Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 15 August 2017

LAK DASUN : ගෝන තැන්න





























අග්‍රාණ්ඩුකාර විල්මොට් හෝර්ටන්, සබරගමුවේ රටේ මහත්තයා හමුවූ තැන

1969 දෙසැම්බර් 5 වැනිදා රක්ශිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කෙරුනු ගෝන තැන්න හෙවත් මහඑළිය හෙවත් හෝර්ටන්තැන්න 1988 මාර්තු ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරුනා. මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට ඉහලින් පිහිටි මහ එළිය හෙක්ටාර 3169ක වපරිසයෙන් යුතුයි. මහ එළිය යටත් විජිත සමයේ "එල්ක් ප්ලේන්ස් - Elk Plains" හෙවත් ගෝනුන් බහුල තැන්න ලෙසද හැඳුන්වුනේ මෙහි දකින්නට ලැබෙන සැම්බර් නැමති ගෝනුන් විශේෂය (Sri Lankan sambar deer - Rusa unicolor unicolor) නිසයි.

සිහළුන්ට මහ එළියත්, යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය දඩයක්කරුවන්ට ගෝන තැන්නත් වූ මේ අපූර්ව භූමිය හෝර්ටන් තැන්න වූයේ, 1831 සිට 1837 දක්වා ආණ්ඩුකාරයා වූ විල්මොට් හෝර්ටන්ට ගෞරවයක් ලෙස බව ප්‍රසිද්ධයි. බොහෝදෙනා නොදන්නා කාරණයක් වන්නේ, ආණ්ඩුකාරයා ලෙස රාජකාරිකල සමයේ විල්මොට් හෝර්ටන් සබරගමුවේ රටේ මහත්තයා හමුවෙන්නට 1836දී මහ එළිතැන්නට පැමිණි බව. ඊට පස්සේ කිහිප වතාවක්ම මහ එළියේ සංචාරය කොට,එහි සුන්දරත්වය හා ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගතකම නිසායෙන් එය ආරක්ශාකිරීමට විවිධ පියවරයන් ගත්බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා.

ගෝන හා ඇත් දඩබිම

මහ එලිය හෙවත් ගෝන තැන්න බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් අතර ජනප්‍රිය දඩබිමක් වූවා. විශාල ගෝනුන් මෙන්ම දැන් වඳවී ඇති අලිඇතුන් රංචුපිටින් මෙහි දකින්නට ලැබුණු අතර උඩරට ධනවත් වතුහිමියන් මෙහි දඩයම් ආවා. එලෙස පැමිණි දඩයම් කණ්ඩායම්වලට පහසුකම් සැපයීම සඳහා දඩයම් නිවහන් (hunting lodge) දෙකක් මෙහි තිබුණා. ඒ තෝමස් ෆා පිහිටවූ "ෆා ඉන්" නම් දඩයම් නිවහනත් ඇන්ඩර්සන් වතුපාලකයා ඉදිකල "ඇන්ඩර්සන් දඩයම් නිවහනත්ය"

තෝමස් ෆා ඉදිකල "ෆා ඉන්" නිවහන අද හෝර්ටන් තැන්නේ ලෝකාන්ත මංපෙත ආරම්භයේ ඇති සංචාරක තොරතුරු මධ්‍යස්ථානය බවට පත්වී තිබෙනවා. ඇන්ඩර්සන්ගේ දඩයම් නිවහන අද වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන "ගිණිහිරිය සංචාරක නිවහන" බවට පත්වී තිබෙනවා.

සංචාරක තොරතුරු මධ්‍යස්ථානය බවට පත්ව ඇති තෝමස් ෆා ඉන් දඩයම් නිවහන.

මහ එලියේ දඩයම්කල, මහගස්තොට එළවළු වැවූ සැමුවෙල් බේකර්

1846 සැමුවෙල් බේකර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නුවර එලියේ මහගස්තොට විශාල ගොවිපොලක් ආරම්භකලා. දක්ෂ දඩයක්කරුවෙකු වූ බේකර් ඔහු ලියූ "The Rifle and the Hound in Ceylon (1853)" හා "Eight years wanderings in Ceylon (1855)" නම් පොත්වල මහ එලියේ ගෝනුන් දඩයම්කල හැටි විස්තර කර තිබෙනවා. මහ එලියේ ඇති බේකර් ඇල්ල, සැමුවෙල් බේකර් සිහිවීමට නම්කර තිබෙනවා. ලංකාවෙන් පිටව ගිය සැමුවෙල් බේකර් අප්‍රිකාවේ ගවේෂණ චාරිකාවල යෙදෙමින් එකල අභිරහසක්ව පැවති නයිල් ගඟ ආරම්භවන ජල මූලාශ්‍රය සොයා ගත්තා. ඒ 1862දී. අප්‍රිකාවේ සිදුකල අති දුශ්කර දේශාටන චාරිකාව හා එහිදී සිදුකල වැදගත් සොයාගැනීම් නිසා 1866දී සැමුවෙල් බේකර්ට නයිට් පදවිය හිමිවූ අතර ඉන්පසු සර් සැමුවෙල් බේකර් ලෙස හැඳින්වෙන්නට වුනා. අප්‍රිකාවේ සිදුකල ගවේෂණයන් සිහිවීමට උගන්ඩාවේ කඳුවැටියක් "මවුන්ට් බේකර්" ලෙස නම්කොට තිබෙනවා.

වළාකුළු වනාන්තරය (Cloud Forest)



දෙසැබර් අගසිට අප්‍රේල් මුල් කාළය වනතෙක් වියළි කාළගුණයක් පවතින මහ එළියට නිරිතදිග හා ඊසානදිග මෝසම් වර්ෂා දෙකෙන්ම වැසි ලැබෙන අතර මිලිමීටර් 5000ක පමණ වාර්ශික වර්ෂාපතනයක් ලැබෙන අතර ලංකාවේ බොහෝ ප්‍රධාන ගංගාවල ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ඉතා වැදගත් වනවා. සෙන්ටිග්‍රේඩ් 15ක සාමාන්‍ය උශ්ණත්වයක් පවතින මහ එළියේ උශ්ණත්වය දෙසැම්බර් හා ජනවාරියේ සෙන්ටිග්‍රේඩ් 2-3 දක්වා පහත බසින අතර හිම තුහිණ (frost) දකින්නට හැකිවනවා. පතන ලෙසින් හැඳින්වන තෘණ භූමිය වටකොට කඳුකර වළාකුළු වනාන්තර (montane cloud forests) ලෙස හැඳින්වෙන මිටි ගස්වලින් යුතු වනාන්තර වලින් මහ එළිය සමන්විත වනවා.

මහවැලි, කැළණි හා වළවේ ගංගාවල ආරම්භක ජල පහරවල් හෝර්ටන් තැන්නෙන් ආරම්භවන නිසා ජලපෝෂක ප්‍රදේශයෙක් ලෙස මෙහි වැදගත්කම හිතා ගන්න පුලුවන්.



මහඑළිය ජාතික වනෝද්‍යාන භූමිය වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාළණය වන අතර, එයවටා ඇති හෙක්ටාර 18,000කින් පමණ වන රක්ශිත වනාන්තර භූමිය වන සංරක්ශණ දෙපාර්තමේන්තුව මගින් පාළණය වනවා. මහ එළියේ ජෛව පද්ධති 4ක් දකින්නට ලැබෙන අතර ඒවා 
  1. කඳුකර වළාකුළු වනාන්තර, 
  2. පතන් හෙවත් තෘණභූමි, 
  3. වගුරු 
  4. විල්ලු හෙවත් නොගැඹුරු ජලාශ 
යන ජෛව පද්ධතියි. මහ එළියෙන් පෝෂණය වන ජළධාරා අතර මහවැලියේ ප්‍රධාන අතු-ගංගාව වන ආගාර ඔය, කැළණි ගඟේ ආරම්භය වන බගවන්තලා ඔය හා වළවේ ගඟේ ප්‍රධාන අතු-ගංගාව වන බෙළිහුල් ඔය වනවා. ලංකාවේ දෙවැනියට හා තුන්වැනියට උසම කඳු වන කිරිගල්පොත්ත හා තොටුපොල කන්ද මහ එළිය පෙනෙන මානයේ පිහිටා තිබෙනවා.

මහ එළියේ ඇවිදින ඔබට තද දම් පැහැති බිනර මල් දකින්නට පුළුවන්. ඒවගේම රතුපාට මහ රත්මල්ද දකින්නට පුලුවන් වෙනවා. 

මහ රත්මල්



ඒවගේම වසර 12-14 වරක් පමණක් මල් පිපෙන නෙල්ලු පැලෑටියද මහ එළියට ආවේණිකයි. නෙල්ලු පිපෙන කාළය වසර 12කට වරක් බව මුලින්ම අනාවරණය කරගත්තේ මහ එලියේ "ෆා-ඉන්" නම් ගිමන් හලක් පවත්වාගෙන ගිය යටත්විජිත සමයේ බ්‍රිතාන්‍යයෙකුවූ තෝමස් ෆා විසිනුයි. 1881, 1893, 1905 කාලාන්තරවල නෙල්ලු මල් පිපීම නිරීක්ශණය කල තෝමස් ෆා, 1912දී ලංකාවෙන් පිටත්ව යනවිට නෙල්ලු මල් 1917 යලිත් පිපෙන බවට අනාවැකියක් පලකොට පිටත්වූ අතර එය සැබෑ කරමින් 1917දී මහ එළිය නෙල්ලු මලින් වැසී ගියා. අවසාන වරට නෙල්ලු මල් පිපුනේ 2013 වසරේදී. යලිත් ඒ මල් දකින්නට ලෙබෙන්නේ 2024 හෝ 2025 සැප්තැම්බර්-දෙසැම්බර් කාළයේදී එනම් තවත් අවුරුදු 9/10කින්.

බිනර


කීන (calophyllum walkeri) වල්කුරුඳු (wild cinnamon - cinnamomum ovalifolium) හා පොල්කටු ගහ (elephant ear tree - actinodaphne speciosa) ලෙස හැඳින්වෙන ගස්වර්ග මහ එළියේ වලාකුළු වනාන්තරවල බහුලව දකින්නට ලැබෙනවා. ලංකාවේ කුඩාම උණ ශාඛය වන කුරු උණ (dwarf bamboo - sinarundinaria densifolia) මහ එළියට ආවේණික තවත් ශාකයක්. මීට අමතරව බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන්, දැන් ආක්‍රමණික ශාක බවට පත්වතිබෙන යුරෝපියන් ගෝස් (european gorse - ulex europaeus) නම් කුඩා කහමල් පිපෙන කටුපඳුරු, වැරැල්ල නම් ජලජ ශාකය හා කිකුරිය (pennisetum clandestinum) නම් අප්‍රිකානු තෘණ වර්ගයද බහුලව දැකිය හැකියි.

කීන (calophyllum walkeri)
ගෝනුන්ට අමතරව රතු උණහපුළුවා, ලංකා දිවියා, දිය බල්ලා හා දඬුලේනා දැකගන්නට පුළුවන්. ඊට අමතරව කළු වඳුරා, රිලවා හා වළසුන්ද ඉඳහිට දකින්නට පුලුවන්. අතීතයේදී මහ එළියේ අතිවිශාල අලි ඇතුන් ගහණයක්ද වාසය කොට ඇතත් මීට වසර 70කට පමණ පෙර සිට මහ එළිය ප්‍රදේශයේ ඇතුන් දකින්නට ලැබී නෑ.

තෝමස් ෆා සිය මල් වැටට හිටවන්න එන්ගලන්තෙන් ගෙනාපු යූලෙක්ස්


ජනප්‍රවාදයේ විධියට යූලෙක්ස් ලංකාවට ගේන්නේ තෝමස් ෆා . අද හෝර්ටන් තැන්නේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය බවට පත්වෙලා තියෙන ඔහුගේ "Thomas Farr Inn " බංගලාවේ මල් වැටට හිටවන්න ගෙනාපු යූලෙක්ස්දැන් තැන්න පුරාම පැතිරිලා.

බටහිර හා දකුණු යුරෝපය නිජබිම කරගත් යූලෙක්ස් - Common Gorse (Ulex europaeus)  යුරෝපීයයන් පදිංචියට ගිය ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල පැතිරුනා. යූලෙක්ස් වැඩිවශයෙන්ම දකුණු යුරෝපීය කාළගුණයට සමාන කාළගුණයක් තියෙන නුවර එලිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ වැවෙන අතර දැන් ආක්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන තියෙනවා. කහ පාට මලක් පිපෙන මේ ආක්‍රමණිකයා ශීඝ්‍රයෙන් පැතිරෙමින් ආවේණික ශාකවලට ඇති ඉඩකඩ අහුරනවා. 




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...