2013 වසරේ වැඩිදියුණුවන නවතම තාක්ශණයන් - Cognitive Radio / IGZO Display

Cognitive Radio
වේගයෙන් ඉහලයන ජංගම දුරකථන භාවිතය, වසරක් පාසා දෙගුණවන රැහැන් රහිත 3G/4Gබ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සම්ප්‍රේෂණ පරිමාව වැනි හේතූන් නිසා  රැහැන් රේඩියෝ තරංගමාලාවල හිඟයක් ඇති වෙමින් පවතී. මේ නිසා ලොවපුරා නියාමන ආයතන රේඩියෝ තරංගමාලා සඳහා අධික මිළගණන් අයකරමින් සිටින අතර මේ හේතුවෙන් දුරකථන සමාගම් රැහැන් රහිත බ්‍රෝඩ්බෑන් සබඳතා සඳහා අයකරන මිළගණන් අනාගතයේදී බෙහෙවින් ඉහල යනු ඇතැයි තාක්ශණවේදීන් පවසයි. 

මෙයට විසඳුමක් විය හැකි තාක්ශණයක් අමෙරිකාවේ රුට්ගර්ස් විශ්වවිද්‍යාලය හා xG Technology නම් සමාගම බිහිකොට ඇති බව වාර්තාවේ. කොග්නිටිව් රේඩියෝ ලෙස නම්තබා ඇති මෙම තාක්ශණයේ ක්‍රියාත්මක වන්නේ ඉතා වේගයෙන් තරංග සංඛ්‍යාත වෙනස් කරමින් නිදහස් සංඛ්‍යාතවලට මාරුවෙමින් නොකඩවා දත්ත හෝ හඬ සබඳතාවය තබාගැනීමෙනි. ඒ අනුව කොග්නිටිව් තාක්ශණයෙන් නිමැවුනු ජංගම දුරකථන හා වෙනත් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවලට සංඛයාත හිඟවීමෙන් සබඳතාවය අහිමිවීමේ හෝ දත්ත සම්ප්‍රේශණය මන්දගාමීවීමේ ගැටළුවෙන් නිදහස් විය හැකි අතර සංඛ්‍යාත සඳහා දැනට ඇති අධික ඉල්ලුම අඩුකරගැනීමටද හැකියාව ඇතැයි පැවසේ.

මෙම තාක්ශණය විෆි තාක්ශණයේ දත්ත හුවමාරු වේගයට වඩා 8ගුණයක් වේගවත් වන අතර මයික්‍රෝතත්පර 50කදී එක් සංඛ්‍යාතයකින් තවත් සංඛ්‍යාතයකට මාරුවීමේ හැකියාව ඇත.

xG Technology සමාගම දැනටමත් ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝඩඩේල් ප්‍රදේශයේ අත්හදා බැලීමේ කොග්නිටිව් රේඩියෝ ජාලයක් නිර්මාණය කොට ඇති අතර එහි නිවැසියන්ගෙන් තෝරාගත් පිරිසකට අත්හදාබැලීමේ පදනම මත බ්‍රෝඩ්බෑන්ඩ් ජංගමදුරකථන පහසුකම් මෙම ජාලය හරහා ලබාදී ඇත. මෙම තාක්ශණය ඉතා වැදගත් බැවින් අමරිකාවේ දුරකථන හා සබැඳි තාක්ශණයක් පිලිබඳව නියාමන ආයතනය වන Federal Communications Commission (FCC) ආයතනය මෙම තාක්ශණයට නීතිමය අවසර ලබාදීම සළකාබලමින් සිටින බව පැවසේ.

IGZO Display


Indium Gallium Zinc Oxide (IGZO) display තාක්ශණය LED තිර තාක්ශණයේ අලුත්ම පෙරලිය ලෙස PC World සඟරාව වාර්තාකරනවා. LCD හා LED (SuperAMOLED තිරද ඇතුලුව) ක්‍රියාත්මක වන්නේ තුනී, පාරදෘශ්‍ය සිලිකන් තට්ටුවක් මත නිමැවුනු  Thin Film Transistors (TFT) නම් ට්‍රාන්සිස්ටර් පද්ධතියක් ඇසුරිනි. LED/LCD තිරයක පික්සල් නිමැවී ඇත්තේ මෙම ට්‍රාන්සිස්ටර්වලිනි. දැනට මෙම ට්‍රාන්සිස්ටර් නිමවන්නේ සිලිකන් මූලද්‍රව්‍යයෙන් වන අතර තාක්ශණයට අනුව සිලිකන් වෙනුවට තිරයේ ට්‍රාන්සිස්ටර් සඳහා ඉන්ඩියම්-ගැලියම්-සින්ක්-ඔක්සයිඩ් නම් සංයෝගය භාවිතා කරනවා. සිලිකන් හා සසඳනවිට ඉග්සෝ සංයෝගය ආධාරයෙන් LED තිරයක ට්‍රාන්සිස්ටර් නිමැවීමේදී ඒවා ඉතා කුඩාවට නිමැවිය හැකි බව ඉග්සෝ තිර තාක්ශණයේ පුරෝගාමියෙකු වන ජපානයේ ශාප් සමාගම පවසනවා.

ට්‍රාන්සිස්ටර් කුඩාවන විට තිරයේ පික්සල්ද කුඩාවන නිසා වර්ග අඟලකට වැඩි පික්සල් ප්‍රමාණයක් ඇතුලත් කිරීමට හැකිවන අතර ඒ අනුව තිරයේ විබේධනයද (resolution) ඉහලදැමීමට හැකිවනවා. දැනට ශාප් සමාගම අඟලකට පික්ස්ල් 498ක් ඇතුලත් තිරයක් නිමවා ඇති අතර මෙය දැනට ඉතා ඉහල වීබේධනයක් ඇති ඇපල් සමාගමේ රෙටිනා තිරයට (retina display) වඩා විබේධනයෙන් ඉහල බව පැවසෙනවා. අයිෆෝන් 5 සඳහා ලබාදී ඇති රෙටිනා තිරයේ විබේධනය අඟලකට පික්සල් 336ක් වනවා. 2013 වසරේදී ඉග්සෝ තිර නිශ්පාදනය වාණිජ මට්ටමින් ඇරඹීමට බලාපොරොත්තු වනවා.


Comments