HAPPY NEW YEAR 2018 : රස්සාවෙන් අස්වෙලා අලුත් එකක් හොයාගන්න හිතනවද? එහෙනම් හදිසි නොවී මේ ප්‍රශ්ණ තමුන්ගෙන්ම අහලා ඉන්න!


දැන් කරන රස්සාව ගැන තෘප්තියක් නැති, එහෙමත් නැතිනම් ආයතනය තමුන්ට හරියට සලකන්නේ නෑ කියලා හිතන අය අලුත් අවුරුද්දේ කොහොම හරි වඩා හොඳ රස්සාවක් හොයා ගන්නවා කියලා අලුත් අවුරුදු රෙසොලූෂන් එකක් අරගෙන ඇති.

සේවකයින්ට සළකන්න දන්නේ නැති, උද්දඡ්ච මැනේජර්ලා, බොස්ලා ඉන්න තැන් වලින් අයින් වෙලා යන එක හොඳයි. එයාලා පාඩමක් ඉගෙන ගන්නේ ප්‍රයිවට් බස් එකක මිනිස්සු නගිනවා බහිනවා වගේ නිතරම හිටපු අය අස්වෙලා ගිහින් අලුත් අලුත් අය වැඩට ගන්න වෙනකොට. 

මේ ලිපිය ලියන්න හිතුනේ බිස්නස් ඉන්සයිඩර් ව්‍යාපාරික සඟරාවේ පලවෙලා තිබුණ ලිපියක් කියවීමෙන් පස්සෙයි. නත්තල් නිවාඩුවේ ගෙදර ඉන්න ගමන් අලුත් අවුරුද්දේ කරන්න යන දේවල් සැලසුම් කරන ඔබට, රැකියාව ගැන තීරණයක් ගනිද්දි මේ කරුණු වැදගත් වෙයි කියලා හිතනවා. කරුණු දෙකක් ගැන කතා කරන්නයි බලාපොරොත්තුව.

1] මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව වැඩිකල් නොරැඳිය යුතු සමාගම් හඳුනාගන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා කතාකරමු.

2] දෙවනුව බිස්නස් ඉන්සයිඩර් සඟරාව කියන විධියට රස්සාවෙන් අස්වෙන්න ඕනෙද නැද්ද කියලා තීන්දුවක් ගන්නකොට තමුන්ගෙන්ම අහගන්න ඕනෑ වැදගත් ප්‍රශ්ණ 5ක් ගැන විස්තර දැනගනිමු




විද්‍යා ගවේෂණගේ අත්දැකීම් වලට අනුව - වැඩිකල් නොරැඳිය යුතු සමාගම් 

1] පහලින් ඉන්න සේවකයන් ගැන තැකීමක් නැති, ඔවුන් මෝඩයින්, කම්මැලියන් ලෙස සිතන නොහික්මුණු, උද්දඡ, මැනේජර්ලා ඉන්න සමාගම්. 

මොවුන් හැසිරෙන්නේ එයලා සියල්ල දන්න, සුපිරි හැකියාව ඇති, සුපර් මෑන්ලා නැතිනම් වොන්ඩර් වුමන්ලා විධියට. මේ මැනේජර්ලා මෙහෙම හැසිරෙන්නේ එයාලට උඩින් ඉන්න සීනියර් එක්සෙකටිව්ලා නැතිනම්  ඩිරෙක්ටර්ලා මේ හැසිරීම් වලට අනුබල දෙන නිසා, නැතිනම් දැන දැන අහක බලාගෙන ඉන්න නිසා. 

මේ ලක්ෂණ පෙන්වන්නේ ඔබ රිපෝට් කරන මැනේජර් පමණක් වෙන්න පුලුවන්, සමහර විට හැම මැනේජර් කෙනෙක්ම එහෙම වෙන්නත් පුලුවන්. 

