ECONOMIC CRISIS: ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයේ භූ දේශපාලනික යතාර්ථය | The Geopolitics of Sri Lanka’s Energy Crisis


ඇමරිකානු භූ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුධය

ජනවාරි අග සහ පෙබරවාරි මුල දෙසතියක් ඇතුළත ඉහළ පෙළේ විදේශ නිලධාරීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම ඉතා සැලසුම් සහගත සහ පාලනය කල සිදුවීම් ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් සැලසුම් කරන ලද බරපතල අරමුණු තිබෙනවා.

Quad සාමාජිකයින් ලෙස, කලාපයට චීනයේ බලපෑමට එරෙහි වීමට එක්සත් ජනපද සහ ඉන්දියා බලවතුන් දෙදෙනා එකඟ වී තිබෙන අතර එකම පිටපතකට ක්‍රියාත්මක වන බව පෙනී යනවා.

ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් IMF සහන සඳහා දණින් වැටී සිටිනමොහොතක, බලවත් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික අන්තර්ක්‍රියා සිදුවන්නේ දැඩි බල අසමතුලිත තාවයක් තුලයි. ලංකා රජයට මෙම පීඩනයට මුහුණ දීමට අපහසු අතර, ඒ නිසාම ඇමරිකා, ඉන්දියා හා යුරෝපා බලවතුන්ගේ උවමනා එපාකම් ඉටුකිරීමට අකමැත්තෙන් වුවද ලංකාවට සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලංකාවට ලබා ගැනීමට චීනය “ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදෙන” බවට එක්සත් ජනපද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ්ගේ ප්‍රකාශයේ කිසිදු අනපේක්ෂිත බවක් නොතිබුණත් ඇය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා සිදුකල වෙනත් සාකච්ඡාවල තොරතුරු සීමාසහිතයි.

New Fortress Energy Project හෙවත් යුගදනවි බලාගාරයේ අයිතියෙන් 40% ලබාගැනීමට ඇමරිකානු උත්සහය පිලිබඳව මෙන්ම ලංකාවට ඉදිරි වසර 5ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකා සමාගමකින් ඉදිපත්වූ, ඉල්ලුම් නොකළ කොන්ත්‍රාත්තුව (unsolicited contract) පිලිබඳව ඇය ජනාධිපති වරයා සමග සාකච්ඡා කලාදැයි අපට දැනගැනීමට හැකියාවක් නෑ.

විදුලිබල මණ්ඪළයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය පලකල 2021 සැප්තැම්බර් ගනුදෙනුවට මුහුදේ පාවෙන ගබඩාවක් සහ නැවත වායුකරණ ඒකකයක් (offshore floating storage and regasification unit) තැනීමේ අයිතිය ඇතුළත් වුනා..

කැබිනට් මණ්ඩලයට කලින් දැනුම් දී නොතිබුණද හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අනුමැතිය ලබා දුන්නේ ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ රජය බිත්තියට හේත්තු කොට, ගෙලද සිරකිරීම සඳහා ඇමරිකාව, ඉන්දියාව හා යුරෝපා හවුල සියලු කටයුතු සූදානම් කරමින් සිටියදී බව අමතක කල යුතු නැත. ඇමරිකාව ඇතුලු බටහිරයින්, මේ අතින් චීනයට හෝ රුසියාවට වඩා දක්ෂ හා සූක්ෂමව ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය අපැහැදිලිය.

New Fortress Energy ගනුදෙනුව ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් වූ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගවේෂණ කටයුතුවලට ද අහිතකර ලෙස බලපා ඇතැයි විශ්වාස කෙරේ. ගනුදෙනුව සිදු වුවහොත් මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිෂ්පාදන අයිතිය මිලදී ගැනීමට ආයෝජකයින් කැමති නොවනු ඇත. මක්නිසාද යත් ගෘහස්ථ ගෑස් සැපයුම ඇමරිකානු New Fortress සමාගමට තනි අයිතිය ලබා දී ඇති බැවිනි.

මන්නාරම් ද්‍රෝණියේ ඩොලර් බිලියන 267ක තෙල් හා ගෑස් සම්පත් තිබෙන බව හිටපු ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලශක්ති පිළිබඳ උපදේශක කාරක සභාවට දැනුම් දී තිබෙනවා. මෙය ලංකාවේ සම්පූර්ණ ණය බරමෙන් තුන්ගුණයක වත්කමක් බව ඔහු පෙන්වා දෙනවා.

බැසිල් රාජපක්ෂ, කැබිනට් මණ්ඩළයද නොමග යවා නිව් ෆෝට්‍රස් ගණුදෙනුවට අනුමැතිය දී තිබෙන්නේ මෙවැනි මහා ජාතික සම්පතක වාසිය ලංකාවට අහිමි වන ලෙස බව කණගාටුවෙන් පැවසිය යුතුමය.

කෙසේ වෙතත්, රොයිටර් පුවත් සේවයට අනුව, වත්මන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මන්නාරමේ වටිනා දිය යට සම්පත් සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම යලි ආරම්භ කර තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධියේ කොටස් 900ක් සඳහා ගෑස් ලබාගැනීමේ අයිතිය වෙන්දේසි කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය නොබෝදා වාර්තාකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ඉන්දියානු භූමිකාව


නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් යන රටවල සංචාරයක කොටසක් ලෙස නුලන්ඩ් පෙබරවාරි 1 සිට 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කලා. නුලන්ඩ්ට පෙර ජනවාරි 19 වැනිදා කොළඹට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස් ජයිෂන්කර්ද ඉන්දියා-ලංකා බළශක්ති සහයෝගීතාවය ගැන ගැඹුරින් සාකච්ඡා කලා.

සන්දර්භයක් ලෙස, පසුගිය වසරේ ඉන්දියාවේ අදානි ගෲප් විසින් මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 500 ක ඇස්තමේන්තුගත ආයෝජනයක් සඳහා කොන්ත්‍රාත්තුවක් දිනාගෙන ඇති බව අප සිහිපත් කළ යුතුය. මෙයද ඉල්ලුම් නොකල ව්‍යාපෘතියක් හෙවත් ලෙස unsolicited project  ඉදිරිපත්වූවකි.

අදානි මෙම කොන්ත්‍රාත්තුව ලබා ගත්තේ එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නවදිල්ලිය සංචාරයට ටික දෙනකට පෙරය. Adani සමාගම කොන්ත්‍රාත්තුව ලබා ගත් දිනයේම, ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සමඟ එක්ව සාම්පූර්හි සූර්ය බලාගාරයක් පිහිටුවීම සඳහා ගිවිසුමක් අත්සන් කළේය.

බැසිල් ඉතා බැගෑපත්ව ඉන්දීය මූල්‍ය ආධාර අයැද සිටි අතර අදානිට හා ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) කොන්ත්‍රාත්තු ලැබුනු නිසා බැසිල්ට යහපත් ප්‍රතිචාර ලැබෙන්නට ඇති. ඉන්දියාව ලංකාවේ බරපතල ආර්ථික අර්බුධය සිය භූදේශපාලනික අවශ්‍යතා සඳහා යොදා ගන්නේ එලෙසයි.

මීට අමතරව යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව අත්සන් තැබීය.

ඉන්දියාවේ “ආරක්ෂක සංවේදීතාවයන්” ගැන දැනගත් පසු ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවේ තරඟකාරී ලංසු ක්‍රියාවලිය හරහා කොන්ත්‍රාත්තුව ලබා ගත් චීන සමාගමක් සමඟ ගිවිසුම අත්හිටවූ අතර එය චීනයේ දැඩි කණස්සල්ලට හේතුවූවා. එමෙන්ම මේ වනවිට ලංකාවට IMF සහය ලබාගැනීම සඳහා චීනයේ සහය දැක්වීමේ ප්‍රමාදයද මෙවැනි කරුණු සහතිකවම බලපා තිබිය යුතුය.

කලාපය තුළ උපාය මාර්ගික අවශ්‍යතා ඇති විදේශ බලවතුන්ගේ මැදිහත්වීම ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අවුල් කරන, ස්වෛරීභාවයට තර්ජනයක් විය හැකි යැපීම්වලට තුඩු දිය හැකිද?

පිලිතුර - පැහැදිලිවම ඔව් ලෙස සඳහන් කල හැකිය.

ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) එහි අනුබද්ධිත ආයතනයක් වන LIOC හරහා ත්‍රිකුණාමලයේ, උපායමාර්ගිකව පිහිටා ඇති ගැඹුරු මුහුදේ වරාය සමඟ තෙල් ගබඩා කිරීමේ සහ බෙදා හැරීමේ ව්‍යාපෘතියක කොටස් හිමියාව සිටී. මේ අනුව ත්‍රිකුණාමල වරාය සිය උපායමාර්ගික ක්‍රියාවන්ට නතුකර ගැනීමේ මෙන්ම, එය චීනය වැනි සතුරන්ට ත්‍රිකුණාමල වරාය අහිමිකිරීමේ ඉන්දියානු අවශ්‍යතාවය යම් තරමකට සාක්ෂාත් කරගෙන සිටී.

ඉන්දියාවේ ජයිශංකර් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"බලශක්ති සුරක්ෂිතතාවය අද ශ්‍රී ලංකාවේ බරපතලම අභියෝගයකි. විසඳුම් සෙවීම අනිවාර්යයෙන්ම දකුණු ආසියානු කලාපය ආවරණය කළ යුතුය. මහා පරිමාණ බලශක්ති සංකීර්ණයේ සම්පූර්ණ ප්‍රතිලාභය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ එවිටය. තිරසාර ආදායම් මූලාශ්‍රයක් බවට පත් කළ හැකි දැවැන්ත පුනර්ජනනීය බලශක්ති විභවයක් මේ රට සතු වේ. බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලයටද නැගීමේ හැකියාව එයට ඇත. ශ්‍රී ලංකාවට සහය දක්වමින් එවැනි මුලපිරීම් සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සූදානම්ය. මෙම සහයෝගීතාවය ඉදිරියට ගෙන යන පුනර්ජනනීය බලශක්ති රාමුවක් සඳහා අපි අද ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇත."

ඉහත ජයිෂන්කර් සඳහන් කරන එකඟ වූ "රාමුව" පිළිබඳ විස්තර මෙතෙක් නොදනී.

නිව්ස්ෆස්ට් කළ විමසීමකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ, “සාකච්ඡාවේ වැඩි අවධානයක් යොමු වූයේ ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස පිහිටුවීම කෙරෙහි” බවයි.

මෙම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඇතුළත් වන නමුත් අමාත්‍ය සබ්රි "මේ සම්බන්ධයෙන් තවම ගිවිසුමක් අත්සන් කර නොමැති බව අවධාරණය කළේය."

ත්‍රිකුණාමලයේ බළශක්ති කර්මාණ්තය සංවර්ධනය සඳහා ඉන්දීය මැදිහත්වීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ සහාය පළ කර තිබේ. 2022 ඔක්තෝම්බර් මාසයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් උපායමාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය: 

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා මත පදනම්ව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඉන්දියාව සමඟ කටයුතු කරමින් සිටිමු."

ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතිය ඉන්දියාවේ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම බලශක්ති ක්ෂේත්‍රයේ තවත් අපේක්ෂිත යෝජනාවකි

නේපාලය, භූතානය සහ බංග්ලාදේශය දැනට ඉන්දියාව සමඟ දේශසීමා බලශක්ති වෙළඳාමේ යෙදී සිටින අතර ජයිශංකර් පැහැදිලිවම යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව කලාපීය විදුලිබල පද්ධතියකට සම්බන්ධ කරමින් දකුණු ආසියාවේ අසල්වැසියන් සමඟ එක් විය යුතු බවයි.

නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාව, නියඟයක් පවතින විට, වරින් වර ජල විදුලිය පහත වැටීමකට මුහුණ දෙයි. එබැවින්, ජල අර්බුදයක් පවතින විට, පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉතා මිල අධික තාප විදුලිය ලබා ගැනීමකින් තොරව, හෝ විදුලි කප්පාදු බලාත්මක නොකර ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය යුතුය

න්‍යායාත්මකව එය එසේ නමුත් ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව සිය බලශක්ති අවශ්‍යතා සඳහා ඉන්දියාව මත තව තවත් යැපීම සිදුවන අතර එය ශ්‍රී ලංකාවේ ස්වයිරීභාවට බරපතල තර්ජනයක් එල්ල කල හැකිය.

Comments