TECH INDUSTRY : Google I/O 2018 වාර්ෂික තාක්ෂණික සම්මන්ත්‍රණය


Google I/O ලෙසින් හැඳින්වෙන ගූගල් සමාගමේ වාර්ෂික තාක්ෂණික සම්මන්ත්‍රණය පසුගියදා කැලිෆෝනියාවේ Shoreline Amphitheater එලිමහන් රංගපීඨයේදී පැවැත්වුනා. මෙය ශ්‍රී ලංකාවද ඇතුලුව ලෝකයේ රටවල් ගණනාවකට සජීවීව විකාෂණය කරන්නට ගූගල් සමාගම කටයුතුකොට තිබුණා.

පසුගිය වසරේ මෙන්ම මෙවරත් I/O සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය (Keynote Speech) සිදුකලේ ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි විසිනුයි. ඊලඟ වසර සඳහා ගූගල් සමාගමේ ප්‍රධාන ප්‍රයත්න මෙන්ම පසුගිය වසරේ සිට මේ දක්වා ලබා ඇති ප්‍රගතියද විස්තර කල සුන්දර්, මින් ඉදිරි වසර කිහිපය, ගූගල් සමාගම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් කුළු ගැන්වෙන, එම තාක්ෂණය මගින් භාවිතාකරන්නන්ගේ ජීවිතය වඩාත් පහසුකල හැකි තාක්ෂණයන් කෙරෙහි විශාල අවධානයක් යොමු කරන බව සඳහන් කලා. ගූගල් සමාගමේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වෑයමේ අලුත්ම නිර්මාණ හා වැඩිදියුණු කිරීම් කිහිපයක් හඳුන්වා දීමට සුන්දර් හා ඔහුට පසුව දේශන සිදුකල ගූගල් සමාගමේ විවිධ ප්‍රධානීන් ක්‍රියාකලා.


Google Assistant

ගූගල් ඇසිස්ටන්ට් ලෙස හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි සහයක යන්ත්‍ර දැන් වෙළඳ පොලේ තිබෙනවා. Google Assistant කෘත්‍රිම බුද්ධි සහයකයා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝනයේ ඇප් එකක් ලෙසින් මෙන්ම, නිවසේ අන්තර්ජාලයට සම්බන්ධ වන වෙනම උපාංගයක් ලෙසින්ද මිලදීගත හැකියි.

මේවා ඇමසන් ඇලෙක්සා හා ඇපල් හෝම්පොඩ් කෘත්‍රිම බුද්ධි සහයක යන්ත්‍ර සමග දැඩි තරඟයකට මුහුණදී සිටිනවා. ඒ නිසා මේ යන්ත්‍රවල හැකියාවන් වඩාත් තියුණු කරන්නට ගූගල් කටයුතු කර තිබෙනවා.

උදාහරණයක් ලෙස පෙරදී ගූගල් ඇසිස්ටන්ට් යන්ත්‍රය අමතන සෑම අවස්ථාවකම "Hey Google!" යන වදන පවසා පැනය ඉදිරිපත් කල යුතුයව තිබුනා. ඒ, යන්ත්‍රයට අමතන්නේ තමාව යයි වටහා ගැනීමටයි. එහෙත් දැන් එක් වතාවක් එසේ ඇමතීමෙන් පසු, ඉදිරියට අසන පැන සඳහා "Hey Google" ලෙසින් ඇමතීම සිදුකල යුතු නෑ. ඒ සඳහා ගූගල් ඇසිස්ටන්ට් යන්ත්‍රයට ජවය ලබාදෙන "Google Knowledge Graph" කෘත්‍රිම බුද්ධි විශ්වකෝශය තවත් දියුණු කල බව සුන්දර් පිචායි පවසා සිටියා.


Google Duplex


ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණය ගූගල් කෘත්‍රිම බුද්ධි සහයක වැඩසටහනේ තවත් විප්ලවීය තාක්ෂණයක් ලෙසින් එලිදැක්වුනා. ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණයෙන් ගූගල් ඇසිස්ටන්ට් සහයකයාට ඔබ සමග සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සංවාදයේ යෙදෙන්නට පුලුවන් මෙන්ම ඔබ වෙනුවෙන් දුරකථන ඇමතුම් ගෙන, ඔබ සඳහා අවන්හල්වල අසුන් වෙන් කිරීම, ඔබගේ කොණ්ඩය කැපීමට, නැතිනම් රූපලාවන්‍ය ශිල්පිණිය සමග  වෙලාවක් වෙන්කිරීමටත් ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණය හරහා ගූගල් ඇසිස්ටන්ට් සහයකයාට හැකිබව මේ සම්මන්ත්‍රණයේදී ආදර්ශණය කොට (demonstrate) පෙන්වනු ලැබුවා.

Tensor Processor Unit 3.0


ටෙන්සර් ප්‍රොසෙසර් යුනිට් යනු ගූගල් සමාගම මගින් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රවල ප්‍රධාන ප්‍රොසෙසර් පද්ධති ගොඩනැගීම සඳහාම නිර්මාණය කල බලසම්පන්න ක්ෂුද්‍ර පරිපථයක්. මේ පරිපථ මාලාව 2016දී එලිදක්වන ලද අතර එවක ගූගල් සමාගම ප්‍රකාශ කලේ ටෙන්සර් ප්‍රොසෙසර් පරිපථ වසරක කාලයක් අත්හදා බැලීමෙන් පසු ඒ එලිදැක්වීම සිදුකල බවයි.

ඉතා වේගයෙන් කෘත්‍රිම බුද්ධි පරිගණක නිර්මාණය කෙරෙන ආකාරයේ ප්‍රොසෙසර් පද්ධති ගොඩනැගීම සඳහාම නිර්මාණය කොට ඇති ටෙන්සර් ප්‍රොසෙසර් පිටස්තර සමාගම් වලට අලෙවි කරන්නේ නෑ. ඒවා ගූගල් සමාගමේ අතිවිශාල කෘත්‍රිම බුද්ධි පද්ධති ක්‍රියාත්මක වන පරිගණක නිර්මාණය කිරීම සඳහා පමණක් යොදා ගන්නවා.

මේ සම්මන්ත්‍රණයේදී සුන්දර්, ගූගල් ටෙන්සර් ප්‍රොසසර් වල අලුත්ම  මාදිලිය වන Tensor Processor Unit  3.0 එලි දැක්වූවා. මේ ප්‍රොසෙසර්, මීට පෙර භාවිතාකල ටෙන්සර් ප්‍රොසෙසර් වලට වඩා දෙගුණයක් වේගවත් බවයි ගූගල් පවසන්නේ.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments