BIKE TO WORK : බයිසිකලෙන් වැඩට යන එක අමාරුද? :තෙල් පෝලිම් පටන් ගත්ත දවසෙ ඉඳන් බයිසිකලෙන් වැඩට යන මගෙන් ඔයාලට පොඩි තල්ලුවක්


බයිසිකලෙන් වැඩට යන එක අමාරුද?

ඒක ලැජ්ජාවක්ද?

උදේට දාඩිය දාගෙන කොහොමද ඔෆිස් එකේ වැඩ කරන්නෙ?

මේ දවස්වල වැස්ස නේද?

පාලකයින්ගේ වැරදි නිසා තෙල් පෝලිම්වල දුක්විඳින සුවහසක් ඔබ මෙහෙම හිතනවා ඇති. සමහර විට බයිසිකලෙන් වැඩට යන ටික දෙනෙක් ගැන දන්නවත් ඇති.

ඉවරයක් නොවෙන තෙල් පෝලිම් වල  ඉන්නවට වඩා බයිසිකලෙන් වැඩට යන්න පුලුවන් නම් හොඳ නේදැයි නිතරම හිතෙනවත් ඇති.

බයිසිකලෙන් වැඩට ගිහිල්ලා, එච්චර අපහසුවක් නැතුව දවසෙ රාජකාරි අරඹන්න පුලුවන් විධිය මම කියන්නම්. මාස දෙකක ඉඳන් හැමදෑම බයිසිකලේ වැඩට යන මගේ පෞද්ගලික අත්දැකීම් වගේම මම සූදානම් වෙන පිලිවෙල විස්තර කරන්නම්.

බයිසිකලෙන් වැඩට යන්න හොඳ පෙර සූදානමක් ඕනෙ. 

පුදගලික විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් ලෙස සේවය කරන මට ටී ශර්ට්, ට්‍රැක් බොටම් ඇඳගෙන රැකියාව කරන්න බැහැ. හැමදෑම ටයි එකත් ඇතුලුව ඔෆිස් කිට් එක ඇඳගෙන වැඩ කරන්න ඔනෙ.

ඒත් එහෙම ඇඳගෙන කිලෝමීටර් 9ක් නිවසේ ඉඳලා විශ්වවිද්‍යාලෙට සයිකල් පදින්න බෑ.

ඒ නිසා පෙර සූදානම වැදගත්. මම කරන විධිය ඔයාලට ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. 

මට විශ්වවිද්‍යලයේ වෙනම කැබින් එකක් තියෙන නිසා, ඒකෙ අල්මාරියක ඇඳුම් අයන් කරපු ඇඳුම් තියාගන්න පුලුවන්. සපත්තු දෙකකුත් ඔෆිස් එකේ තියාගෙන ඉන්නවා. ඒ නිසා උදේට වැඩට ගිහිල්ලා දාඩිය නිවුනාම ඇඳුම් මාරු කරගන්න මට පුලුවන්.

ඔයාලටත් ඔෆිස් එකේ වෙනම කැබින් එකක් තියනවා නම්, අයන් කරපු ඇඳුම් වාහනේ යන දවසට සතියටම අයන් කරලා ගිහින් තියාගන්න. එතකොට ඉතිරි දවස් බයිසිකලේ යන්න පුලුවන්.

ඒත් හැමෝටම එහෙම බැරිවෙන්න පුලුවන්. 

අයන් කරපු ඇඳුම් පරිස්සමට නවලා බැක් පැක් එකක දාගෙන යන්න පුලුවන්. පරිස්සමට පැක් කෙරුවොත් පොඩි වෙන්නේ නෑ.

ශර්ට් එකයි, කලිසමයි හොඳට අයන් කරලා, නවලා ලොකු  බැක් පැක් එකක දාගෙන යන්න පුලුවන්. මමත් එහෙම කරලා තියෙනවා. 

වෙනම සපත්තු කුට්ටමක් ඔෆිස් එකේ තියාගන්න පුලුවන් නම් හොඳයි. නැතිනම් ඒකත් අරගෙන යන්න වෙනවා.

දාඩිය ප්‍රශ්නෙ නිසා අව්ව වැටෙන්න කලින් උදෙන්ම යන්න.

බයිසිකලේ වැඩට යනවානම් උදේට අව්ව වැටෙන්න ඉස්සෙල්ලා, අඩුම ගානේ 6.15ටවත් ගෙදරින් පිට වෙන්න.

ඒ වගේම අනෙක් අය එන්න ඉස්සෙල්ලා ඔෆිස් එකට ගිහිල්ලා AC/ෆෑන් දාගෙන දාඩිය නිවාගෙන්න ඇඳුම් මාරුකරගෙන පිලිවෙල වෙන්න වෙලා තියෙනවා.

දාඩිය ගඳ ලොකු ප්‍රශ්ණයක් වෙන අය (මාත් ඒ වගේ කෙනෙක් ) හොඳ බ්‍රෑන්ඩඩ් බොඩී ස්ප්‍රේ ඔෆිස් ලාච්චුවේ තියාගන්න එක වටිනවා.

බයිසිකලේ ගියාම නාන්න, ඇඟ හෝදන්න ඕනෙ නේද?

සෑහෙන්න දාඩිය දාන, ඒවගේම දහඩිය ගඳ පිලිබඳව ගැටලු තියෙන මට වුනත් ඇත්තම කියනවා නම් බයිසිකලෙන් ඔෆිස් ගිහිල්ලා නාන්න ඇඟ හෝදන්න අවශ්‍ය වෙන්නේ නෑ.

උදෙන් ගියාම අව්ව නැති නිසා, දාඩිය දැම්මට දුර්ගන්ධයක් එන්නේ නෑ.

17°C වගේ සීතලට AC එක දාගෙන ෆෑන් එකක් තියෙනවා නම් ඒකත් දාගෙන, සීතල හුලං ඇඟේ වදින තැනක ඉඳගෙන විනාඩි 10ක් 15ක් ඉන්න. එතකොට හොඳටම දාඩිය නිවෙනවා.

ඊට පස්සෙ ඇඳුම් මාරු කරගන්න. බොඩී ස්ප්‍රේ යහමින් පාවිච්චි කරන්න.

වැස්ස දවස කොහොමද යන්නෙ?

මම නම් අව්ව වැස්ස කියලා නෑ. හැම දෑම බයිසිකලේ යනවා. ඒකට හොඳ රේන් කෝට් එකකට ආයෝජනය කරන්න ඕනේ. රේන් කෝට් එක විතරක් මදි, කලිසම තෙමෙන එක නවත්වන්න කලිසමට උඩින් වැස්සට අඳින over-trouser කියල තව කලිසම් වර්ගයක් තියෙනවා. එහෙම එකක් ගන්න. 

ඒවා ගන්න පුලුවන් තැන් පහතින් තියෙනවා.

වැඩ ඉවර වෙලා හවසට කොහොමද?

හවසට ආයෙත් ඇඳුම් මාරු කරලා ටී ශර්ට් එකයි, ට්‍රැක් බොටම් එකයි අඳිනවා. ස්පෝට්ස් සපත්තු දෙකට මාරු වෙලා, ඔෆිස් සපත්තු කුට්ටම ඔෆිස් එකේ තියලා යනවා.

ලැජ්ජාවක් නැතුව ප්‍රොෆෙෂනල් සයික්ලිස්ට් කෙනෙක් වගේ පිලිවෙලට වැඩට යන්න ඕන දේවල්.... මේ හැම දෙයක්ම මම පාවිච්චි කරනවා.

1. ස්පෝට්ස් ටී ෂර්ට් - දවසට එක ගානේ ඕනෙ

2. ට්‍රැක් බොටම් හරි සයික්ලින් ෂෝර්ට්ස් හරි - දවස් එකකකට එකක් වත් ඕනෙ

3. සයික්ලින් හෙල්මට් - හොඳ තත්වෙ එකක් අනිවාර්යයි.

4. රේන් කෝට් එක  - හැම වේලාවෙම බැක් පැක් එකේ තියාගන්න

5. කලිසමට උඩින් අඳින over-trouser කලිසම - ඒකත් බැක් පැක් එකේ තියාගන්න

6. බයික් ලයිට්ස් - ඉස්සරහට ෆ්ලෑෂින් ලයිට් එකයි, පිටිපස්සෙ රතුපාට ෆ්ලෑෂින් ලයින්ට් එකයි.

7. බැක් පැක් එක වැහෙන්න රේන් කවර් එකක්  - මේක අනිවාර්යයි. නැතිනම් ඇඳුම්, ලැප් ටොප් එක තෙමෙනවා. වැස්සෙ නැතත් පාරේ වතුර තියෙනවානම් මඩ් ගාඩ් තිබුනට අනිවාර්යයෙන් මඩ ඉහෙනවා. ඔබේ වටිනා laptop බෑග් එක පරිස්සම් කරගන්න රේන් කවර් එකක් අනිවාර්යයෙන්ම ගන්න.

8. ස්පෝර්ට්ස් සපත්තු දෙකක්.

9. සයික්ලින් ග්ලවුස් - වැස්ස දවසට, උදේට සීතල දවසට ප්‍රයෝජනවත්

කොහෙන්ද මේවා සාධාරණ ගනන් වලට ගන්නේ?

ඇඳුම්, සපත්තු ඔබ කැමතිම ඇඳුම් අලෙවි සැලෙන් ගන්න. එහෙම නැතිනම් Decathlon වගේ sports shop වල තියෙනවා.

හොඳ rain coat,  over trouser, back pack rain cover, cycling gloves වගේ හැම දෙයක්ම Decathlon එකෙන් ගන්න පුලුවන්. Daraz online shop එකෙත් තියෙනවා.

Bike light ගන්න Daraz online shop එකට යන්න. එක එක ගණන් වලට තියෙනවා. ගන්නකොට බැටරි දාන ඒව ගන්න එපා. බැටරි දාලා ඉවරයක් වෙන්නෙ නෑ. Rechargeable ඒවා ගන්න.

ඒ වගේම මේ හැම දෙයක්ම Facebook එකේ සයික්ලින් ෆෝරම් වල විකුණන අයත් ඉන්නවා. එයාල අතර හොඳ බඩු සාධාරණ ගණන් වලට විකුණන අය ඉන්නවා. හොයලා බලලා ගන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ...

වැදගත් වෙන්නේ අනෙක් අය හිතන දේ නෙමෙයි, ඔබගේ ජීවිතේ පහසු කරගන්න එක කියලා හිතා ගන්න.

ඔයා බයිසිකලේ වැඩට යනවා කියලා හිනාවෙන අයට (එහෙම මෝඩයෝ තවමත් අපි අතර ඉන්නවානෙ) ඔයා වෙනුවෙන් තෙල් පෝලිමේ ඉඳලා ලීටරේ 420 ගාණේ තෙල් ගහලා දෙන්න කියන්න. දැන් සයිකලේට බැහැලද කියලා මගෙන් අහන අයට මම දෙන උත්තරේ ඒක.

ඒවගේම සයිකල් පදින එක ශරීර සෞඛ්‍යයට ඉතාමත් හොඳ ව්‍යායාමයක් බව ඔබ දන්නවා. දරුණුවට දියවැඩියාව වගේම කොලස්ටරෝල් තියෙන මගේ ඒ රෝග තත්ව අඩුකරන්න සයිකල් පදින එක උදව් වෙලා තියෙන බව සහතික කරලා කියන්න පුලුවන්.

මම සතියෙ දවස්වල වැඩට යන්න සයිකල් පදිනවා වගේම සති අන්තයේ දුවලා දෙන්නා එක්ක සයිකල් පදින්නෙත් මට වගේම එයාලටත් ව්‍යායාම වැදගත් නිසා. ඒ පුරුද්ද අපි හදලා දුන්නොත්, අනාගතේ එයාලටත් ඒක ප්‍රයෝජනවත් වෙයි



Comments

  1. මම කළේ නැතත් වැඩේ හොඳයි. මට දාඩිය දානවා වැඩියි. ඔෆිස් එක ෂවර් රුම් එක අයින කල දවසේ ඉඳන් බයිසිකලෙන් යන එක නවථ්වුඅ. දැන්නම් ගෙදර ඉඳන් වැඩ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ.

    ReplyDelete
  2. ela

    ඔයාගේ බ්ලොග් එක අපේ සින්ඩිකේටරය ට කැමැති නම් එකතු කරන්න https://sithuvili.net

    ReplyDelete

Post a Comment