

මේ සන්ධර්භය තුල නැවත වතාවක්  කුලී හේවායන්ට ඇමරිකානු යුධ මෙහෙයුම් භාරදීමේ ව්‍යායාමයක් ආරම්භවී තිබෙනවා. මේ ව්‍යායාමයේ පෙරමුණ ගෙන සිටින්නේ අමෙරිකාවේ ප්‍රමුඛතම කුලීහේවායින් හා යුධ හමුදා සඳහා පෞද්ගලික සේවා සපයන බ්ලැක්වෝටර් සමාගමයි (දැන් මේ සමාගම සිය නම "ඇකඩෙමි" ලෙස වෙනස් කොට ඇති නමුත් තවමත් එය බ්ලැක්වෝටර් ලෙස ඇමරිකානු මාධ්‍ය හඳුන්වනවා).

එම සමාගමේ සමාරම්භකයා වන එරික් ප්‍රින්ස් ජනාධිපති ට්‍රම්ප්ගේ නිළ නොවන උපදේශකයෙක් බවද හෙලිවී තිබෙනවා. 2007 නිරායුධ ඉරාක වැසියන් මරාදැමීමෙන් පසු බ්ලැක්වෝටර් කුලී හේවායන්ට නඩු පවරනු ලැබුවේ ඇමරිකන් රජය වුවත් උසාවිය විසින් එම චෝදනා ඉවත දැමීම නිසා බ්ලැක්වෝටර් නැවතත් සිය මඩිය තර කරගැණීමට සැරසෙනවා.

ඇෆ්ඝනිස්තානයේ කඳුකර යුධබිමක සෙබලුන්ට ගුවනින් සැපයුම් හෙලන බ්ලැක්වෝටර් සැපයුම් යානයක්.
එරික් ප්‍රින්ස් කලක් නේවි සීල් කොමාණ්ඩෝ නිළධාරියකුව සිටි අතර ඔහු බ්ලැක්වෝටර් සමාගම ආරම්භ කලේ 1997 වසරේදීයි. බ්ලැක්වෝටර් සමාගමේ තවත් ප්‍රධානියෙකු වල කෝෆර් බ්ලැක්, කලක් සී.අයි.ඒ සංවිධානයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස ක්‍රියාකොට තිබෙනවා.

සන්නද්ධ ආරක්ෂක සේවා සැපයිම, ආරක්ෂක හමුදාවලට විශේෂ පුහුණුව ලබාදීම, අනාරක්ෂිත යුධ බිම්වලව සිටින සෙබලුන්ට සැපයුම් ලබාදීම, විශේෂ පුද්ගලයින්ට ආරක්ෂාව ලබාදීම හා එවැනි ආරක්ෂකයින් පුහුණු කිරීම ආදී විවිධ සේවා ගණනාවක් බ්ලැක්වෝටර් සමාගම සපයනවා.

1997දී සමාගම ආරම්භකල එරික් ප්‍රින්ස් 1998දී ඇමරිකාවේ දුශ්කර ප්‍රදේශයක් වන උතුරු කැරොලයිනා-වර්ජිනීයා ප්‍රාන්ත මායිම් ප්‍රදේශයෙක් අක්කර 7000ක ඉඩමක් මිළදී ගෙන එහි සිය පලමු යුධ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කලා. 

බ්ලැක්වෝටර් කුලී හේවායින් පුහුණුවෙමින්

ඉරාක හා ඇෆ්ගන් මෙහෙයුම් දැඩිව පවතින කාලයේ එම යුධ බිම්වල සිටි ඇමරිකානු සෙබලුන්ට වඩා කිහිපගුණයක් බ්ලැක්වෝටර් ඇතුලු පෞද්ගලික සමාගම්වල කුලී හේවායන් සිටි බව ප්‍රකට කරුණක්. ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ සංචාරය කරන ඇමරිකානු රජයේ ඉහල නිළධාරීන්ට ආරක්ෂාව සැපයිම පවා බ්ලැක්වෝටර් වැනි සමාගම් වල කුලී හේවායින් විසින් සිදුකරනවා.

ඇමරිකානු රජයට අමතරව බ්ලැක්වෝටර් සමාගම ග්‍රීසියේ ඇතැන්ස් නුවට පැවැත්වුනු 2004 ඔලිම්පික් උලලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ග්‍රීක ආරක්ෂක හමුදා හා පොලිස් බළඇණි ගණනාවක් පුහුණුකොට තිබෙනවා. එමෙන්ම ඔවුන් අසර්බයිජානයේ නාවික කොමාණ්ඩෝ බළඇණිය ආරම්භයේදී ඔවුනට විශේෂ පුහුණුව ලබාදී ඇති අතර ඇමරිකානු නේවී සීල් කොමාණ්ඩෝ බළකායේ සමහර  විශේෂ ප්‍රහාරක කණ්ඩායම් පවා බ්ලැක්වෝටර් සමාගමේ පුහුණුකරුවන් මගින් පුහුණුව ලබන බව පැවසෙනවා.

2009දී නිව්යෝක් ටයිම්ස් පුවත්පත ගවේෂණාත්මක වාර්තාවක් මගින් සී.අයි.ඒ සංවිධානය අයිකයිඩා ජ්‍යේෂ්ඨ නායකයින් ඝාතනය කිරීම සඳහා බ්ලැක්වෝටර් සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව හෙලිකලා. එවක ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ ලියොන් පැනේටාද ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අධීක්ෂණයෙන් තොරව පෞද්ගලික අංශය මගින් මෙහෙයවූ ඝාතන වැඩපිලිවෙලක් පිලිබඳව ඉඟි කොට තිබුණා.

එමෙන්ම අමරිකාවේ "ද නේෂන්" පුවත්පත බ්ලැක්වෝටර් කූලී හේවායින් සී.අයි.ඒ ඒජන්තයින් හා එක්ව පාකිස්තානයේ ඈත ඇෆ්ගන් මායිම් ප්‍රදේශවල අල්කයිඩා හා තලේබාන් ත්‍රස්තයින් ඇල්ලීමේ මෙහෙයුම් වල නිරතව සිට තිබෙන බව හෙලිකර සිටියා.

බ්ලැක්වෝටර්, ඩයින්කෝප්, ට්‍රිපල් කැනපි වැනි කුලී හේවා සමාගම්, ඇමරිකානු විශේෂ බළකාවලින් බඳවාගත් සෙබලුන්ගෙන් සමන්විත පෞද්ගලික කොමාණ්ඩෝ බලකා ඇමරිකානු භටකණ්ඩායම් සමග යුධ බිම්වල මෙහෙයුම් වලට බොහෝවිට සහභාගී වෙනවා. සමාන්‍ය සෙබලුන්ට වඩා විශේෂ පුහුණුවීම් ලබා තිබෙන බ්ලැක්වෝටර් වැනි කුලී හේවායින් ඉමහත් සේවාවක් සපයන බවයි ඔවුන්ට සහය දක්වන්නන් පවසන්නේ.

මෙවැනි යුධ කටයුතු සඳහා කුලී හේවායින් යොදාගැනීම මෙන්ම සහයක සේවා හා යුධ බිම්වල සැපයුම් මෙහෙයුම් හා වෙනත් සේවාවන් සඳහා පෞද්ගලික සමාගම භාවිතා කිරීම ආරම්භ කලේ ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ කාලයේදීයි. මේ වනවිට බ්ලැක්වෝටර් සමාගමට ඇමරිකානු ආර්ක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඩොලර් බිලියනයක පමණ ආරක්ෂක කොන්ත්‍රාත්තු ලබාදී තිබෙනවා.

දැනට 16 වසරක් පුරාම ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින දහස් ගණනක් කුලී හේවායින් හා සේවා සපයන පෞද්ගලික සමාගම්වල සේවකයින් ගණන ඉදිරියේදී තවතවත් වැඩිවෙතයි අපේක්ෂා කරන්නේ අවසානයක් දකින්නට නොමැති ඇෆ්ගන් අර්බුධයෙන් හෙම්බත්වී සිටින ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මෙහෙයුම් එලෙසම පවත්වා ගන්නා අතරම කෙසේ හෝ එහි රැඳී සිටින ඇමරිකානු සෙබලුන් බහුතරයක් ආපසු ගෙන්නා ගැනීමෙ දැඩි අවශ්‍යතාවයකින් පෙලෙන නිසායි.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments