SOCIAL : මොකක්ද මේ හැලොවීන් කියන්නේ? ඇයි එදාට වට්ටක්කා ලන්තෑරුම් පත්තුකරන්නේ?

ජැක්-ඕ-ලැන්ටර්න් ලෙස හඳුන්වන ලන්තෑරුම් වර්ගය
හැලොවීන් (Halloween) කියන වචනේ හැදිලා තියෙන්නේ "All Hallow's Evening" යන යෙදුම කෙටිකරලා. බෝහෝ රටවල් හැලොවීන් සමරන්නේ ඔක්තෝම්බර් මාසේ 31 වැනිදා එනම් හෙට. ඔක්තෝම්බර් 31 වැනිදා කියන්නේ සමහර ක්‍රිස්තියානි ඇදහිලිවල සියලු සාන්තුවරුන් "All Hallows" සැමරුම පටන්ගන්නා දිනයේ සවස් භාගයයි. එදිනම මළවුන් ඇදහීමද සිදුකරනවා. හැලොවීන් සැමරුමේ අවතාර, හොල්මන්, භූතාත්ම ආදිය පිලිඹිඹු වන්නේ මේ නිසායි.

හැලොවීන් සැමරුම සිදුවන්නේ සරත් සෘතුව, නැතිනම් අස්වනු නෙළාගෙන අවසන්ව ශීත සෘතුව ආරම්භවීමට සූදානම් වෙමින්, ගස්වල කොළ හැලෙමින් කාළගුණය ශීතල වන්නට පටන්ගන්නා අවධියයි. හැලොවීන් ආරම්භය කෙල්ටික් නම් පුරාණ  යුරෝපීය ගෝත්‍රයක් විසින් සිදුකල අස්වනු නෙළාගෙන අවසන්වීමේ උත්සව චාරිත්‍රයක් වියහැකි බවයි ඉතිහාසඥයින්ගේ විශ්වාසය.

යකඩ යුගයේ මධ්‍යතන යුගයේ (medieval) විසූ කෙල්ටික් වරුන්ගෙන් පැවත ආ, අස්වැන්නෙන් පසු මළවුන් අදහා ස්තූති කිරීම ආදී ඇදහිලි ක්‍රම, කිතුදහම යුරෝපයේ පැතිරවූ මිෂනාරීන් පූජකයින් විසින් කිතුදහමට එකතුකරගෙන එය හැලොවීන් ලෙස සාන්තුවරුන් සැමරීමේ උත්සවයක් ලෙසට අනුවර්තනය කර ගත් බවයි සැලකෙන්නේ.

හැලොවීන් සැමරුම සමගින් බැඳී ඇති වට්ටක්කා ගෙඩි වලින් සාදන බියකරු මුහුණු මෙන් පෙනෙන ජැක්-ඕ-ලැන්ටර්න් ලෙස හඳුන්වන ලන්තෑරුම් වර්ගය බිහිවූ ආකාරය පිලිබඳවද ඇත්තේ රසවත් යුරෝපීය ජනකතාවක්.

ඔක්තෝම්බර් මාසය යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වට්ටක්කා පලදාව ලැබෙන කාලය වීමද මීට රුකුලක් වන්නට ඉඩ තිබෙනවා. ජනප්‍රවාදයේ හැටියට ජැක්-ඕ-ලැන්ටර්න් ලන්තෑරුම් පත්තු කරන්නේ ජැක් නැමැත්තෙකුගේ පුරාවෘත්තයක් සිහිකිරීමටලු.

බටහිර යුරෝපය පුරා විවිධ අනුවර්තනවලින් පැතිරී ඇති ලන්තෑරුම් ජැක්ගේ පුරාවෘත්තයට අනුව ජැක් යනු ඉතා අළස එහෙත් කපටි නුවණක් ඇති කම්මල්කරුවෙක්. මහන්සිවී කම්මල්වැඩ කිරීමෙන් ජීවිකාව සරිකරගන්නවා වෙනුවට ජැක් මිනිසුන් රවටමින්, ඔවුන් සතු දෑ කපටිකමින් කඩාවඩා ගනිමින් ජීවත්වූ කෛරාටිකයෙක් වුනා.

වරක් ගම්මානයකට වැදී, ගම්මුන්ගේ වටිනා දෑ සොරාගෙන පලායමින් සිටි ජැක් ඉදිරියට පැමිණි සාතන්, ඔහු දැන් මියයායුතු බව දන්වා සිටියා. සිය කපටි නුවණ මෙහෙයවූ ජැක්, සාතන්ට පවසා සිටියේ ඔහු පසුපස හඹා එන ගම්මුන් නිතරම දෙවියන් අදහන, සාතන්ව පිලිකෙව් කරන්නන් බවත්, ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට අවස්ථාවක් සළසාදිය හැකි බවත්ය.

