Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 1 October 2017

CHILDREN'S DAY : ළමා අයිතිවාසිකම්....... ඉගෙනීමට මෙන්ම සෙල්ලම් කිරීමටත් ළමයින්ට අයිතිය ඇතැයි නිළවශයෙන් පිලිගෙන ඇති බව ඔබ දන්නවාද?



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිලිගැනීමට අනුව විශ්ව ළමා දිනය නොවැම්බර් 20 වැනිදාට යෙදී ඇත. එදිනට ළමා දිනය සමරන්නට තීරණය කරන්නේ 1959 නොවැම්බර් 20 දින එක්සත් ජාතීන්ගේ මහා සභාව ළමා අයිතිවාසිකම් පිලිබඳව ප්‍රකාශය සම්මතකර ගත් දිනය මෙන්ම 1989 නොවැම්බර් 20  ළමා අයිතිවාසිකම් පිලිබඳව ප්‍රතිඥාව සම්මත කරගත් දිනය නිසාය. කෙසේ වෙතත් විවිධ රටවල් විවිධ දිනයන්හිදී ළමා දිනය සමරනවා. ලංකාවේ එය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් පලමුවැනි දිනටයි.


ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශයේ ඇතුලත්, ළමා අයිතිවාසිකම් පිල්බඳ ප්‍රතිඥාවෙන් ලෝක නීතියට එක්වුනු ළමා අතිවාසිකම් මොනවාදැයි ලංකාවේ......

1] දෙමව්පියන්, 
2] ගුරුවරුන්, 
3] විදුහල්පතිවරුන්, 
4] ටියුෂන් මාස්ටර්ලා, 
5] රියැලිටි ටී.වී වල ළමයි නටවන චැනල් අයිතිකාරයින්, 
6] ගුවන් විදුලි නාලිකාවල, රූපවාහිණී නාලිකාවල ළමයින්ට උපදෙස් දෙන උපදේශකයින්
7] ළමයි වෙළඳ දැන්වීම් වලට ගන්න ඇඩ්වර්ටයිසින් ලොක්කන් හා කොම්පැණි ලොක්කන්
8] නීති හදන මැති ඇමතිලා

කී දෙනෙක් දන්නවාද? 

ළමා අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශණයේ ඇති කිසිම වගන්තියක් කියවා අවබෝධ කරගෙන නැති, ඒවා ගැන මොහොතක් වත් නොහිතන ඉහත වැඩිහිටියන් නිසා ලංකාවේ දරුවන්ගේ ළමා ජීවිත මොනතරම් පීඩාකාරී, නීරස, ගැහැට සහිත වී තිබෙනවාද?

ළමා අයිතිවාසිකම් පිලිබඳව විශ්ව ප්‍රකාශණයේ තියෙන්නේ මොනවාද හැබෑට?

NOTE: පරිවර්තනය මාගේය, වැරදි ඇතොත් සමාවී, කොමෙන්ටුවක් දමා වැරැද්ද පෙන්වන්න.

1] ජාති, ආගම්, කුළ, පංති බේධ, සමේ වර්ණය, දුප්පත් පෝසත් බව ආදී කිසිදු බේධයකින් තොරව සෑම දරුවෙකුම ළමා අයිතිවාසිකම් භුක්තිවිඳීමට වරම් ලද්දෝ වෙති.

2] දරුවන්ට විශේෂ ආරක්ෂාවක් හිමිවන අතර දරුවන්ට ශාරීරිකව, මානසිකව, සදාචාරත්මකව හා සමාජීය වශයෙන් සාමාන්‍ය ලෙසත් තෘප්තිමත් ලෙසත් වර්ධනයවීම සඳහා අවස්ථා හා පහසුකම්/සම්පත් සමව ලැබීම නෛතික හා වෙනත් ආකාරවලින්  තහවුරු කල යුතුයි. 

එමෙන්ම දරුවන්ට නිදහසේ හා ගෞරවාන්විතව (අනවශ්‍ය ගැරහීම් හා පීඩන වලින් තොරව) වර්ධනයට අවස්ථා ලැබිය යුතුය. මේ සඳහා නිතී සම්පාදනයේදී දරුවන්ගේ යහපත ප්‍රමුඛ ලෙස සැළකිය යුතුයි.

3] සෑම දරුවෙක්ම නමකට හා පුරවැසිභාවයකට උපතින්ම උරුමකම් කියයි. මේ අයිතිය පැහැරගත නොහැකිය.

4] දරුවෙකුට නිරෝගීව වැඩීමට අයිතිවාසිකමක් ඇත. මේ අරමුණ වෙනුවන් දරුවාට හා දරුවාගේ මවට විශේෂ සත්කාර හා ආරක්ෂණ විධිවිධාන සැළසිය යුතුය. මේ සත්කාර අතර පූර්ව ප්‍රසව හා පසු ප්‍රසව වෙද හෙද පසුකම්ද ඇතුලත්ය. 

දරුවාගේ අයිතිවාසිකම් අතර නිසි පෝෂණය, නිවෙසක්, විනෝදාස්වාද අවස්ථා හා වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතියද ඇතුලත්ය. මේ සියලු කරුණු ආවරණය වන සමාජ ආරක්ෂණ වැඩපිලිවෙළක් දරුවන් වෙනුවෙන් ඇතිකල යුතුය.

5] ශාරීරික, මානසික හෝ සමාජීය දුබලතාවයන්ගෙන් පෙළෙන දරුවන්ට ඒ ඒ තත්වයන් වලට ගැලපෙන විශේෂ ප්‍රතිකාර, අධ්‍යාපන අවස්ථා හා ආරක්ෂණය ලබාදිය යුතුය. 

6] දරුවෙකුගේ පෞරුෂත්ව වර්ධනයට ආදරය හා දරුවා ගැන අවබෝධයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍යය. මේ නයින් දරුවෙකු හැකි සෑම අවස්ථාවකම දෙම්ව්පියන්ගේ රැකවරණ යටතේ වැඩිය යුතුය. දෙමාපිය රැකවරණ අහිමි වුවද දරුවෙකුට ආදරය, මානසික හා ශාරීරික ආරක්ෂාව ලබාදිය හැකි සදාචාරසම්පන්නව ජීවත්වන්නන්ගේ රැකවරණය ලැබිය යුතුය.

ළදරු වයසේ පසුවන දරුවන් ඉතාමත් සුවිශේෂී හේතූන්මත හැරෙන්නට මවගෙන් වෙන් නොකල යුතුය.යම් යම් හේතූන් නිසා පවුලේ ආරක්ෂාව අහිමි වූ දරුවන් මෙන්ම දුගී පවුල්වල දරුවන් රැකබලාගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම රාජ්‍ය අධිකාරිවල මෙන්ම සමාජීය සංස්ථාවලද වගකීමකි.

7] දරුවෙකුට අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති අතර එය අනිවාර්යය විය යුතුය. මෙම අධ්‍යාපනයෙන් අඩුම ගණනේ ප්‍රාථමික අධ්‍යාපනය හෝ නොමිලේ ලබාදිය යුතුය. මෙසේ ලැබෙන අධ්‍යාපනය තුලින් දරුවාට සිය සංකෘතික පසුබිම අගයකිරීමට, සිය කුසලතාවයන් වර්ධනය කර ගැනීමට හා විචාරබුද්ධිය දියුණු කරගැනීමටත්, සමාජීය හා සදාචාරාත්මක වගකීම් ගැන අවබෝධ කරගැනීමටත් හැකියාව ලබාගෙන සමාජයට වැඩදායක පුරවැසියෙකු වීමට අවස්තාව ලබා දිය යුතුය. මේ හිමිකම කිසිදු බේධයකින් තොරව සැමට සමානව ලැබිය යුතුය.

දරුවාගේ අධ්‍යාපනය පිලිබඳව තීන්දු ගැනීමේ හා මගපෙන්වීම් සිදුකිරීමේ වගකීම් ඇත්තවුන් එම වගකීම් ඉටුකිරීමේදී දරුවන්ගේ අභිවෘද්ධිය ප්‍රමුඛතාවයේ සලකා ක්‍රියාකල යුතුය. මේ වගකීම් වල මූලික මෙන්ම ප්‍රමුඛ කාර්යභාරය දරුවාගේ දෙමව්පියන් සතුවිය යුතු අතර එය ඔවුන්ගේ වගකීමද විය යුතුය.

8] දරුවන්ට විනෝදවීමට හා සෙල්ලම් කිරීමට අවස්ථා සලසාදිය යුතු අතර ඒ සඳහා අධ්‍යාපනයට මෙන්ම දරුවන් යොමුකල යුතුය. දරුවන්ට සෙල්ලම් කිරීමට විනෝදවීමට ඇති අයිතිය ඔවුන්ට භුක්තිවිඳිමට හැකිවන පරිදි රාජ්‍ය ව්‍යුහය හා සමාජ සංස්ථා ක්‍රියාත්මකවිය යුතුය.

9] දරුවන් සෑම ආකාරයකම නොසලකා හැරීම්, වධදීම් හා සූරාකෑම් වලින් ආරක්ෂා කල යුතුය. දරුවන් කිසිදු ආකාරයක ජාවාරමක ගොදුරක් නොවීමට වගබලා ගත යුතුය.

දරුවන් නිසි වයස එළබෙන තෙක් රැකියා සඳහා යොමු නොකල යුතුය. එමෙන්ම සෑම අවස්ථාවකම අවස්ථාවක දරුවන්, ඔවුන්ගේ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට බාධාවන ආකාරයේ හෝ ඔවුන්ගේ කායික, මානසික හා සදාචාරාත්මක වර්ධනයට බාධාවන රැකියා හා වෘත්තීන් වල යෙදවීම වැලැක්විය යුතුය.

ළමා අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශණයේ ඇති සෙල්ලම් කිරීමේ, විනෝදවීමේ අයිතිය ලංකාවේ දරුවන්ට නැති වෙන්නේ කොයි කාළයේදීද?

හුඟ දෙනෙක් හිතන්නේ මෙහෙම වෙන්නේ 5 ශිෂ්‍යත්ව විභාග කාලේ නැතිනම් ඕලෙවල් කාලයේ කියලායි (ඒ ලෙවෙල් වෙනකොට නම් 18 පිරුණු නෛතික වැඩිහිටියන් වෙලා)

මා සිතන විධියට නම් ලක් දරුවන්ගේ සෙල්ලම් කිරීමේ අයිතිය නැතිවෙන්නේ අවුරු දෙකහමාර-තුන වගේ ලපටි වයසේදීමයි.

මේක පටන්ගන්නේ ප්ලේ-ගෲප් නම් ජාවාරමත් එක්කයි. ඉස්සරනම් ළමයි අවුරුදු 6 පිරුණම කෙලින්ම පලවෙනි ශ්‍රේණියට, නැතිනම් ඊට කලින් අවුරුද්දක් හෝඩියේ.

ඒත් දැන්......රට පුරාම ලොකු ලොකු ඉන්ටර්නැෂනල් ඉස්කෝල, නැෂනල් ඉස්කෝල වගේම පොඩි පොඩි තැන්වලත් දරුවන් ප්ලේ-ගෲප් කියන ව්‍යාජ (කපටී) නමින් හඳුන්වන පෙර පාසැල් වල ගාල් වෙන්නේ අවුරුදු දෙකහමාරෙන් තුනෙන්.

ප්ලේ-ගෲප් වුනත් මේවායේ සෙල්ලම්කිරිල්ලට, සමාජ කුසලතා වර්ධනය කර ගැනීමට වඩා තියෙන්නේ ABCD ඉගැනිල්ල, පොයම් ඉගනිල්ල හා ගණන් කරන්න ඉගැනිල්ලයි.

මේ වගේ ළපටි වයසේ හය හතර නොතේරෙන දරුවන් ඉන්න ඕනෑ දෙමව්පිය තුරුල්ලේ, නැතිනම් ආදරය කරන පවුලේ උදවිය තුරුල්ලේ. බැරිම නම් හොඳ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක ආදරණීය රැකවරණයේ.

