TERROR ATTACKS : ISIS, Their History and Growth | ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තකල්ලියේ ඉතිහාසය හා වර්ධනය

DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.

තව්හීත් ජමාත් කල්ලිය අයි.සි.ස් බව සැකයෙන් තොරව ඔප්පුවේ.

National Thowheeth Jama’ath නම් ත්‍රස්ත කල්ළිය ඉස්ලැමික් ස්ටේට් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයට සිය කැපවීම ශපතකල එමෙන්ම එය වෙනුවෙන් අහිංසකයින් මරාදමන්නට දිවුරුම් දෙන ඡායාරූප දැන් අයි.සී.ස් මාධ්‍ය ජාලය හරහා ප්‍රසිද්ධවී තිබෙනවා. ඒ අනුව මේ ලේඛකයාද ඇතුලුව බොහෝ විචාරකයින් මෙන්ම රජයේ විමර්ෂකයින්ගේද අනුමානය සත්‍යවී තිබෙනවා.


මොකක්ද මේ ISIS?

IS, ISIS, ISIL, Islamic State, Daesh යන විවිධ නම්වලින් විචාරකයින් හා විදෙස් මාධ්‍ය හඳුන්වන සංවිධානයේ මූලාරම්භය සිදුවන්නේ 1999දී.

අයි.සිස් කල්ලියේ ආරම්භක සංවිධානය වූ Jama'at al-Tawhid wal-Jihad  (1999-2005)

Jama'at al-Tawhid wal-Jihad (Congregation of Monotheism and Jihad) ලෙස ආරම්භයේදී තමන්ව හඳුන්වාගත් මේ ත්‍රස්ත කල්ලියේ නමෙහි තේරුම "එක් දෙවියෙකු පමණක් ඇති බව අදහන, ඉස්ලාමයේ සතුරන්ට එරෙහිව යුධවදින්නන්ගේ එකමුතුව" ලෙස සරළව පරිවර්තනය කල හැකියි.

මෙහි සමාරම්භක නායකයා වන්නේ ජෝර්දාන ජාතික ත්‍රස්ත්වාදියෙකු වන අබු මුසාබ් අල්-සාක්වාකී නැමැත්තායි. සෝවියට්-ඇෆ්ඝන් යුද්ධයේදී සෝවියට් හමුදාවලට එරෙහිව සටන්වදින්නට ඇෆ්ඝනිස්තානයට ගිය සාක්වාකී සෝවියට් හමුදා පිටත්ව යාමෙන් පසු යලි ජෝර්දානයට පැමිණියත් පසුව ඇෆ්ඝනිස්ථානයේදී ඔහු හඳුනාගත් ඔසාමා බින් ලාඩන් සැපයූ අරමුදල් සමගින් සිය අලුත් සංවිධානයේ සටන්කරුවන් පුහුණු කිරීම සඳහා ඇෆ්ඝනිස්ථානයේ හීරැට් නම් ප්‍රදේශයේ පිහිටි පුහුණු කඳවුරකට අනුයුක්ත වුනා.

අල්-සාක්වාකීගේ මූළධර්මවාදී ඉස්ලාමිය අදහස් බින් ලාඩන්ගේ හා ඔහු මූලිකත්වය දැරූ අල්-කේඩා සංවිධානයේ අදහස්වලටත් වඩා අන්තවාදී බව බින් ලාඩන් විසින් පවා සඳහන් කොට ඇති අතර, මේ හේතුවෙන් දෙදෙනා අතර මතගැටුම්ද ඇතිවී තිබෙනවා. අබු මුසාබ් අල්-සාක්වාකීගේ මතවාදය අනුව ශියා මුස්ලිම්වරුන් පවා දුටු තැන මරාදැමිය යුතු ඉස්ලාම් නොවන අශුද්ධයින් වුනා.