කපටි ජැක් සාතන්ට පවසා සිටියේ ඔහුට රිදී කාසියක් බවට පත්විය හැකිනම් (සාතන්ට ඕනෑම හැඩයක්, වේෂයක් ගත හැකිය) තමන්ට ගම්මුන්ගෙන් සොරාගත් දේවලට ගාස්තුව ලෙස එය දිය හැකි බවත්, ගම්මුන්ගේ අතට පත්වූ වහාම අතුරුදහන් වන ලෙසත්ය. එවිට රිදී කාසිය සොරාගත්තායයි එකිනෙකාට චෝදනා කරමින් ගම්මුන් ගහ මරාගනු ඇතැයි පැවසූ ජැක්, දෙවියන්ට ගරුකරන ගම්මුන්ට එය හොඳ දඬුවමක් වනු ඇතැයි ද පැවසූවා.

යෝජනාව පිලිගත් සාතන් රිදීකාසියක් බවට හැරී ජැක්ගේ සාක්කුවට පැන්නා. එහෙත් සාතන්ගේ අවාසනාවට ජැක්ගේ සාක්කුවේ ඔහු ගම්මුන්ගෙන් සොරා ගත් පූජනීය කුරුසියක්වූ අතර එය නිසා සාක්කුවට පැනගත් සාතන්ගේ බලය අහෝසිවී ඔහු කාසියක් ලෙසම ජැක්ගේ සාක්කුවේ හිරවුනා.

හැලොවීන් සැරසිළි
තමන්ව නිදහස් කරන ලෙස බැගෑපත්වූ සාතන්ව නිදහස් කිරීමට ජැක් එකඟවුනේ යලි කිසි දිනක තමාගේ ආත්මය ලබා නොගන්නා බවට සාතන්ගෙන් පොරොන්දුවක් අරගෙනයි. වයස්ගතවී මියගිය ජැක්ට ඔහු කල පවුකාරකම් නිසා දෙව්ලොව වරම් අහිමිවූ අතර ඔහුගේ ආත්මය කිසිදා ලබා නොගන්නා බවට වූ පොරොන්දුව නිසා සාතන් ඔහුව අපායෙන්ද පන්නාගත්තා. සාදාකල් අඳුරෙන් වැසී ඇති දෙව් ලොවත් පරලොවත් අතර අතරමංවූ ජැක් සිය නිවසට යන පාර සොයාගන්නේ කෙසේදැයි සාතන්ගෙන් ඇසූ විට සාතන් අපායේ සදාකල් දැල්වෙන හේඩීස්ගේ ගිණි මැළයෙන් සදාකල් නොනිමෙන අඟුරු කැටයක් ජැක් වෙත විසිකලා.

මේ අඟුරු කැටය වට්ටක්කා ගෙඩියක් හාරා එය තුලට දමාගත් ජැක්, එයින් ලන්තෑරුමක් සාදාගෙන තමන්ව බාරගන්නා තැනක් සොයමින් ලෝකය පුරාම ඉබාගාතේ ඇවිදින්නට වුනා. ලන්තෑරුමක් අරගෙන ඇවිදින ජැක් හෙවත් ජැක් ඔෆ් ද ලැන්ටර්න් පසුව ජැක්-ඕ-ලැන්ටර්න් වූ බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ. මළවුන්ගේ රාත්‍රියවන හැලොවීන් රාත්‍රියේ ඉබාගාතේ ඇවිදින ජැක්ට පාර පෙන්වීම සඳහා ජැක්ගේ ලන්තෑරුම වැනි වට්ටක්කා ලන්තෑරුම් සෑම නිවසකම දල්වනවා.

ජැක් ලන්තෑරුම් තැනීමට අමතරව මළවුන්, අවතාර මෙන් ඇඳුම්වලින් සැරසී සාදවලට යාම, ට්‍රික්-ඕ-ට්‍රීට් හෙවත් නිවෙස් වලට ගොස් දොරට තට්ටු කර රසකැවිලි ඉල්ලා ගැනීම, අපාගේ හේඩීස්ගේ ගිණිමැළය සිහිවීමට ගිණිමැළ පත්තු කිරීම, අන් අය බිය වද්දන කවටකම් කිරීම ආදීය විවිධ රටවල ළමයින් විසින් සිදුකරනවා.

ආගමික කටයුතුවලට නැඹුරු යුරෝපීය  වැඩිහිටියන් හැලොවීන් දින සවස දේවස්ථානවලට ගොස් දෙවියන් යැදීම, මියගිය ඥාතීන්ගේ සොහොන්වල ඔවුන් සිහිකොට ඉටිපන්දම් පත්තු කිරීම ආදිය සිදුකරනවා.

හැලොවීන් රාත්‍රියේ භූතාත්ම ඇඳුම්වලින් සැරසී රසකැවිලි එකතුකරමින් යන ලමයි.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments