Knightscope K5 සිලිකන් නිම්නයේ රොබෝ කොප්


කොප් හෙවත් පොලිස් කාරයා ලෙස හැඳින්වූවාට, මෙම රොබෝවාට මිනිස් පෙනුමක් ඇත්තේම නැත. පෙනුමින් ස්ටාර් වෝස්  චිත්‍රපට මාලාවේ R2D2ට සමානය. නයිට්ස්කෝප් K5 ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර ලෙස හැඳින්වෙන මෙම රොබෝ ආරක්‍ෂකයන් කැලිෆෝනියාවේ මවුන්ටන් විව්හි පිහිටා ඇති නයිට්ස්කෝප් රොබෝ තාක්‍ෂණ සමාගමේ නිර්මාණයකි.

අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම රොබෝවන් 5දෙනෙකු මයික්‍රෝසොෆ්ට් සමාගමේ කැලිෆෝනියාවේ පිහිටි ආයතන පරිශ්‍රයේ සේවයේ යොදවා ඇත. අඩි 5ක් උස රාත්තල් 300ක් බර K5 රොබෝවාට පැය 24ක් එකදිගට බැටරි බලයෙන් ක්‍රියාකල හැකි අතර බැටරි බැසයනවිට ආරෝපණ මධ්‍යස්ථානයක් වෙත ස්වයංක්‍රීයව ගමන් කරයි.

මේවා මයික‍්‍රෆෝන, ස්පීකර්, කැමරා, ලේසර් ස්කෑනර් සහ සංවේදක වලින් සමන්විත බව පැවසේ.
අසාමාන්‍ය හැසිරීම් නිරීක්‍ෂණය කර පාලන මධ්‍යස්ථානයට දැනුම්දීම සඳහා මෙම රොබෝ ආරක්‍ෂකයින් ක‍්‍රමලේඛනය කර ඇති අතර ගන්ධ සහ තාප සංවේදකද එහි අඩංගු වේ. එහි ඇති කැමරා භාවිතයෙන් මිනිත්තුවකට රථ වාහන අංක තහඩු 300ක් මතකයේ ගබඩා කර ගත හැකිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මීට අමතරව අංශක 360ම ආවරණය වල පරිදි HD වීඩියෝ පටිගතකිරීම සඳහා කැමරා ඇති අතර, තාපසංවේදක කැමරා රාත්‍රීකාළයේදී අනවසරයෙන් ගැවසෙන්නන් පහසුවෙන් හඳුනාගනු ඇත. යන්ත්‍රය අවට ප්‍රදේශයේ සැරිසරන වාහන, පුද්ගලයින් හා වෙනත් වස්තු සඳහා ඇති දුර, ඒවාගේ වේගයන් හා අවට පරිසරයේ සියලුම දෑ පිලිබඳව දත්ත එකතුකිරීම සඳහා Ultrasonic scanner, Lidar, Radar යන තාක්ශණයන් අඩංගු සංවේදක රාශියක් මෙහි ඇතුලත් කොට ඇත.

රොබෝවේ ඉදිරියට යමෙකු පියනැගූ විට එය එම පුද්ගලයා නිරීක්‍ෂණය කළ හැකි පිහිටීමකට ගමන් කරන අතර ඔහු සොරෙකු නම් පුද්ගලයා කැමරා මගින් නිරීක්‍ෂණය කෙරෙන අතරවාරයේදී වීදුරු බිඳෙන හඬ, වෙඩි හඬ, මිනිසුන් හඬන, කෑගසන හෝ උදව් ඉල්ලන හෝ වෙනත් ශබ්දයක්ද ග‍්‍රහණය කරගනු ඇති අතර ඒවා ක්ෂණයකින් සිය කෘත්‍රිම බුද්ධිය හරහා විශ්ලේෂණය කොට අවශ්‍ය නම් ආරක්ශක අංශ හෝ පොලීසිය කැඳවීමේ හැකියාව මෙයට ඇත.

මෙම ව්‍යාපෘතියේ සම නිර්මාතෘ ස්ටේසි ස්ටීවන්ස් පවසා ඇත්තේ මෙම සිදුවීම වන ස්ථානයේ පිහිටුම, වාහනයේ ඡයාරූප, අංක තහඩුවේ ඡයාරූප ආදී සියල්ල මෙම රොබෝ ආරක්‍ෂකයා විසින් ලබාදෙනු ඇති බවයි. රාත්‍රී ජාමයේ පාලු ආයතන භූමිභාග, රථගාල්, ගොඩනැගිලි පරිශ්‍ර සොරුන්ගෙන් ආරක්ශාකිරීමේ අණතුරුදායක මෙන්ම පාළුව හා කාන්සිය රජයන රාත්‍රී මුරපල්ලන්ගේ රැකියාව R5 ඉතා කාර්යක්ශමව ඉටුකොට දෙනු ඇතැයි සමාගම පවසයි.

මෙම යන්ත‍්‍ර ඉන්ධන පිරවුම්හල්, කාර්යාල, නිවාස සංකීර්ණ, විශ්වවිද්‍යාල භූමිභාග ආදී ස්ථානයන්හි පා මුර සංචාර සඳහා අලෙවිකිරීමට සමාගම බලාපොරොත්තුවේ. 


Comments