ඇන්ඩි ග්‍රෝව් (1936-2016) - සිලිකන් නිම්නයේ පතාක යෝධයෙකුගේ නික්මයාම

කොම්පියුටර් බදාගෙන නිදාගන්න, පාන් ගේන්ඩ යනකොටත් අයි පෑඩ් එක අරගෙන යන ලංකාවේ අධිතාක්ශණික-උන්මාදයෙන් පෙලෙන පාසැල් වයසේ තරුණයින් කී දෙනෙක් ඇන්ඩි ග්‍රෝව් ගැන අහලවත් තියෙනවද දන්නේ නෑ..... 

තොරතුරු තාක්ශණ විප්ලවය, සැබෑ විප්ලවයක් කරන්නට විශාල මෙහෙයක් කල ඇන්ඩි ග්‍රෝව් පසුගිය සතියේ නික්ම ගියා. 

 සෙප්පඩ නිළියකගේ කාර් එක හැප්පුනාම, නැත්තම් කසාදෙ කැඩුනහම මහා ලොකුවට පෙරලි-පෙරලි ලිපිදාන වීඩියෝ පෙන්නන, නූගත්, කපටි දේශපාලකයින්ගේ කට හැකර කතාවලට, දුසිල් භික්ෂූන්ගේ ගොන්පාට් වටල පිටු ගණන් වෙන්කරන අපේ විද්යුත් හා විද්යුත් නොවන බොහෝ මාධ්‍යවලට මේ යුග පුරුෂයාගේ නික්මයාම ප්‍රවෘත්තියක් වුනේ නෑති එක කණගාටුවක්.. 


ඇන්ඩි ග්‍රෝව් මහතාගේ අභාවය සැළවූ වහාම ඉන්ටෙල් සමාගම නිකුත්කල ට්විටර් පණිවුඩය.

András István Gróf  ලෙස 1936 සැප්තැම්බර් 2 දින හන්ගේරියාවේ බුඩාපේස්ට් නුවරදී උපතලැබූ ඇන්ඩිගේ දෙමව්පියන් යුදෙව් ජාතිකයින් විය. ඔහුට වයස 8 වනවිට දෙවන ලෝක යුද්ධය ආරම්භවූ අතර හිට්ලර්ගේ නට්සි හමුදාව හන්ගේරියාවට කඩාවැදී හන්ගේරියානු යුදෙව්වන් 500,000ක් වැඩ කඳවුරු වෙත පිටත්කොට යැවුවේය.

කුඩා ඇන්ඩි හා ඔහුගේ මව හිත මිතුරන්ගේ ආධාරයෙන් සැඟවී නට්සීන්ගෙන් ගැලවුනු නමුත් ඔහුගේ පියා වහල් කඳවුරකට යවනු ලැබීය. වාසනාවකට නට්සීන් අතින් මිලියන ගණනක් යුදෙව්වන්ට අත්වූ ඉරණමෙන් ගැලවීමට ඇන්ඩිගේ පියා සමත්වූ අතර යුද්ධයෙන් පසු ඔවුන් නැවත එකතුවිය.

යුද්ධයෙන් පසු සෝවියට් රතු හමුදාව හන්ගේරියාවේ කොමියුනිස්ට් පාළණයක් ස්ථාපනය කල අතර 1956දී කොමියුනිස්ට් ඒකාධිපති පාළණයට විරුද්ධව හන්ගේරියානු විප්ලවය ආරම්භවිය. සෝවියට් දේශය රතු හමුදාව හන්ගේරියාවට යවා විප්ලවය දරුණුලෙස මර්ධනය කල අතර එවක විසි හැවිරිදි වූ ඇන්ඩි ග්‍රෝව් සිය පවුලෙන් සමුගෙන තවත් සරණාගතයින් දහස් ගණනක් සමග ඔස්ට්‍රියාව වෙත පලාගියේය.

1957දී අමෙරිකාවට පැමිණීමට වාසනාව ලැබූ ඇන්ඩිගේ ජීවිතය වෙනස්වූයේ ඉන් අනතුරුවයි. දැඩි උත්සහයෙන් ඉගෙන ගත් ඇන්ඩි නිව්යෝක් සිටී විශ්වවිද්‍යාලයෙන් රසායණික ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධියක් දිනාගත් අතර පසුව කැළිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතියට අයත් යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා - බර්කලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් දිනා ගත්තේය.

1963දී ආචාර්ය උපාධිය අවසන්කල පසු, ඇන්ඩි එවක කැලිෆෝනියාවේ නැගී එන ඉලෙක්ට්‍රොණික සමාගමක් වූ ෆෙයාචයිල්ඩ් සෙමිකන්ඩක්ටර් සමාගමට පර්යේෂකයෙකු ලෙස බැඳුනු අතර උත්සහයෙන් වැඩ කිරීම නිසා 1967 වනවිට පර්යේෂණ කටයුතු පිලිබඳව අධ්‍යක්ශක තනතුරු දක්වා උසස්වීම් ලබාගන්නට දක්ශවිය.

මේ වනවිට ෆෙයාචයිල්ඩ් සමාගම අර්ධසන්නායක සංගෘහිත පරිපථ (silicon integrated circuits) නිර්මාණය කිරීමේ පර්යේෂණ වල නියැලී සිටියේය. මේ කාළයේදී ට්‍රාන්සිස්ටරයේ සම-නිර්මාතෲවරයා වූ රොබර්ට් නොයිස් හා පසුකලක සිලිකන් පරිපථවල හැකියාව පිලිබඳව සුප්‍රකට නීතියක් ලෙස පිලිගැනුනු මුවර්ගේ නීතිය (Moor's Law) ලොවට පිලිගැන්වූ ගෝර්ඩන් මුවර් ෆෙයාචයිල්ඩ් සෙමිකන්ඩක්ටර් සමාගමේ සේවය කල අතර ඔවුන් හා ඒක්ව පර්යේෂණ වල නිරතවීමේ අවස්ථාව ඇන්ඩි ග්‍රෝව් හට හිමිවිය.

මෙම පර්යේෂන ඇසුරින් උගත් දෑ එක් රැස් කොට ඇන්ඩි ග්‍රෝව්, 1967දී විශ්වවිද්‍යාල සිසුන්ගේ පරිශීලනය සඳහා "Physics and Technology of Semiconductor Devices" නම් පොතක් සම්පාදනය කල අතර එය අර්ධ-සන්නායක ඉලෙක්ට්‍රොණික තාක්ශණය ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුන් සඳහා අනිවාර්ය කියවීමක් ලෙස නම් කෙරුනි.

ඇන්ඩි ග්‍රෝව්, ගෝර්ඩන් මුවර් හා රොබර්ට් නොයිස් 1978දී
1968දී රොබර්ට් නොයිස් හා ගොර්ඩන් මුවර් ෆෙයාචයිඩ් සමාගමෙන් ඉවත්ව "ඉන්ටෙල්" නම් නව සමාගමක් ආරම්භ කල අතර එම සමාගම වැඩ ඇරඹූ පලමු දිනයේම ඇන්ඩි ග්‍රෝව් එහි පලමු සේවකයා ලෙස බැඳුනි. ඉන්ජිනේරු කටයුතු පිලිබන්ද අධ්‍යක්ශකවරයා ලෙස පත්වීම ලැබූ ඇන්ඩි, ඉන්ටෙල් සමාගමේ නිශ්පාද කටයුතු අරම්භ කිරීමට දැඩි ලෙස වෙහෙසුනි. ඉන්ටෙල් සමාගමේ ප්‍රධානම නිශ්පාදිතය වුයේ ඉහල තත්වයේ පරිගණක මතක පරිපථයි. DRAM හෙවත් Dynamic Random Access Memory ලෙස හැඳින්වුනු මෙම පරිපථ තාක්ශණයේ හා නිශ්පාදනයේ දැවැන්තයෙකු බවට ඉන්ටෙල් සමාගම 1980 දශකය වනවිට පත්ව සිටියේය. එම සාර්ථකත්වයේ නියමුවා ඉන්ටෙල් සමාගම සලකන්නේ ඇන්ඩි ග්‍රෝව්ය.

කෙසේ වෙතත් 1985 වනවිට ඉන්ටෙල් සමාගමේ මතක පරිපථ ව්‍යාපාරයට අසුබ කලදසාවක් ලබන්නට විය. ටොෂීබා, එන්.ඊ.සී, හිතාචී වැනි ජපන් සමාගම් පරිගණක මතක පරිපථ ව්‍යාපාරය අත්පත් කරගැනීම සඳහා ඉතා ඉහල තත්වයේ මතක පරිපථ නිශ්පාදන වියදමටත් අඩු මිළකට ලෝකයේ විශාලම ඉලෙක්ට්‍රොණික උපකරණ වෙළඳපොල වූ අමෙරිකානු වෙළඳපොලට මුදාහරිමින් තිබුණි. ඒබැවින්, විශාල ලෙස ලාභ ලබමින් තිබූ අමෙරිකානු මතක පරිපථ නිශ්පාදකයින් වන ඉන්ටෙල්, ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට්ස් වැනි සමාගම් වල අලෙවිය විශාල ලෙස පහත වැටෙන්නට විය.

