ASTRONOMY : ඇයි රත්තරං ඔච්චර ගණං?? | නියුට්‍රෝන් තරුවල හැඳුනු නිසාලු බං!!

මෑතකදී ගුරුත්ව තරංග සංවේදනය කල හැකි ලීගෝ පර්යේෂණාගාරය (Laser Interferometer Gravitational-Wave Observatory - LIGO) තවත් ගුරුත්ව තරංග රැල්ලක තොරතුරු උකහා ගත්තා. පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙය ලොවට හෙලිකල විද්‍යාඥයින්, නියුට්‍රෝන තාරකා දෙකක් එකිනෙක ගැටීමෙන් මේ ගුරුත්ව තරංග හටගත් බවත්, එයින් ලැබුනු දත්ත අනුව විශ්වය තුල රත්තරන්, ප්ලැටිනම් වැනි බැර මූල ද්‍රව්‍ය හටගත් ආකාරය පිලිබඳව බිහිකර තිබූ කල්පිතය තහවුරුවන දත්ත ලැබුනු බවත් පැවසුනා.

ලීගෝ පර්යේෂණාගාරයේ විධායක අධ්‍යක්ෂක ඩේවිට් රයිට්සෙ පවසන අන්දමට ආලෝක වර්ෂ මිලියන 130ක් ඈතින් පිහිටි එකිනෙකා වටා භමණය වූ ද්විත්ව නියුට්‍රෝන තාරකා දෙකක් ගැටීමෙන් මෙම ගුරුත්ව තරංග හටගත්තා. 

ගුරුත්ව තරංග පිලිබඳ අදහස ඉදිරිපත් කලේ ඇල්බර්ට් අයින්ස්ටයින් සිය සාපේක්ෂතාවාදය පිලිබඳ කල්පිතය හරහායි. අයින්ස්ටයින් පැවසූ අන්දමට ගුරුත්වාකර්ෂණය යනු සැබැවින්ම බලයක් නොව යම් වස්තුවක් වටා කාළ-අවකාෂය (space-time) වක්‍රවීම නිසා ඇතිවන්නක්. මෙම වක්‍රවීම සෑම වස්තුවක්ම මගින් ඇති කරතත් කළුකුහර හා නියුට්‍රෝන තාරකා වැනි අති විශාල ස්කන්ධයන් ඇති වස්තූන් මගින් කාළ-අවකාෂයේ ඇතිකරන බලවත් වක්‍රවීම් පමණයි ලීගෝ වැනි පර්යේෂණාගාරවල ඇති උපකරණවල සටහන් වන්නේ.

නියුට්‍රෝන තාරකා යනු අපේ හිරුට වඩා අතිවිශාල තාරකා සිය න්‍යෂ්ඨික ඉන්ධන අවසන්වීමෙන් පසු සිදුවන ක්ෂයවීමේ ක්‍රියාදාමයේදී බිහිවන ප්‍රමාණයෙන් කිලෝමීටර් 20-25 පමණ විශාලත්වයක් ඇති, එහෙත් සිතාගත නොහැකි තරම් අධික ගුරුත්වබලයක් ඇති අපූර්ව වස්තූන් විශේෂයක්. මෙම තාරකා නියුට්‍රෝන තාරකා ලෙස හඳුන්වන්නේ එම තාරකා වල නියුට්‍රෝන පමණක් දකින්නට ඇති නිසායි. අධික ගුරුත්වය නිසා තාරකාවේ ඇති සියලුම පරමාණුවල ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන විලයනයවී (fusion) නියුට්‍රෝන බවට පත්වී තිබෙනවා. 

වයිට් ඩ්වෝෆ් හෙවත් සුදු වාමන තාරකාවලටත් වඩා ඝණත්වයෙන් හා ගුරුත්වබලයෙන් වැඩි නියුට්‍රෝන තාරකා දැනට අප දන්නා ආකාරයට ඝණත්වයෙන් වැඩිම තාරකා වර්ගය වනවා. නියුට්‍රෝන තාරකාවක මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 600,000ක් පමණ වනවා. තත්පරයකට තමාවටා වටයන් සියයක් පමණ අධිකවේගයෙන් බ්‍රමණය වන නියුට්‍රෝන තාරකා සමහරක් ප්‍රභල විද්‍යුත් චුම්බක ස්පන්ධන නිකුත්කරන අතර මේවා ස්පන්ධක හෙවත් pulsars ලෙස හඳුන්වනවා.



අධික ගුරුත්වය නිසා කිලෝමීටර් 20-25 වැනි කුඩා ඉඩක ඇසිරී තිබෙන මෙම තාරකාවල ඇති ද්‍රව්‍ය වලින් තේ හැන්දක් පමණ ගෙන කිරාගත හැකිනම් එම තේ හැන්දක ප්‍රමාණයේ ද්‍රව්‍යවල බර කිලෝග්‍රෑම් මිලියනයක් පමණවන බව දැකිය හැකියි. නියුට්‍රෝන තාරකාවල ඝණත්වය එතරම් අධිකයි.

විශ්වයේ නියුට්‍රෝන තාරකා ඇති බව හා ඒවා එකට ගැටිය හැකි බව මෙතෙක් කල් පැවැතුනේ කල්පිත වශයෙන් පමණයි. සැබැවින්ම නියුට්‍රෝන තාරකා ඇති බවත් ඒවා ගැටෙන බවත් පලමුවරට විද්‍යාඥයින්ට තහවුරුවූයේ මේ ගුරුත්ව තරංග රැල්ල හඳුනාගැනීමෙන් පසුවයි. එය හඳුනාගැනීමෙන් පසු එම තරංග පැමිණි දිශාවයට සිය ආලෝක හා රේඩියෝ දුරේක්ෂ යොමුකල විද්‍යාඥයින්ට මෙම තාරකා ගැටුම දකින්නට ලැබුණා.  

විද්‍යාඥයින් ඉදිරිපත් කොට තිබූ කල්පිතවලට අනුව නියුට්‍රෝන තාරකා ගැටීම් වලදී ප්‍රථිපල දෙකක් ඇතිවනවා. එකක් නම් ගුරුත්ව තරංග රැළ්ලක් නිකුත්වීමයි. අනෙක ආවර්තිතා වගුවේ ඇති රත්තරන්, රිදී, ප්ලැටිනම්, යුරේනියම් ආදී බැර ලෝහ බිහිවීමයි.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments