CHRISTIANITY : අසිරිමත් නත්තලේ සංකේතයවූ සාන්ත නිකලස් මුණිතුමාගේ සොහොන් ගැබ සොයා ගැනේ?

ඊශ්‍රායලයේ සිනායි ප්‍රාන්තයේ සාන්ත කැතරින් දේවස්ථානයේ ඇති සාන්ත නිකලස් රුව. 13 වැනි ශතවර්ෂයේදී අඳින ලදැයි සැළකේ.
සාන්ත නිකලස්, සැන්ටා ක්ලෝස්, සින්ටර්ක්ලාස් (ඕලන්ද), ෆාදර් ක්‍රිස්මස් (පැරණි බ්‍රිතාන්‍ය) ආදී නම් වලින් හැඳින්වෙන ලංකාවේ නත්තල් සීයා, කිතු උපත සැමරෙන නත්තල හා තදින් බැඳී පවතින සම්ප්‍රදායානුකූල චරිතයක්. නත්තලේ සතුට කුඩා දරුවන් වෙත ගෙන එන නත්තල් සීයා අද වනවිට උත්තර ධ්‍රැවයේ සිට පිනිමුවන් අහසින් ඇදගෙන යන කරත්තයකින් තෑගි ගෙනෙන ඉන්ද්‍රජාලික තැනැත්තෙකු බවට ප්‍රතිරූපනය කර ඇතත් ඔහු සැබැවින්ම ජීවත්වූ, බොහෝ පුණ්‍යක්‍රියා කල කිතු පූජකවරෙක්.

ක්‍රි.ව 270දී සුළු ආසියාවේ මයිරා ප්‍රදේශයේ (නූතන තුර්කියට අයත් ඩෙම්රී ප්‍රදේශය ) උපත ලැබූ සාන්ත නිකලස් පුරාණ ලිඛිත වාර්තාවලට අනුව මයිරාවේ නිකලස් ලෙසින් හැඳින්වූවා. එපිෆේනියස් හා යොහැනා යන ධනවත් දම්පතීන් දෙපලට දාව උපන් නිකලස් කුඩාකල සිටම ඉතාමත් ශ්‍රද්ධාවන්තවූ බව පැවසෙනවා. නිකලස් කුඩාකලම මව්පියන් අහිමිවූ අතර ඔහුව හදාවඩාගෙන ඇත්තේ බිෂොප්වරයෙකු වූ මාමා කෙනෙකු විසින්. ඔහු කුඩා නිකලස්ට දහම් පතපොත කියවීමට හුරුකොට පසුව කිතුසසුනට බඳවා ගත්තා. නිකලස් ඔෆ් මයිරා නමින් ප්‍රසිද්ධවූ ඔහු ඒ පලාතේ බිෂොප් වරයා ලෙසද පත්වූවා.

පුරාණ රෝම අධිරාජ්‍යයේ කොටසක්වූ මයිරාව සංකෘතිකමය වශයෙන් ග්‍රීක සම්භවයක් තිබූ පෙදෙසක් වූවා. ඓතිහාසික වාර්තාවලට අනුව රෝම අධිරාජ්‍ය පලමුවැනි කොන්ස්ටන්ටයින් විසින් ක්‍රි.ව. 325දී සංවිධානය කරන ලද චිරස්ථාපිත කතෝලික නිකායවල පලමු ධර්මසංඝායනාවට (First Council of Nicaea) නිකලස් ඔෆ් මයිරා ලෙසින් ශාන්ත නිකලස් තුමා සහභාගීවී ඇති අතර මේ සංඝායනාවේදී චිරස්ථාපිත කතෝලික දහමේ (Orthodox Church) පිලිගත් කොටස් හා විශ්වාස හා ඇදහිලි පිලිබඳ විස්තර ඇතුලත් Nicene Creed ප්‍රකශයටද සාන්ත නිකලස් තුමා සිය අත්සන තබා තිබෙනවා.

ශාන්ත නිකලස් මුණිතුමා හා සම්බන්ධ ප්‍රාතිහාර්ය හා වෙනත් අසරණ සරණ ක්‍රියාවන් පිලිබඳ ප්‍රවාද

ශාන්ත නිකලස් මුණිතුමා වඩාත්ම  ප්‍රසිද්ධ වන්නේ ඔහු විසින් දුප්පතුන් අරභයා සිදුකල අසරණ සරණ සේවාවන්ය. ධනවත් පවුලක උපත ලැබූ නිසා හා බිශොප්වරයෙකු වූ නිසා ගලා ආ ධනය උන්වහන්සේ දුප්පතුන්ට හා උපකාර ඇවිසි අයට බෙදාදුනි. සිය උපකාරය ඇවැසි අය රාත්‍රියේ එලියේ තබා තිබූ මෙස් එකකට කාසි දමා යාම මින් එක් පරෝපකාරයකි. නත්තල්දා රාත්‍රියේ සාන්ත නිකලස් තුමාට තෑගි තබා යාම සඳහා ගිණි උදුන අසල මේස් එකක් එල්ලා තැබීමේ සම්ප්‍රදාය මේ අනුව ආරම්භවූ බව සිතිය හැකිය.

මෙතුමාගේ තවත් සුප්‍රසිද්ධ පරිත්‍යාගශීලී ක්‍රියාවක් වන්නේ දියණියන් තිදෙනෙකු සිටි දුගී තැනැත්තෙකුට කල උපකාරයයි. දුප්පත් බැවින් දෑවැද්දක් නොදීමේ හැකියාව නිසා ඔහුගේ දියණියන් තිදෙනාට අවිවාහකව කල් ගෙවන්නට සිදුවිය. අවිවාහක ගැහැණුන් කලකදී ගණිකාවෘත්තියට පෙළබීමේ සම්භාවිතාවයක් තිබූ අතර එවැනි ජීවිතයකට නොපිවිසි අවිවාහක ගැහැණුන් පවා ගණිකාවන් ලෙස සැළකීමට එකල සමාජය පුරුදුවී තිබුණි. මේ පවුලට උපකාර කිරීමට සාන්ත නිකලස් මුණිතුමාට අවශ්‍යවූ නමුත් ප්‍රසිද්ධියේ උපකාර කිරීමට යාමෙන් අනවශ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම හා  ඒ පවුලේ දුගීබව ප්‍රචලිතවීම යන කරුණු නිසා රාත්‍රියේ මේ පවුල විසූ නිවසේ ජනේලයකින් රන් කාසි පසුම්බියක් ඇතුලට වීසිකර යාමට සාන්ත නිකලස් පුරුදුවිය. එමෙන්ම ඒ පවුලේ එක් තරුණියක් සෝදා වේලෙන්නට ජනේලයේ එල්ලා තිබූ මේස් එකකට මේ පසුම්බියක් වැටුනු බවටද ජනප්‍රවාදයක් ඇත.

ක්‍රි.ව. 311–312 කාලය මයිරා ප්‍රදේශයට මහත්වූ දුර්භික්ෂ යුගයක්වූ අතර ආහාර අහේනිය නිසා ජනයා මිය යන්නට විය. මේ කාලයේ මයිරා වරායට තිරිඟු මළු පුරවාගත් නැවක් පැමිණියේය. නැවේ ගමනාන්තය වූයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ නැව් තොටයි. සාන්ත නිකලස් වරායට ගොස් නැවියන්ට ප්‍රදේශයේ දුර්භික්ෂය ගැන කියා තිරිඟු මළු වලින් කොටසක් ගොඩබා යන්න යයි ඉල්ලීමක් කලේය. එහෙත් නැවියන් ඊට මැළිවූයේ ගමනාන්තයේදී ගොඩබෑමේදී මේ මලුවල අඩුපාඩුවක් ඇතිවීමෙන් ඒවා සොරකම් කලා යයි දඬුවම් විඳින්නට සිදුවේයයි බියෙන්. එහෙත් නිකලස් තුමා ඔවුන්ට පොරොන්දුවක් දී ඇත්තේ තිරිඟුමලු කොටසක් ගොඩබා යන ලෙසත්, කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යායගේ උදහසට ඔවුන් ලක්නොවීමේ වගකීම තමන් භාරගන්න බවට පොරොන්දුවක් දෙමිනි.