කෙසේවෙතත් අල්-සාක්වාකී සිය Jama'at al-Tawhid wal-Jihad සංවිධානය ආරම්භකලේ ජෝර්දානයේ රාජාණ්ඩුව පෙරලා දැමීමටයි. එය මුස්ලිම් විරෝධී රජයක් බවට ඔහු විශ්වාස කලා. ඒ සඳහා අරගලයට සටන්කාමීන් පුහුණු කිරීමටයි ඔහු ඇෆ්ඝනිස්ථානයට පැමිණියේ. 2001දී ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කල පසු, අල්-සවාරී හා ඔහුගේ කල්ලිය ඊසානදිග ඉරාකයට පැනගියා.

2003දී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කලවිට අල්-සාක්වාකී සිය සටන්කාමීන් ඇමරිකන් හමුදාවලට එදිරිව යෙදවූ අතර එහිදී ඇමරිකානුවන් මරාදැමීමට ආශාවෙන් ඉරාකයට පැමිණි විදෙස් ජිහාඩින් විශාල ප්‍රමාණයක් හා ඉරාක ජාතිකයින් විශාල ප්‍රමාණයක් අල්-සාක්වාකීගේ Jama'at al-Tawhid wal-Jihad  සංවිධානයට බැඳී ඇමරිකානුවන් හා සටන් කලා.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කාර් බෝම්බ, සැඟවූ බෝම්බ, ආර්.පී.ජී ප්‍රහාර ආදිය භාවිතා කරමින් ඇමරිකානු හමුදා, සහන සේවකයින්, ඉරාක හමුදා සෙබලුන්, වාර්තාකරුවන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයි ආදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කල අල්-සාක්වාකීගේ ජමාත් කල්ලිය, ඒවා වීඩියෝ කරමින් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරමින් සිය සංවිධානයට අරමුදල් හා සටන්කාමීන් ආකර්ෂණය කරගත්තා.

2004 ඔක්තෝම්බරයේදී අල්-සාක්වාකී සිය සංවිධානය, බින් ලාඩන්ගේ අල්-ක්වේඩා සංවිධානයට පක්ෂපාත බව ප්‍රකාශකල අතර ඒ පක්ෂපාතිත්වය වෙනුවෙන් දිවුරුමක්ද දී සිය සංවිධානය අල්-කේඩා හා ඒකාබද්ධ කලා. මෙහිදී අවධානයේ තබාගත යුතු කරුණක් වන්නේ අල්-කේඩා යනු තනි සංවිධානයක් නොව ඉස්ලාමීය ජිහාඩි සංවිධාන සමූහයක එකතුවක් බවයි.

2006දී අල්-සාක්වාකී ඇමරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගියා. 2006න් පසු මෙහි නායකයා වූයේ අබු ඔමර් අල් කුරාෂී අල් බැග්ඩෑඩී නම් නම් ත්‍රස්තවාදියායි.




Islamic State of Iraq (ISI) - (2006-2013)

2006දී ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් (අයි.එස්.අයි ) නමින් නම වෙනස්කරගත් Jama'at al-Tawhid wal-Jihad සංවිධානය අබු ඔමර් අල් කුරාෂී අල්-බැඩෑඩීගේ නායකත්වය යටතේ ඉරාකයේ ඇතැම් පෙදෙස්වල කාලිෆේට් රාජ්‍යක් හෙවත් මහම්මත්තුමාගෙන් පැවත එන කාලිෆ් නම් නායකයෙකු යටතේ පාලනය වන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කලා. මෙම නව රාජ්‍යයේ එමීර්වරයා ලෙස බැග්ඩෑඩී පත්වුනා. එය පාලනය කිරීම සඳහා දස දෙනෙකුගෙන් යුතු කැබිනෙට්ටුවක්ද පත්කර ගත්තා.

2007දී ඇමරිකානු රජය, ඉරාක යුද්ධයට නව ජවයක් යෙදැවූ අතර මෙයින් වූයේ අයි.එස්.අයි සංවිධානයට දැඩි හානි සිදුවුන අතර 2008දී දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව සිටියා. මෙයට තවත් හේතුවක් වූයේ අයි.එස්.අයි කල්ලිය පාලනය කල පෙදෙස් දැඩි ඉස්ලාමීය නීති හා කෲර වදහිංසා භාවිතා කරන්නට යාම නිසා ඔවුන්ට එම පෙදෙස්වල ජනයාගේ හා එම පෙදෙස්වලින් මොවුන්ට එකතුව සිටි සටන්කාමීන් අරගල කරමින් සංවිධානය අතහැර යාමට පටන් ගැනීමයි.

2010දී අයි.එස්.අයි කල්ලියට තවත් දැඩි පසුබෑමක් ඇතිවුනේ අල්-බැග්ඩෑඩී හා උප නායක අල් මස්රී යන දෙදෙනාම ඇමරිකන් ඩ්‍රෝන ප්‍රහාරවලින් මියයාමයි. ඉන් පසු අයි.එස්.අයි කල්ලියේ නායකත්වය භාරගත්තේ අබු බකර් අල්-බැග්ඩෑඩි නම් ත්‍රස්තයා වන අතර ඔහු තවමත් අයි.එස්.අයි හා එහි අනුප්‍රාප්තික සංවිධානය වන අයි.එස්.අයි.එල් සංවිධානයට නායකත්වය දෙනවා.

අබු බකර් අල්-බැග්ඩෑඩි, ඇමරිකානුවන් විසින් මරාදැමූ සිය සංවිධානයේ ඉහල නායකත්ව තනතුරුවලට සදාම් හුසේන්ගේ හමුදාවල සිට, ඇමරිකානුවන් විසින් වසර ගණනාවක් සිරකොට ගෙන සිටි ඉරාක හමුදා නායකයින් පත්කර ගත්තා. ඇමරිකානුවන් හා දැඩි වෛරයෙන් සිටි ඔවුන්, අයි.එස්.අයි සංවිධානය නැවත ශක්තිමත් කරමින් ඇමරිකානුවන්ට දැඩි ප්‍රහාර එල්ලකරන්නට පටන් ගත්තා. 2013වන විට ඉරාකය පුරා කාර් බෝම්බ පුපුරවමින් ජන ජීවිතය අස්තාවර කරමින්, ඉරාක රජය අකර්මන්‍ය කරන්නට ඔවුන් ක්‍රියාකල අතර මොවුන්ගේ කෲර ත්‍රස්ත ක්‍රියා නිසා මසකට ඉරාක වැසියන් 1000කට වඩා මිය යන තත්වයක් 2013 අවසන්වන විට ඉරාකයේ ඇතිවී තිබුණා.

Islamic State of Iraq and the Levant (ISIL) (2013–2014)

2013 අප්‍රේල් මස හඬ පටයක් අන්තර්ජාලයට නිකුත්කල අබු බකර් අල්-බැග්ඩෑඩි අයි.සි.ස් සංවිධානය හා අල්-ක්වේඩා යටතේ ඇති සංවිධාන සියල්ල මෙන්ම සිරියාවේ අසාද් රජයට විරුද්ධව සටන්වදින අල් නුස්රා සටන් පෙරමුණ එක්කොට "අල් නුස්රා" නම් පෙරමුණක් බිහිකොට ඇති බවත් එහි නායකත්වය අයි.සි.ස් සංවිධානය විසින් ලබාගෙන ඇති බවත් ප්‍රකාශකලා.

මේ ඒකාබද්ධ පෙරමුණ මින් ඉදිරියට ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් ද ලෙවන්ට් හෙවත් ඉරාකය හා සිරියාව ඇතුලත් ලෙවන්ට් ලෙස හඳුන්වන ප්‍රදේශයද ඇතුලත්ව බිහිකල කාලිෆේට් රාජ්‍යය ලෙස ක්‍රියාත්මකවන බවද පැවසූවා. ලෙවන්ට් යනුවෙන් හඳුන්වන අති විශාල ප්‍රදේශය පැරණි සිරියන් රාජධානි පැවති ප්‍රදේශයක් වන අතර මේ යෙදුම 15වැනි ශතවර්ෂයේ සිටම භාවිතා වනවා. පැරණි ලෙවන්ට් ප්‍රදේශයට සිරියාව, ඊශ්‍රයලය, ජෝර්දානය, පලස්තීනය හා සයිප්‍රසයද ඇතුලත් අතිවිශාල භූමි ප්‍රදේශයක්

එම වසරේදීම ඉරාකයේ ඇමරිකානු සිරකඳවුරු වලට දැඩි ප්‍රහාරමාලාවක් එල්ලකල අයි.එස්.අයි.එල් ත්‍රස්තයින් ඉරාක යුද්ධයේදී ඇමරිකානුවන් හා සටන්වැදී විශාල පන්නරයක් ලබාගෙන සිටි සටන්කාමීන් 500ක් පමණ නිදහස්කර ගත්තා.

අල් බැග්ඩෑඩිගේ බලහත්කාර එකමුතුව තරයේ ප්‍රතික්ෂේප කල අල් ක්වේඩා සංවිධානය බැග්ඩෑඩිගේ ISIL කාලිෆෙට් සංවිධානය අතර ඇතිවී තිබූ දැඩි බළ අරගලය අවසන් වුනේ බැග්ඩෑඩිගේ ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් ලෙවන්ට් (ISIL) සංවිධානය සමග සියලුම ආකාරයේ ගණුදෙනු හා සහයෝගීතාවයන් අත්හැර දමන බවට අල්-කේඩා නායකත්වය සිදුකල ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමගයි. අල් නුස් රා සංවිධානයේ නායකත්වයද, සිය සටනට බලෙන් එක්ව, සිය සංවිධානයේ නම පවා උදුරාගන්නට උත්සහකල බැඩ්ගෑඩිගේ යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ශේප කලා.

කෙසේ වෙතත් විවිධ ඉරාක හා සිරියන් සටන්කාමී සංවිධාන ඒකාබද්ධ කරගැනීමට සමත්වූ අල්-බැග්ඩෑදී දරුණු සටන්වලින් පසුව 2014 වනවිට ඉරාකයේ මෝසුල් හා ෆලූජා නගර හා සිරියාවේ රඛා හා ඇලෙප්පෝ නගරද ඇතුලු විශාල ප්‍රදේශයක බලය තහවුරුකරගෙන එම විශාල ප්‍රදේශය Islamic State of Iraq and the Levant කාලිෆේටය ලෙස පාලනය කලා.

Islamic State (2014-2019)

2014 ජූනියේදී අබු බකර් අල්-බැග්ඩෑඩි, අලුතින් අල්ලාගත් ඉරාකයේ හා සිරියාවේ භූමිප්‍රදේශයන් දැඩි ශරියා නීතිවලින් පාලනය වල, සියලුම අන්‍යාගමික අශුද්ධයින්ගෙන් පිරිසිදු ශුද්ධවූ ඉස්ලාමීය රාජ්‍යයක් හෙවත් කාලිෆේටයක් බවට ප්‍රකාශකල අතර සිය සටන ලොව පුරා ව්‍යාප්තකරන බවට ශපත කලා. ඒ අනුව global caliphate හෙවත් ලොවපුරා පැතුරුණු කාලිෆේටයක් ප්‍රකාශයට පත්කලා.

ඒ අනුව ලොවපුරා මුස්ලිම් රාජ්‍ය හා මුස්ලිම් බැතිමතුන් වාසය කරන සියලුම රටවල් මුස්ලිම් වැසියන්ගේ දේශපාලනික, ආගමික, ආර්ථික හා යුධමය කටයුතු සියල්ලම සිය කාලිෆේටය යටතට පත්වන බව ප්‍රකාශයට පත්කලා. මේ කාලිෆේටය ඉස්ලැමික් ස්ටේට් ලෙස හඳුන්වන බව පැවසූ බැග්ඩෑඩී, තමන් මේ ලෝක ඉස්ලාමීය කාලිෆේටයේ කාලිෆ් වරයා ලෙස ක්‍රියාකරන බවත් පවසා සිටියා.

2014 ජූලිය වනවිට ඉස්ලැමික් ස්ටේට් කාලිෆේටය වෙනුවෙන් සටන් කිරීමට නව සටන්කාමින් 6300කට අධික ප්‍රමාණයක් සිරියාව තුලට පිවිස සිටියා. මොවුන් බොහෝ දෙනෙක් විදේශික මුස්ලිම්වරුන් වන අතර ඔවුන් අතර පාකිස්තානුවන්, මාලදිවයින් ජාතිකයින්, බංගලිදේශ් ජාතිකයින් මෙන්ම ලංකාවෙන් ගිය මුස්ලිම් තරුණයින්ද වුනා.

2015වන විට ඉස්ලැමික් ස්ටේට් සටන්කාමීන් ලිබියාවේ ට්‍රිපොලි හා බෙන්ගාසි යන නගරකරාද පැතිර සිටි අතර ඊජිප්තුව, යේමනය, පිලිෆීනයේ ඉස්ලමීය සටන්කාමී සංවිධානද ඉස්ලැමික් ස්ටේට් රාජ්‍යයට සිය පක්ෂපාතීත්වය ප්‍රකාශකොට ඉරාක-සිරියා සටන්බිම් වලට සටන්කාමීන් යවන්නට වුනා. ඇෆ්ඝනිස්ථානයේද ඉස්ලැමික් ස්ටේට් සාමාජිකයින් සිටියත් ඔවුනට දැඩි ලෙස විරුද්ධවූ ඇෆ්ගන් තලේබාන්වරුන් ඉස්ලැමික් ස්ටේට් සාමාජිකයින් යයි හඳුනාගත් සියලුදෙනා මරාදමන්නට වුනා. එමෙන්ම ඉස්ලැමික් ස්ටේට් වෙනුවෙන් ඇෆ්ඝන් සටන්කාමීන් ආකර්ෂණය කරගැනීමේ නිරතවුනු මුල්ලා අබ්ඩුල් රවුෆ් ඇමරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය නිසා ඇෆ්ඝනිස්තානයේ ඉස්ලැමික් ස්ටේට් ක්‍රියාකාරකම් විශාල ලෙස අඩුව ගියා.

2015-2017 ඉරාකයේ හා සිරියාවෙ දැඩි පසුබෑම්වලට ලක්වන්නට ඉස්ලැමික් ස්ටේට් සටන්කාමීන්ට සිදුවූ අතර ඉරකායේ හා යේමනයේ ඇමරිකන් ප්‍රහාර, සිරියාවේ, අසාඩ් රජය හා රුසියාව එක්ව සිදුකල ප්‍රහාර, ඉරානය සිය දේශසීමා අසල ඉස්ලැමික් ස්ටේට් කඳවුරු හා බලකොට වලට එල්ලකල ප්‍රහාර හමුවේ දැඩි ලෙස පසුබාන්නට අල්බ් ඇග්ඩෑඩීට සිදුවූ අතර 2019 දෙසැම්බර් මසවන විට ඉස්ලැමික් ස්ටේට් සංවිධානයට ඔවුන් 2014-2015 කාළයේ පාලනය කල සියලුම ලිබියානු, ඉරාක හා සිරියානු භූමිපෙදෙස් අහිමිව ගිය අතර සටන්කාමින් 10,000කට අධික පිරිසක් මියගියා.

ලෝක ත්‍රස්තවාදයට යොමුවීම හා ලොවපුරා ඉස්ලැමික් ස්ටේට් ප්‍රහාර උත්සන්න වීම

2015 සිටම දැඩිලෙස ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවූ විට අල් බැඩ්ඩෑඩී නව සාමාජිකයින් බඳවාගන්නට හා විදෙස් රටවල මුස්ලිම්වරුන් රැඩිකල් කරමින් එම රටවල ත්‍රස්තක්‍රියා ඇති ඇතිකිරීමේ ව්‍යාපරයක් පටන් ගත්තා. මේ මගින් මුස්ලිම් ජනයාට වින කරන අශුද්ධ ක්‍රිස්තියානින් හා වෙනත් ආගමිකයින් මරාදැමීමට එම රටවල මුස්ලිම් තරුණයින් බඳවා ගැනීමේ රැඩිකල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට පටන්ගත්තා.

ඇල් බැග්ඩෑඩිගේ ලෝක ඉස්ලාමීය රාජ්‍යය විසින් ලොව පුරා සිදුකරන ලද කෲර ඝාතනයන් පිලිබඳ කෙටිසටහනක් පහතින් තිබෙනවා.

2015 ටියුනීසියානු ප්‍රහාරය - ටියුනීසියාවේ ප්‍රකට සංචාරක මධ්‍යස්ථානකට එල්ලකල ප්‍රහාරයකින් යුරෝපීය සංචාරකයින් 38ක් මියගියා.

2015 ටියුනීසියානු ජාතික කෞතුකාගාර ප්‍රහාරය - විදෙස් සංචාරකයින් ඇතුලු 24ක් මියගියා

2015 යේමනයේ සනානා ශියා පල්ලියට එල්ලකල ප්‍රහාරය - මේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දෙවියන් යදිමින් සිටි ශියා බැතිමතුන් 142ක් මියගියා.

2015 රුසියානු සංචාරකයින් ප්‍රවාහණය කරන Metrojet Flight 9268 පියාසැරිය ගුවනේදී පුපුරුවා හැරීම - රුසියානු සංචාරකයින් ඇතුලු 224ක් මියගියා.

2015 තුර්කියේ අන්කාරා නුවර ප්‍රහාරය - අනකාරා නුවර මධ්‍යම දුම්රියපොලට එල්ලකල ප්‍රහාරයෙන් තුර්කි වැසියන් 109දෙනෙකු මියගියා.

2015 ප්‍රංශයේ පැරිස් ප්‍රහාරය - මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් ප්‍රංශ වැසියන් 130ක් මියගියා.

2016 තුර්කියේ ඉස්තාන්බුල් බෝම්බය - විදෙස් සංචාරකයින් 11ක් මියගි

2016 බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බෝම්බ ප්‍රහාරය - සිවිල් වැසියන් 32ක් මියගියා

2016 තුර්කියේ ඇටාටර්ක් ගුවන්තොටුපොල - සංචාරයකයින් ඇතුලු සිවිල් වැසියන් 48ක් මියගියා.

2016 ප්‍රංශයේ නීස් නුවර ප්‍රහාරය - සිවිල් වැසියන් 106ක් මියගියා.

2016 ඇෆ්ඝනිස්ථානයේ කාබුල් ප්‍රහාරය - ශියා භක්තික සිවිල් වැසියන් 80ක් මියගියා

2016 ජර්මනියේ බර්ලින් ප්‍රහාරය - සිවිල් වැසියන් 12ක්

2017 තුර්කියේ ඉස්තාන්බුල් ප්‍රහාරය - රාත්‍රී සමාජශාලාවක් සිදුවූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් හා සංචාරකයින් 39ක් මියගියා.

2017 බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රහාරය - සංගීත සංදර්ෂණයකදී සිදුවූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 22ක් මියගියා

2017 ඉරානයේ ටෙහෙරාන් ප්‍රහාරය - සිවිල් වැසියන් 18ක් මියගියා

2018 පාකිස්තාන ප්‍රහාරය - සිවිල් වැසියන් 131ක් මියගියා

2019 ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව හා මඩකළපුව (මියගිය ගණන දිනෙන් දින ඉහල යන බැවින් එය සඳහන් කරන්නේ නැත )


https://en.wikipedia.org/wiki/Jama%27at_al-Tawhid_wal-Jihad
https://en.wikipedia.org/wiki/Islamic_State_of_Iraq_and_the_Levant
https://www.dailymail.co.uk/news/article-6951609/Inside-factory-Sri-Lanka-jihadists-plotted-slaughter-Christians.html
https://qz.com/248787/a-short-political-history-of-the-barbaric-terrorists-who-call-themselves-the-islamic-state/



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. හප්පේ ඒකද එහෙනම් වෙලා තියෙන්නේ...ස්තුතියි විස්තරයට

    ReplyDelete

Post a Comment