EDUCATION : එන්ගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!


මේ ඉන්නේ මව්ෂින් ඉස්මයිල්.  ඔහු බ්‍රිතාන්‍යයේ ඉපදුන දෙවන පරම්පරාවේ මුස්ලිම් ජාතිකයෙක් (සීයා හා ආච්චී සංක්‍රමණිකයින් වූ අතර මව හා පියාද බ්‍රිතාන්‍යයේ ඉපදී ඇත) එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාලයක් වන The London School of Economics and Political Science හි නීතිය හදාරා පලමු පන්තියේ උපාධියක් දිනාගත් ඔහු රැකියාව කලේ ලන්ඩනයේ ඉහලම පෙලේ නීති සමාගමක් වන Norton Rose Fullbright සමාගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු ලෙසයි. ස්ටර්ලිං පවුම් 150,000ක (රු.29,600,000) පමණ වාර්ෂික වැටුපක් හා වෙනත් පහසුකම් රැසක් ඔහුට සමාගම මගින් ලබාදී තිබුණා.

38හැවිරිදි ඉස්මයිල් පසුගිය වසරේ මේ සියලු පහසුකම් හා තානාන්තර අතහැර නැගෙනහිර ලන්ඩනයේ (East London) දුප්පත්ම සිසුන් සිටින, අඩුම පහසුකම් ඇති Newham Collegiate Sixth Form පාසැලේ මුල් ගුරුතුමා ලෙස පත්වීමක් ලබාගත්තා. නීතිඥයෙකු ලෙස කොතෙක් මුදල් හම්බකලද, සමාජයට සෙතක් වන දෙයක් සිදුකිරීමට නොහැකිවීම අසාධාරණයක්ය යන සිතුවිල්ල, මේ තීරණයට හේතුවූ බව ලන්ඩනයේ ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පුවත්පතට ඔහු පවසා සිටියා.

එක්සත් රාජධානියේ පාසැල් අධ්‍යාපන සැකැස්මට අනුව 5වැනි ශ්‍රේණියෙන් පසු ග්‍රේඩ් හෙවත් ශ්‍රේණි අනුව පංති නම් කිරීම වෙනුවට ෆෝර්ම් (Form) යනුවෙන් පංති නම් කරනවා. ඒ අනුව ලංකාවේ ක්‍රමයට 7වැනි ශ්‍රේණිය, එක්සත් රාජධානි ක්‍රමයට Form 1 ලෙසද සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින 11වැනි ශ්‍රේණිය Form 5 ලෙසද හඳුන්වනවා. Sixth Form ලෙස හඳුන්වන්නේ උසස්පෙල වසර දෙක සඳහා පැවැත්වෙන පන්ති දෙකයි. උසස් පෙල පලමු වසර Lower Sixth Form ලෙසද, උසස්පෙල දෙවන අවුරුද්ද Upper Sixth Form ලෙසද හඳුන්වනවා.

Newham Collegiate Sixth Form පාසැල
ඒ අනුව මව්ෂින් ඉස්මයිල් මුල්ගුරුතුමා ලෙස පත්වීම ලබාගත්තේ නැගෙනහිර ලන්ඩනයේ දුප්පත්ම ළමයින් උසස්පෙල විභාගයට සූදානම් කරන ජ්‍යේෂ්ඨ සිසුන් සිටින පාසැලක්. 

පාසැල භාරගත් දිනයේ සිටම ධනවත් දෙමව්පියන්ගේ දරුවන් යන ඉහල පැලැන්තියේ පාසැල්වල දරුවන්ට ලැබෙන අත්දැකීම් හා පහසුකම් හැකිතාක් ලබාදීමට උත්සහ කල ඉස්මයිල්, ප්‍රකට නීතිඥ සමාගමක ජේෂ්ඨයෙකු ලෙස ඇතිකරගත් සබඳතා උපයෝගීකරගෙන සෑම සතියකම විවිධ වෘත්තීන්වල වෘත්තිකයින්, ලන්ඩනයේ ඉහලපෙලේ සමාගම්වල ජේෂ්ඨ විධායක නිළධාරීන් ආදීන් පාසැලට ගෙන්වා ඔවුන්ගේ අත්දැකීම් හා උපදෙස් සිසුනට ලබාදෙන්න ක්‍රියාකල අතර පාසැල් නිවාඩුකාලයේ සතියක හෝ දෙකක සීමාවාසික රැකියා පුහුණු (Internships) සඳහා හොඳ නමක් දිනාගත් පෞද්ගලික සමාගම් හා සාකච්ඡාකොට එම සමාගම් වලට යැවීමටද ඔහු කටයුතු කලා.

මාස දොලහක් වැනි කෙටිකාලයකින්ම මේ ව්‍යායාමයේ ප්‍රතිපල මව්ෂින් ඉස්මයිල් මුල්ගුරුතුමාට නෙලාගන්න හැකිවෙලා තියෙනවා. සිසුන් 200ක් සිටින මේ පාසැලේ සිසුන් 190ක්ම විශ්වවිද්‍යාලවලට ඇතුලුවෙන්න හොඳ ප්‍රතිපල ලබාගෙන. මීට කලින් බොහෝ සිසුන් උසස්පෙල යාන්තමින් සමත්වී වෘත්තීය පුහුණු පාඨමාලාවලට හෝ අසමත්වී කෙලින්ම රැකියාවලට හෝ යොමුවුනු පාසැලක් නිසා, දැන් මේ පාසැල මුලු රටේම අවධානයට ලක්වෙලා.

වඩාත්ම සුවිශේෂී වන්නේ මේ පාසැලේන් විශ්වවිද්‍යාල වරම් දිනාගත් ලමයින් 190 දෙනාම බ්‍රිතාන්‍යයේ විශිෂ්ඨම විශ්වවිද්‍යාල ලෙස සැලකෙන Russel Group Universities නමින් ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල සමූහයට සුදුසුකම් ලබා ගැනීමයි. රසල් ගෲප් විශ්වවිද්‍යාල සමූහය; ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ක්වීන් මේරී, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස්, ඉම්පීරියල් කොලෙජ්, ගැල්ස්ගෝ යුනිවර්සිටි, එඩින්බ්‍රා යුනිවර්සිටි ආදී එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 24ක එකතුවක්. 

 MIT  එකට පූර්ණ ශිෂ්‍යත්වයක් දිනාගත් ටැෆ්ෂියා සික්ධාර්
රසල් සමූහයේ විශ්වවිද්‍යාලවල පාඨමාලාවකට තෝරාගැනීම සඳහා සිසුවෙකුට අවම වශයෙන් උසස්පෙල විෂයන් දෙකකටවත් A සාමාර්ථ හා අනෙක් විශයට B සාමාර්ථයක් තිබිය යුතුයි. ඔක්ස්ෆර්ඩ්, කේබ්‍රිජ්, ඉම්පීරියල් වැනි විශ්වවිද්‍යාල වලට ඇතුලුවීමට විෂයන් තුනක් ප්‍රමාණවත් නොවන අතර විශයන් හතරක් සඳහා පෙනීසිට ඒ විෂයන් සතරටම A සාමාර්ථයටත් වඩා ඉහල  A* සාමාර්ථ තිබිය යුතුවනවා.

මව්ෂින් ඉස්මයිල් පවසන්නේ මේ දුප්පත් දරුවන්ට අවස්ථා හා ඉඩප්‍රස්තා ලබාදුන හොත් ඔවුන්ට එක්සත් රාජධානියේ දක්ෂම සිසුන් වන්නට හැකියාව ඇති බවත්, මෙතෙක් කල් ඔවුනට ධනවත් පාසැල් වල සිසුන්ට ලැබෙන අවස්ථා හා අත්දැකීම් නොලැබුණු නිසා ඔවුන් පසුගාමී වූ බවත්ය.

එපමණක් නොව, බංගලිදේශයෙන් පැමිණි සංක්‍රමණික දෙමව්පියන්ගේ දියණියක් වන ටැෆ්ෂියා සික්ධාර් ඇමරිකාවේ ඉහලම ඉන්ජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වන Massachusetts Institute of Technology (MIT) විශ්වවිද්‍යාලයට පූර්ණ ශිෂ්‍යත්වයක් දිනාගෙන ඇතුලත්වන්නට හැකියාව ලබා තිබෙනවා. සිය මුල්ගුරුතුමා ලබාදුන් අත්දැකීම් හා අවස්ථා නිසා තමාට මේ ජයග්‍රණය ලබාගැනීමට හැකිවූ බව ටැෆ්ෂියා පවසනවා.

ටැෆ්ෂියා සික්ධාර් වගේ දරුවෝ ලංකාවෙත් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මව්ෂින් ඉස්මයිල් වගේ මහත්තුරු ලංකාවේ ඉන්නවද?

හිටියත් ඒවගේ මිනිස්සුන්ට පාසැලක මුල් ගුරුවරයෙකු වෙලා ඔහොම දේවල් කරන්න මැටිමෝල් දෙමව්පියන් බහුතරයක් ඉන්න මේ රටේ ඉඩක් ලැබෙයිද?

මගේ අත්දැකීම - විශ්වවිද්‍යාල ආචාර්යවරෙකු වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 10කට වැඩි කාලයක් ලංකාවේ ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරයෙක් වගේම අංශභාර ප්‍රධානියෙක් වෙලා හිටපු මා, ඔයවගේ ලොකු වෙනස්කම් නෙමෙයි, පොඩි දේවල්වත් කරන්න දෙමව්පියෝ වගේම සමහර ගුරුවරුත් ඉඩදෙන්නේ නැති බව අත්දැකීමෙන් දන්නවා.

ලන්ඩන් විභාගවලට සූදානම් කරන එක් ජාත්‍යන්තර පාසැක සාමාන්‍යපෙල හා උසස්පෙල පංතිවල අංශභාර ප්‍රධානාචාර්ය ලෙස කටයුතුකරන කාලයේ මා, සාමාන්‍ය පෙලින්ම සයන්ස්, ආර්ට්ස්, කොමර්ස් විධියට ලමයි යන්න ඕනෑ පාරවල් තෝරාගැනීම වැරදියි කියන අදහසින් සයන්ස් ළමයින්ටයි ආට්ස් ලමයින්ටයි එක වාණිජ්‍යය විශයකුත් කොමර්ස් ළමයින්ට එක විද්‍යා විශයකුත් සාමාන්‍යපෙල (London IGCSE) විභාගයේදී කලයුතුයි කියලා යෝජනවාවක් ගෙනවා. පාසැලේ විදුහල්පතිනියත්, සභාපතිතුමාත් එය ඉතා හොඳ අදහසක් කියලා පිලිඅරගෙන මගේ යෝජනාවට පූර්ණ සහය පලකලා.

ඒත් දෙමව්පියන්ගෙයි සමහර ගුරුවරුන්ගේ (විශේෂයෙන්ම විද්‍යා ගුරුවරුන්ගේ) දැඩි විරෝධය නිසා යෝජනාව අකුලාගන්නට සිදුවුනා.

දෙමව්පියන්ගේ චෝදනා.

1] අපේ ළමයි සයන්ස් කරන්න ඉන්නේ, මොන කෙහෙල් මලකටද කොමර්ස් එකක් කරන්න කාලේ නාස්ති කරන්නේ? 

- සයන්ස් මේනියාවෙන් හිටපු මේ මැටි දෙමව්පියන් නොදන්නා මෙන්ම කිව්වට පිලි නොගත් කාරනේ නම් බොහෝ විද්‍යා/තාක්ෂණ/ඉන්ජිනේරු/පරිගණක උපාධිපාඨමාලාවල කළමණාකරණ/වාණිජ්‍යය විෂයක් හෝ දෙකක් (සමහර විට ඊට වැඩිය) තිබෙනා බවයි.

2] අපේ ලමයි කොමර්ස් කරන්නේ... මොකටද අමාරු සයන්ස් එකක් කරන්නේ? බොරුවට ළමයි අමාරුවෙදාන වැඩක්නෙ මේක 

- කොමර්ස් ලමයින්ට සයන්ස් අමාරු බව ඇත්ත. ඒත් එක විද්‍යා විෂයක් (කැමති එකක්) තෝරගෙන ඒක ටිකක් ඉගන ගන්න එක නරකද? විද්‍යාව සාමාන්‍යපෙලට වත් ඉගෙන නොගත් දරුවෙකුට, කළමණාකරණ උපාධියක් අරගෙන විද්‍යා/තාක්ෂණ/වෛද්‍ය/පරිගණක ක්ශේස්ත්‍රයේ සමාගමක වැඩ කරන්න පුලුවන්ද? ඉන්ජිනේරුවෝ, පරිගණක විශේෂඥයෝ, වෛද්‍යවෘත්තිකයින් එක්ක වැඩකරන්න විද්‍යාව ටිකක් දැනගෙන ඉන්නකොට ලේසි නැද්ද?

සයන්ස් ගුරුවරු

"කොමර්ස් කරන මැට්ටන්ට කොහොමද සයන්ස් උගනන්නේ? ඕකෙන් වෙන්නේ රිසාල්ට්ස් අඩුවෙන එක....."

එන්ගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලා අපි බය නැතුව කියන්නේ අත්දැකීමෙන්ම දන්න නිසා. 

මේක මොනවත් කරන්න පුලුවන් රටක් නෙමෙයි....

ලස්සනට අතුගාල පිරිසිදු කරලා හැරෙනකොට පාරට කුණු දාන ගමන් විල්පත්තු විනාශය ගැන පෝස්ට් ශෙයාර් කරමින් දුක්වෙන මිනිස්සු ඉන්න රටක් නෙ මේක.

අයින්වෙලා පයින් යමු.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments