NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

CRIME / CSI : තරුණියන් පැහැරගෙන ඝණ කැලෑවට මුදා හැර සතුන් මෙන් දඩයම් කල රොබර්ට් හෙන්සන්

"බුචර් බේකර්" (Butcher Baker) යන නමින් ප්‍රසිද්ධ වූ රොබට් හැන්සන් (Robert Hansen), 1971 සහ 1983 කාලසීමාව තුළ ඇලස්කාවේ ඇන්කරේජ් (Anchorage) නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක වූ බිහිසුණු දාම-ඝාතකයෙකි (serial killer). බාහිර සමාජයට ඔහු පෙනී සිටියේ සාමාන්‍ය, මෘදු ගුණැති බේකරි හිමියෙකු ලෙසයි. 

දරුවන් සිටින, විවාහක, ප්‍රියමනාප බේකරි හිමියා

විවාහකයෙකු, දරුවන් සිටින පියෙකු මෙන්ම දක්ෂ දඩයක්කාරයෙකු  වූ හැන්සන් දුන්නෙන් විදීමේ හා ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙකු වූ අතර ග්‍රිස්ලි වළසුන් වැනි විශාල සතුන් දඩයම් කර ඇමරිකාවේ දඩයක්කරුවන්ගේ සමාජවල ඉහල නමක් දිනාගෙන සිටියේය. 

නමුත් එම සාමාන්‍ය ස්වරූපයට මුවා වී ඔහු වසර දොළහක කාලයක් පුරා කාන්තාවන් අවම වශයෙන් 17 දෙනෙකු—සමහර විට 21 දෙනෙකු හෝ ඊටත් වැඩි පිරිසක්—රහසිගතව පැහැරගෙන ගොස්, දූෂණය කර, ඇලස්කාවේ ඝණ වනාන්තර තුලට මුදාහැර සතුන් මෙන් දඩයම් කරමින් කෲර සතුටක් ලැබූවේය.

ප්‍රධාන ඉලක්කය ගණිකාවන් හා සමාජශාලාවල නර්ථනයේ යෙදෙන රැකවරණ අඩු තරුණියන් 

හැන්සන් විශේෂයෙන්ම ඉලක්ක කළේ එතරම් හව්හරණක් නැති කාන්තාවන්ය. ඒ අතුරින් ඇන්කරේජ් හි රාත්‍රී සමාජශාලා වල සේවය කළ ගණිකාවන් සහ නර්තන ශිල්පිනියන් කෙරෙහි ඔහු ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගත්තේය. එම තරුණියක්ගෙන් ලිංගික සේවාවක් ලබාගැනීමට හෝ නිරුවත් ඡායාරූප ගැනීම සඳහා විශාල මිළගණන් පොරොන්දුවුනු වෙමින් ඔවුන්ව රවටා නිවසවෙත රැගෙන ගොස් තිබෙනවා.

බිරිඳක් හා දරුවන් දෙදෙනෙකුද සිටි නිසා හෙන්සන් ඔහුගේ බිහිසුණු ඝාතන සඳහා ග්‍රීෂ්ම  නිවාඩු කාලය තෝරාගත්තේ එම කාළය තුල පාසැල් නිවාඩු නිසා බිරිඳ සිය දරුවන් ද රැගෙන නෑදෑ හිතවතුන් බැලීමට පිටත්ව යාම පුරුද්දක් කරගෙන සිටි නිසයි.

නිවසේදී ඔවුන්ව බියවද්දා දූෂණය කල හෙන්සන් ඔවුන්ගේ අතපය බැඳ වාහනයකට දමාගෙන නිවසට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කුඩා ගුවන් පථයවෙත ගෙනයනවා.

කැලෑබද කුඩා ඉඩකඩවල්වට ගුවන්යානා ගොඩබැස්වීමේ අති දක්ෂ නියමුවෙක්

අති දක්ෂ දඩයක්කාරයෙකු මෙන්ම ඉතාමත් දක්ෂ ගුවන් නියමුවෙකුද වූ හෙන්සන් සතුව පයිපර් සුපර් කබ් (Piper Super Cub) වර්ගයේ කුඩා ගුවන්යානයක් තිබුණා. සිය ගොදුර ගුවන් යානයට පටවා ගන්නා ඔහු ඇන්කරේජ් සිට සැතපුම් ගණනාවක් ඈත ඇලස්කානු තුන්ද්‍රා වනාන්තරයේ නික් ගංගා නිම්නය (Knik River Valley)  වෙත පියාසර කරන අතර එහි යම් ස්ථානයක යානය ගොඩ බස්වනවා. 

ගුවන් පථයක් නොමැති, කුඩා තණබිම් කොටස්, වියලී ගිය ගං පතුල් වැනි ඉතා දුෂ්කර ස්ථානවලට සිය යානය ගොඩබැස්වීමට දක්ෂයෙකු වූ හෙන්සන්, සිය ගොදුර වූ තරුණියව නිරුවත්කොට බිය ගන්වා කැලෑව තුලට දිවගොස් සැඟවෙන ලෙස පලවා හරිනවා.

පසුව සැඟවුනු  මුවෙකු පසුපස හඹා යන දඩයක්කාරයෙකු මෙන් ඔවුන් සොයා හඹා යනවා. දඩයම් රයිෆලයක් හෝ දඩයම් දුණු-ඊතල අතැතිව එම දුෂ්කර භූමි ප්‍රදේශය හරහා කාන්තාවන් ලුහුබැඳ  යන ඔහු, ඔවුන්ව හසුකර ගත්විට වෙඩිතබා හෝ ඊතලවලින් විද සතෙකු මෙන් මරාදමනවා.


දාම ඝාතකයෙකු (serial killer) ඇලස්කාවේ ඇන්කරේජ් පෙදෙසේ සැරිසරන බවට සැක මතුවේ

1982 සහ 1983 වසරවලදී සොයාගත් මළ සිරුරු කිහිපයක් හේතුවෙන්, ඇන්කොරේජ් නගරයේ කාන්තාවන් ඉලක්ක කරගත් දාම ඝාතකයෙකු සිටින බවට සැකයක් මතුවිය. එම අවස්ථාවේදී ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සැලකිය යුතු අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. ඇන්කොරේජ් යනු නිතරම ජනතාව පැමිණෙමින් හා පිටවෙමින් සිටි නගරයක් වූ අතර, වින්දිතයන්—බොහෝවිට නර්තන ශිල්පිනියන් සහ ලිංගික සේවයේ නිරත කාන්තාවන්—අතුරුදන් වූ බවට වාර්තා ලැබුණේද බොහෝ විට දිගු කාලයක් ගතවීමෙන් පසුවය.

මෙය විසඳීම සඳහා ඇලස්කා ප්‍රාන්ත පොලිසියේ රහස් පරීක්ෂක ග්ලෙන් ෆ්ලෝතේ (Detective Glenn Flothe), වර්ජිනියා ප්‍රාන්තයේ ක්වොන්ටිකෝහි පිහිටි FBI ආයතනයේ හැසිරීම් විද්‍යා ඒකකය (Behavioral Science Unit – BSU) සමඟ සම්බන්ධ වුනා. එහිදී ඔහු අපරාධකරුවන්ගේ හැසිරීම් විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ රෝයි හේසල්වුඩ් (Roy Hazelwood) සමඟ ඇන්කරේජ් හි සිදුවන්නේ කුමක්ද, එම ක්‍රියාව සිදුකරන පුද්ගලයාගේ හැසිරීම, පෞරුෂත්වය, මානසික මට්ටම ආදිය පිලිබඳව අනුමාන නිර්මාණය කරන්නට පටන් ගත්තා.

අපරාධ සිදුවූ ස්ථාන, වින්දිතයන්ගේ පසුබිම සහ දුරස්ථ ප්‍රදේශවල මළ සිරුරු බැහැර කිරීම සඳහා භාවිත කළ ක්‍රමවේද විශ්ලේෂණය කිරීමෙන් පසුව, FBI හි හැසිරීම් විද්‍යා ඒකකය (BSU) විසින් අපරාධකරු සම්බන්ධයෙන් ඉතා නිශ්චිත මනෝවිද්‍යාත්මක පැතිකඩක් සකස් කර ගන්නට ඔවුනට පුලුවන් වුනා.

එම පැතිකඩ විශ්ලේෂණයට අනුව මෙම දාම ඝාතකයා;

  • “දඩයම්කරුවෙකුගේ” මානසිකත්වය: ඝාතකයා එළිමහන් පරිසරයේ කටයුතු කිරීම පිළිබඳ හොඳ අත්දැකීම් ඇති පුද්ගලයෙකු විය හැකි බවත්, ගුවන් යානා පැදවීමේ බලපත්‍රයක් මෙන්ම පෞද්ගලික ගුවන් යානයකට ප්‍රවේශය තිබිය හැකි බවත් නිගමනය කෙරිණි. ඒ අනුව, Knik River Valley වැනි දුරස්ථ වනගත ප්‍රදේශවල අතරමං නොවී ගමන් කිරීමට ඔහුට හැකියාව තිබිය හැකි බවට විශ්ලේෂකයන් අදහස් කළහ.
  • අඩු ආත්ම අගය සහ ගොතගැසීම/කථන දුර්වලතාව: මෙම පුද්ගලයා තුළ සමාජීය වශයෙන් තමා අසාර්ථක යැයි හැඟීමක් හෝ කාන්තාවන්ගෙන් ප්‍රතික්ෂේප වීම සම්බන්ධ ගැඹුරු මානසික හැඟීම් තිබිය හැකි බව විශ්ලේෂකයන් සඳහන් කළහ. එම අඩුපාඩුකම් පියවා ගැනීම සඳහා අධික ආධිපත්‍යයක් පෙන්වන හැසිරීම (controlling behaviour) , අනෙක් අය පාලනය කිරීම සහ දඩයම් කර ජයග්‍රහණයේ සලකුණු ලෙස දේවල් රැස් කිරීම වැනි අන්ත හැසිරීම් ඔහු තුළ දක්නට ලැබිය හැකි බව නිගමනය වුනා.
  • බාහිරින් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනීසිටීමේ දක්ෂකම: බාහිර පෙනුමෙන් ඔහු සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනී සිටිය හැකි විය. ඔහු විවාහක, ස්ථිර රැකියාවක නිරත පුද්ගලයෙකු විය හැකි අතර, දෛනිකව ඇසුරු කරන පුද්ගලයන්ට ඔහු තුළ පැහැදිලි ප්‍රචණ්ඩකාරී ලක්ෂණ සඟවාගෙන සිටීමේ හැකියාව ඇතැයිද නිගමනය වුනා.
  • වින්දිතයන්ගෙන් සිහිවටන රැස් කිරීම: ඝාතකයා තම වින්දිතයන්ගෙන් පෞද්ගලික භාණ්ඩ ක්‍රමානුකූලව රැගෙන ඒවා සිහිවටන ලෙස තබාගන්නා බවටද විශ්ලේෂණය කෙරිණි. ආභරණ, රියදුරු බලපත්‍ර සහ ගිනි අවි වැනි භාණ්ඩ, ඔහුගේ බලය සහ පාලනය සංකේතවත් කරන සිහිවටන ලෙස තබා ගන්නා අයෙකු විය හැකි බවත් පෙනුනා.

පලාගිය ගොදුර නිසා කොටුවූ ඝාතකයා


විමර්ශනයට විශාල ඉදිරි පියවරක් ලැබුණේ 1983 වසරේදීය. එම අවස්ථාවේදී 17 හැවිරිදි ලිංගික ශ්‍රමිකයෙකුවූ සින්ඩි පෝල්සන් (Cindy Paulson), ගුවන් තොටේදී, හැන්සන් ඇයව සිය යානයට දමා ගැනීමට පෙර ලැබුණු ඉස්පාසුවකින් පැනගොස් දිවි බේරා ගත්තා.


ඇය ලබාදුන් සාක්ෂි හා, ඔහුගේ පෞද්ගලික නිවස් පරීක්ෂාවට ගත් උසාවි නියෝගයෙන් හෙලිවුනු සාක්ෂි මත නිහඬතාවය අවධිකල ඝාතකයා  මිනීමැරුම් 17ක් සහ ස්ත්‍රී දූෂණ දුසිම් ගණනක් සිදු කළ බවට පාපොච්චාරණය කරමින් පිලිගත්තේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලිහිල්කර ගැනීමට ඇතිකරගත් නෛතිකමය ගිවිසුමකින් පසුවයි.


1984 වසරේදී, ඔහුට නිදහස් වීමට කිසිදු අවස්ථාවක් නොමැතිව වසර 461ක සිර දඬුවමක් නියම කෙරුනා. හැන්සන් 2014 අගෝස්තු මාසය දක්වා සිරගතව සිටියේය. එම මාසයේදී, වයස අවුරුදු 75ක්ව සිටියදී, ඔහු සිරගතව සිටි අතරතුර ස්වාභාවික හේතූන් මත මිය ගියේය.





Comments