මේවගේ සමාගම් වල දිගටම ඉන්න එක හොඳනෑ. තමුන්ගේ ආත්ම ගෞරවයට හානිකරන, ගරහන තැන් වල ඉන්න එපා. එහෙම ඉන්න කොට තමුනුත් ඒ කාළකන්නි ගතිවලට ඇබ්බැහි වෙන්න පුලුවන්, ඒවගේම තමුන්ගේ හැකියාවන් හා වටිනාකම් ගැන තමුන්ට ඇති ආත්ම විශ්වාසය කඩා වැටෙන්න පුලුවන්.

2] ආයතනයේ ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වය නිතර වැරදි තීන්දු, තීරණ හා උපායමාර්ග ගන්නා අතර, ඒවායින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබීමේ හා සිදුවන මූල්‍ය හා වෙනත් පාඩු වල වගකීම සැමවිටම පහලින් සිටින දෙවෙනි තුන්වෙනි පෙල කළමණාකරුවන් හා සේවක සේවිකාවන් මත පටවන සමාගම්.

මේවගේ සමාගම්වල ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වය හා අධ්‍යක්ෂක මණ්ඩළය හැමවිටම කියන්නේ එයාලාගේ උපායමාර්ග හා තීන්දුවල වැරැද්දක් නැති බවත්, අපේක්ෂිත ප්‍රථිපල නොලැබෙන්නේ එම තීන්දු හා උපායමාර්ග පහලින් සිටින අය නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම නිසා බවත්.

ඔබ සේවය කරන්නේත් මේවගේ සමාගමටකට නම් වැඩිකල් ඉන්න එපා. කවදාක්වත් දියුණු වෙන්නේ නැති, හොඳ පඩියක්, ලොකු බෝනස් එකක්, උසස්වීමක් ලබාගන්න බැරි, කොච්චර වැඩ කරත් හොඳක් අහගන්න නැති මේ වගේ තැන් සෝදාපාලුවෙලා යන්න ඉස්සෙල්ලා පැනගන්න.

3] සේවකයින්ට ලුණු කැඳ බෙදමින්, ලොකු ලොකු පිඟන්වලට බුරියානි බෙදාගෙන තනිවම කන අධ්‍යක්ෂක මණ්ඩල හා ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වයක් සිටින සමාගම්.

සේවකයින්ට ගෙවන්නේ අඩුපඩි. වැටුප් වර්ධක හා වෙනත් දීමනා ඉල්ලුවම එයාලා මීටින් ගොඩක් තියලා, ඩිරෙක්ටර් බෝඩ් එකෙත් ඩිස්කස් කරලා අන්තිමට කියන්නේ වැඩි වැටුප් දෙන්න ආයතනයේ ආදායම මදි, ආදායමට සාපේක්ෂව පිරිවැය වැඩියි, අලෙවිය මදි වගේ කතා.

හැබැයි එහෙම කියන කොට එයාලා පිලිගන්නේ නෑ, අලෙවිය වැඩි කරන්න, ලාභය වැඩි කරන්න, පිරිවැය අඩු කරන්න, ආයතනය වර්ධනය කරන්නට උපායමාර්ග හා සැලසුම් හදලා, සේවකයින් මෙහෙයවන එක එයාලාගේ මුඛ්‍ය වගකීම කියලා. ආයතනයේ වැරදි සියල්ලටම වග කියන්න ඕනෑ සේවකයින් බව නොකියා කියමින්, පුලුවන් තරමට තමයි දෙන්නේ කියලා පෙන්වනවා. 

හැබැයි සේවකයින්ට එහෙම සලකන ගමන්ම;

i. අධ්‍යක්ෂක මණ්ඩලයේ / ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වයේ අය හැමෝම මාසෙකට දෙකකට සැරයක් රට යනවා. ගුවන් ටිකට්, හෝටල් බිල්, ගමන් වියදම් කොම්පැණියෙන් අරගන්නවා. එහෙම රට ගියා කියලා ආයතනයට අලුතෙන් අරගෙන එන ගැනුම් කරුවන්, අලුත් තාක්ෂණය, අලුත් දැනුම, අලුත් ආයෝජන කියලා දෙයක් නෑ. සමහර වෙලාවට රට යන්නේ පවුල් පිටින්. බිල් කොම්පැණියෙන්.

ii. අධ්‍යක්ශක මණ්ඩලයට, ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වයට අලුත් අලුත් කාර් ලැබෙනවා. අවුරුදු දෙකකට තුනකට වතාවක් වාහන මාරු කරනවා. වාහන ලීසින්, සර්විස්, රෙපයාර්, ඩ්‍රයිවර්ලාගේ පඩි කොම්පැණියෙන් ගෙවනවා.

iii. කොම්පැණියෙ ඩිරෙක්ටර්ලට, ලොකුම එක්සෙකටිව්ලට කොළඹ තියෙන ලොකු ලොකු ක්ලබ්වල, වෙළඳ සංගම්වල, ඩිරෙක්ටර්ස් ඇසෝසියේෂන් වල, ට්‍රේඩ් ඇසෝසියේෂන් වල සමාජිකත්වය තියෙනවා. ඒවාට අවුරුද්දකට රු.75,000 ඉඳන් 150,000 වෙනකන් සාමාජික ගාස්තු කොම්පැණියෙන් ගෙවනවා. ඒවා වල කනබොන කොටත්, කොන්ෆරන්ස් තියෙනකොටත් බිල එන්නේ කොම්පැණියටමයි. හැබැයි ඒ කිසිම දේකින් කොම්පැණියට වාසියක්, ලාබයක් එන්නේ නෑ. බිල් ගෙවනවා විතරයි.

iv. ලොකු ලොක්කන්ගේ ගෙවල් කුලී, ළමයින්ගේ ඉන්ටර්නැෂනල් ස්කූල් ෆීස්, ගෙදර ලයිට් බිල්,වතුර බිල්, ටෙලිෆෝන් ඉන්ටර්නෙට් බිල්, ජිම් එකේ, ස්විමින් පූල් එකේ ගාස්තු පවා ගෙවන්නේ කොම්පැණියෙන්. ඒවාට කියන්නේ ඩිරෙක්ටර්ලට, සීනියර් එක්සෙකටිව්ලට සමාගමෙන් ලබාදෙන "ෆින්ජ් බෙනිෆිට්ස් - අමතර වාසි/පහසුකම්" කියලයි. හැබැයි ඉතින් ප්‍රොෆෙෂනල් විභාගයක් කරන කොල්ලෙක් කෙල්ලෙක් එක්සෑම් ෆීස් ගෙවාගන්න පොඩි උදව්වක් ඉල්ලුවොත්............ඉල්ලලම බලන්නකෝ...

ඔබ සේවය කරන්නේත් මේවගේ සමාගමටකට නම් වැඩිකල් ඉන්න එපා.  මේ සමාගම් වල ලොකු ලොක්කෝ ජීවත්වෙන්නේ සමාගමේ සාරය උරාගන්න විතරයි. සමාගම දියුණු කරන්න, ආයෝජනය කරන්න, උඩට ගන්නන්න එයාලට උවමනාවක් නෑ. එයාලගේ බිල් ගෙවාගන්න තරම් ආදායමක් ආවහම එයාලට හොඳටම ඇති. ඉක්මණට හොඳ තැනක් හොයාගෙන අස්වෙලා යන්න.

Business Insider සඟරාවට අනුව රස්සාවෙන් අස්වෙන්න තීරණය කරන්න ඉස්සෙල්ලා තමුන්ගෙන්ම අසාගන්න ඕනෑ ප්‍රශ්ණ 5ක්

1] දැනට ඔබ මුහුණ දෙන ගැටලුව තාවකාලික එකක්ද, නැතිනම් දීර්ඝකාලීන එකක්ද කියන එක?

ඕනෑම රැකියාවක, වෘත්තියක කාලෙන් කාලෙට එක එක ගැටලු පැන නැගිනවා. ඒවා සමහර වෙලාවට දැඩි ආතතියක් ගෙන එනවා. දැඩි පීඩනයක් එල්ල වෙනවා. ඉහල නිළධාරීන් සමගත් අනවබෝධ ඇතිවෙන්න පුලුවන්. ඒත් ඔබ සිතිය යුත්තේ මේ සිදුවීම් අවසානයක් දකින්නට පුලුවන් ඒවාද නැතිනම් අවුරුදු ගණනාවක් පැවතිය හැකි ඒවාද කියන එක.

2] ගැටලුව ආයතනයේ කළමණාකාරිත්වයේ ආකල්ප, කර්මාණ්තයට සිදුවී ඇති පසුබෑම වැනි යමක් නිසා ඇතිවීද? එසේත් නැතිනම් වැඩකිරීමට අපහසු කළමණාකරුවන් හෝ කණ්ඩායම් සාමාජිකයින් වැනි පහසුවෙන් වෙනස් කල නොහැකි දේවල් නිසා ඇතිවී ඇත්ද?

මෙවැනි අවස්ථාවලදී සෘණාත්මක බලපෑම දීර්ඝකාලීන වෙන්න පුලුවන්. 

අධ්‍යක්ෂක මණ්ඩලය වැරදි තීන්දු ගන්න, ආයෝජනය නොකරන, ඉදිරි දැක්මක් නැති අයවලුන්ගෙන් සමන්විත නම්, එහෙමත් නැති නම් ඔබගේ කර්මාණ්තය (industry) දැන් කඩාවැටීගෙන යනවානම් තව දුරටත් රැඳී සිටීම ගැන හිතා බලන්න.

ඒවගේම වෙනස් කරන්න අපහසු දේවල් තමයි ඔබ සේවය කල යුතු කළමණාකරු නැතිනම් කණ්ඩායමේ සාමාජිකයින්. 

මෙයාලාව වෙනස් කරන එක බොහෝම අමාරුයි. මැනේජර් කෙනෙක් කොතරම් වැරදි කෙරුවත් ගොඩක් සමාගම් වල මැනේජර් කෙනෙක් වෙනස් වන්නේ කලාතුරකින්. ඒවගේම ටීම් මෙම්බර්ලා. වැඩ කරන්න අමාරු, මහා ගෝතකරුම වගේ ටීම් මෙම්බර්ලා වුනත් අයින් කරන්න බෑ. හරියට කල් ගතවෙන, පැමිණිල්ල කරන කෙනාට වැඩියෙන් ලෙඩ වැටෙන දේවල් ඕවා.

ඒකට හේතුව මොකක්ද දන්නවාද? චාටර් මැනේජර්ලා, චාටර් ටීම් මෙම්බර්ලා අරගන්න සමාගමේ වෙනත් කිසිම දෙපාර්තමේන්තුවක්, ටීම් එකක්, බ්‍රාන්ච් එකක් කැමති නෑ. ලේබර් ලෝ එක අනුව අස්කරන්නත් බැරි නිසා ඔහෙ තියාගෙන ඉන්නවා. ඉතින් ඔබට වැඩ කරන්න වෙලා තියෙන්නේ අපහසු මැනේජර්ලා, ටීම් මෙම්බර්ලා එක්ක නම් යන එක හොඳයි

3] ඔබට ලැබී ඇති කාර්යසාධන ඉලක්ක ලඟාකර ගැනීමට අපහසු, අතාත්වික ඒවාද?

එසේනම්, අතාත්වික ඉලක්ක හඹාගොස් අසාර්ථක සේවකයෙක් යන ලේබලය අලවාගන්නවාට වඩා සාධනීය කාර්යසාධන ඉලක්ක ලබාදෙන සමාගමකට එක්වෙන්න.

4] ඔබගේ පෞද්ගලික වටිනාකම්, ආයතනයේ වටිනාකම් හා සැසඳෙන්නේ නැති අවස්ථාවක් උදාවී ඇත්ද?

සමහරවිට ආයතනය සිය වටිනාකම් හා ක්‍රියාපිලිවෙත් වෙනස් කරගැනීම නිසා මෙතෙක් කල් ඔබගේ පෞද්ගලික වටිනාකම් හා ආයතනයේ වටිනාකම් අතර තිබූ සමපාතවීම අහෝසිවීමට පුලුවන. එසේ නොමැතිනම් යම් කිසි සිදුවීමක් හෝ සිදුවීම් දාමයක් නිසා ඔබගේ පෞද්ගලික වටිනාකම් වෙනස්වී යාමෙන් එය ආයතනයේ වටිනාකම් හා නොපෑහෙන බවක් ඇතිවී තියෙන්න පුලුවන්.

වටිනාකම් නොපෑහීම සේවය කිරීමේදී ඉතාමත් පීඩාකාරී බවක් ඇතිකරයි. 

උදාහරණයක් ලෙස ඔබ සමානාත්වතාවය හා ස්ත්‍රී පක්ෂයට සාධාරණව හා ගෞරවණීය සැලකීම පෞද්ගලික වටිනාකමක් ලෙස ඇති පුද්ගලයෙකු විය හැකිය. සමාගමේ සිදුවූ කළමණාකාරිත්ව වෙනසක් නිසා දැන් පත්වී ඇති ජේෂ්ඨ විධායකයින් ස්ත්‍රී පක්ෂයට අවමන් කරන, ගරු නොකරන, සමානාත්මතාවය වෙනුවට වෙන්කොට සැලකීම ප්‍රගුණ කරන්නට පටන්ගත්තේනම් ඔබට ඒ ආයතනයේ සේවය කිරීම ඉතාමත් අපහසු වනු ඇත.

5] විකල්ප තිබේද? ඒ මොනවාද?

ආයතනය තුල වෙනත් දෙපාර්තමේන්තු, සහෝදර සමාගම් හා ශාඛා තිබෙන්නට පුලුවන. ඒවා තුල ඔබට සරිලන ඇබෑර්තු තිබෙන්නටද පුලුවන. එසේනම් අභ්‍යන්තර මාරුවක් ඉල්ලාගෙන ආයතනයේම සිටිමින් ඔබට ගැටලුකාරී වන පරිසරයෙන් මිදීමට හැකිවේ. මෙය අවදානම අතින් අවම අවදානමක් ගෙනදේ.

වෙනත් ආයතනවල ඔබට සරිලන ඇබෑර්තු තිබේද? ඔවුන්ගේ පඩිනඩි හා සැළකුම් කෙසේද? ඔවුන් බලාපොරොත්තුවන අන්දමේ කාර්යසාධනයක් ඔබට ලබාදිය හැකිද? ඔවුන්ගේ ආයතන සංස්කෘතියට හැඩ ගැසීමට ඔබට පුලුවන්ද? මේවා සොයා බලන්න. විශේෂයෙන්ම ඔබ ඉලක්ක කරන ආයතනයේ දැනට සේවය කරන්නන් හෝ සේවය කොට ඉවත්ව ගිය අයගෙන තොරතුරු දැන ගන්න.


මම මුලින් මගේ අත්දැකීමෙන් කියූ කරුණුත්, මේ කාරණා 5ත් ගැන හොඳට හිතලා බලලා, පරිස්සමෙන්, කළබල නොවී රැකියාව ගැන තීන්දුවක් ගන්න.

රැකියා ඇබෑර්තු ගැන සොයා බලන්න ඕනෑනම් ටොප් ජොබ්ස් වෙබ් අඩවියේ රැකියා විශාල ප්‍රමාණයක ඇබෑර්තු තියෙනවා. ගොඩක් ආයතන තමන්ගේ ඇබෑර්තු ටොප් ජොබ්ස් වෙබ් අඩවියේ ප්‍රචාරය කරන්න පටන් අරගෙන.


සැ.යු: ටොප් ජොබ්ස් අඩවිය හා මා අතර කිසිදු සබඳතාවයක් නොමැත.

I wish successful  job hunting for all of you looking for new jobs in 2018!!!



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

Post a Comment