ජනප්‍රවාදයේ හැටියට මයිරාවේ වැසියන්ට වසරකට ඇතිවන තරමේ තිරිඟුමළු තොගයක් ගොඩබා නැව පිටත්ව ගොස් ඇති අතර ගමනාන්තයේදී එහි තිරිඟුමළු ගොඩබෑමේදී කිසිදු අඩුපාඩුවක් ඇති නොවූ බව නැවියන්ට වැටහුනි. මෙය ශාන්ත නිකලස් මුණිතුමා හා සබැඳි එක් ප්‍රාතිහාර්ය ක්‍රියාවක් ලෙස සැලකේ. ජේසුතුමන් ඉපැදි හා දහම් දෙසූ ජෙරුසලම හා වෙනත් පූජනීය ස්ථාන වැඳපුදාගැනීම සඳහා ඊජිප්තුවට අයත් නැවකින් ගමන් කිරීමේදී නැවැ දැවැන්ත කුණාටුවකට හසුවූ අතර එහි ගමන්ගත් එක් නැවියෙක් කුඹගසෙන් ඇදවැටී මරණයට පත්විය. තමන් මියයනු ඇතැයි දැඩිලෙස කළබලවූ නැවියන් තමන් බේරාගන්නට යාඥාකරන ලෙස සාන්ත නිකලස් මුණිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. නැවියන්ට බිය නොවන ලෙස කියූ මුණිතුමා දෙවියන්ට යාඥා කල අතර කුණාටුව නැවතී මුහුද සන්සුන්විය. මිය ගිය නැවියාගේ දේහය අසලට විත් යාඥාකල ශාන්ත නිකලස් තුමා යාඥාවේ බලයෙන් ඔහුට යලි ජීවිතය ලබාදුන් බව පැවසේ.

වසර 73ක් ආයු වැළඳූ ශාන්ත නිකලස් මුණිතුමා ක්‍රි.ව 343දී ස්වර්ගස්ථවූ අතර ඔහුගේ මෘතශරීරය මයිරාහි ශාන්ත නිකල මුණිතුමා බිශොප්වරයෙකු ලෙස දේවකාරියේ නියැලුනු දේවස්ථානයේ මිහිදන් කරනලද බව පැවසේ. තුර්කියේ ඩෙම්රී නුවර  අදද දකින්නට ඇති පෞරාණික ශාන්ත නිකලස් දේවස්ථානය ක්‍රි.ව 520දී, පැරණි ශාන්ත නිකස්ල් මුණිතුමා ජීවත්වූ හා දෙන මිහිදන්කොට ඇති දේවස්ථානයේ නටබුන් මත ඉදිකරන ලද බව පැවසෙනවා.

තවත් ජනප්‍රවාදයකට අනුව 11වැනි ශවර්ශයේදී (ක්‍රි.ව. 1071) මුස්ලිම් ඕටෝමාන් අධිරාජ්‍යයට මයිරා ප්‍රදේශය යටත්වූ අතර මුසල්මානුවන්ගෙන් ශාන්ත නිකලස් දෙනට හානියක් වේ යයි යන බියෙන් ඉතාලි වෙළඳුන් පිරිසක් මයිරාඩ් දේවස්ථානයේ ශාන්ත නිකලස් දෙන හාරා එහි ධාතූන් වලින් විශාල ප්‍රමාණයක් රැගෙන ඉතාලියට ගොස් එහි අභිනවයෙන් ඉදිකල Basilica di San Nicola නම් දේවස්ථානයේ තැම්පත් කරන ලද බව පැවසෙනවා.

ඩෙම්රී නුවර  අදද දකින්නට ඇති පෞරාණික ශාන්ත නිකලස් දේවස්ථානය






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments