Ratan Tata: The Passing of a Titan : රතන් ටාටා: යෝධයෙකුගේ සමුගැනීම


රතන් ටාටාගේ පවුල් පසුබිම හා අධ්‍යාපනය

ටාටා සමූහ ව්‍යාපාරය ආරම්භ කළ සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වන ටාටා පවුලේ උපන්  රතන් ටාටා 1937 දෙසැම්බර් 28 වැනිදා ඉන්දියාවේ මුම්බායි හි උපත ලැබීය. ඔහුගේ පියා, නවාල් ටාටා වූ අතර ඔහුගේ මව හා පියා (එනම් රතන් ටාටාගේ සීයා හා මිත්තණිය ) රතන්ජි ටාටා සහ නවාජ්බායි ටාටා වනවා. රතන් ටාටාගේ ළමා කාලය පහසු නොවීය, ඔහු තරුණ වියේදී ඔහුගේ දෙමාපියන් වෙන් විය. ඔහු සහ ඔහුගේ සහෝදරයා හදාවඩා ගත්තේ ඔවුන්ගේ මිත්තණිය වන නවාජ්බායි ටාටා විසිනි.

රතන් ටාටා මුම්බායි හි කැම්පියන් පාසලට ගිය අතර පසුව කැතීඩ්‍රල් සහ ජෝන් කොනන් පාසලට ගියේය. පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගියේය. ඔහු කෝනෙල් විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරූ අතර පසුව හාවඩ් ව්‍යාපාරික පාසලේ උසස් කළමනාකරණ වැඩසටහනක් හැදෑරීය. ඔහුගේ විදේශ අධ්‍යාපනය ඔහුට ව්‍යාපාර පිළිබඳ ගෝලීය ඉදිරිදර්ශනයක් ලබා දුන් අතර ඔහු නැවත ඉන්දියාවට ටාටා සමූහව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට ඉවහල්විය.

ටාටා සමූහයේ සේවය ඇරඹීම

රතන් ටාටා 1962 දී ටාටා සමූහ ව්‍යාපාරයට සම්බන්ධ විය. ඔහුගේ පළමු රැකියාව වූයේ ජම්ෂෙඩ්පූර්හි ටාටා ස්ටීල්  වානේ කර්මාණ්තශාලාවේ කම්කරුවන් භාර සුපර්වයිසර් වරයෙකු ලෙසය. එහිදී ඔහු කම්කරුවන් සමඟ වැඩ කරන්නට සිදුවූ අතර එය කිසිවිටකත් ලැජ්ජාවක් හෝ ධනවත් පවුලක දරුවෙකුට සිදුවන අවමානයක් ලෙස රතන් සැලකූවේ නැත. මෙම අත්දැකීම ඔහුට කම්කරුවන් සිතුම් පැතුම් මෙන්ම ඔවුන්ගේ වැඩගැනීමේදී මුහුණ දෙන්නට සිදුවන ගැටලු  තේරුම් ගැනීමට උපකාර වූ අතර පෙරමුණේ සිට නායකත්වය දීමේ වැදගත්කම ඔහුට ඉගැන්වීය.

මුල් වසරවලදී, එකල ටාටා සමූහයේ අධ්‍යක්ෂක මණ්ඩළය විසින් ටාටා සමූහය තුළ කුඩා සමාගම් කිහිපයක වගකීම රතන් ටාටාට පවරා ඇත. ඔහුගේ නායකත්වය යටතේ, මෙම සමාගම් වර්ධනය වී හොඳින් ක්‍රියාත්මක වූ අතර, ඔහු ජ්‍යෙෂ්ඨ විධායකයින්ගේ විශ්වාසය දිනා ගත්තේය. 1971 දී, රතන් ටාටා එවකට ටාටා සමූහයට අයත් පාඩු ලබමින් කඩාවැටෙන්නට ඔන්න මෙන්න තිබූ National Radio and Electronics Company Limited (NELCO) භාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී. සමාගම හැරවීමට ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළ නමුත් එකල සංවෘත්ත, ආනයන ආදේශක ප්‍රතිපත්තියක් අනුගමනය කල ඉන්දියාව තුල, NELCO සමාගම නවීන ඉලෙක්ට්‍රොණික භාණ්ඩ නිශ්පාදකයෙකු කිරීමට රතන් ටාටා ගත් උත්සාහය එතරම් සාර්ථක නොවීය.

1974: ටාටා ඉන්ඩස්ට්‍රීස් 

රතන් ටාටා, ටාටා සමාගමේ තවත් විශාල නිෂ්පාදන සමාගමක් වන ටාටා ඉන්ඩස්ට්‍රීස් සමාගමට කළමණාකරණ අධ්‍යක්ෂක ලෙස පත්කරන්නට අධ්‍යක්ෂක මණ්ඩළය කටයුතුකලා. සමූහය තුළ නව ව්‍යාපාර සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ වගකීම ටාටා ඉන්ඩස්ට්‍රීස් සතු විය. රතන් ටාටා සමාගම නවීකරණය කිරීමට සහ නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට කටයුතු කළේය. ටාටා ඉන්ඩස්ට්‍රීස් හි ඔහුගේ භූමිකාව අනාගතයේදී විශාල ව්‍යාපාර මෙහෙයවීමට අවශ්‍ය අත්දැකීම් ඔහුට ලබා දුන්නේය.

1981: ටාටා ඉන්ඩස්ට්‍රීස් හි සභාපති තනතුරට පත්වීම

1981 දී රතන්, ටාටා ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති ලෙස පත් කරන ලදී. මෙය ඔහුගේ වෘත්තීය ජීවිතයේ ප්‍රධාන අවස්ථාවක් වූයේ ටාටා සමූහයේ ව්‍යාපාරවල සමස්ත දිශානතියට බලපෑම් කිරීමට එය ඔහුට ඉඩ සලසා දුන් බැවිනි. සභාපතිවරයා ලෙස ඔහු සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සහ නවීකරණය කරා තල්ලු කිරීමට කටයුතු කළේය. මෙම කාලය තුළ ඔහු තාක්‍ෂණය සහ මෘදුකාංග සහ ස්වයංක්‍රීයකරණය වැනි නව අංශ කෙරෙහි අවධානය යොමු කළ අතර ටාටා ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සීග්‍ර වර්ධනයට සහ වෙනස් වන ව්‍යාපාරික පරිසරයට අනුව නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම හා පැරණි ව්‍යාපාර අනුවර්තනය කිරීම ඔහුගේ මග පෙන්වීම යටතේ සිදුවුනා.

ටාටා සමූහය නවීකරණය කිරීම

1981 ටාටා ඉන්ඩස්ට්‍රීස් හි සභාපති වීමෙන් පසු, ටාටා සමූහයට නැවුම් ඉදිරිදර්ශනයක් ගෙන ඒම සඳහා රතන් ටාටා මූලික වුනා. සමූහයේ බොහෝ සමාගම් පවත්වාගෙන ගියේ දශක ගණනාවක් තිස්සේ සමාගම සමඟ සිටි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් විසින් වූ අතර ඔවුන් පැරණි දැක්මවල් වල එල්බගෙන සිටි, වේගයෙන් දියුණුවෙන ලෝකයට නොගැලපෙන කළමණාකරණ ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියාකරන බව රතන් ටාටාට වැටහුනා. 

ඒ අනුව ඔහු ටාටා සමූහයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ සංවිධානය විධිමත් කිරීමට වෙනස්කම් කිරීමට පටන් ගත් අතර අවශ්‍ය තැන්වලදී පැරැන්ණන් ඉවත් කිරීමටද කටයුතු කලා. ඔහු ටාටා සමාගම් තුළ වඩාත් වෘත්තීයමය මට්ටමේ කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීම සහ තරුණ කුසලතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තේ සමාගමේ වේගවත් ඉදිරි ගමණට තරුණ ජවය අත්‍යාවශ්‍ය වූ නිසයි

නායකත්වය සඳහා සූදානම් වීම

1971 සිට 1991 දක්වා රතන් ටාටා විවිධ ටාටා සමාගම් කළමනාකරණය කිරීම සහ නායකත්වය දීමෙන් වටිනා අත්දැකීම් ලබා ගත්තේය. NELCO සහ Tata Industries හි ඔහුගේ ප්‍රායෝගික අත්දැකීම් ඔහුට විවිධ කර්මාන්තවල ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝග තේරුම් ගැනීමට උපකාරී විය. 

එමෙන්ම ඒ වනවිට සමාගමේ සභාපති ජේ ආර් ඩී ටාටා, රතන් ටාටා ගේ හැකියාවන් හඳුනාගෙන ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින්, ඔහුට අවැසි උපදෙස් ලබාදෙමින්, ටාටාගේ කළමණාකරණ හැකියාව ඔපමට්ටම් කිරීමට දායක වුනා. මෙම උපදේශකත්වය රතන් ටාටාගේ නායකත්ව විලාසය හැඩගැස්වීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලා.

රතන් ටාටා ගැන ජේ ආර් ඩී ටාටා තබා තිබූ දැඩි විශ්වාසය මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය හා දැක්ම පිලිබඳව සෙසු අධ්‍යක්ෂකවරුන්ට තිබූ පැහැදීමද අනුව රතන් ටාටාට, ඉන්දියාවේ විශාලම සමාගම් සමූහය නියමුවා ලෙස පත්වෙන්නට ඉඩලබා දුන්නා.

ටාටා සමූහයේ සභාපති බවට පත්වීම

1991 දී, ටාටා සමූහයේ සභාපති J.R.D ටාටා විශ්‍රාම ගියේය පසුව, ඒ අනුව, ජේ ආර් ඩී ටාටා විසින්ම තෝරාගත් සිය අනුප්‍රාප්තිකයා ලෙස ටාටා සමූහයේ හිමිකාර සමාගම වන Tata Sons හි සභාපති ලෙස රතන් ටාටා පත් විය. 

රතන් ටාටාට වඩා පලපුරුද්දෙන් වැඩි, වඩාත් විශාල සමාගම් පරිපාලනය කල ජ්‍යේෂ්ඨ ටාටා පවුලේ සාමාජිකයින් සමාගම් සමූහය තුල සිටි අතර, සංසදනාත්මකව තරුණයෙකු මෙන්ම විශාල සමාගම් පාලනය කර පලපුරුද්දක් නොතිබූ රතන් ටාටා ට ඒ වනවිටත් ඉන්දියාවේ දැවැන්තම සමාගමක්වූ ටාටා සමාගම නිසිපරිදි පරිපාලනය කරගැනීමට  හැකිවේදැයි ඉන්දියානු ව්‍යාපාරික ලෝකය තුල සැකයක් තිබුණා.

කෙසේ වෙතත් වැඩිකල් නොගොස්ම, සිය දැක්ම හා ව්‍යාපාරික සූක්ෂම භාවය ඔප්පු කිරීමට රටන් ටාටා සමත්විය. ඔහුගේ පළමු ක්‍රියාව වූයේ ටාටා සමූහය තුළ ඇති සමාගම් සංඛ්‍යාව අඩු කිරීමයි. එකල ටාටා සමූහය සතුව විවිධ සමාගම් 300කට අධික සංඛ්‍යාවක් තිබූ අතර ඒවායින් බොහොමයක් අඩු කාර්ය සාධනයක් පෙන්නුම් කළේය. රතන් ටාටා වඩා ලාභදායී සමාගම් කෙරෙහි අවධානය යොමු කළ අතර සමූහයේ ව්‍යාපාරය ඒකාබද්ධ කරන්නට කටයුතු කලා.

සභාපති ලෙස රතන් ටාටා සමාගමට ලබාදුන් ජයග්‍රහණ.

ටාටා ඉන්ඩිකා කාර් රථය (1998): රතන් ටාටාගේ විශාලතම ජයග්‍රහණවලින් එකක් වන්නේ Tata Motors හි පළමු මගී මෝටර් රථය වන Tata Indica නිර්මාණය කිරීමයි. එකල ඉන්දියානු වෙළෙඳපොළ ආධිපත්‍යය දැරුවේ විදේශීය මෝටර් රථ සමාගම් විසිනි. රතන් ටාටාට අවශ්‍ය වූයේ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත දැරිය හැකි මිලකට මෝටර් රථයක් තැනීමටය. Tata Indica 1998 දී දියත් කරන ලද අතර එය ඉන්දියාවේ නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද පළමු මෝටර් රථය බවට පත්විය. මෝටර් රථය මුලදී විවේචනයට ලක් වූ නමුත් එහි දැරිය හැකි මිල සහ ඉඩකඩ සහිත සැලසුම හේතුවෙන් එය ඉක්මනින් සාර්ථක විය.

Tetley Tea අත්පත් කර ගැනීම (2000) : 2000 දී Ratan Tata ගේ නායකත්වය යටතේ Tata Tea සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තේ සන්නාමයක් වන Tetley Tea අත්පත් කර ගත්තේය. මෙය සුවිශේෂී අවස්ථාවක් වූයේ ඉන්දියානු සමාගමක් විශාල විදේශීය සමාගමක් මිලදී ගත් පළමු අවස්ථාව මෙය වූ බැවිනි. මෙම අත්පත් කර ගැනීම Tata Tea ලොව දෙවන විශාලතම තේ සමාගම බවට පත් කළේය. මෙම ගනුදෙනුව පෙන්නුම් කළේ ඉන්දියානු සමාගම් ගෝලීය වේදිකාවේ තරඟ කළ හැකි බවයි.

Tata Consultancy Services (TCS) IPO (2004): Tata Group හි වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කල, එමෙන්ම ටාටා සන්නාමය ඇමරිකාවේ හා කැනඩාවේ පවා ප්‍රචලිත කලේ, ටාටා සමූහයේ මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ සේවා සමාගම වන Tata Consultancy Services (TCS) සමාගමයි. 

ටාටා කන්සල්ටන්සි සර්විසස් සමාගමේ ව්‍යාපාරික විභවය හඳුනාගත් රතන් ටාටා එය පෝෂණය කල අතර එය ගෝලීය තොරතුරු තාක්ෂණ කර්මාණ්තයේ විශාලම සමාගමක් බවට පත්කිරීමට විශාල දායකත්වය ලබා දුන්නා.

2004 දී රතන් ටාටා විසින් TCS කොටස් හුවමාරුවේ මූලික මහජන නිකුතුවක් (IPO) හරහා ලැයිස්තුගත කිරීමට තීරණය කළේය. මූලික කොටස් නිකුතුව ඉතා සාර්ථක වූ අතර TCS ඉන්දියාවේ වටිනාම සමාගමක් බවට පත් විය. අද වන විට TCS යනු ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සේවා සමාගමකි.

Jaguar Land Rover (2008) අත්පත් කර ගැනීම: 2008 දී, Tata Motors විසින් ඒ වනවිට ඇමරිකාවේ ෆෝඩ් මෝටර් රථ සමාගම සතුව තිබූ, බ්‍රිතාන්‍යයේ ඉතාමත් කීර්තිමත් මෝටර් රථ සන්නාම වන ජැගුවර් හා ලෑන්ඩ් රෝවර් සමාගම් අත්පත් කරගැනීමට සමත් වුනා.

මේ සඳහා ඉමහත් පරිශ්‍රමයක් මෙන්ම දශකයක පමණ කාලයක් උත්සහ කිරීමට රතන් ටාටාට සිදුවුනේ, කොතරම් පාඩු ලබමින් සිටියත් ජැගුවර්-ලෑන්ඩ් රෝවර්, ඉන්දියානු සමාගමකට විකුණා දැමීම ඉතාමත් පහත් දෙයක් බවට ෆෝඩ් සභාපතිවරයා ඇතුලු ෆෝඩ් අධ්‍යක්ෂකවරුන් සිතූ නිසයි. විටෙක ෆෝඩ් සමාගමේ මෙන්ම ඇමරිකානු මෙන්ම බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ප්‍රජාවේ උසුලු-විසුලුවලට පාත්‍රවීමටද තමාට සිදුවූ බව රතන් ටාටා පසුකලෙක ප්‍රකාශකොට තිබුණා.

කෙසේ වෙතත්, දැඩි උත්සහයක් දරා ඩොලර් බිලියන 2.3ක් ගෙවා ජැගුවර් ලෑන්ඩ් රෝවර් මිලට ගැනීමට රතන් ටාටා සමත්වුනා.

ගණුදෙනුව සාර්ථකව අවසන්වුවද, බ්‍රිතාන්‍ය රැජිණ පවා සිය පුද්ගලික වාහන ලෙස භාවිතා කරන, ජැගුවර් හා ලෑන්ඩ් රෝවර් සන්නාම දෙක දියුණු කර ගැනීමට ලාභ කාර් නිශ්පාදනය කරන ඉන්දියාවේ ටාටා ට හැකි නොවනු ඇතැයි බොහෝ දෙනා සැකපල කල අතර, වැඩිකලක් නොගොස්ම, JLR යලිත් විකුණාදැමීමට ටාටාට සිදුවෙනු ඇතැයි අනාවැකි පලවුනා.

එහෙත් මේ අනාවැකි බොරු කරමින්, ජැගුවාර් හා ලෑන්ඩ් රෝවර් සමාගමේ ස්වාධීන පාලනය එසේම තිබෙන්නට හරිමින්, ඔවුන්ගේ තාක්ෂණය හා ඉන්ජිනේරු වපරිසය ආරක්ෂාකරමින්, අලුත්ම වාහන මාදිලි හා තාක්ෂණ නිර්මාණයට අවශ්‍ය බිලියන ගණන් ආයෝජන ලබාදීමට රතන් ටාට කටයුතුකල අතර, එහි ප්‍රතිපලයක් ලෙස ජැගුවාර් හා ලෑන්ඩ් රෝවර් සමාගම් එම සමාගමේ මෑත ඉතිහාසයේ පලමුවරට ලාභ උපදවන්නට පටන් ගත්තේ ටාටා සමූහයේ කොටසක් වූ පසුවයි. අදටත් JLR සමාගම් බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයේ ලාභදායි මෙන්ම කීර්තිමත්ම සමාගමක් ලෙස වැජබෙන්නේ රතන් ටාටා එය මිලදීගෙන පෝෂණය කල බැවිනුයි.

විශ්‍රාම දිවිය

Ratan Tata 2012 දී Tata Sons හි සභාපති ධූරයෙන් ඉවත් විය, වයස අවුරුදු 75 දී. ඔහුගෙන් පසුව ටාටා සමාගමේ විශාල කොටස් හිමි පවුලක් වන මිස්ට්‍රි නම් ඉන්දියානු ව්‍යාපාරික පවුලේ සාමාජිකයෙකු වූ සයිරස් මිස්ට්‍රි පත්වුනා. විවිධ අනවබෝධතා නිසා 2016 දී, සයිරස් මිස්ට්‍රි ඔහුගේ තනතුරෙන් නෙරපා හැරීමෙන් පසු රතන් ටාටා කෙටි කලකට අතුරු සභාපති ලෙස නැවත පැමිණියේය. අවසානයේ 2017 දී ටාටා සන්ස් හි නව සභාපතිවරයා ලෙස ටාටා කන්සල්ටන්සි සර්විසස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතුකල දකුණු ඉන්දියානු සම්භවයක් ඇති නටරාජන් චන්ද්‍රසේකරන් පත්වුනා.

Comments