ඒත් අපේ කිරි දරුවෝ උදෙන්ම ඇහැරවලා බලෙන් ඇඳුම් අන්දවලා, සපත්තු මේස් දම්මවලා, අඬව අඬවා උස්සගෙන ගේන්නේ ප්ලේ-ගෲප් එකට. මේවාවල උගන්වන ගුරුවරියන් බොහෝවිට සාමාන්‍යපෙල යන්තම් සමත්වෙලා කොහෙන් හරි මොන්ටිසෝරි ඩිප්ලෝමාවක් ගත්ත අය. ඒ ඩිප්ලෝමාවල පූර්ව ළමාවිය, ළමා මානසිකත්වය වගේ කොටස් තිබුණට ඩිප්ලෝමාධාරීන් ඇත්තටම ඒවා ඉගෙනගෙන තියෙනවාද, ඒවා භාවිතා කරනවාද කියලා හොයන්න නිළ ආයතනයක් බළධාරියෙක් නෑ (ආයතන තියෙනවා, බළධාරීනුත් ඉන්නවා.........ඒත් හොයන්නේ නෑ..)

දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පිලිබඳව, සෙල්ලම් කිරීමේ වැදගත්කම ඔවුන් දන්නේ නෑ........දෙමව්පියෝ දන්නෙත් නෑ....

ඉතින් මේ වගේ මොන්ටිසෝරි ගුරුවරියන් ප්ලේ ගෲප් එකේ කරවන්නෙත් එයාලා දන්න A B C D උගන්වන එකයි, ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් පොයම් උගන්වන එකයි...ගණන් කරන්න උගන්වන එකයි. ඊට පස්සේ කොන්සර්ට් එක........නැතිනම් ඇනුවල් ප්‍රඩක්ෂන් එක කියලත් කියනවා.

මා මෙහෙම කියන්නේ මේ අසරණ ගුරුවරියන් ගැන තරහකින් නොවෙයි. ඔවුන් කරන්නේ බොහොම අඩු ආදායම් ඇති රැකියාවක්. උසස්වීම් නැති, තමන්ගේ මොන්ටිසෝරියක් පටන් ගැනීම හැර වෙනත් වෘත්තියමය දියුණුවක් නැති රැකියාවක්.

සාමාන්‍යපෙල වැනි බොහොම අඩු සුදුසුකමකින් පෙරපාසැල් ගුරුවරියක් වෙලා රටේ අනාගත පුරවැසියන් භාරගන්නට ඉඩ ලබාදී ඇති මේ රටේ නෛතික හා අධ්‍යාපන රාමුව සමගයි මගේ ගැටලුව. එසේ නොමැතිව, තමන් දන්නා විධියට උගන්වන ගුරුවරියන් ගැන නෙමෙයි. ඔවුන්ට නිසි පුහුණුව, මගපෙන්වීම හා සම්පත් ලැබෙනවානම් ඔවුන් හොඳ සේවයක් සළසන බව මා විශ්වාස කරනවා.

ඉතින් 1952 තරම් ඈතකදී එක්සත් ජාතීන්ගේ මහා සභාවෙන් සම්මත වෙලා සෑම රටකම නීති පද්ධතිය පිලිගත්ත, දරුවන්ට ඉගෙනීම වගේම නිදහසේ සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, සිහින ලෝකවල ජීවත්වෙන්න තියෙන අයිතිවාසිකම ප්ලේ-ගෲප් එකෙන්ම අවසන් වෙනවා. ආයෙත් ඒ දරුවාට දඟලන්න ඉඩක් නෑ.

දඟ ළමයි නරක ළමයි........හොඳ ළමයි කියන්නේ ලෙඩ්ඩු වගේ එක තැනකට වෙලා ඉන්න ඔතෑනි ළමයි...

කුඩා කාළයේ දරුවන් දඟලන්න, පෙරලෙන්න, නටන්න, මඩ නාන්න, දූවිලි අල්ලන්න ඕනේ කියන එක ලක් සමාජයෙන් තුරන්වෙලා. තරුණ දෙමව්පියන්ටත් ඕනෑ තමන්ගේ නෑයන්ගේ, අහල පහල උදවියගේ නැතිනම් ඔෆිස් එකේ යාලුවන්ගේ ළමයින්ට වඩා වැඩියෙන් ඇල්ෆබට් එක දන්න, වැඩියෙන් පොයම් කියන්න දන්න, එකේ ඉඳන් සීයට වෙනකන් වරද්දන්නේ නැතුව ගණන් කරන්න පුලුවන් දරුවෙක් මිසක් ළමා කාළයේ ළමයෙක් වගේ නිදහසේ සුව විඳින දරුවෙක් නෙමෙයි.

ළමයින්ට ළමා කාළය නිදහසේ ඉන්නට ඉඩදිය යුතුයි කියන ආකල්පයේ සිටින දෙමව්පියන්  මට හමුවී තිබෙනවා. ඔවුන් ඉතා සුළුතරයක්. බහුතරයට ඕනෑ ඒ.බී.සී.ඩී, වන් ටු හන්ඩ්‍රඩ් හා පොයම්ස් ම තමයි. ඒ විතරක් නෙමෙයි මේ කිරි සප්පයින්ටත් විභාග තියෙනවා. ලකුණුත් දෙනවා. ලකුණු අඩුවුනාම බැණුනුත් අහනවා. අම්මලා තමන්ගේ දරුවාගේ "පේපර් එක (උත්තර පත්තරේ)" විතරක් නෙමෙයි වෙනත් ළමයින්ගේ උත්තර පත්තරත් බලලා, අඩුපාඩු හොයාගෙන ටීචර්ලා එක්ක රන්ඩුවටත් යනවා....

විභාග මදිවට මේ ප්ලේ ගෲප් වල ගෙදර වැඩත් දෙනවා ....හෝම් වර්ක් දෙන්නේ ළමයින්ට කරන්නම නෙමෙයි ළමයින්ගේ පොත්වල අම්මලාට ගෙදරදි කරන්න.....අම්මලා හෝම් වර්ක් කරන්නේ ෆෝන් එකෙන් තාත්තලාව බුක් ෂොප් ගානේ රස්තියාදු කර කර. තාත්තලා ඔෆිස් වැඩවලින් පස්සේ බුක් ෂොප් ගානේ රස්තියාදු වෙවී පාටකොල, පින්තූර කොළ හොයන් එන්න ඕනෑ අම්මාට හෝම් වර්ක් ටික කරලා ළමයව පහුවෙනිදට ප්ලේ-ගෲප් එකට යවන්න.

සතියේ දවසක හවසට බුක් ශොප් එකක ටිකක් ඉඳලා බලන්න ටයි දාගත්ත, මහන්සියෙන් හෙම්බත් වුනු තාත්තලා ෆෝන් එක කනේ ගහගෙන පින්තූර කොළ හොයන හැටි. බැරිම තැන ෆෝන් එක කඩේ වැඩකරන ගෑනු ළමයට දෙනවා නෝනගෙන් හරියට අහගන්න කියලා.

 නැතිනම් ටීචර් ගුරුදෙගුරු පොතේ නෝටිස් එවනවා... Home work not done! කියලා. වස ලැජ්ජාවයි...

ප්ලේ ගෲප් වලින් පටන් ගන්නා මේ විකාරේ ළමයා පහේ ශිෂ්‍යත්වෙට දක්කන තෙක්ම තියෙනවා. 6යේ පන්තියෙන් පස්සේ අම්මලාට හෝම් වර්ක් කරන්න අමාරුයි. ඊට පස්සේ කරන්නේ ටියුෂන් යවන එක. බුද්ධාගමටත් ටියුෂන් පන්ති තියෙනවා, ඒ නිසා ෆීස් ගෙවන්න විතරයි තියෙන්නේ.

ස්කැන්ඩිනේවියානු රටවල් හා  යුරෝපයේ ප්‍රංශය, ජර්මනිය වගේ දියුණු රටවලත් පෙර පාසැල් කියන්නේ උගන්වන ඉස්කෝල නෙමෙයි.

පෙර පාසැල් වලින් කරන්නේ ළමයා සමාජ ජීවිතයට හා ඉදිරි පාසැල් ජීවිතයට සූදානම් කිරීම හා ඒවාට අවශ්‍ය ජීවන කුසලතා ලබාදීමයි. එහෙම නැතුව ඉගැන්වීම නෙමෙයි. උගන්වන්න පටන් ගන්නේ පළමුවන ශ්‍රේණියේ ඉඳලා.

මොනවද  පෙරපාසැල් වලින් දරුවන්ට ලබාදිය යුතු කුසලතා?

1] කතා කිරීම, ක්‍රීඩා කිරීම, නැටීම, ගැයිම, චිත්‍ර ඇඳීම (මේවා දරුවෙකුට වටිනා කුසලතා බව සළකන්න)
2] කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඉගෙනීම
3] තනිවම වැඩ කිරීමට ඉගෙනීම
4] අන්‍යෝන්‍ය අවබෝධය, බෙදාහදා ගැනීම, උපකාර කිරීම
5] ආරක්ෂිතව සිටීම - පාර පැනීම, ක්‍රීඩා පිටියේ ආරක්ෂිතව සෙල්ලම් කිරීම, පිහිණුම් තටාකයේ ආරක්ෂිතව සිටීම පංතියේ ආර්ක්ෂිතව සිටීම, අණතුරු ඇති දෑවලින් ඈත් වී සිටීම
6] ගින්නකදී, භූමිකම්පාවකදී වෙනත් ආපදාවකදී ක්‍රියාකල යුතු ආකාරය ඉගෙනීම. 
7] අණතුරකදී, අණතුරු අවදානමකදී උදව් ඉල්ලීමට උගෙනීම
8] තමන් සමග අනවශ්‍ය ලෙස කුලුපග වන්නට තැත් කරන්නන්, අතපත ගෑමට උත්සහ කරන්නන්ගෙන් ආරක්ෂාවීමට හා එවැන්නන් ගෙන් ගැළවීම සඳහා ක්‍රියාකල යුතු ආකාරය ඉගෙනීම.
9] තමන්ගේ සිරුර ගැන අවබෝධය හා එය තමන්ගේ බවත් වෙන කිසිවෙකුටත් අයත් නොවන බවත් ඉගෙනීම. 
10] යහපත් සෞඛ්‍ය පුරුදු ඉගෙනීම
11] සමාජයේදී තමන්ට උපකාරීවන පොලිස් නිළධාරීන්, සනීපාරක්ෂක සේවකයින්, තැපැල් සේවකයින්, ගිණි නිවීමේ හමුදාවේ සේවකයින්, පිහිණුම් තටාක හා ජලාශවල ජීවිතාරක්ෂකයින් ආදීන් හඳුනා ගැනීම, ඔවුන්ගෙන් උදව් ඉල්ලීමට ඉගෙනීම හා ඔවුන්ගෙන් ඉටුවන සේවය අගැයිමට ඉගෙනීම.

මේවා ඉගෙන ගන්නේ ඉතා ආකර්ෂණීය ලෙස සකස් කල පෝස්ටර්, වීඩියෝ දර්ශණ, කතාන්දර හා රඟදැක්වීම් වලින්. ඒ නිසාම ඒ පාඩම් දරුවන්ට ජීවිත කාළයේම මතක තිබෙනවා. මනස හැඩ ගස්වනවා.

එමෙන්ම සෑම පාසැලකටම ගොස් පොලීසියේ කාර්යභාරය ගැන හා ආරක්ෂිතව සිටීම ගැන දරුවන්ට කියාදෙන මහජන සම්බන්ධතා පොලිස් නිළධාරීන්, ගිණි නිවන හමුදාව හා ඔවුන්ගේ කාර්යභාරය මෙන්ම ගිණි අණතුරුවලින් ආරක්ෂිත සිටීම ගැන කියාදෙන ගිණි නිවන හමුදා නිළධාරීන්, පරිසරය ගැන, වන සතුන් ගැන කියාදෙන වනජීවී නිළධාරීන්ද මේ රටවල ඒ ඒ සේවාවන් මගින් පත්කොට තිබෙනවා. ඔවුන් පාසැලෙන් පාසැලට ගොස් දරුවන්ට තමන්ගේ රාජකාරිය ගැන කියා දෙනවා. වටිනා තොරතුරු හා උපදෙස් දරුවන්ට ගැලපෙන ආකාරයට ලබා දෙනවා.

මේ නිසා දරුවන් කුඩාකල සිටිම පොලීසිය වැනි ආයතනවලට ගරුකරන, ඔවුන්ගේ සේවාව අගයන, සමාජවගකීම් දන්න, නීතිගරුක පුරවැසියන් බවට පත්වෙනවා. තමන්ගේ ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාවේ වගකීමද ගැනීමට ඉගෙන ගන්නවා. බෙදා හදාගෙන ජීවත්වීමට, කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියාත්මකවීමට වගේම පෞද්ගලිකව තමන්ගේ වගකීම් ඉටුකිරීමටද ඉගෙන ගන්නවා. මේ සියල්ල මගින්ම දරුවන් ආත්ම විශ්වාසය ඇති, හොඳ ආකල්ප ඇති, කුතුහලයෙන් පිරුණු ඉගැනුමට ආශා දරුවන් බවට පත්කර ගන්නට උත්සහ කරනවා.

උගන්වන්න, විභාග තියන්න පටන්ගන්නේ පෙර පාසැල් මගින් අවුරුද්දක් දෙකක් මේ විධියට දරුවාව මානසිකව හා ශාරීරිකව හැඩගැස්වීමෙන් පස්සෙයි.

ප්ලේ ගෲප් එකේ ඉඳන් පහේ ශිෂ්‍යත්වේ වෙනකම් ලාංකික දරුවන්ට කරන මේ විනාසේ ප්‍රතිපල දකින්නට තියෙනවා නේද?

මොනවද මේ විනාශකාරී ප්‍රතිපල???

1] සමාජයේ තමන්ගේ වගකීම් ගැන කිසිම තැකීමක් නැති, අනෙකා ගැන නොසිතන, එසේ අනිකා ගැන සිතන්නන් දුර්වලයින් ලෙස සලකන, තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක්ම සිතන ජිවීන් කොට්ටාශයක් බවට මේ රටේ මිනිසුන් පත්වී තිබීම. 

පාරේ ඇවිදින විට, පාර මාරු වෙනවිට, වාහනයක් පදවනවිට, කුණුටික ඉවත් කරනවිට, විනෝද ගමනක් යනවිට, රජයේ කාර්යාලයකින් සේවාවක් ලබාගන්නාවිට කෙසේ හෝ වැඩය කරගැනීම මිස වගකීමකින් ක්‍රියාකල යුතුයැයි නොසිතීම.

2] අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්තිවිඳීමට කැපවීම් සිදුකල යුතු බවට විශ්වාස නොකිරීම. 

එම අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබාදීම සඳහා යන වියදමට අප දායක විය යුතු නැත. 
එම අයිතිවාසිකම් හා වරප්‍රසාද වගකීමෙන් භුක්තිවිඳිය යුතු නැත.
අයිතිවාසිකම් හා වරප්‍රසාද ඕනෑ හැටියට අපහරණය කිරීමට අපට අයිතිය ඇත.
අයිතිවාසිකම් හා වරප්‍රසාද අප අකමැති අයට ලැබීම වැලැක්වීමටද අපට අයිතිය ඇත.

3] වැරදි කිරීමට බිය නොවීම හා වැරදිකොට කෙසේ හෝ බේරී සිටින්නන් වීරයන්, දක්ෂයින් ලෙස සැළකීම. එවැන්නන් හොඳ පෞරුෂයක් ඇති අනුගමනය කල යුත්තන් ලෙස සිතන මිනිසුන් බිහිවී සිටීම. 

වැරදි කරන්නන් වීරයන් ලෙස සැලකීමට පටන් ගන්නේ පංතියේ කොපිකර ලකුණු ගත් එකාගේ වීරකම් අගයීමෙන් හා අනුගමනය කිරීමෙනි. නීති කැඩීමට ඉගෙන ගන්නේ වෙන කොහෙන්වත් නොව පාසැලෙනි. ඊට කලින් දෙමව්පියන්ගෙනි.

4] කිසිවෙකුගේ සේවය අගැයිමට නොහැකි මිනිසුන් බිහිවීම. අගැයිම, ප්‍රසංසාව, දිරිමත් කිරීම වෙනුවට විවේචන, අවඥා හා කඩාකප්පල්කාරී හැසිරීම් වලට යොමුවීම.

අප හැරෙන්නට වෙනත් කිසීවෙක් වැදගත් වැඩක් කරන්නේ, වටිනා සේවාවක් ලබා දෙන්නේ නැත. ඒ නිසා අන් අයගේ සේවාවට, ශ්‍රමයට කිසිදු වටිනාකමක් නැත. 

උන් ඔක්කොම කරන්නේ බොරු. වැඩ කරන්නේ අපි විතරයි.
උන් කරන වැඩ ඕනෑ කෙනෙකුට කල හැකිය. 
අප කරනා දෙය කල හැක්කේ අපට පමණකි.

5] නිර්මාණශීලීත්වය වේගයෙන් වියැකීගෙන යන ජාතියක් වීම. 

6] අලුතින් හිතන්නට බැරි, අනුන්ගේ හොඳ දෙයක් අඩු කොලිටියෙන් කොපි කිරීමට දක්ෂ මිනිසුන් බිහිවීම.

පත්තර, ටීවී චැනල් දෙස බලන්න
ටෙලි නාට්‍ය දෙස බලන්න
වෙළඳ දැන්වීම් දෙස බලන්න
දේශීය සමාගම් වෙළඳපොලට එවන අලුත් නිෂ්පාදන බලන්න
විහාරමහා දේවී උද්‍යානය අසල විකිණීමට තබා ඇති චිත්‍ර දෙස බලන්න
ෆේස් බුක් එකේ දේශීය මීම් (meme) දෙස බලන්න.

මේ සියල්ලම නිර්මාණශීලිත්වය අතින් නීරස, බෙළහීන, එකිනෙකා රවටමින් කරගන්නා කොපි නොවේද?

පත්තර - හැම පත්තරයක්ම දේශපාලනේ, මන්තර ගුරුකම්, විශ්මිත වෙදකම්, හාස්කම්, අතිශයොක්ති ඉතිහාස කතාවලින් පිරී තිබෙනවා නේද? අලුත් දෙයක් ගේන පත්තරයක් නැති, ටීවී චැනල් එකක් නැනි නිර්මාණිශීලිත්වයෙන් කාන්තාර රටක් නොවේද අපි?

ටෙලි නාට්‍ය - ලිවීම වචන නාස්තියකි

වෙළඳ දැන්වීම් - අඩ නිරුවත් ගෑණු හෝ ලස්සන අම්මිලා, බබාලා, කෙල්ලන් බඩු විකුණන, මෝඩ ජෝක් හා ගොන් පාට් වලින් පාරිභෝගික බුද්ධිය හෑල්ලුකරන දැන්වීම් හැර නිර්මාණශීලී දැන්වීමක් දැකපු කාලයක් මතකද?

අලුත් නිෂ්පාදන - කොපි හැරෙන්නට වෙන අලුත් දෙයක් ඇතිනම් ඒ ගාණ වැඩිවී, ප්‍රමාණයෙන් කුඩාවීම පමණක් නේද?

 විකිණීමට තබා ඇති චිත්‍ර - දැක්කම ආපහු බලන්න හිතෙන, ගන්න බැරි ගණන් වුනත්, කීයද කියලා අහන්න හිතෙන චිත්‍රයක් දැක්කා මතකද?

ෆේස් බුක් එකේ දේශීය මීම් - දේශපාලනයයි, තනිකඩයින්ගේ අඳෝනාවයි, ඇන්ටිලාගේ අනාගත හබී සෙවිල්ලයි දැන් එපා වෙලා. ෆන් එකක් තියෙන්නේ කැම්පස් කොල්ලෝ හදන මීම් විතරයි.

මේ නිසරුබව දැන් ජීවත්වන වැඩිහිටියන්ට (18-40 වයස්වල අය කිව්වොත් වැරදි නෑ මගෙ හිතේ) ඔවුන්ගේ ළමාකාළය අහිමිකරවීමේ ප්‍රතිපලයි. උපරිම නිර්මාණශීලිත්වය මේ වයස් කාණ්ඩවලදී මතුවෙනවා. ළමා කාළය අහිමිවූ, ළමා කාලය යනු කුමක්දැයි නොදන්නා ඔවුන් වඩාත් හොඳින් සිය දරුවන්ගේ ළමාකාළය උදුරාගනිමින් ඉන්නවා.

මේ විශම චක්‍රය නවත්වන්නට කාලය හරි.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...