අඩු පිරිවැයකින් මතක පරිපථ නිපදවන ජපනුන් හා සටනට යාම නිශ්ඵල ක්‍රියාවක් බවට විශ්වාසකල ඇන්ඩි ඒ වෙනුවට ඉන්ටෙල් සමාගම ජපනුන් හට එවක නොතිබූ  තාක්ශණයක් වෙත යොමු කරන්නට ක්‍රියා කලේය. ඒ අනුව මෙමරි පරිපථ නිශ්පාදනය අතහැර දමන්නට ඉන්ටෙල් අධ්‍යක්ශක මණ්ඩලය පොළඹවාගත් ඇන්ඩි ග්‍රෝව්, ඒ වෙනුව ඊට වඩා සංකීරිණ, එනිසාම ජපනුන්ට කොපි කිරීමට අපහසු මයික්‍රෝ-ප්‍රොසෙසර් නිර්මාණය හා නිශ්පාදනයට පිවිසුනේය.

මේ කාලය වනවිට ලොව විශාලම මහා පරිමාණ පරිගණක (mainframe computers) මෙන්ම පුද්ගලික පරිගණක (Personal Computers - PC) නිශ්පාදකයා වූ අයි.බි.එම් සමාගම පරිගණක ලෝකයේ පලමු තැන දිනාගෙන සිටියේය. අයි.බී.එම් සමාගම සිය පරිගණක සඳහා ඉන්ටෙල් ප්‍රොසෙසර් භාවිතා කරන්නට ගත් තීරණය පිටුපස ඇන්ඩි ග්‍රෝව් සිටි අතර, අයි.බී.එම් සමාගම සිය ගැනුම් කරුවෙකු කරගන්නට ඔහු විශාල මෙහෙයක් ඉටුකලේය.

ඇන්ඩිගේ මගපෙන්වීම යටතේ මයික්‍රෝප්‍රොසෙසර් නිශ්පාදනයට පෙළඹුනු ඉන්ටෙල් සමාගම එදා සිට අද දක්වාම ලොව විශාලතම, මෙන්ම ලාභදායිම මයික්‍රෝප්‍රොසෙසර් නිශ්පාදකයා වේ. ඉතා වේගයෙන් පරියේෂණ කටයුතු සිදුකිරීම නිසා, ජපනුන්ට හෝ කොරියානුවන්ට ලඟාවිය නොහැකි තරමේ සීග්‍ර තාක්ශණික දියුණුවක් අතපත් කරගනිමින් වසරින් වසර වඩවඩාත් වේගවත් මයික්‍රෝප්‍රොසෙසර් නිර්මාණය කරමින් වෙළඳපොලට එක් කිරීමට ඉන්ටෙල් සමත්විය.

1996දී "Only the paranoid survives - How to Identify and Exploit the Crisis Points that Challenge Every Business"  නම් පොතක් පලකල අතර එය අතිශයන් ජනප්‍රිය විය. ඇන්ඩි සිය කළමණාකරන ශෛලිය විස්තර කරමින් ලියැවුනු ඒ පොතෙහි සඳහන් වන අන්දමට අධි-තරඟකාරිත්වයක් ඇති තොරතුරු තාක්ශණ කර්මාණ්තය ජයගැනීමට නම් එහි නියැලෙන සමාගම් කටයුතුකල යුතු ආකාරය විස්තර කරයි.

1997 වනවිට ඉන්ටෙල් සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරියාද වූ ඇන්ඩි ග්‍රෝව්ගේ නායකත්වය යටතේ 1997 වසර වනවිට ඩොලර් බිලියන් 20ක ආදායමක් උපයාගත්තේය.

1998 වසරේදී පුරහ්ස්ථ ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණ (prostate cancer) පහලවීම නිසා ඇන්ඩි ග්‍රෝව් ඉන්ටෙල් ප්‍රධාන විධායක නිළධාරි තනතුරෙන් ඉවත්වුවද 2004 වනතෙක් එහි අධ්‍යක්ශක මණ්ඩල සභාපතිවරයා විය. ඉන්පසුව ඉන්ටෙල් සමාගමේ උපදේෂකවරයෙකු හා කැළිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආරාධිත කථිකාචාර්ය වරයෙකු ලෙස කටයුතුකල ඇන්ඩි, තොරතුරු තාක්ශණය මෙන්ම අමෙරිකාවේ තොරතුරු තාක්ශණ පුරවරය වන සිලිකන් නිම්නය මහත්සේ අගයන යුග පුරුෂයෙකි.







Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. අගෙයි,ඔහු වැනි අයෙකු ගැන දැනගත්තේ ඔබෙන්.
    ඔහුට සුබ ගමන්.

    ReplyDelete

Post a Comment