HALOWEEN 2022: හැලොවීන් ඉතිහාසයත් දැනගෙන වට්ටක්කා ලන්තෑරුමක් (Jack-o’-lantern) හදාගමු

 


හැලොවීන් පුරාණය

හැලොවීන් සම්ප්‍රදාය ලොව ප්‍රචලිත කිරීමට ඇමරිකාවේ ජනප්‍රිය සංස්කෘතියේ රූපවාහිණී හා රූපවාහිණි කතාමාලා සමත්වුනත්, හැලොවීන් සම්ප්‍රදාය යුරෝපයේ බිහිවී යුරෝපීයයන් සමග ඇමරිකාවට සංක්‍රමණය වුනා.

හැලොවීන් චාරිත්‍ර යුරෝපයේ කෙල්ටික් (Celtic) වැනි පැරණි ගෝත්‍ර සරත් සෘතුවේ (Autumn) අස්වැන්න නෙළාගෙන ශීත සෘතුවට සූදානම්වීමේ චාරිත්‍ර හා උත්සව වලින් බිහිවී පසුව ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන්ට අනුබද්ධවී මුල්බැස ගෙන තිබෙනවා. කෙල්ටික් වරුන් මීට වසර 2000කට පෙර අයර්ලන්තයේ, බ්‍රිතාන්‍යයේ හා උතුරුදිග ප්‍රංශය ඇතුලු විශාල පෙදෙසක ව්‍යාප්තව සිටි යුරෝපීය ගෝත්‍රයක්.

හැලොවීන් යන්න All Hallows හෙවත් සියළු ශුද්ධවන්තයින් යන පදයෙන් බිඳී ආවකි. සියළු ශුද්ධවන්තයින් හෙවත් සියළු ශාන්තුවරුන්ගේ දිනට ඊට පෙර දින සවස්කාලය Hallows Eve හෙවත් හැලොවීන් ලෙස හඳුන්වයි. 

දැන් සියලු ශුද්ධවන්තයින්ගේ දින එනම් නොවැම්බර් 1 වැනිදා කෙල්ටික් අලුත් අවුරුද්ද උදාවන දිනය ලෙස ඔවුන් සැමරුවා. කෙල්ටික් අලුත් අවුරුද්දට පෙර සවස්යාමය අශුද්ධ ආත්ම වඩාත් සක්‍රියවන යාමයක් බව කෙල්ටික් වරුන් විශ්වාස කලා.

ඒ අනුව එම දිනය හා ආසන්න දිනවල රාත්‍රීකාලයේ ගිණිමැල දල්වමින්, විවිධ වෙස්මුහුණු පැළඳ අශුද්ධ ආත්ම පලවාහැරීමේ "සමහයින්" නම් චාරිත්‍රයක් කෙල්ටික් වරුන්  පවැත්වූවා. හැලොවීන් වල Halloween Costume සම්ප්‍රදාය ඇරඹෙන්නේ ඒ ඇසුරිනුයි. ක්‍රි.ව 43දී, රෝම අධිරාජ්‍යය බ්‍රිතාන්‍යය, අයර්ලන්තය මෙන්ම ප්‍රංශයද යටත් කරගත් අතර රෝමන් වරුන්ද, ඔක්තෝම්බර් මස අවසාන දින කිහිපයේ ෆරාලියා යනුවෙන් මළවුන් සැමරීමේ උළෙලක් පැවත්වූවා. එය කෙල්ටික් සමහයින් සැමරුම සමග ඒකාබද්ධවූ බව ඉතිහාසඥයින් පවසනවා.

මෙම කෙල්ටික් සමහයින්- රෝම ෆරාලියා චාරිත්‍ර කිතුණු චාරිත්‍ර හා බැඳී මුල්බැසගන්නේ අටවෙනි ශතවර්ශයේ තුන්වැනි ග්‍රෙගරි පාප් තුමා නොවැම්බර් පලමුවැනිදා, එනම් කෙල්ටික් සමහයින් චාරිත්‍රයේ අවසන් දිනට පසු දින සියලු ශුද්ධවන්තයින්ගේ දිනය ලෙස නම් කිරීමත් සමගයි. ඒ අනුවයි අදවන විට ඔක්තෝම්බර් 31 හැලොවීන් ලෙස සමරන්නේ.

වට්ටක්කා ලන්තෑරුමේ ඉතිහාසය හා සාතන්ව රැවටූ ජැක්ගේ පුරාවෘත්තය

වට්ටක්කා මෙන්ම ටර්නිප් (රාබු), හා බීට් රූට් වැනි අලවර්ග වල ඇතුලේ සිදුරක් සාදා එය තුල ඉටිපන්දමක් හෝ අඟුරු රඳවා ආලෝකය ලබාගැනීමද කෙල්ටික් සම්ප්‍රදායේ තිබෙනවා. මෙයින් වට්ටක්කා ගෙඩිවල මදය හාරා ඉවත්කොට ලන්තෑරුම් තනාගැනීම අයර්ලන්තයේ බිහිවූ අතර විශාල ලෙස ඇමරිකාවට සංක්‍රමණයවූ අයර්ලන්ත ජනයා සමග ඇමරිකාවට පැමිණියා.

වට්ටක්කා ලන්තෑරුම ජැකෝ-ලැන්ටර්න් (Jack-o’-lantern) ලෙසද හඳුන්වන අතර එයට පැරණි පුරාවෘත්තයක් තිබෙනවා. ජනප්‍රවාදයේ හැටියට ජැක්-ඕ-ලැන්ටර්න් ලන්තෑරුම් පත්තු කරන්නේ ජැක් නැමැත්තෙකුගේ පුරාවෘත්තයක් සිහිකිරීමටලු.

බටහිර යුරෝපය පුරා විවිධ අනුවර්තනවලින් පැතිරී ඇති ලන්තෑරුම් ජැක්ගේ පුරාවෘත්තයට අනුව ජැක් යනු ඉතා අළස එහෙත් කපටි නුවණක් ඇති කම්මල්කරුවෙක්. මහන්සිවී කම්මල්වැඩ කිරීමෙන් ජීවිකාව සරිකරගන්නවා වෙනුවට ජැක් මිනිසුන් රවටමින්, ඔවුන් සතු දෑ කපටිකමින් කඩාවඩා ගනිමින් ජීවත්වූ කෛරාටිකයෙක් වුනා.

වරක් ගම්මානයකට වැදී, ගම්මුන්ගේ වටිනා දෑ සොරාගෙන පලායමින් සිටි ජැක් ඉදිරියට පැමිණි සාතන්, ඔහු දැන් මියයායුතු බව දන්වා සිටියා. සිය කපටි නුවණ මෙහෙයවූ ජැක්, සාතන්ට පවසා සිටියේ ඔහු පසුපස හඹා එන ගම්මුන් නිතරම දෙවියන් අදහන, සාතන්ව පිලිකෙව් කරන්නන් බවත්, ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට අවස්ථාවක් සළසාදිය හැකි බවත්ය.

කපටි ජැක් සාතන්ට පවසා සිටියේ ඔහුට රිදී කාසියක් බවට පත්විය හැකිනම් (සාතන්ට ඕනෑම හැඩයක්, වේෂයක් ගත හැකිය) තමන්ට ගම්මුන්ගෙන් සොරාගත් දේවලට ගාස්තුව ලෙස එය දිය හැකි බවත්, ගම්මුන්ගේ අතට පත්වූ වහාම අතුරුදහන් වන ලෙසත්ය. එවිට රිදී කාසිය සොරාගත්තායයි එකිනෙකාට චෝදනා කරමින් ගම්මුන් ගහ මරාගනු ඇතැයි පැවසූ ජැක්, දෙවියන්ට ගරුකරන ගම්මුන්ට එය හොඳ දඬුවමක් වනු ඇතැයි ද පැවසූවා.

යෝජනාව පිලිගත් සාතන් රිදීකාසියක් බවට හැරී ජැක්ගේ සාක්කුවට පැන්නා. එහෙත් සාතන්ගේ අවාසනාවට ජැක්ගේ සාක්කුවේ ඔහු ගම්මුන්ගෙන් සොරා ගත් පූජනීය කුරුසියක්වූ අතර එය නිසා සාක්කුවට පැනගත් සාතන්ගේ බලය අහෝසිවී ඔහු කාසියක් ලෙසම ජැක්ගේ සාක්කුවේ හිරවුනා.

තමන්ව නිදහස් කරන ලෙස බැගෑපත්වූ සාතන්ව නිදහස් කිරීමට ජැක් එකඟවුනේ යලි කිසි දිනක තමාගේ ආත්මය ලබා නොගන්නා බවට සාතන්ගෙන් පොරොන්දුවක් අරගෙනයි. වයස්ගතවී මියගිය ජැක්ට ඔහු කල පවුකාරකම් නිසා දෙව්ලොව වරම් අහිමිවූ අතර ඔහුගේ ආත්මය කිසිදා ලබා නොගන්නා බවට වූ පොරොන්දුව නිසා සාතන් ඔහුව අපායෙන්ද පන්නාගත්තා. සාදාකල් අඳුරෙන් වැසී ඇති දෙව් ලොවත් පරලොවත් අතර අතරමංවූ ජැක් සිය නිවසට යන පාර සොයාගන්නේ කෙසේදැයි සාතන්ගෙන් ඇසූ විට සාතන් අපායේ සදාකල් දැල්වෙන හේඩීස්ගේ ගිණි මැළයෙන් නොනිමෙන අඟුරු කැටයක් ජැක් වෙත විසිකලා.

මේ අඟුරු කැටය වට්ටක්කා ගෙඩියක් හාරා එය තුලට දමාගත් ජැක්ගේ ආත්මය, එයින් ලන්තෑරුමක් සාදාගෙන තමන්ව බාරගන්නා තැනක් සොයමින් ලෝකය පුරාම ඉබාගාතේ ඇවිදින්නට වුනා. ලන්තෑරුමක් අරගෙන ඇවිදින ජැක් හෙවත් ජැක් ඔෆ් ද ලැන්ටර්න් පසුව ජැක්-ඕ-ලැන්ටර්න් වූ බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ. මළවුන්ගේ රාත්‍රියවන හැලොවීන් රාත්‍රියේ ඉබාගාතේ ඇවිදින ජැක්ගේ ආත්මයට පාර පෙන්වීම සඳහා ජැක්ගේ ලන්තෑරුම වැනි වට්ටක්කා ලන්තෑරුම් සෑම නිවසකම දල්වනවා.

වට්ටක්කා ලන්තෑරුමක් හදාගන්නා පිලිවෙල

1/ ලන්තෑරුම තනාගැනීමට සුදුසුම වට්ටාක්කා ගෙඩි රවුම් ඒවා වන අතර නටුව තවමත් ගෙඩියට සවිවී ඇති වට්ටක්කා ගෙඩියක් නම් වඩාත් සුදුසුය. නටුව ගැලවී යන්නට ආසන්න නම් වට්ටක්කා ගෙඩිය ඉතා හොඳින් ඉදී ඇති අතර ඒ අනුව ඉක්මණින් නරක්වීමට පුලුවන්.


2/ ගෙඩියේ යට පැත්තෙන් අත දැමිය හැකි සිදුරක් කපා ගන්න. මෙම සිදුර නටුව සවිවී ඇති පැත්තෙන් නොව අනෙක් පැත්තෙන් සිදුකිරීම වඩාත් සුදුසුයි.  මෙම සිදුර කපාගැනීමෙන් වට්ටක්කා මදය ඉවත් කිරීම පහසුවෙනවා.



3/ මදය ඉවත් කරගත් වට්ටක්කා ගෙඩියේ එක් පැත්තක, ඔබ කැමති ආකාරයට මුහුණක් හෝ වෙනත් රූපයක් පොත්ත සීරීමෙන් සළකුණු කරගන්න. ඡායාරූපය බලන්න.


4/ ඊලඟට එම සළකුණු කල කොටස් සීරුවෙන් කපා ඉවත් කරන්න. ඡායාරූපය බලන්න 


5/ හැලොවීන් රාත්‍රිය ආලෝකමත් කිරීමට වට්ටක්කා ගෙඩිය තුල ඉටිපන්දමක් හෝ පහනක් තබන්න. නැතහොත් විදුලි බුබුලක් තැබිය හැකිය.



Comments

  1. අපේ ගෙවල් වලත් වට්ටක්ක පහන හදල ඉටිපන්දමක් පත්තු කරනව ජැක් ට. සඳුදට ළමයි එනවා දොරට තට්ටු කරන් ට්‍රික් ඔර ට්‍රිට් කියාගෙන. එයාලට දෙන්න රස කැවිලි බාල්දියක් ලැස්ති කරනවා.

    ReplyDelete

Post a Comment