GEOPOLITICS: ඔත්තු බලන චන්ද්‍රිකා පිරී ඇති ලොවක, බැලූන කුමට? | In a World Awash in Satellites, Why Use Spy Balloons?

 

Source: Wikipedia

එක්සත් ජනපදය මේ මස මුලදී චීන නිරීක්ෂණ බැලූනයක් බිම හෙළූ දා සිට බැලූන් ලොව පුරා පුවත් මැවීමට පටන් ගෙන තිබෙනවා.චීන බැලුනයට අමතරව, එක්සත් ජනපද සහ කැනේඩියානු බලධාරීන් සති අන්තයේ තවත් නොදන්නා ගුවන් වස්තු තුනක් ඔවුන්ගේ ගුවන් සීමාවන් තුළ බිම හෙළන ලැබුවා. දැන් පෙන්ටගනය පවසන්නේ මෙම ගුවන් වස්තූන් පර්යේෂණ බැලූන, අලෙවි ප්‍රවර්ධන කටයුතුවල යොදාගනීම් සිටියදී මිදී ගිය බැලූන විය හැකි බවයි.

ඔත්තු බැලීමේ ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා, ඔත්තු බැලීමේ ගුවන් යානා සහ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා බහුල යුගයක බැලූන යනු ඔත්තු බැලීමේ ඉතා ප්‍රාථමික හෝ ග්‍රාම්‍ය මෙවලමක් බව සිතිය හැකියි. මෙම නවීන යුගයේ, ඔත්තු බැලීමේ බැලූන අදටත් භාවිතා කරන්නේ ඇයි?

චන්ද්‍රිකා හා ඔත්තු බැලීමේ ඩ්‍රෝන තිබියදී බැලූන ඇයි?

1] චන්ද්‍රිකාවක් පොලොවට කිලෝමීටර් 200ක්-300ක් ඉහලින් ගමන් කරන අතර ඔත්තු බැලීමේ බැලූනයක් පොලවට කි.මී 10ක් හෝ 20ක් ඉහලින් ගමන් කරනවා. ඒ අනුව බැලූනයක සවිකර ඇති කැමරා හා සංවේදකවලට ලැබෙන තොරතුරු වඩාත් පැහැදිලි මෙන්ම ඉහල ගුණාත්මක බවකිනුත් යුක්තයි.

2] බැලූනයක් පැයට කිලෝමීටර් 60ක් 70ක් අතර වේගයෙන් පාවෙන අතර ඊටත් වඩා අඩු වේගවලින්ද ගමන් කරනවා. චන්ද්‍රිකාවක් පැයට කිලෝමීටර් 15,000ක් පමණ වේගයෙන් කක්ෂයේ ගමන් කරනවා. ඒ අනුව මන්දගාමී බැලූනයට රැස්කල හැකි තොරතුරු වඩාත් විශාලයි, එමෙන්ම ගුණාත්මක බවින් වැඩියි.

3] ඉතාමත් අඩු මිලෙන් යුතු වීම. ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ඩොලර් මිලියන ගණනක් වන අතර ඔත්තු බැලීමේ ඩ්‍රෝනද ඩොලර් මිලියන ගණන් වටින අතර ඒවායේ පියාසර පැයක් සඳහා යන වියදමද අති විශාලයි. ඒ අනුව සංසන්දනාත්මකව බැලූනයක පිරිවැය 1%ටත් අඩුයි.

ඔත්තු බලන බැලුන් වල ඉතිහාසය

ඔත්තු බැලීමේ දී බැලූන භාවිතය ප්‍රංශ විප්ලවය දක්වා දිවෙන අතර, ප්‍රංශ ගගන බලකාය විසින් 1794 දී පලමු ඔත්තු බැලීමේ බැලූන භාවිතය වාර්තා කර තිබෙනවා.එක්සත් ජනපද හමුදාවේ බැලූන් භාවිතය සිවිල් යුද්ධයේදී ආරම්භ වුනා. 

පලමුවන ලෝක යුද්ධයේදී මිනිසුන් සහිත විශාල බැලූන් සතුරු භූමි ප්‍රදේශ අසලට යවා, ඔත්තු බැලූ අතර එම බැලූනවල සිට බිමට අදින ලද ටෙලිෆෝන් වයර මගින්, නිරීක්ෂකයින් දකිනා දේවල් එම මොහොතේම භූමියේ සිටින සෙනෙවියන් හට ලබාදුන්නා.

දෙවන ලෝක සංග්‍රාමයේදී බැලූන් ද භූමිකාවක් ඉටු කළේය, එක්සත් ජනපදය සතුරු ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ස්ටීරියබල් බ්ලිම්ප් හෙවත් අවශ්‍ය තැනකට යාත්‍රා කරවිය හැකි එන්ජින් සහිත බැලූන භාවිතා කළේය.

ඔත්තු බැලීම සඳහා බැලූන භාවිතා කිරීමට එක්සත් ජනපද ඔත්තු සේවා ප්‍රයත්නයන් පැමිණියේ සීතල යුද්ධ සමයේදීයි, ප්‍රොජෙක්ට් මොබි ඩික් සහ ප්‍රොජෙක්ට් ජෙනෙට්‍රික්ස් ලෙසින් හැඳින්වෙන වැඩසටහන් දෙකක් හරහා, සෝවියට් සංගමයට ඉහළින් කැමරා සවි කර ඇති බැලූන සිය ගණනක් පාකර හරිමින්, ඒවායේ තොරතුරු ලබා ගැනීමට සී.අයි.ඒ ඔත්තු සේවය සමත්වී තිබුණා.

චීන බැලූනයේ ඔත්තු තොරතුරු

එක්සත් ජනපද නිලධාරීන්ගේ මූලික තක්සේරු කිරීම්වලින් පෙනී යන්නේ, පෙබරවාරි මස මුලදී වෙඩි තැබූ චීන ඔත්තු බැලූනය, සංඥා බුද්ධි තොරතුරු ලෙස හැඳින්වෙන ඉලෙක්ට්‍රොනික සන්නිවේදන දත්ත එකතු කිරීම සඳහා නිර්මාණය කර තිබූ බවයි.

වෙඩි තැබීම නිසා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් කඩා වැටී තිබූ චීන ඔත්තු බැලීමේ බැලූනයේ සුන්බුන් අතර ඉලෙක්ට්‍රොනික සංවේදක ඇතුළත් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් වී තිබුනා.

චීන ඔත්තු බලන බැලූනය වැනි අතිවිශාල හීලියම් බැලූන පොලිඑතිලීන් වලින් සාදා ඇත. ඇන්ටෙනා ජාලයක් (antenna array) සහිත වූ චීන බැලූනයේ payload කොටස විශාල සූර්ය පැනල පද්ධතියකින් බල ගැන්වෙන අතර බැලූනය මෙහෙයවීමට අවශ්‍ය ආකාරයට සුක්කානමක් ඇතුලු හැසිරවීමේ යාන්ත්‍රණයක්ද තිබුණා.

නවීන ඔත්තු බැලීමේ බැලූනයන්, ජී.පී.එස් මගින් චන්ද්‍රිකා හා සම්බන්ධවී සිටින අතරම කාළගුණ චන්ද්‍රිකාවලින් සුළං රටා පිලිබඳව තොරතුරු ලබා ගන්නවා. එම සුළං ප්‍රවාහයන් පිලිබඳ තොරතුරු හා බැලූනේ සංවේදක මගින් සුලං වේගය, දිශාව ආදී තොරතුරු මත බැලූනය ගමන් කලයුතු දිශාවට එය යොමු කිරීමට කෘත්‍රිම බුද්ධි මෙහෙයුම් පද්ධතියකින්ද සමන්විත වී තිබෙනවා.

ඇමරිකාවේන් වෙඩි තබා බිම හෙලූ චීන බැලූනය පිලිබඳව විස්තර කල පෙන්ටගනයේ නිලධාරිනි මෙලිසා ඩෝල්ටන් එය අඩි 200ක් උසවූ අතර බැලූනයේ එල්ලා තිබූ බඩු ගෙනයන payload කොටස අඩි 135ක් පමණ දිගින් යුතු වුන බව පැවසූවා.


Comments